කියවන්න පොතක් – The Carolaine Years

ලෝරා ඉන්ගල්ස් පොත් කියවන අපි බොහෝ ආදරය කරන චරිතයක්. ඒ Little house කතා මාලාව නිසා.ඒත් ලෝරාට තරමටම අපි ලෝරාගේ අම්මා වූ කැරොලයින්ටත් ආදරය කරනවා. මේ කැරොලයින්ගේ කතා මාලාවත් අපට කියවන්නට ලැබීම අපූරුයි නේද?

කැරොලයින් ක්විනර් උපදින්නේ 1839 දී. චාලට් සහ හෙන්රි ක්විනර්ගේ දියණියක් වන ඇය ජෝසප්, හෙන්රි,මාර්තා,එලිසා සහ තෝමස් යන සහෝදර සහෝදරියන් සමඟ ඇතිදැඩි වන කතාන්දරය The Carolaine Years කතා මාලාවට පදනම් වී තිබෙනවා.

  • Little House in Brookfield
  • Little Town at the Crossroads
  • Little Clearing in the Woods
  • On Top of Concord Hill

යන කෘති හතර මාරියා ඩී විල්ක්ස් විසින් රචනා කර තිබෙනවා.

  • Across the Rolling River
  • Little City by the Lake
  • Little House of Their Own

කෘති ත්‍රිත්වය ලියවෙන්නේ සීලියා විල්කින්ස් විසින්.

සුප්‍රකට ලිට්ල් හවුස් පොත් මාලාව ලියන්නට කලින් ලෝරා ඉන්ගල්ස් ඇගේ මව වූ කැරොලයින්ගේ අක්කා වූ මාර්තාට ලිපියක් යවමින් අම්මාගේ කුඩා කාලය පිළිබඳ විස්තර විමසා තිබෙනවා.මාර්තා ලෝරාට ලියුම් ලියමින් 1840- 1850 අතර කාලයේ ක්විනර් පවුලේ මතක සටහන් එවනවා. කැරොලයින් ඉයර්ස් කතා මාලාව ලියැවෙන්නේ ඒ ලිපි පදනම් කරගෙනයි.

19 සියවසේ ඇමරිකාවේ සමාජ සංස්කෘතික ජීවිතය මනාව පිළිබිඹු කරන යොවුන් නවකතා මාලාවක් වන කැරොලයින් ඉයර්ස් කත්‍යානා අමරසිංහ මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා.

“ගෙයක් කොතරම් ලොකු වුණත්, කුඩා වුවත් කමක් නැත.මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් – කොන්කෝඩ් හි දුර ඈතක තිබුණත් කමක් නැත. පැරණි කියමනක එන්නාක් මෙන් ගෙදර යනු හදවත තිබෙන තැන ය.කැරලොයින්, සිය ආත්මයෙහි ගැඹුරු ම තැනින් , ඇගේ හදවත හැමදාම තිබෙනු ඇත්තේ චාල්ස් ඉන්ගල්ස් සමඟ බව දැන සිටියා ය!”

(දෙහදක කුඩා නිවහන- පිටු අංක 254)

කුමන ශත වර්ෂයක ජීවත් වුවද ගැහැනු ළමයෙකුගේ හැඟීම්, ඇය ජීවිතය සහ ආදරය, පවුල දෙස බලන ආකාරයේ විශාල වෙනසක් නැහැ.විස්කොන්සින්හි බෘක්ෆිල්ඩ් ගමේ ඉපිද පියා අහිමි දියණියක් ව වැඩෙන කැරොලයින් ඉන්පසු විස්කොන්සින්හි කොන්කෝඩ් නගරයේ දී චාල්ස් ඉන්ගල්ස් හා විවාහ වන තෙක්ම දිවෙන මේ කතා මාලාව ඔබ කියවිය යුතුම පොත් පෙළක්.

ඇමරිකානු මුල් පදිංචිකරුවන් අතර ප්‍රකටම පවුලක් ගැන කියවමින් ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න!

Related Articles

Don't Miss


Latest Articles