තම දෑසින් ලෝකය නොදකින මුත් අන් අයට ලෝකය දකින්නට මග පෙන්වන දිරිය කත.

ජීවිතේ මොනයම් හෝ ප්‍රශ්නයක් ආව වෙලාවක ඔබට හිතිලා ඇති ” ජීවිතය මෙතනින් නතර වුණා නම් ” කියලා. හැබැයි අසීරුම අවස්ථාවක,සියල්ල අහිමිවී ගිය අවස්ථාවක පවා ජීවිතය අත් නොහැර අල්ලාගෙන ඉන්න එක තමයි වීරකම. එයට මොනතරම් නම් ධෛර්යයක් ඔබ තුළ තියෙන්න ඕනද? ඔබ තුළ මොනතරම් ශක්තියක් තියෙන්න ඕනද?

අද මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ඔබට හිතාගන්නවත් බැරි තරම් කටුක අත්දැකීම් වලට මුහුණ දීලා ජීවිතය අත් නොහැර ජීවිතයට මුහුණ දුන්න ධෛර්යවන්ත කාන්තාවක් ගැන. ඇය ආශ්චර්යා ජයකොඩි මහත්මිය.

BBC පුවත් සේවය වාර්ශිකව ප්‍රකාශයට පත් කරන ලොව බලපෑම් කල හැකි කාන්තාවන් සිය දෙනා අතර 2019 වර්ශයේ ලැයිස්තුවේ ඉන්න ආශ්චර්යා ජයකොඩි මහත්මිය මේ වෙද්දි පෞරුෂ සංවර්ධන උපදේශිකාවක් මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් හැටියටත් කටයුතු කරනවා.

පෙනීම අහිමි වුවත් ජීවිතය අහිමි කරගන්න සූදානම් නොවූ ආශ්චර්යා ජයකොඩි මහත්මියගේ ජීවිතය අද තියන තැනට පත් වූ හැටි,ඈ ජීවිතයට මුහුණ දුන්න හැටි ඇහුවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත් වේවී.ජීවිතේ එක කාලයක දෛවය ඒ තරම්ම ඇයට නපුරු වුණා.

සාම්ප්‍රදායික පවුලක උපත ලබපු ඇය සංගීතයට චිත්‍ර වලට ආදරය කළත් ඇගේ ඒ ආසාවන් වලට දෙමව්පියන්ගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ.කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් වුණත් එයටත් ඇයට ඉඩ නොලැබෙද්දි බැංකු නිලධාරිනියක් හැටියට ඇය තම රැකියාව තෝරාගන්නවා.

1997 වසරේදී බැංකු නිලධාරිනියක් ලෙස සේවය කරපු ඇය 2000 වසරේදී රාජකාරි අවසන් කොට තම මෝටර් රථයෙන් නිවෙස බලා යද්දි රාජගිරිය ප්‍රදේශයේදි ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නා.කොටි ත්‍රස්තවාදීන් එල්ල කල ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වන ඇයට වාසනාවකට මෙන් දිවි රැකගන්න ලැබුණේ ඇයව කඩිනමින් රෝහල් ගත කර තිබුණ නිසා.එම ස්ථානයේදි පොලිසිය සහ ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවීමෙන් තවත් බොහෝ දෙනා මියගොස් තිබුණා.කෙසේ හෝ ආශ්චර්යා මහත්මියගේ දිවි රැකුණත් ඇගේ දෑස් සුවපත් කරන්න නම් වෛද්‍යවරුන්ට හැකි වෙන්නෙ නෑ.

එතනින් පස්සෙ ඇය නොහිතන විදියට ඇයගේ ජීවිතය වෙනස් වෙනවා.පවුලේ අය ,සමීපතමයන් ඇයව හැර යද්දි දෑස් නොපෙනෙන ඇයට ජීවිතයට තනියම මුහුණ දෙන්න සිදුවෙනවා. වසර දොළහකට අධික කාලයක් කිසිවෙක් නැති හුදෙකලා ජීවිතයක් ඇය ගෙවනවා.

ධනවත් පියෙකුගේ දියණියක් වුවත් ආශ්චර්යා මහත්මිය තම බැංකු ගිණුමේ තිබූ මුදලේ පොලියෙන් තනිවම ජීවත් වෙද්දි සුලු මුදලක් හෝ වියදම් කරන්නේ බොහෝම සැලකිල්ලෙන්.සමහර දිනවල බිස්කට් එකකින් ,කෙසෙල් ගෙඩියකින් තම කුසගින්න නිවාගන්නට සිදුවූ දින තිබුණු බව ඇය පවසනවා.ඒ තරම්ම ඇයට ජීවිතය කටුක වී තිබෙනවා.

තමාගෙ ඇඳුම් වලට සිතු හැටියට වියදම් කරන්න මුදල් යහමින් නොතිබුණු නිසා ඇය තමා සතු සුලු මුදලකින් රෙදි ගෙන තමන්ට අවශ්‍ය විදියට කිසියම් කෙනෙකු ලවා ඇඳුම් මස්සවා ගන්නවා. එය දකින මිනිසුන් පුදුම වෙද්දි, එය විය නොහැකි දෙයක් බව සියලු දෙනා පවසද්දී බොහෝ දෙනා තමාව අවතක්සේරුවට ලක් කරද්දි තම හැකියාව සියලු දෙනාට ඔප්පු කර පෙන්වීමේ අභියෝගය ඇය කිසිම පැකිලීමකින් තොරව බාරගන්නවා.

ඒ අභියෝගයේ ප්‍රතිඵලයක් ලෙස දෑස් නොපෙනෙන ඇය 2014 වසරේදී සම්මානලාභී මෝස්තර නිර්මාණ ශිල්පිනියක් බවට පත් වෙන්නේ හැමදෙනාවම පුදුම කරමින්.

කවදත් අභියෝග වලට බිය නොවූ ආශ්චර්යා මහත්මිය 2017 වසරේදී ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරටද තේරී පත් වුණා.
තවද FMS ජාලය මඟින් 2020 වසරේ සිට ක්‍රියාත්මක වන The Leading Women In South Asia නැමති ශීර්ෂය යටතේ නම් කෙරෙන කාන්තාවන් දොළොස් දෙනා අතරද ආශ්චර්යා මහත්මිය සිටිනවා.

ඉතා දුශ්කර වූ කාලසීමාවක් පසුකොට, ජීවිතයේ බොහො අභියෝගය වලට මුහුණ දීපු ඇගේ තනි නොතනියට සහ ඇගේ ජීවිතේ බෙදාගැනීමට හමු වූ සෙවණැල්ල මෙන් වූ ආදරණීය සැමියා චන්දන සේසත් ජයකොඩි මහතා ගැන සිහිපත් නොකරම බෑ. ඇගේ ජයග්‍රහණයන් වලදි නිහඬවම සතුටු වෙමින් ඇයට ආදරණීය ආරක්ෂාවක් දෙන ඔහුව සැබැවින්ම අගය කළ යුතු ආදරණීය සැමියෙක්.

ජීවිතය බොහෝ වේදනාකාරී වුවත් ,දෛවය ඔබට මොනතරම් නපුරු වුවත් ජීවිතය යනු අසීරුවෙන් අල්ලාගෙන අභියෝග ජයගත යුතු තෝතැන්නක් බව දැන් ඔබටත් වැටහෙනවා ඇති.

ඔබ තුල ඇති ධෛර්යය ඔබ විසින්ම සොයාගත යුතුය.කුමන අවස්ථාවක වුවද කුමන බාධකයක් මැද වුවද ඔබ ජීවිතයට මුහුණ දිය යුතුය. අවසානය දක්වාම ඔබ ජීවත් විය යුතුය.

ආශ්චර්යා ජයකොඩි මහත්මියගේ ජීවිතයෙන් ඔබට ගත හැකි හොඳම පාඩම් වන්නේ එයයි !

Related Articles

Don't Miss


Latest Articles