උදෑසන ආහාරය සදහා පිළියෙල කරගත හැකි රසවත් තෝසේ රෙසිපි 5 ක්.

තෝසේ කන්න ඔබ කවුරුත් ප්‍රිය කරනවා ඇති.මේ ලිපියෙන් ඔබට කියන්නේ ලේසියෙන්ම වගේම ඉතාම රසවත් ආකාර කීපයකට තෝසෙ හදාගන්නා ආකාරය ගැනයි

උදෑසන හෝ රාත්‍රී ආහාරය සඳහා ඔබට සකසා ගන්න පුලුවන් තෝසේ වර්ග මොනවද කියලා අද අපි බලමු.විවිධ රස වලින් යුතු මෙම තෝසේ වර්ග ඔබේ කෑම මේසයට වෙනස්ම රසයක් එකතු කරාවි.

සාමාන්‍ය තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කප් 3
  • උඳු ඇට කප් 1
  • ලුණු තේ හැන්දක්
  • උළු හාල් තේ හැන්දක්

සකසා ගන්නා ආකාරය

  • හාල්, උඳු සහ උළු හාල් වෙන වෙනම රැයක් හෝ අවම පැය 6ක් පෙඟෙන්න තබා ගන්න
  • උළුහාල් ටික උඳු වලටම එක් කර උඳු සහ හාල් වෙන වෙනම තුනී බැටර් එකක් වන ලෙස යන්තම් වතුර එක් කර වෙන වෙනම අඹරාගෙන එකට මිශ්‍ර කරගන්න
  • මේ සඳහා පිපුම්කාරක ලෙස කැමති නම් යීස්ට් තේ හැඳි 1/2ක් යොදාගන්න පුළුවන්. යීස්ට් යොදනවා නම් පැය තුනක් පිපෙන්න තබා තෝසේ සාදාගන්න
  • එසේ නැත්නම් උඳු අඹරන විට එයටම හීල් බත් මිටක් එක් කර අඹරාගන්න. (පිපුම්කාරක ලෙස බත් යොදාගන්නවා නම් පැය 6ක් පිපෙන්න තබාගන්න.)
  • මේ කිසිවක් භාවිතා නොකර සාමාන්‍ය ලෙස පිපෙන්නට තබනවා නම් පැය 12ක් පිපෙන්න තබන්න
  • නන්ස්ටික් පෑන් එකකට යන්තම් තෙල් ආලේප කර ලුණු එක් කරගත් මිශ්‍රණය දමා රවුමට තුනී කර තෝසේ සාදාගන්න

මුං තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං ඇට කෝප්ප 2
  • හාල් පිටි මේස හැඳි 4
  • කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 2
  • කුඩාවට කොත්තමල්ලි කොල ටිකක්
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  • පෙරුම්කායම් ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්)

සකසා ගන්නා ආකාරය

  • මුං ඇට සෝදා රැයක් පෙඟෙන්න තබාගන්න.
  • පෙඟෙන්න තබාගත් මුං ඇට වල වතුර බේරා එයට හාල් පිටි හැර අනෙක් සියල්ලම එක් කර හොඳින් අඹරාගන්න
  • මෘදු බැටර් එකක් ලෙස අඹරාගෙන එයට හාල්පිටි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න
  • ගිතෙල් තවරාගත් තැටියක තෝසේ සාදාගන්න

රුලං තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං කෝප්ප 1
  • හාල් පිටි කෝප්ප 1
  • පාන් පිටි කෝප්ප 1/2
  • අබ තේ හැන්දක්
  • සූදුරු තේ හැන්දක්
  • චොප් කරගත් අමු මිරිස් කරල් 2ක්
  • හොඳින් තලාගත් ඉඟුරු තේ හැන්දක්
  • කරපිංචා ඉත්තක කොළ
  • කුඩාවට කපාගත් ළූණු පොඩි ගෙඩියක්
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • රස අනුව ලුණු
  • ගිතෙල් ස්වල්පයක් ටිකක්
  • කුඩාවට කපාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්

සකසා ගන්නා ආකාරය

  • පිටි වර්ග තුනට රස අනුව ලුණු එක් කර මෘදු බැටර් එකක් වතුර එක් කර සාදාගෙන විනාඩි 15ක් පමණ වසා තබන්න.
  • ගිතෙල් ටිකක් වෙනම භාජනයක රත් වෙන්න තබන්න
  • එයට කොත්තමල්ලි කොල හැර අනෙක් සියල්ල පිලිවෙලින් එක් කර තෙම්පරාදු කරගන්න
  • තෙම්පරාදුව නිවෙන්නට හැර එය විනාඩි 15ක් පමණ පිපෙන්නට තබාගත් තෝසේ මිශ්‍රණයට එකතු කර එයටම කොත්තමල්ලි කොලද එකතු කර තෝසේ සාදාගන්න.

මී කිරි රසැති තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කෝප්ප 1
  • හබල පෙති කෝප්ප 1/2
  • උඳු ඇට මේස හැඳි 2
  • උළු හාල් තේ හැඳි 1/2
  • මී කිරි කප් 1/2
  • සීනි තේ හැඳි 1/2
  • ලුණු ස්වල්පයක්

සකසා ගන්නා ආකාරය

  • හාල්, හබල පෙති සහ උළුහාල් හොඳින් සෝදා පැය 6ක් පමණ පෙඟෙන්නට තබාගන්න
  • මේ සියල්ලේ වතුර හොඳින් බේරා මී කිරි සහ වතුර කෝප්පය එකතු කර හොඳින් අඹරාගන්න
  • සීනි සහ ලුණු එකතු කර හොඳින් වසා රැයක් තබන්න
  • ගිතෙල් තවරා ගත් තැටියක සාමාන්‍ය පරිදි තෝසේ පුළුස්සා ගන්න

චීස් තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය තෝසෙ බැටර් එකෙන් කප් 1 1/2
  • කුඩාවට කපාගත් ළූණු ගෙඩියක්
  • කුඩාවට කපාගත් තක්කලි ගෙඩියක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ගාගත් මොසරැල්ලා හෝ ප්‍රොසෙස්ඩ් චීස් කප් 1
  • වියළි ඔරිගානෝ ටිකක් (අවශ්‍ය නම්)

සකසා ගන්නා ආකාරය

  • ගිතෙල් තවරා ගත් තැටියක් අඩු ගින්දරේ රත් වෙන්න තබා එයට තෝසේ මිශ්‍රණයෙන් ටිකක් දමා තුනී කරගන්න
  • තෝසේ එකේ උඩ කොටස පිසීගෙන එන විට එයට උඩින් චොප් කරගත් ළූණු සහ තක්කලි දමා ගන්න
  • එයට උඩින් ඔරිගානෝ සහ චීස් එකතු කරගන්න
  • චීස් රත් වී උණු වෙන තුරු අඩු ගින්දරේ තබා චීස් උණු වේගෙන එන විට තෝසේ එක දෙකට මැදින් නවා මද වේලාවක් තබා ලිපෙන් ඉවතට ගන්න

Related Articles

Don't Miss


Latest Articles