පළිඟු මන්දිර – 24

මේ වෙලාවේ පළිඟු  මේ විදිහට අඬන්නේ ඇයි? අක්ෂි හෝ මොරීන් විසින් ඇය ව කිසියම් අපහසුතාවකට පත් කරන ලද්දේ ද? පෙර දා රාත්‍රිය වන තුරු ත් එවැන්නක් සිදු ව නො තිබූ බව කිසල් ට විශ්වාස ය. එසේ වී නම් ඇය මේ විදිහට හැඬිය යුත්තේ දැන් නොව ඒ වෙලාවේ ය. ඉතින් මේ හදිසියේ සිදු වූයේ කුමක් ද? පළිඟු ගේ හේතු නැති හැඬීම කිසල් ව අවුලෙන් අවුලට පත් කරවන ලදී.

“මොකද්ද වුණේ…කොහෙද දැං ඔයා ඉන්නෙ…”

ඇගේ හැඬුම අතරින් ම කිසල් අසා ගත්තේ ය. පළිඟු ගෙන් පිළිතුරක් ලැබුණේ තවත් තත්පර කිහිපයක පමාවෙනි.

“හොස්පිට්ල් එකේ…”

“හොස්පිට්ල් එකේ…ඇයි මොකද වුණේ…ඇයි ඔයා ඔහොම අඬන්නෙ…”

“පුංචාට අමාරුයි කිසල්”

ඇය ඉකිබිඳින්නට පටන් ගත්තා ය. යෞවනයා වඩාත් කලබල විය.

“ඇයි ආන්ටිට මොකද…”

“ඊයෙ රෑ ඉඳලම බඩ රිදෙනව කිය කිය හිටිය. පාන්දර වෙද්දි හොඳටම අමාරු වුණා.  බඩ අල්ලගෙන එයා කෑ ගහන්න පටං ගත්ත. මොනා කරන්නද කියල මට හිතා ගන්නවත් බැරි වුණා. පස්සෙ ත්‍රීවීලර් එකක් කතා කරං හොස්පිට්ල් එකට අරං ආව. දැං ඇඩ්මිට් කරගෙන…ටෙස්ටිංස් වගයක් කරනව. අනේ පුංචට ගොඩක් අමාරුයි කිසල්”

“අමාරු වැඩි වෙනකල්ම ගෙදරට වෙලා හිටියෙ ඇයි…ඊයෙ රෑත් එහෙම අමාරුවක් තිබුන්නෑනෙ”

“පුංචාට ටික ටික බඩ රිදුණලු ටික දවසක ඉඳං…”

උදරයේ වේදනාවක් වරින් වර වත්සලා අත්වින්දා ය. නමුත් ඈ සිටියේ සුළු සුළු අසනීපතා ගැන වද විය හැකි තත්වයක නොවේ. ජීවන අවශ්‍යතා ඊට වඩා දැඩි ව දැනෙත්දී මිනිස්සු හිතා මතා ම ශාරීරික අපහසුතා යටපත් කර ගෙන හෝ අමතක කර දමමින් හෝ ජීවත් වෙති. අනිත් අතට මෙය මේ සා දරුණු විය හැකි දෙයකැයි වත්සලා සිතුවේ ද නැත. පෙර දා හැන්දෑවේ සිට ම පහළ උදර ප්‍රදේශයේ වේදනාව වේනදා ට වැඩියෙන් හිස ඔසවන බවක් දැනුණත්, ඇය ඒ ගැන වැඩිපුර නො සිතා ඉන්නට තැත් කළා ය. මෙවන් අසනීපයකට රෝහලකට යනවා කියන්නේ බොහෝ විට එහි නේවාසික වන්නට සිදු වේ. එතකොට දින නියමයකින් තොර ව අවන්හල වසා දමන්නට සිදු වනු ඇත. ඊටත් වඩා වේදනාත්මක දෙය නම් පළිඟු ව ගෙදර තනි කොට දමා යන්නේ කෙසේද කියා සිතන එකයි. ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකු ගෙදර නොවන බැවිනි. 

කෙසේ වෙතත් අන්තිමේ වත්සලා පැරදුණා ය. වේදනාව ඇය ව මුළුමනින් යට කර ගන්නට විය. අවසාන වශයෙන් ඈ සිතුවේ මේ තත්වයෙන් ඈ මිය ගිය හොත් පළිඟු ට වන්නේ කුමක් ද කියා යි. ඇයට ඉන්නේ වත්සලා පමණකි. මීට පෙර කිසල් සමග වුව මේ පිළිබඳව කතා කළ නො හැකි වීම ගැන වත්සලා තැවෙන්නට වූවා ය.

“ඉතිං මෙච්චර දෙයක් වෙලත් මට කෝල් එකක් දුන්නැත්තෙ ඇයි..”

රෝහල වෙත පැමිණි කිසල් පළිඟු වෙත යොමු කළ මුල් ම පැනය එයයි. මොහොතක් ඔහු දෙස බලාන උන් යුවතී බිම බැලුවා ය.

“ඔයාට කරදර කරන්නෙ කොහොමද මගෙ පෞද්ගලික ප්‍රශ්නෙකදි”

‘පෞද්ගලික’ යන්න ඇය වඩාත් බර කොට කීවා සේ කිසල්ට දැනිණ. ඈ අදහස් කළ දේ ඔහු ට නො තේරුණා නොවේ. 

“හරි ඉතිං අසනීපයක් හැදිච්ච වෙලාවක බලන්න බැරි කමක් නෑනෙ. කොහොමත් දැං අපි නොදන්න අය නෙවෙයිනෙ”

පළිඟු යන්තම් තොල් ඇද කර සිනහවක් පෑවා ය. 

“මට බැරි වුණත් ඔයාට පුළුවන් නෙ උතුම්ට හරි කතා කරන්න”

කිසල් දමා ගැසුවේ ඇනුම් පදයකිනි. නමුත් පළිඟු ඒ ගැන රණ්ඩු වෙන්නට නො ගියා ය. දහවල ලෙඩුන් බලන වෙලාවේ පළිඟු එක්ක කිසල් ද වත්සලා බලන්නට වාට්ටුවට ගියා ය.

“මේකෙං මට මොකක්හරි වුණොත්…මේකිට කාත් කවුරුත් නැති වෙනව. පුතා  පළිඟුව බලා ගන්න”

වේදනාව අතරින් අමාරුවෙන් වත්සලා කිසල් දෙස බලා කීවා ය.

“පුං…චා …ඔයාට මොනාත් වෙන්නෑ. මොනාද මේ කියන්නෙ…දැං මෙඩිසින් කියන්නෙ ගොඩක් දියුණු දෙයක්. ඉක්මන්ට ඔයාට සනීප වෙයි”

හිත හයිය කර ගෙන, දුක පෙන්වන්නේ නැති ව, මඳහසකින් පළිඟු කීවා ය. ඇය ට ඕනෑ වූයේ මේ වෙලාවේ වත්සලා ගේ හිත ශක්තිමත් ව තබන්නටයි. නමුත් වත්සලා සිටියේ වෙනත් කල්පනාවක ය.

“පුතා…ඔයා මට පොරොන්දු වෙනව නේද…පළිඟු ව බලා ගන්නව කියල”

වත්සලා ගේ ඇස් මත වූයේ ආයාචනයකි. පළිඟු යටි තොල රිදෙන්නට සපා ගත්තා ය. මෙතැන පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නට පුළුවන් කමක් වේ නම් ඇය එසේ කරනු ඇත.

“මං පොරොන්දු වෙනව ආන්ටි. ඒ ගැන බය වෙන්න එපා. ඒත් ආන්ටිට ඉක්මන්ට සනීප වෙනව. බය වෙන්නැතුව ඉන්න”

“දැං ඉතිං මට බයක් නෑ පුතා”

මහත් සැනසීමක් වත්සලා ට දැනිණ. පළිඟු දැවුණේ ඒ හා සමාන ම වූ ගින්දරකිනි. මෙහෙම ව්‍යාජයක වත්සලා ව තබන්නට වීම ගැන ඕ දෙවියන් ගෙන් සමාව අයැද සිටියා ය. මේ වෙලාවේ කෑ ගසා හඬන්න බැරි වීම ගැන ද ඕ හදවතින් තැවෙමින් සිටියා ය.

“පුංචා කිව්ව දේ ගැන වද වෙන්න එපා”

රෝහලෙන් පිටතට පැමිණි විගස පළිඟු මිමිණුවා ය. ඇය කතා කරන්නේ කුමක් ගැන දැයි කිසල් හොඳට ම දැන උන්නේ ය.

“එයා අපි ගැන වැරදියටනෙ හිතං ඉන්නෙ”

පළිඟු ගේ මුහුණේ වන දුක, වේදනාව, භීතිය හා අවිනිශ්චිතකම ගැන හැඟුමන් මිශ්‍රණය කිසල් ට මැනවින් දැකිය හැකි විය. මේ වෙලාවේ ඇය තවත් පාරන්නේ නැති ව සන්සුන් ව හැසිරිය යුතු යයි ඔහු වහා තීරණය කළේ ය.

“ඇත්තටම ආන්ටි ඉක්මනට සනීප වෙයි”

“හ්ම්”

හදවත තුළ පිරී පැවති අපමණ ශෝක පිරිපත සමුදාය නිහඩ සුසුමක තවරා උගුරෙන් බැහැර කරන්නට පළිඟු රහසිගත උත්සාහයක් ගත්තා ය.

“ඔයා උදේ ඉඳලම කෑම කාල නැතුව ඇති නේද…”

“මට කන්න බෑ කිසල්”

“කන්න බෑ කියල බෑනෙ”

හිස සලමින් පළිඟු යළිත් සිය අදහස ස්ථිර කළා ය.

“දැං ඔයා මොකද්ද කරන්නෙ…කැම්පස් එකට යනවද…”

“නෑ. ගියාට හිත එක තැනක තියං ලෙක්චර්ස් වල ඉන්න මට බැරි වෙයි”

“එහෙනං දැං ගෙදර යනවද…”

“ඔයා කැම්පස් එකට යන්නකො”

“මං ගැන නෙවෙයි. ඔයා දැං මොකද්ද කරන්නෙ…”

“හවස ආයෙ පුංචා බලන්න එන්න ඕනනෙ. මං මේ හරියට වෙලා ඉන්නව”

කිසල් මොහොතකට වටේට ඇස් ගෙන ගියේ ය. කළුබෝවිල රෝහල අවට පරිශ්‍රය ඇවිස්සුන කඩි ගුලක් සරි වේ. හැම ඇසක ම තියෙන්නේ තිගැස්මකි. හැම හිතක ම තියෙන්නේ අවිනිශ්චිත බවකි. මේ හිත හූරා දමන ඉසව්වේ ඇය තනි කොට දමා යන්නේ කෙසේද?

“එහෙනං මං ඉන්නං”

ඔහු ඉතා හෙමිහිට කීවේ ය. පළිඟු වහා ඒ මූණ දෙස බැලුවා ය. ඔහු ඇයට අනුකම්පා කරනවා ද? පළිඟු ට කාගේවත් අනුකම්පාවක් ඕනේ ම නැත. අනුකම්පාව කියන්නේ විෂකුරු සර්පයෙක් වැනි ව ඇයට දැනේ. 

“එපා. මට ඉන්න පුළුවන්”

ඇය වහා කීවා ය.

“ඔයාගෙ ලෙක්චර්ස් මිස් කර ගන්න එපා”

පළිඟු කිසල් ගේ හිත නො බිඳෙනු වස් ඒ වාක්‍ය කොටස ද එක් කළා ය.

“එහෙනං උතුම්ට එන්න කියන්නං”

පපුවට පිහියෙන් ඇන්නා නම් මීට වඩා හොඳයි කියා පළිඟු ට සිතිණි. ඒ සිතිවිල්ල අතරේ ම ඇගේ ඇස් විදුලි වේගයෙන් කිසල් ගේ ඇස් වල හැපිණි. මුවින් කියා ගත නොහැකි කතා බොහොමයක් ඇගේ ඇස් වල තියෙන්නට ඇත. ඉන් පසු දෙදෙනා අතර වූයේ මඳ නිහැඬියාවකි.  නිහැඬියාව කියන දේ මේ තරම් බරක් ව හදවතට දැනෙනවා යි පළිඟු ඉගෙන ගත් අවස්ථාව මෙය වේ. 

ඔහු හෙමිහිට ඇවිද ගියේ සිය යතුරු පැදිය වෙත ය. හෙල්මට් එකක් ගෙන පළිඟු වෙත පාත්දී ඈ එය ගත්තේත් කිසිදු විරෝධයකින් හෝ ප්‍රශ්න කිරීමකින් තොර ව යන්ත්‍රානුසාරයෙන් සේ ය. නුගේගොඩ දෙසට ධාවනය වූ බයිසිකලය, නාවල පාරට හැරී උද්‍යානය අසල නැවතිණ.

“ටික වෙලාවක් මෙතනට වෙලා ඉඳල මොනාහරි කන්න ඕනෙ. බඩගින්නෙ හිටියට මුකුත් වෙනස් වෙන්නෙ නෑනෙ”

ඔහු තීන්දු තීරණ ගනිමින් සිටියේ ය. පළිඟු ඔහේ බලා සිටියා පමණකි. උද්‍යාන බංකුවක වාඩි වී ඈ කල්පනා කළේ වත්සලා ගැන ම ය. පුංචා වරින් වර පැමිණිලි කළ උදරාබාධය ගැන ඇය නැතත් තමන් හෝ මීට වඩා සැලකිලිමත් වෙන්නට තිබුණා යන පසුතැවීමෙන් මිදීම පහසු වූයේ නැත. කිසල් ගේ වදය නිසා ඕ සැන්ඩ්විච් එකක් පමණක් කුසට දමා ගෙන වතුර බෝතලයක් ම බීවා ය. 

“පන්සලකට යංද…”

හදිසියේ ම හිතට ආ අදහසට අවනත වෙමින් ඇය කිසල් විමසුවා ය. ඔහු ප්‍රතික්ෂේප කළත් තනිව හෝ ඈ ඒ ගමන යන බව දන්නා ඔහු, පළිඟු ව නුගේගොඩ නගර මධ්‍යයේ වන විහාරස්ථානය වෙත කැටිව ගියේ ය. බෝ මළුවේ හිඳ ඕ බෝ වෙලාවක් බෝධිය දෙස බලා උන්නා ය. පළිඟු ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය.

“පුංචා…ඇයි…ඔයාට ආයෙ අමාරුද..”

කලබලයෙනුත් බියෙනුත් යුවතිය හැකිළී ගොස් සිටියා ය.

“ඇපෙන්ඩිසයිටිස්ලු පළිඟු. දැන් තමයි කිව්වෙ. කෑම කන්නැතුව ඉන්න කිව්ව. හවසට ඔපරේෂන් එකට ගන්නවලු”

පළිඟු සැනසුම් සුසුමක් හෙළුවා ය.

“හම්මෝ…දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ”

“මං දන්නවනෙ…චණ්ඩිය වගේ පෙන්නගෙන හිටියට උඹ ඉන්නෙ පරාන බයෙං කියල. මටත් දැං සැනසීමයි. කොහෙද ඉන්නෙ…”

“නුගේගොඩ පුංචා. පන්සලේ”

“කිසල් ඉන්නවද…”

“හ්ම්…ඉන්නව. යන්න කිව්වට එයා ගියෙ නෑ”

ජීවිතය විවිධාවේෂයන්ගෙන් තමන් ඉදිරියට පැමිණිය හැකි බව යුවතිය ඒත්තු ගනිමින් සිටියා ය. අන්තිම තත්පරය වන තුරා කුමක් සිදු වන්නට යන්නේ දැයි කිසිවෙකුට කිව නො හැකි ය. ඒ අභිරහසට මුහුණ දීම ජීවිතය නම් වන්නේ ය. පළිඟු කිසල් වෙතට හැරුණේ සිනාසීගෙන ය. මේ ශක්තිමත් කෙල්ල ගේ හදවත පළිඟු කැඩපතක් මෙන් පරාවර්තනය කරන කදිම සිනහවක් ඈ සතු යයි යෞවනයාට සිතෙමින් තිබිණි.

හැන්දෑවේ ලෙඩුන් බලන වෙලාවේ ඔවුන් රෝහල වෙත යත්දීත් උතුම් පිවිසුම් දොරටුව සමීපයේ සිටියේ ය.

“ආ…ඔය උතුම් ට එන්න කියල තියෙන්නෙ”

කිසල් පළිඟු ගේ වත දෙස බලාන සිනහවකින් හිස කේ පිටුපසට කළේ ය. යුවතිය නෙතු විදා බලා සිටියා ය. සැබවින් උතුම් ට එහි පැමිණෙන්නැයි පණිවිඩය යැව්වේ පළිඟු නොව කිසල් ම ය. ඔහු එහි පැමිණිම ඇයට සැහැල්ලුවක් හෝ සැනසීමක් දනවනවා නම්, එසේ නො වනු වස් මග ඇහිරීම වූ කලී නො කළ යුත්තකැයි කිසල් ක්ෂණික ව තීරණය කොට තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles