පළිඟු මන්දිර – 23

කිසල් මේ තරම් කෑ ගහන්නේ ඈ මහ ලොකු වරදක් කළා කියා හිතා නම්, ඒ වරදක් නොවේ කියා ඔහු ට කියා දෙන්නට පළිඟු ට උවමනා විය. නමුත් කියන්නට වචනයක් හොයා ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. මේ කොහෙත් ම කලින් සූදානම් වී සිටි මොහොතක් නොවේ. 

“මං උදව්වක්නෙ කරන්න ගියේ”

තත්පර කිහිපයකට පස්සේ ඇය හදිසියෙන් ම කියා දැම්මා ය. සත්තකට ඒ වචන ටික වුව කොහෙන් පැමිණියාද කියා ඇය දන්නේ නැත.

“උදව්වක්…”

“උදව්වක් තමයි. ඔයාට කියාගන්න බැරුව හිටිය දේනෙ”

“මොකද්ද…”

“ඔයා තාම…එයාට ආදරෙයි කියල”

ඇය ඒ ටික කීවේ ඇස් දෙක ද පියා ගෙන ඉතාමත් ම වේගයෙනි. ඒ ඉතාමත් කෙටි වූ නිමේෂයේ දී කිසල් ගේ ඇස් ඇගේ වත මත ම නතර වී තිබිණි. ඔහු ගේ හිතේ වූ කේන්තිය දිය වෙවී ගිහින් ක්ෂණික සිනහවක් වත මතට එත්දී ම ය පළිඟු ඇස් ඇරියේ. මලක් පිපෙනකොට ම රත්තරං පාට හිරු මඬල දුටුවා සේ ඇගේ ඇස් ප්‍රභාමත් විය. නමුත් ඒ ඇස් වල දරා ගත නො හැකි විශ්මයක් වූයේ ය.

“ඇයි…”

“මොකද…”

එවර නම් කිසල් සැර දැම්මේ බොරුවටයි.

“මගෙ දිහා ඔහොම බලන්නෙ මොකද කියලයි අහන්නෙ…මං කියන්නෙ හිනා වෙලා…”

“පිස්සු වුණාට කමක් නෑ. ඒත් පිස්සු කියල අනිත් මිනිස්සුන්ට පෙන්නන්න යන්නෙපා”

“මොකද්ද…”

“දැං අක්ෂි හිතන්නෙ එහෙම තමයි. ඔයාට පිස්සු කියල”

කිසල් ඒ ටික කීවේ සුසුමකුත් එක්ක ය. පළිඟු මොහොතකට ගොළු ගැසුණා ය.

“සමහර වෙලාවල් තියනව…අපි කොච්චර හොඳ වුණත් එච්චර හොඳයි කියල  කාටවත්ම පෙන්නන්න ඕන නැති. සමහරු ඒක අපේ වීක් පොයින්ට් එකක් විදිහට දකින්න පුළුවන් නිසයි පළිඟු. ගොඩක් අය අන්තිමට අපිට ගහන ආයුදේ විදිහට පාවිච්චි කරන්නෙත් ඒ වීක් පොයින්ට් එකමයි”

දැහැනකට සම වැදුණා සේ පළිඟු බලා උන්නා ය. අසා උන්නා ය. කිසල් වාගේ නූතන පන්නයේ, වත් පොහොසත් කම් ඇති පවුලක තරුණයෙකුට එවන් සිතිවිලි තිබිය හැකි ද? ඔහු හරියට ම ඇගේ හිත කියවා තිබේ. ඇයට ඕන වුණේ හොඳ වෙන්නට බව පිළිගත යුතු ය. කිසල් නිසා ඇගේ හදවත අඳුරු කරන්නට වූ ඊර්ෂ්‍යාවේ කළු දුම හදවතෙන් බැහැර කර දමන්නට ය. ඒ සඳහා හොඳ ම මාර්ගය ලෙස එවෙලේ පෙනී ගියේ කිසල් ගේ ඇත්ත තත්වය අක්ෂි ඉදිරියේ හෙළි දරවු කිරීමයි. තමන් දෙදෙනා අතර වන එකඟතා ගිවිසුමේ රහස හෙළි කළ නො හැකි එකේ, ඒ විදිහට හෝ අක්ෂි ට කිසල් වෙත එන්නට මග පෙහෙළි කිරීමයි.

“ආ….මං බැලුව මොකද මේ සද්දයක් බද්දයක් නැත්තෙ කියල”

වත්සලා මිදුල දෙසට එමින් සිටියා ය.

“දැං දෙන්නට වීක් එන්ඩ් එකෙත් ලෙක්චර්ස් දාගන්න හිතිල වගෙයි”

පළිඟු ගේ මූණ රතු වෙන හැටි කිසල් පැහැදිලි ව ම දුටුවේ ය.

“මෙ…කිසල් ඇවිත් තියෙන්නෙ නිකං. මේ පැත්තෙං යන ගමං”

“ඔව් ඔව්. ඔය කාලෙට එහෙම තමයි. කෙල්ලගෙ ගෙවල් පැක්තෙං ගමං වැඩි වෙනව…ඒ හරියෙදි බයිසිකලේ කැඩෙනව…සමහර වෙලාවට ඒ හරියෙදි මාර වතුර තිබහක් එන්න වුණත් පුළුවන්”

“දොඩෝනවද මන්ද…”

පළිඟු රැව්වා ය. කිසල් ගේ දෙතොලතරට දඟකාර සිනහවක් පැමිණෙමින් තිබිණි. ඔහු ඒ සිනහව යටපත් කර ගන්නට උත්සාහ කරමින් ද සිටියේ ය.

“මෙයා කියන ඒව ගණං ගන්නෙපා. එයා හිතං ඉන්නෙ කොහොමත් වැරදියටනෙ”

කිසල් ට විතරක් ඇහෙන්නට පළිඟු කෙඳිරුවා ය. ඒ වෙලාවේ වත්සලා සිටියේ වැලේ දැමූ රෙදි ගනිමින් නිසා ඇයට ඒ හරි හැටි ඇසුණේ නැත.

“ඔයා දැං යන්න”

රහසින් එසේ කීවාට, පළිඟු ගේ හදවත කියමින් සිටියේ වෙනත් කතාවකි. කාගේවත් කරදරයක්, බලපෑමක්, ඇස්වහක් නැති මේ වගේ දවසක තව හෝරා ගණනක් ඔහු ඈ ළඟින් මෙහෙම තියා ගන්නට ඇත්නම් කියා ය. නමුත් හිතට ඕන ඕන දේවල් කොට පුරුදු කර ගත නො හැකි බව ද ඇය දැන සිටියා ය. සමහර පුරුදු වලින් මිදීම හිතන තරම් පහසු නැත. නියපොතු කන ඒ වගේ නරක පුරුද්දක් ඇයට තියේ. කොයි තරම් නරක බව දැන සිටිය ද, හදවතට එය ඒත්තු ගැන්වූවද, පුරුද්දෙන් මිදෙන්නට පහසු නැත. කිසල් ද ඒ වගේ නරක පුරුද්දක් විය යුතු නැත.

“කිසල් යන්න හදන්නෙ පුංචා”

“අනේ ඇයි ඉතිං…මං මේ මොනාහරි උයන්න හැදුවෙ. රෑට කාල යන්න ඉඳියි කියල”

“නෑ…එයාට වැඩ..”

“නෑ නෑ කමක් නෑ. ආන්ටි උයනවනං මං ඉන්නං”

කිසල් වහා ම කීවේ ය. පළිඟු අපේක්ෂා භංගත්වයට පත් ව දෑත් ඉණෙහි ගසා ගත්තා ය.

වත්සලා කෑම පිසින තෙක් කිසල් පළිඟු ගේ පරණ පින්තූර ඇල්බමයක් බැලුවේ ය. පළිඟු මාරුවෙන් මාරුවට මුළුතැන් ගෙටත් ආලින්දයටත් දුවමින්, වත්සලා ට උදව් කරමින් ද කිසල් ගැන බලමින් ද සිටියා ය. ඇගේ හදවත වූයේ සතුටෙහි ගැඹුරු ජලාශයක කිමිදෙමිනි. නමුත් ඔනෑවට වඩා ගැඹුරට නොයා යුතු වග ට යටි හිත නිරතුරු අනතුරු ඇඟවී ය. ගිලී හුස්ම හිර වීමේ අවදානමක් වන බැවිණි. නමුත් උඩු හිත අවදානම් ගන්නට හිතුවක්කාර වූයේ ය.

වර්ෂා ගෙන් දුරකතන ඇමතුම් දෙකක් ම මගහැරී තිබෙන බව පළිඟු දුටුවේ රාත්‍රියේ නිදන්නට යහනට ගිය විට ය. කිසල් ආ වෙලාවේ සිට ඇය ට දුරකතනයක සිහියක් නොවිණ.

“අනේ ඔයාගෙං මිස්ඩ් කෝල්ස් දෙකක්ම තියෙනව වර්ෂා. මං දැනුයි දැක්කෙ”

“මං හිතුව බිසී ඇති කියල”

“බිසීම නෙවෙයි. හවස අරය ආවනෙ”

“වන් සයිඩ් ලවු එක…”

“හ්ම්. පුංචා උයන්න ලෑස්ති වුණා. ඒ ගමන කාලත් ගියේ”

“වාව්”

“ඒත් මේක සෙල්ලමක් නෙවෙයි කියල මං දන්නව”

“මට ඔය කොල්ලව පෙන්නන්න. මං එයා එක්ක කතා කරන්නං”

පළිඟු සිනාසුණා ය.

“එහෙම ඕන්නෑ”

“සමහර විට එයත් දැං ඔයා ගැන හිතනවද දන්නෑ”

“අපෝ නෑ”

“කොහොමද හරියටම කියන්නෙ…”

“යකෙක් වගේ. ඕන වෙලාවක මට බණින එකයි කරන්නෙ. ඔය ඇවිත් තිබුණෙත් බැණල යන්න. එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතාවට යන්නෙපා කියල”

“හ්ම්. මට එයාව බලන්න පුළුවන් වෙයිනෙ. කැම්පස් ආවහම”

“හ්ම්. සමහර විට එතකොට එයා ආයෙත් අක්ෂි එක්ක සෙට්ල් වෙලා ඉඳියි”

“අක්ෂි…”

වර්ෂා ගේ හදවතෙහි ක්ෂණික ගැස්මක් ඇති වී නැති විය. අක්ෂි…ඒ අයියා ගේ පෙම්වතිය ගේ නම බව සිත වහා ඇයට සිහිපත් කරවන ලදී. එතකොට පළිඟු එකඟතා ගිවිසුමක් මත පෙම් කරන්නේ ඇගේ ම සොයුරාට ද? පළිඟු එක්ක කතා බහ හමාර කළ වර්ෂා මිදුලට බැස්සා ය. ඇගේ මුළු සිරුර ම ගැහෙන්නා සේ ඇයට දැනේ. ඒ සීතල නිසා ඇති වූ ප්‍රතිචාරයක් නම් නො විය යුතු ය. අයියා එහෙම කරන්නේ කොහොමද යන්න ඇය ට තිබූ එක ම පැණයයි. ඈ දන්නා ඇගේ අයියා නරකයෙකු නොවේ. අශේන් වන් නරකයෙකු නිසාවෙන් ඔහු අම්මා සමග අරගල කරන හැටි ඈ දැක තිබුණා ය. එහෙවු ඔහු මේ විදිහට ගෑනු ළමයෙකු ගේ ජීවිතයක් සමග සෙල්ලම් කරන්නේ කෙසේද?

කිසල් පැමිණියේ පර්ෂා මිදුලේ සිටියදී ය. 

“මොකද්ද ඔතන කරන්නෙ…”

“කොහෙද ගියේ…”

උත්තරයක් දෙන්නට කිසල් මඳක් පසුබෑවේ ය.

“මේ…යාළුවො කට්ටියක් සෙට් වුණා”

කිසල් එහෙම කියමිනි ගෙතුළට යන්නට ගියේ ය.

“පළිඟු කියල කෙනෙක් අඳුරනවද…”

වර්ෂා ඈ උන් තැන ම හිඳ කෑ ගා ආසුවා ය. කිසල් ගේ දෙපා එහෙම ම නතර විය. බෝම්බය පුපුරා ගියේ ඇතුළාන්තයේ ය. ඔහු තත්පරයක ක්ෂණික කල්පනාවකට වැටිණ.

“කවුද….”

“පළිඟු කියල…කැම්පස් එකේ ඉන්නවද ගර්ල් කෙනෙක්…”

“ඕන තරං ඇති ඉතිං”

ගණනකට නැති ව හැසිරෙන්නට ඔහු ට උවමනා විය. නමුත් ඒ උත්සාහය ම තරමක අසාමාන්‍ය තත්වයක් ඔහු වෙතින් විද්‍යමාන කරවන ලදී. රෑ කෑම කිසල් ගෙන් ප්‍රතික්ෂේප විණි.

“මං කාල ඉන්නෙ”

ඔහු ගේ නිදහසට කාරණාව එය විය. ‘පළිඟු ලගෙ ගෙදරින් නේද?’ කියා අසන්නට වර්ෂා ගේ මුව නළියෑවේ ය. මුවින් එය නො බිණුවත් ඇගේ ඇස් වල තිබී කිසල් ට ඒ පැනය හොයා ගත හැකි විය. ඔහු කේන්ති ගත්තේ උතුම් එක්ක ය. කාමරයට ගිය කිසල් උතුම් ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“මොකද්ද ඕයි ජරා වැඩ කරන්නෙ..”

උතුම් උඩ ගොස් බිම වැටුණේ ය.

“මොකද්ද කියන්නෙ…”

“පළිඟු ගැන නංගිට කිව්වෙ උඹනෙ…”

“පිස්සුද යකෝ… මං මොකටද අනුංගෙ රෙදි අපුල්ල අපුල්ල යන්නෙ…”

“එහෙනං නංගි කොහොමද දන්නෙ…”

“ඒක මන් දන්නෑ. අශේන් කිව්ව වෙන්නත් පුළුවන්නෙ. අනිත් එක නංගිගෙ යාළුවො ඕන තරං කැම්පස් එකේ ඇති. කවුද දැං නොදන්නෙ උඹයි පළිඟු යි යාළුයි කියල…අනිත් එක උඹලගෙ අම්ම දන්න දේ නංගි දන්නව කියන එක මහ අමුතු දෙයක්ද…”

කිසල් ට කට උත්තර නැති විය. නමුත් අනිත් අයට වඩා යමක් වර්ෂා දැනගෙන හිඳින බවට ඔහු ගේ හදවත අනතුරු අඟවමින් තිබිණි.

පසු දා පළිඟු විශ්ව විද්‍යාලයට නාවා ය. අවන්හලත් වසා දමා තිබිණි. කිසල් ගේ හදවත නො ඉවසිලිමත් වන්නට විය. පෙර දා රාත්‍රිය වන තුරුත් ඔහු ඇගේ නිවසේ සිටියා ය. නො එන බවක් පළිඟු කීවේ නැත. නො එන්නට හේතුවක් පෙනෙන්නට තිබුණේත් නැත. ඉතින් ඇය නෑවිත් හිටියේ ඇයි?  දැන් දැන් ඇගෙන් දුරකතන ඇමතුමක් එතැයි බලා සිටියත්, ඒ පැතුමත් නොසන්සුන්කමක් ව හිතේ ම බිඳී යමින් තිබුණෙන් කිසල් ඇමතුමක් ගත්තේ ය. 

“අනේ කිසල්…”

පළිඟු හඬන්නට පටන් ගත්තා ය. කිසල් ගේ හදවත ගැස්ම මේ තරම් උත්සන්න වූ මොහොතක් ඔහු ට සිහි කළ නො හැකි වූ තරමය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles