දරුඵල ප්‍රමාද මව්වරුන්ගේ සිහින සැබෑ කරන IVF ප්‍රතිකාරය ගැන දැන ගනිමු.

ඔබේ කිරි සිහිනය ඉටු කර ගැනීම ලෙහෙසියෙන් අතැර දැමිය යුතු නැති බව අපි මීට පෙර ලියූ හැටි ඔබට මතක ඇති.ස්වභාවික පිළිසිඳ ගැනීමක් වන්නේ නැතිනම් IUI ප්‍රතිකාරයක් කර ගන්නා හැටි ඔබ ඒ ලිපියෙන් කියෙව්වා. මේ ලිපිය ඊළඟ පියවර ගැන. ඔබට IUI සාර්ථක නොවුණොත් ඊළඟ පියවරක් තිබෙනවා.සිහිනයක් ලෙහෙසියෙන්ම අතහැර දමන්න එපා.

ඒ IVF ප්‍රතිකාරයයි.

මොකක්ද මේ Ivf?

ප්‍රතිකාර ක්‍රමයක් අතරතුර ඔබෙන් ලබා ගන්නා ඩිම්බ ඔබේ සැමියාගේ ශුක්‍රාණු සමඟ විද්‍යාගාර තත්ව යටතේ සංසේචනයකින් පසු ඔබේ ගර්භාෂයේ තැන්පත් කිරීම මෙනමින් හඳුන්වනවා. මෙය සංකීර්ණ ක්‍රියාවලියක්.

කාටද මෙය සුදුසු?

  1. අවුරුදු හතලිහට වැඩි දරුවන් නොමැති කාන්තාවන්ට.
  2. පැලෝපීය නාලවල ආබාධ සහිත අයට
  3. එන්ඩොමෙට්‍රියෝසිස් ඇති අයට්ස්
  4. ඩිම්බකෝෂ වල ආබාධ ඇති අයට
  5. ෆයිබ්‍රොයිඩ් ඇති අයට
  6. ශුක්‍රාණු නිපදවීමේ ගැටලු ඇති සහකරුවන් ඇති අයට
  7. ජානමය තත්ව, පිළිකා තත්ව ආදිය නිසා දරුඵල ප්‍රමාද අයට.

Ivf ක්‍රියාවලිය වෙන්නේ කොහොමද?

මෙය ඩිම්බකෝෂ උත්තේජනය, ඩිම්බ ලබා ගැනීම, ශුක්‍රාණු ලබා ගැනීම, සංසේචනය සහ කලලරූපය තැන්පත් කිරීම. IVF හි එක් චක්‍රයකට සති දෙක තුනක් ගත විය හැකියි.ඊට වඩා වැඩි කාලයක් ගත වන අවස්ථාද තිබෙනවා.

IVF ක්‍රියාවලියේ දී මුලින් ම සිදු කරන්නේ කාන්තාවට ඖෂධ ලබා දී ඇගේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කිරීමයි ඉන් අනතුරුව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ වැඩි සංඛ්‍යාවක් එකවර මේරීමට ලක් කරනවා. මේ සඳහා නික්ෂේපණ ඖෂධ මගින් ඩිම්බකෝෂ උත්තේජනය කරවනවා. ඉන්පසු යෝනි මාර්ගය හරහා මෙම ඩිම්බ පිටතට ගැනීම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් ක්‍රමයක් ආධාර කර ගනිමින් සිදු වෙනවා.

ඔබේ සහකරුට සාමාන්‍ය ආකාරයට ලබා ගන්නා ශුක්‍රාණු සාම්පලයක් හෝ වෘෂණ කෝෂවලින් සෘජුවම ලබා ගන්නා ශුක්‍රාණු පරීක්ෂණාගාරයට ලබා දෙන්නට සිදු වෙනවා. ඔහුගේ යම් ගැටලුවක් ඇත්නම් පරිත්‍යාග කරන ශුක්‍රාණු ලබා ගන්නට ද හැකියාව පවතිනවා.

පිටතට ගත් ඩිම්බ රසායනාගාරය තුල දී ශුක්‍රාණු සමග එකතු වීමට සලස්වන අතර එහි දී සංසේචනය වන ඩිම්බ යුක්තාණුවක් බවට පත් වෙනවා. ඒ යුක්තාණුව විද්‍යාගාරය තුළ දින කිහිපයක දී කලලයක් බවට පත් වෙනවා. ඉන් තෝරා ගත් නිරෝගී කලලයක් හෝ දෙකක් ගර්භාෂය තුලට කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම තමයි මේ ක්‍රියාවලිය.

තැන්පත් කිරීමෙන් සති දෙකකට පමණ පසු ඔබ ගැබ්ගෙන ඇත්දැයි සොයා ගැනීමට ඔබේ වෛද්‍යවරයා ඔබේ රුධිර සාම්පලයක් පරීක්ෂා කරනවා.

ඔබ ගැබ්ගෙන නොමැති නම් ප්‍රොජෙස්ටරෝන් ගැනීම නතර කර සතියක් ඇතුළත ඔබේ ඔසප් වීම සිදු වෙනවා. ඔබට ඔසප් වීම සිදු නොවුණොත් හෝ ඔබට අසාමාන්‍ය රුධිර වහනයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

මෙහි ගැටලු තියනවා ද?

අඩුබර උපත්, නිවුන් දරු උපත්, ගබ්සා වීම්, ඩිම්බ ලබා ගැනීමේ දී ඇති වන සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා.

පැලෝපීය නාලවල ගැබ් ගැනීම ද ඉතා සුළු වශයෙන් විය හැකියි.

ඒ හැරුණු විට ඔබට මේ ක්‍රියාවලිය යම් ආතතියක් සහිත ක්‍රියාවලියක්.

ඒ වගේම ඔබට මේ වෙනුවෙන් සැකසූ අමතර කළල නැවත අනාගත ගැබ් ගැනීමක් වෙනුවෙන් තැන්පත් කර තබන්නත් පුලුවන්. එයත් සුවිශේෂි කාරණාවක් බව නොකියාම බැහැ.

මෙය ඔබ මානසිකව සහ කායිකව ශක්තිමත් වී දිරිය ගැහැනියක ලෙස මුහුණ දිය යුතු තරමක් සංකීර්ණ අත්දැකීමක්.තමන්ගේ අරමුණ වෙනුවෙන් ගැහැනියකට ඕනෑ තරම් සටන් කරන්න පුලුවන්.ඉතින් ඔබට සුබ පැතුම්

Related Articles

Don't Miss


Latest Articles