පළිඟු මන්දිර – 26

මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ සමනලුන් සැරිසැරූහ. වෙල්ලෙයිකොලොම්බන් අඹ ගස කේන්ද්‍ර කර ගත් කුඩා තණ කොළ ගෙබිම පුරා අලුත් හිරු කිරණ ඉහිරී තිබුණේ වෙන කිසි දවසක නොවූ විරූ මිහිරකිනි. යතුරු පැදියෙන් බැස හෙල්මට් එක කිසල් අතට දෙන ගමන් පළිඟු සිය මුළු හදවත ම ස්තූති පූර්වක බැල්මකින් යෞවනයා ඉදිරියේ තැබුවා ය. කිසල් ඉවත බැලුවේ යුවතිය ගැන කිසිදු සැලකිල්ලක් නො දක්වමිනි.

“ඕන්නං මං පික් කරන්න එන්නං”

“අනේ එපා කිසල්. මං කැම්පස් එකට එන්නං. කරපු හැම උදව්වකටම තෑන්ක්ස්”

ඔහු යතුරුපැදිය වටයක් කරකවා හරවා ගත්තේ ය.

“පරිස්සමෙං යන්න කිසල්. අනේ තව ටිකක් හිමිං යන්න හොඳේ”

ඇය ව පිච්චියකට මායිම් නො කරමින්  හිතුවක්කාරයා ඉගිල ගියේ පවනට බඳු වේගයෙනි. සන්සුන් බැල්මෙන් එදෙස බලා උන් පළිඟු සුසුමක් හෙළාගෙන ගෙතුළට වූවා ය.

හදවත දියබුං ගසමින් ප්‍රීති සයුරක ගිලෙමින් සිටියේ ය. වාං දමන්නට හදන මිහිරි රසය කැඩපතටවත් පෙන්වන්නට පළිඟු බිය වූ තරමි. තහනම් සතුටකට වුව හදවත අවුරා පවුරු නො බැඳිය යුතු ය. නමුත් අනවසර ආදරය වූ කලී දවසක සදහට ම සැනසීම අහිමි කරන ඛේදවාචකයක් වන බව ඕ නිසැකව දැන උන්නා ය.

නමුත් පළිඟු සතුටෙන් හිටියා ය! හදවත මේ සා සාමකාමී හා සන්සුන් කරනට ප්‍රේමයට හැකි බව ඕ අත්දකිමින් සිටින්නේ දැන් ය.

එදා විශ්ව විද්‍යාලයීය දේශන අතරේදීත්, වියැකී නො යන මඳහසක් ඇගේ රතදර අතර විය.

 දහවල රෝගීන් බලන වෙලාවට පළිඟු ව එහි ගෙන යන්නට කිසල් ඉදිරිපත් වූයේ ය. යතුරු පැදිය පණ ගන්වත්දී ම අක්ෂි කඩිනමින් එතැනට දිව එතැයි දෙදෙනා ම සිතුවේ නැත.

“කිසල් ඔයා එළියට යන්නද…”

අක්ෂි විමසූයේ හදිසියෙන් වාගේ ය. කිසල් ඈ නොසලකා හරින ස්වභාවයකින් පිළිතුරු දුන්නේ ය.

“ඔව්”

“හදිස්සි වැඩකටද…”

“පළිඟුගෙ පර්සනල් වැඩකට. ඇයි…”

“නෑ. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන වූණා”

“කමක් නෑ කිසල්. මට තනියම යන්න පුළුවන්”

අක්ෂි ගේ වත ප්‍රභාමත් වූයේත් කිසල් පළිඟු ට රවමින් යතුරු පැදිය පෙරට ගත්තේත් එකට ම ය. බලාපොරොත්තු නොවූ මොහොතක පිටුපසට විසි වෙන්නට ගිය පළිඟු වහා කිසල් ගේ බඳින් අල්ලා ගත්තා ය. 

“සො…රි…”

ඒ හා සමගම එසේ මුමුණමින් යුවතිය සිය සුරත නිදහස් කර ගත්තා ය.

වැරදිකාර හැඟීමක් ඇයට වද දෙනු පළිඟු බලා සිටියා ය. තරගයක් වේ නම් ජයග්‍රාහකයෙකු හා පරාජිතයෙකු සිටිය යුතු ය. නමුත් අක්ෂි හා තමා අතර කිසිදු තරගයක් වෙතැයි පිළිගන්නට පළිඟු ට උවමනා නැත. කිසල් වූ කලී ඇය ට අයිති ව තිබි වස්තුවකි. දැන් ඔහු පළිඟු  අතට පත්ව ඇතැයි අක්ෂි සිතා උන්නද එවැන්නක් නැති බව දන්නේ පළිඟු හා කිසල් ම පමණකි. නමුත් මේ දැනෙන වරදකාර හැඟීම කුමක්ද? ඒ වූ කලී ඇයට අයිති ව තිබූ වස්තුවකට තමන් විසින් පෙම් කරන්නට පටන් ගැනීම නිසා උපන් එකකැයි ඇය වටහා ගත්තා ය.

සමහර වැරදි අපි දැන දැන ම කරන්නෙමු. කිසල් ට රහසින් වුව පෙම් කිරීම වරදක් වුණත්, ඒ වරදින් මිදෙන හැටියක් යුවතිය දැන උන්නේ නැත.

රෝහලෙන් ගෙදර ආවත්, වත්සලා සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයට පත් ව නොසිටියා ය. සැත්කම් කැපුම් තුවාල සුව වීමට නියමිත ව තිබුණත් දිගින් දිගට ම ගෙදරට වී සිටිය නො හැකි වූයේ ය. එබැවින් ඕ ඉක්මනින් ම අවන්හල යළි  විවෘත කරන්නට කටයුතු කළා ය. දේශන නොමැති වෙලාවල පළිඟු එහි විත් වැඩ කරන්නට කතිකා කර ගත්තා ය.

“හරි ඉතිං මං ඇවිත් උදව් කරන්නං. යාළුවෙක්ට බැරිද යාළුවෙක් වෙනුවෙං එහෙම දෙයක් කරන්න…”

මේ ගැන දැනගත් ගමන් වර්ෂා කීවා ය. නමුත් පළිඟු ට ඊට එකඟ විය හැකි ව තිබුණේ නැත.

“ඒක කරන්න බෑ වර්ෂා. අනිත් හැම දේම කොහොම වුණත් මොරීන් මැඩම් නිසා එහෙම කරන්න බෑ”

නමුත් ඇය ව නතර කරන්නට පළිඟු දැන සිටියේ නැත. අවන්හල යළි විවෘත කළ දවසේ උදෙන් ම එහි ආ වර්ෂා, පුරුදු කාරියක සේ එහි කටයුතු කරන්නට වූවා ය. විවේකයේ දී පළිඟු එහි එන විට වර්ෂා පමණකුදු නොව උතුම් ද අවන්හලේ වැඩ ට උදව් කරමින් සිටිනු දැකිය හැකි විය.

“කොහොමද…මං ආව විතරයි පේස්ට්‍රි ශොප් එකට කොල්ලො පිරුණා. බිස්නස් වැඩි කර ගන්නනං ලස්සන ගෑනු ළමයෙක්ව එතනිං තියාගන්න ඕනෙ”

වර්ෂා සිනා සී කීවා ය.

“ඔයා නිසා නෙවෙයි මං ආව නිසයි මේ වෙනස. පේන්නැද්ද කෙල්ලො ටික…දැං ඇතුළෙ කැන්ටීන් එකේ එක කෙල්ලෙක්වත් නැතුව ඇති”

ඔවුන් දෙදෙනා ගේ ම ඇස් වල දැන් අමුතු දීප්තියක් ඇතැයි පළිඟු සිතුවා ය. ඒ ආදරයේ දීප්තිය විය නො හැකි ද? ඔවුන් මේ සිටින්නේ ඉරණම විසින් සිහිපත් කොට සොයා දෙනු ලැබූ ආත්මීය සහකරුවා ඉදිරියේ විය හැකි ය. ඔහු ව හෝ ඇය ව හඳුනා ගැනීමෙන් පස්සේ ඇස් වල ඒ දීප්තිය තැවරෙනවා විය හැකි ය. කිසිදු ඉඟියක් ඔවුන් විසින් සපයනු නො ලැබූවත්, ආදරවන්තයන් දෙදෙනෙකු හඳුනා ගන්නට කෙනෙකුට හැකි වන ජීව රසායනය එය විය යුතු ය.

“ඇත්තමයි උඹනං මැජික් කාරියක් බං”

ඈ වෙතට ආ උතුම් පළිඟු ට මුමුණා කීවේ ය. ඈ මුවග මඳහසක් පීදිණි.

“ඇයි…”

“ඇයි කියන්නෙ….අපි ඔක්කොමලවම කණපිට හරවනවනෙ. ඒ ගමන වර්ෂා උඹේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙලා. යකෝ මේව ප්ලෑන්…මාස්ටර් ප්ලෑන්”

සේ සියල්ල දෛවයේ සැලසුම් විය හැකි ය. මේ මුණගැස්වීම ඉරණම විසින් කලින් සිට ම දැන ගෙන සැලසුම් කළ ඒවා විය හැකි ය. නමුත් ඒ සැලසුම් වලට තමන් ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පළිඟු දැන සිටියා ය. ඇයත් ඒ සැලසුම් වල කොටසක් කර ගන්නට ඉරණම කටයුතු කළා පමණකි.

“මොනා වුණත් ඔය දෙන්නව ඔහොම දකිනකොට ආස හිතෙනව”

පළිඟු උතුම් ට කීවේ සිනහ වෙමිනි.

“මොකක්…”

“ඇත්ත. එයා සමහර දේවල් හරියටම දන්නව”

“කවුද…”

“ඉරණම”

“අනේ මේ දොඩවන්නැතුව හිටහං”

යුවතිය සිනහවෙන් ම පාර බලත්දී ය දුටුවේ. කිසල් ඔවුන් දෙදෙනා වෙත ම දැල්වී ගත් නෙතින් අවන්හල් දොරටුව ළඟ හිටියේ ය. ඈ දකිත්දීම ඔහු නො දුටුවා සේ ඇතුලු වූයේ ය. ඒ මූණේ එක සිනහ බිංදුවක් හෝ ඇත්තේ නැත. පළිඟු ගේ මූණේ වූ සිනහවත් හෙමිහිට තුනී වී වියැකී අතුරුදන් විය. ඇය හෙමිහිට ඔහු ට ලං වූවා ය.

“ඔයාට තේ එකක් හදන්නද කිසල්…”

උත්තරයක් දෙනු තබා ඇදෙස හැරී බලන්නට වුව මොළොක් නොවූ හෙතෙම අඩියට දෙකට ශීතකරණයට ලං ව බීම බෝතලයක් ගත්තේ ය. එහි මූඩිය ගැලවෙන්නටත්, බීම ටික කිසල් ගේ උගුරට වැක්කෙරෙන්නටත් ගත වූයේ තත්පර ගණනක සුළු කාලයකි. පළිඟු ඒ තත්පර ගණන තුළ සිහි එළවා ගනිමින් සිටියා ය.

“කියපුදෙංකො ආයෙත් ගෑස් කියල. බලන්නෑ ඇත්තමයි පැත්ත පලාතක් මං…”

කීවා නොව ඈ එහෙම සිතුවා පමණකි.

“උතුම් සෑහෙන්න මහන්සි වෙනව නේ ඔයා වෙනුවෙං…”

කිසල් සිය හැඟීම් යන්තම් හෝ වචන වල තැවරූයේ අවන්හලේ සිට විශ්ව විද්‍යාලය තෙක් ඇවිදිත්දී ය. ඒ වෙලාවේ සිය ජංගම දුරකතනය අවන්හලේ අමතක වී ආ උතුම් එය ගන්නට නැවත දිව යමින් හිටියේ ය. පළිඟු කිසල් දෙස එක එල්ලේ බැලුවා ය.  ඒ නෙත් සර පහර විඳගන්නට තරම් ශක්තියක් නැතිවා සේ දැනුණත් කිසල් පැරදෙන්නට සූදානම් වූයේත් නැත. අන්තිමට ඉවත බලන්නට සිදු වූයේ පළිඟු ට ම ය. කිසල් ගේ දෙතොල් මත ජයග්‍රාහී මඳහසක් ඇඳිණි.

“එහෙම තමයි හොඳ යාළුවො. වර්ෂාත් මහන්සි වෙන්නෙ නිකං ඉන්න බැරුව නෙවෙයිනෙ. යාළුකම කියන්නෙ ඒකට. සමහරුන්ට තේරුන්නැති වුණාට”

“නෑ අපිට හොඳට තේරෙනව”

“මොනාද…”

පළිඟු කැත්තට පොල්ල සේ ඇසුවා ය.

“ඒ යාළුකම මොකද්ද කියල”

ඔහු දැවී හළු වන්නට තරම් බැල්මකින් යුවතිය ඔහු ට රැව්වා ය. මේ හිතුවක්කාරයා හිතන්නේ ම නුහුරට ය. ඔහු ගේ හදවතේ තෙතමනයක් කියා දෙයක් ඇත්තේ ම නැත්ද?

“දන්නව…ඉටිගෙඩිය”

කියාගෙන ඈ ඔහු එහි දමා අඩියට දෙකට විශ්ව විද්‍යාලය දෙසට ගියා ය.

සමහර වෙලාවට සිදු වෙන දේවල් ගැන අප තුළ නිවැරදි අවබෝධයක් නැත. නමුත් අපි ඒ සිදු වෙන දේවල් තුළ ජීවත් වෙමු. ඒ දේවල් එක්ක ම කාලය පෙරළී යනු බලා සිටිනෙමු. ඒ දේවල් සිදු වන්නේ අපට උවමනා පරිදි නො වන්නට පුළුවන. නමුත් ඒවා වෙනස් කිරීමේ ශක්තියක් ද අපට නොවේ. මන්ද ඒවා සිදු වන්නේ බලවත් වූ වෙන කෙනෙකු ගේ අවශ්‍යතාව පරිදි වන නිසාවෙනි. සාමාන්‍ය වහරේ අපි එය ඉරණම කියා හඳුන්වමු. 

ඉරණම කියා දෙයක් ඇත්දැයි යමක් කමක් තේරෙන්නට පටන් ගත් කාලයේ පළිඟු සිතුවා ය. එහෙම දෙයක් ඇත්නම් එය ඇයට සැලකුවේ ඉතා නරක ආකාරයට ය. ඉරණම කියා දෙයක් නැති ය කියා සිතන්නටත් කාලයකදී ඇය උත්සාහ කළා ය. සියල්ල සිදු වන්නේ ඉබේ යයි, ඊට කිසිදු හේතුවක් නැත යයි සිතීම තුළ ඇය මහත් හිස් බවක් අත් වින්දා ය. බුද්ධ ධර්මය විෂයට උගත් කර්මය හා හේතුඵල වාදයත්, ආර්ය සත්‍යයනුත් කියන ඒවා තුළ, අපේ ඉරණම ලිවීමේදී අපේ ම ක්‍රියා කලාපයන් හා සසර පුරුදු හේතු විය නො හැකි ද යන තර්කානුකූල පැනය ඈ තුළ පැන නැගිණ. ඉරණම වූ කලී අපේ සසර ගමන තුළ අප රැස් කරන සියල්ල හා ප්‍රාර්ථනා කරන දෑ යන ඒවා එක්ව ගනු ලබන තීන්දුවකැයි දැන් ඇය නිගමනයකට එළඹ තියේ. අප ට මතක නැතිවාට සසරේ දී අප පුහුණු කළ ද, ආශා කළ ද, ප්‍රාර්ථනා කළ ද, රැස් කළ ද සියල්ල සොබා දහමට මතක තියේ.

“මං මේ කල්පනා කළේ පළිඟුවො…”

කියාගෙන ඇවිත් වත්සලා අඹ ගහ යට බංකුවේ, පළිඟු ට දකුණු පැත්තෙන් වූ ඉඩෙහි අසුන් ගත්තා ය. පළිඟු යන්තම් හිස හරවා වත්සලා දෙස බැලුවා ය.

“ඒ අයියයි නංගියි දෙන්නම හරි පුදුමයි. උඹට පණ ඇරගෙන. ඒක වාසනාවක්. ලේසියෙං කෙනෙක්ට ලැබෙන්නැති”

පළිඟු ගේ උගුරේ රිදීමක් ඇති විය. වත්සලා දන්නා දේවලට වඩා නො දන්නා දේ වල බර වැඩි ය. එක අතකට දැන් ම ඒවා ගැන කතා කරන්නට නොයා ඉන්න තරමට හොඳ ය. කල් ඇති ව සැලසුම් හදනවාට වඩා, ඉරණමේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නට හැර බලා ඉන්නා එක හොඳ ය. 

“පුංචා”

“ම්…”

“ඔයා කිව්ව නේද බාප්ප නැති වුණාට පස්සෙ කෙනෙක්ට ආදරේ කළා කියල…ආදරේ කසාදෙකිංම කෙලවර වෙන්න ඕන නෑ කියල…”

“ඇයි ඉතිං දැං ඒක…”

“පුංචා”

“ම්….”

“මට හිතෙනව මාත් එහෙම කරයි කියල…ඔයා වගේ…ආදරේ කියන්නෙ අයිතිකර ගන්නෙක ම නෙවෙයිනෙ. ජීවිතේ ගමනෙදි ඔයාගෙ පැත්තකිං මං ඉඳියි…මගෙ පැත්තකිං ඔයා ඉඳියි…”

“මොනාද බං කියන මූසල කතා…ඇයි එහෙම කියන්නෙ…මොකද්ද දැං වෙලා තියෙන්නෙ…”

“මුකුත් වුණාට නෙවෙයි ඉතිං…”

“ඔහොම යන්න දීපංකො. මං දවසක කිසල්ගෙ අම්ම තාත්ත එක්ක කතා කරන්නං. දෙන්නෙක්ට එකතු වෙන්න දෙනනටම එකම දේවල් තියෙන්න ඕන නෑ බං. එක්කෙනෙකුට නැති දේවල් අනිත් එක්කෙනාට තියෙන්නයි ඕනෙ. කිසල්ලට සල්ලි ඇති. ඒත් සල්ලි වලට ගන්න බැරි කොච්චර දේවල් උඹට තියනවද…ඕව ගැන දැංම දුරට දිගට හිතන්නෙ නැතුව හිටපල්ල. එහෙම වුණාම මේ මොහොතෙ සතුටත් නැති වෙලා යන එකයි වෙන්නෙ”

කියාගෙන වත්සලා බංකුව මතින් නැගී සිටියා ය. නමුත් මතුපිටින් නො පෙන්වූ අභ්‍යන්තර තුවාලයක් අලුතෙන් පෑරී රිදෙන බවක් ඇයට දැනුණේ ය. වත්සලා යහනේ වැතිරී ජංගම දුරකතනය අතට ගත්තා ය. ‘ඔයා හොඳින්ද’ යන කෙටි පණිවිඩය ලියූ ඕ එය යවනවාද නැද්ද යන දෙගිඩියාවේ මොහොතක් තිරය දෙස බලා උන්නා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles