පළිඟු මන්දිර – 28

1
468

ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල් තලා වල විය. ඇස් මායින් කළු ඉරි වලින් සීමා සලකුණු කොට තිබිණි. හිස් මුදුණේ අව් කණ්ණාඩි යුලගය රැඳී තිබුණේ ය. ඒ සියල්ල කාලයක් තිස්සේ ක්‍රමික ව පුරුදු පුහුණු කිරීමෙන් සාමාන්‍ය බවට පත් ව තිබූ ඒවා ය. මොරින් සිය ඉක්මන් ගමනින් අවන්හල තුළට විත් පිටතට ගෙන යාම සඳහා කෙටි කෑමක් ඇනවුම් කළා ය. ඒ ඇනවුම පිළිගෙන වහා එය සූදානම් කළේ වර්ෂා ය. ඒ අතරේ මොරින් සිය ඉවසිල්ල උර ගා බලමින්, තරුණ මුහුණු අතරේ නෙත් දිවවූවා ය. ඇගේ සිහින් දෙතොල් මත වූ මඳහස, හඬන්නට බැරි කමට නොව කේන්ති ගෙන කෑ ගසා බණින්නට බැරි කමට නගා ගත් එකකි.

“අපේ ළමයි…බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකේ ප්‍රැක්ටිකල්ස් කරන්නෙ මෙහෙ වගේ…”

කෝපය සඟවා ගත් සිනහවෙන් ම එසේ කී ඕ, වර්ෂා පිළිගැන්වූ ඇනවුම සහිත මල්ල උදුරා ගෙන වාගේ නික්ම ගියා ය. ඒ අතරේ ම පළිඟු ගේ රුව හොඳින් සිය දෑස් මත සිත්තම් කර ගත්තා ය.

මොරින් මෙහි පැමිණියේ අක්ෂි ගේ උසිගැන්වීමට ය. පෙර දා වර්ෂා ද අවන්හලේ වැඩ කරමින් සිටිනු දුටු අක්ෂි ගේ හදවත ගිනි ඇවිළිණි. වර්ෂා සමග ඇයි හොඳයියක් පවත්වා නැත ද අක්ෂි ඕ දැන උන්නා ය. ඒ ඔවුන් දෙදෙනා ම එක ම පාසලක උගත් බැවිනි. අක්ෂි කිසල් ගේ පෙම්වතිය බව දැනගත් පසු වුව ඈ සමග මිතුරු ඇසුරකට යන සූදානමක් වර්ෂා වෙත වූයේ නැත. අක්ෂි ගේ සාටෝපී සෙල්ලක්කාර බටහිර ඌරුව, අරගලකාරී වර්ෂා ගේ සිත පැහැර ගන්නට සමත් නොවිණි. මේ හේතුව මත අක්ෂි කවදත් හිතුවේ වර්ෂා ඇය ට නො කැමති බවයි. එනිසා ම වර්ෂා පළිඟු ට මේ සා සමීප වීම ඇයට ඉවසා ගත නො හැක්කක් විය. පළි ගන්නට හොඳ ම විදිහ මොරින් ගේ උද්දච්චකම පාවිච්චි කිරීම බව ඇය දැන සිටියා ය.

ගෙදර ගිය ගමන් මොරින් විසින් අල්ලා ගනු ලැබූයේ කිසල් ව නොව වර්ෂා ව ය.

“මොන ලැජ්ජ නැති කමක්ද ළමයො මේ…කවද ඉඳලද ඔයා අර පේස්ට්‍රි ශොප් එකේ වැඩ කරන්නෙ…”

වර්ෂා මඳහසක් නගා ගත්තා ය.

“වැඩ කරනව නෙවෙයි අම්මි. උදව් කරනව. පළිඟු මගෙ යාළුව. ඒ ආන්ටිට සනීප නැති නිසා මං ගියා උදව් කරන්න”

“එතකොට එදා රෑ ඔයා මෙහෙ නතර කර ගත්තෙ…”

“ඔව් ඒ පළිඟු තමයි”

මොරින් නොසන්සුන්කමින් කැළඹී සිටියා ය. කිසල් සමග පටලැවිල්ලක් ඇති කර ගෙන තිබෙන ඒ ගෑනු ළමයා මේ විදිහට වර්ෂා වත් රවටා ගෙන ගෙදරටත් රිංගා ගැනීම ගැන මොරින් තුළ ඇති වූයේ බලවත් අප්‍රසාදයකි. 

“මහ කපටි කෙල්ලෙක්”

“ඊයා අම්මි. එහෙම කියන්න එපා. ඒ ළමය කපටි නෑ. ඒ ළමය අවංකයි. බොරු රංගන නෑ. පොළොවෙ පය ගහල ජීවත් වෙන ළමයෙක්”

“එයා ඔයාවත් රවට්ටගෙන”

“ඔයාවත් කිව්වෙ…තව කාවද රවට්ටගෙන තියෙන්නෙ…”

“ඔයා දන්නෙම නෑ වගේනෙ කතා කරන්නෙ. අයියව චාටුවෙන් රවට්ටගෙන කැම්පස් එකට ස්කොල් එකකුත් ගත්තා. අපේ කිසල්ට ගැලපෙන කෙනෙක්ද එයා…අපේ පවුල් වලට ගැලපෙන කෙනෙක්ද එයා…”

වර්ෂා සාවඥ සිනහවක් නගා ගත්තා ය. ‘ඒ කෙල්ල ඔයාගෙ පුතාව රවට්ටගත්තා නෙවෙයි. ඔයාගෙ පුතාගෙං තමයි ඒ කෙල්ලට අසාධාරණයක් වෙලා තියෙන්නෙ. එයා එහෙම කළේ ඉගෙන ගන්න තියන උවමනාවටයි නැති බැරි කමටයි මිස කපටි කමකට නෙවෙයි’ කියා කියන්නට ඇගේ දිව නළියෑවේ ය. නමුත් වර්ෂා මේ වෙලාවේ අමාරුවෙන් මුණිවත රැක්කා ය. පළිඟු ගේ පෞද්ගලිකත්වය හෙළි කොට ඈ අපහසුවට පත් කරන්නට ඇය ට අවශ්‍ය නොවූ බැවිනි.

ඊළඟ දිනයේ මොරීන් විසින් පළිඟු ව සිය කාර්යාල කාමරය වෙත කැඳවනු ලැබුවා ය. පළිඟු එහි බියේ හදවත සලිත කරමින් තිබූ බිය නිර්භීතකමේ සළුවකින් දවටා වසා ගෙන ය.

කියවන්න :  පළිඟු මන්දිර - 2

“මැඩම් මට කතා කළේ…”

ඇය කටහඬ වෙව්ලා නො යනු වස් වග බලා ගත්තා ය. මොරීන් යුවතිය විනිවිද බැලුවේ ඈ කෙරේ සිය සිත් හි කිසිදු දයානුකම්පාවක් ඇති වෙන්නට ඉඩක් නො තබමිනි. පළිඟු ට බිම බැලිණ.

“මට හිතාගන්න පුළුවන්”

පළිඟු යළි නෙතු ඔසවා බැලුවා ය. මොරීන් ගේ ඇස් කේන්තියෙන් ද අවඥාවෙන් ද දිළිහෙමින් තිබිණ.

“වර්ෂාවත් රවට්ටගන්න පුළුවං වෙච්ච එකේ…මං කියන්නෙ මේ කිසල්ව නෙවෙයි අපේ වර්ෂාව රවට්ටගන්න පුළුවන් වෙච්ච එකේ…ඔය ළමය ලේසි පාසු ළමයෙක් නෙවෙයි”

කම්මුලකට අතුල් පහරක් වැදුණා සේ යුවතිය ක්ෂණික වේදනාවකින් මිරිකී ගියා ය. 

“ඇත්තටම ඔය ළමය සෑහෙන්න දක්ෂයි”

පළිඟු තොල් පට සපා ගත්තා ය. ජීවිතය ඇති තුරා එහෙම නින්දාවක් විඳ නැති බව ඇය ට සිහි විය. ඒ එක්ක ම අෂ්ට ලෝක ධර්මය යනුවෙන් බුදු සමයේ ඉගෙන ගත් කාරණා ඇගේ මනසේ ඇඳී යන්නට විය. ලාභ අලාභ සේම නින්දා හා අපහාස ද සම සිතින් විඳ ගන්නට තරම් අප මැදිහත් සිත් ඇත්තන්  විය යුතු ය. 

“මං කතා කළේ මේකයි. කිසල් එක්ක තියෙන සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැංම. එහෙම නැත්තං මේ දැංම මං ස්කොල් එක කෑන්සල් කරනව. ඔය ළමය තීරණේ කරන්න ස්කොල් එකද කිසල්ද කියල. මං එකක් දෙන්නං ඔයාට. හැබැයි දෙකම ලැබෙයි කියලනං හිතන්න එපා”

මෙහෙම බෝම්බයක් දෙපා මුල පුුපුරා යතැයි පළිඟු සිහිනෙනුදු සිතුවේ නැත. ඔවුන් ට මුළු ජීවිතය ම ගිවිසුමකි. කොන්දේසි සමූහයකි. 

මොරින් පිළිතුරක් අපේක්ෂාවෙන් බලා හිඳී. නමුත් නිවැරදි සිහියකින් මේ මොහොතේ කිසිදු තීන්දුවක් දිය නො හැකි ය. මන්ද තීරණ ගැනීමේ අයිතිය වන්නේ කිසල් ට වන හෙයිනි. සැබවින් ඈ තීන්දුවක් දෙනවා නම්, දැන් සිටින ප්‍රේමයෙන් හුස්ම ගන්නා පළිඟු විසින් තීන්දුවක් දෙනු ලබනවා නම්, ශිෂ්‍යත්වය තියා ගන්නට කියා ඈ මෙතනින් නික්ම යනු ඇත.  ඉස්සර හිටිය පළිඟු නම් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ඇගේ ආත්මය පවා පාවා දුන්නා ය. දැන් එහෙම හිතන්නට බැරි මන්දැයි ඇයට දැනී නො දැනී ගියේ ය. ඒ දැනීමටත් නො දැනීමටත් ඈ සිහිනයෙන් සේ බැඳී යමින් ද සිටියා ය.

“දැං ම දැනගත්තොත් මට ලේසියි. දැංම…”

යුවතිය කෙළින් මොරීන් දෙස බැලුවා ය. පළිඟු ට ඈ පෙනුණේ ඉස්සර කියවූ කතා වල උන් නපුරු මායාකාරියක සේ ය. සුරූපී කුමාරිකාවන්ට විෂ කවා නිද්‍රාවන් ට පත් කළේ ඇයයි. ඔවන් ගේ සිහින බිඳලනු වස් මායා කර්ම කළේ ඇයයි. ඔවුන් සිත් බැඳි කුමරුවන් වෙතින් ඔවුන් මුදවනු වස් කළ හැකි සියල්ල කළේ ඇයයි. 

තවත් යමක් කියන්නට හෝ අසන්නට පමා නොවූ පළිඟු හැරී දිව ගියා ය. අනිවාර්යයෙන් ඇය කිසල් වෙනුවට ශිෂ්‍යත්වය තෝරා ගන්නා බව සිතූ මොරින් ගේ කට කොනකට සිනහවක් නැගිණි.

ඇහැල මල් වැල් සුළඟට නතුව පැද්දෙමින් තිබිණි. මල් පෙති හා රේණු රැකගන්නට ඇතැම් මල් අසමත් ව ඇති බවට සලකුණු හාත්පස පැතිර තිබුණේ ය. පළිඟු බංකුව මතට වී ඉකි බිඳ බිඳ හැඬුවා ය. ඉරණම ඇතැම් අවස්ථා වල මෙහෙව් සැහැසි කමකින් හැසිරෙන්නේ මන්දැයි ඇයට වටහා ගත නො හැකි ය. කිසල් ඈ ඉදිරියට එවූයේත් ඉරණමයි. ශිෂ්‍යත්වයක් මුවාවෙන් ඇයට ඔහු සමීප කරවූයේත් ඉරණමයි. පවුලෙන් ඈ දුරස් කරවූවා සේ දැන් කිසල් ගෙන් ඈ ඈත් කරවන්නට හදන්නේත් ඉරණමයි.

“පළිඟු…ඇයි මේ…”

භෝජනාගාරය වෙත යමින් උන් කිසල් හා උතුම් ඈ බංකුවට වී හඬනු දැක නැවතුණහ. යුවතිය වහා දෑතින් කොපුල් තලා පිස කඳුළු පැල්ලම් අකා මකා දැමුවා ය.

“අ…මුකුත් නෑ…මේ..නිකං….”

කිසල් ගේ උරහිසකට තට්ටුවක් දැමූ උතුම් ඔවුන් වෙතින් නික්ම ගියේ, පෙම්වතුන් ට තනි ව කතා කරන්නට අවශ්‍ය ඇතැයි අනුමාන කිරීමෙනි. යෞවනයා පළිඟු සමීපයේ අසුන් ගත්තේ ය.

“ඇයි පළිඟු…නිකං ඔයා ඔහොම අඬන්නෑ කියල මං දන්නව. මොකද්ද වුණේ කියල මට කියන්නකො”

“ඇයි…”

ඈ අසා ගත්තේ කෙඳිරිලි හඬකිනි. ඊට දෙන්නට නිශ්චිත පිළිතුරක් ඔහු සතු ව නොතිබිණි. 

කියවන්න :  පළිඟු මන්දිර - 22

“ඔයාගෙ අම්ම මාව ඔෆිස් එකට ගෙන්නුව”

“ආ…”

“ඔයාගෙං ඈත් වුණෙ නැත්තං ස්කොල් එක කෑන්සල් කරනව කිව්ව”

එසේ කියත්දී පළිඟු ට යළි හැඬිණි. 

“හරි හරි. ස්කොල් එක කැන්සල් කරන්න මං කීයටවත් ඉඩ දෙන්නෑ. ඔයා ඒ ගැන බය වෙන්නෙපා”

කිසල් සිතුවේ ඇය තැවෙන්නේ ශිෂ්‍යත්වය අහිමි වන්නට යන එක ගැන ය කියා ය. ඈ මේ වාගේ අභියෝගයක් බාර ගත්තේ ත් එය ඇයට බෙහෙවින් වටින නිසා බව ඔහු දනී. නමුත් ඔහු ගේ ඒ ප්‍රකාශයත් එක්ක පළිඟු ගේ කඳුළු අතර මගක ගල් ගැසී ගියා සේ ය. ඇය නෙතු නගා කෙලින් ම ඒ මූණ දෙස බැලුවා ය.

“එහෙම කරන්නනං ඔයාගෙ ඇග්‍රිමන්ට් එක අකුලගන්න වෙනව”

“හ්ම්”

“ඒත්…”

“ඔයාට මේ ස්කොල් එක කොච්චර වටිනවද කියල මං දන්නව”

ඔහු කතා කරන්නේ ඈතක නෙතු නතර කර ගෙන ය. පළිඟු නෙතු පිය නො සලා ඔහු දෙස බලා ගෙන ම උන්නා ය. ශිෂ්‍යත්වය ට වඩා ඇය ට ඔහු කොයි තරම් වටිනවා ද කියා කිසල් දන්නේ නැත. ඇය දන්නවා වුණත් පළිඟු එය කොහොම ඔහු ට කියා දෙන්න ද? 

“මට ස්කොල් එක අතාරින්න පුළුවන් කිසල්. ඒත් ඔයාව නැති කර ගන්න මට බෑ” කියා කෑ ගසා හැඬීමේ දැඩි අවශ්‍යතාවයක් ඇය ට දැනිණ. නමුත් ඔහු හිතන්නේ ඇයට ශිෂ්‍යත්වය වඩා වැදගත් බවයි. එකඟතා ගිවිසුම බිඳ දමන්නට ඔහු රිසි නො වන්නේ නම්, හිස් අතින් ගෙදර යන්නට ඇයට සිදු වනු ඇති සොවින් ඈ තැවෙන බවයි.

“හරි. ඔයාට ඕන දේ මං කරන්නං”

ඔහු කතා කළේ සුසුමකිනි. ඒ සුසුම සුළි කුණාටුවක් ලෙස හැමුවා වැනි ව තිගැස්සී පළිඟු කිසල් දෙස බැලුවා ය.

“ඔයා අම්මට කියන්න අපි අතරෙ දැං අෆෙයා එකක් නෑ කියල. අපේ ඇග්‍රිමන්ට් එකත් මෙතනිං ඉවර කරමු. එතකොට ඔයාට ඉගෙන ගන්න පුළුවන්”

මුළු ලෝකය ම සිය දෙපා මුල කඩා වැටුණා සේ පළිඟු කැළඹුණා ය. ඉහළට ගත් හුස්ම පහළ හෙළා ගත නොහී, මුව ද මඳක් අයා ගෙන ඕ යෞවනයා දෙස බලා හිඳින්නට වූවා ය.

“ඔයා…ඔයා…ඇත්තටමද එහෙම කිව්වෙ…”

“ඔව්. මං හොඳ නැතුව ඇති. ඒකනෙ මේ වගේ දේකට ඔයාව පටලෝගත්තෙ. ඒත් මේ ඔපචුනිටි එක නැති කරල දාල ඔයාට අපරාදයක් කරන්න මට බෑ. එච්චරම නරක මිනිහෙක් වෙන්න මට බෑ”

මෙතැන මේ මහ පොළොවේ ම ඈ වැළලී ගියා නම් හොඳයි කියා පළිඟු ට සිතිණි. ඇගේ ඇස් වලින්, සොරොව් හැරියා සේ කඳුළු උතුරන්නට විය. නමුත් ඕ එකදු ඉකියක් හෝ නො බින්දා ය. 

හෙමිහිට බංකුව මතින් නැගිට ගත් යුවතිය හෙමිහිට ඇවිද යන්නට පටන් ගත්තා ය. නමුත් දෙපා වල කිලෝ ගණනක බරක් ගැට ගසා ඇතිවා සේ ඇය ට ඇවිද යාම අපහසු විය. කඳුළු ගඟ ඔහේ ගලා යමින් තිබිණි. අවන්හලට හෝ නොයා, විශ්ව විද්‍යාල දොරටුවෙන් නික්මුණ පළිඟු කෙළින් ම ගෙදර ගියා ය. ත්‍රීරෝද රියදුරු ට ඕ ගෙදරට යන පාර කීවේ ද පුරුද්දට මෙනි. කඳුළු ගඟ දිගට ම ගැළුවේ ය.

සියල්ල තීරණය වී තියේ. සියල්ල විසඳී තියේ. ඇයට ඕනෑ වූයේ ඉගෙන ගන්න ය. නිදහසේ එය කර ගන්නට ඔහු සියල් බැමි වලින් ඇය නිදහස් කරලූවේ ය.

ඉතින් දැන් අඬන්නේ ඇයි? පළිඟු හුදෙකලා නිවසට වී කෑ ගසා හැඬුවා ය. උගුර බැරෑඬි වී රිදුම් දෙන තුරා හැඬුවා ය. උතුම් ගෙන් පළිඟු ගේ නික්ම යාම ගැන දැනගත් වර්ෂා, පළිඟු සොයා ගෙදරට ම ආවා ය.

“ඇයි මේ…ළඟම කෙනෙක් සදහටම යන්න ගිහින් වගේනෙ ඔයා අඬන්නෙ..මොකද වුණේ පළිඟු …”

බැරෑඬි වූ උගුර යටින් ඕ සියල්ල හෙළි කළා ය. වර්ෂාට සඟවන්නට දෙයක් තමන් සන්තක නොවන බවත් පළිඟු දැන උන්නා ය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
Madhushika Vitharana
4 days ago

😥