fbpx

පළිඟු මන්දිර – 29

කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය. හදවතේ සීරුම් තුවාලයක් වනවා වැනි කීරි ගැසීමක් ඔහු ට දැනෙමින් තිබිණ. අර මකුළුවා සිය හදවත සූරා ලේ බොන්නට හදනවා ද කියාත් ඔහු සිතුවේ ය. කිසිත් නිරවුල් වූයේ නැත. නිශ්චිත වූයේත් නැත. වරින් වර නොයෙක් ආකාරයේ විකාර රූපී චිත්ත රූප කිසල් ගේ සන්තානයෙහි හොල්මන් කරමින් තිබිණි. තමන් මානසික ව්‍යාධියක ගොදුරක් වෙමින් පවතිනවාද කියාත්, ව්‍යාකූල හා පැටලිලි සහගත කල්පනා අතරේ ම යෞවනයා සිතුවේ ය.

“පිස්සෙක් වෙන්න එපා හලෝ”

කාමරයේ දොර ඇරුණේත් ඒ තර්ජනාත්මක හඬ නැගී ආවේත් එකට ම ය. නැගිට ගන්නට ක්ෂණික උත්සාහයක් ගත්තත් කිසල් හිතු තරම් එය පහසු වූයේ නැත. මේ තරම් සිරුර අප්‍රාණික වී අවසඟ ව තියෙන්නේ ඇයි කියා ඔහු හිතුවේ ය. නමුත් ඔහු ට හේතුවක් සොයා ගත නො හැකි විය.

කොට්ට පහරක් ඔහු ගේ ඇඟේ වැදුණේ ය. වර්ෂා දෑත් ඉඟ දෙපස ගසා ගෙන ඔහු ඉදිරියේ සිටගෙන සිටිනු කිසල් ට පෙනුණේ කාටූන් චරිතයක් මෙනි. යෞවනයා හී ගසක් සේ නැගී සිටියේ මෙතෙක් දැනෙමින් පැවතියා වූ සියල් දුර්වලතා සහමුලින් අමතක කරමිනි.

“කෙල්ලෙක්ට තමංගෙ ආදරේට වඩා ස්කොල් එකක් ලොකු වෙයි කියල හිතනවද…ස්කොල් එකක් නෙවෙයි වෙන මොන කෙහෙල්මලක්වත් ලොකු වෙයි කියල හිතනවද…ගෑනු ළමයෙක්ව එහෙම අන්ඩර් එස්ටිමේට් කරන කොල්ලන්ට ජීවිතේ විඳවන්න වෙන්නෙ අර අක්ෂි වගේ පොළොවෙ පය ගහල ඉන්න බැරි සීනි බෝල බෝනික්කො එක්ක තමයි”

වර්ෂා ගේ ස්වරයේ වූයේ ද්වේශයක් නොවේ. අපහාසයක් හෝ උපහාසයකි. නමුත් ඇගේ ඇස් දැවෙමින් තිබිණි. ඈ මේ විදිහට හැසිරෙන්නේ පළිඟු හා තමන් අතර වූ එකඟතා ගිවිසුම ගැන නොදැනයි කිසල් සිතුවේ ය. ඔහු මේ විදිහට ඇයව නිදහස් කරන්නට ගත් තීරණය සම්බන්ධයෙන් පළිඟු වඩාත් සතුටට පත් වනු ඇතැයි කිසල් සිතා සිටියේ ය. 

“නංගි…”

ඔහු වඩාත් හෙමිහිට කතා කළේ ය. වර්ෂා තවමත් හිටියේ ඔහු ට රවා ගත් වන ය.

“පළිඟුට මුකුත් ප්‍රශ්නයක් වෙන්නෑ දැන්. එයාගෙ ස්කොල් එකත් සේෆ්”

“කෙහෙල්මල් ස්කොල් එකක් ගැන කියෝනව ආයෙත්. අයිය. පව් ඒ කෙල්ල. මං හිතුව ඔයා එයා වෙනුවෙං මීට වඩා දෙයක් කරයි කියල. ඔයා තාම ඉන්නෙ මුලාවක. ඇස් ඇරල බලන්න අයිය. හොඳට හිතන්න අයිය. ඔයා ඔයාගෙංම වහගෙන ඉන්න ඇත්ත එතකොට ඔයා දකී. පළිඟු ගෙ ඇස් වල මෙච්චර කල් දැක්කෙ නැති දේවලුත් එතකොට ඔයා දකී”

එපමණක් කී යුවතිය කිසල් ගේ කාමරයෙන් නික්ම ගියා ය. ඔහු යළිත් යහන මත පෙරළුණේ ය.

යකා ගේ කම්මලක් සේ හිත අවුල් වී තියේ. වර්ෂා කියනා ලෙසින් ඔහු හිතේ හිර කර ගෙන ඉන්නා හැඟීම කුමක්දැයි නිරවුල් කර ගන්නට කිසල් ට උවමනා ය. නමුත් සියල්ල වන්නේ පැටළුම් ජාලයක් ඇතුළේ ය. යහන මත හිඳගත් කිසල් කම්මුල් දෙක දෝතෙහි හොවා ගෙන කල්පනා කරන්නට පටන් ගත්තේ ය.

පසු දා පළිඟු විශ්ව විද්‍යාලයට පැමිණියේ විඩා පත් ගත සිත ඇත්තියක විලසිනි. නමුත් සාමාන්‍ය තත්වයෙන් හැසිරෙන්නට ඕ හැකි තාක් උත්සාහ කළා ය. මෙතෙක් බොරුවට හෝ ඇය කිසල් ගේ පෙම්වතිය ලෙස රැඟුවා ය. ඇත්තට ම එහෙම නැතත්, ඔහු ගේ පසෙකින් ඈ සිටියා ය. ඈ නොමැති ජීවිතය මොන තරම් පාළුවට යා හැකි දැයි කිසල් ට පසක් වන්නට වූයේ බොරුවට හෝ ඈ ඔහු ළඟ නැති වත්දී ය.

වෙන දා සේ පළිඟු ඔහු ට බත් කැව්වේ නැත. පුරුදු පරිදි උතුම් හා කිසල් වෙත නොගොස් තනිව හිඳ කෑම කෑවා ය. ඇගේ හදවත හත් කඩකට පැලේවිද කියා පළිඟු ට නො සිතුණා නොවේ. ඒ තරම් පීඩනයක් ඇතුළාන්තයේ විය. ශිෂ්‍යත්වය තියා ගන්නැයි මොරීන් ගේ මූණට ම කියා මින් නික්ම යන්නට බැරි කමක් ඇය ට නැත. නමුත් ගිවිසුම නිමා කරමුයි කීවේ කිසල් ය. ඉතින් ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කළත් ඔහු ගේ පසෙකින් රැඳී හිඳීමේ අයිතියක් ඇය ට නැත.

බත් පිඬක් හෝ ගිල ගන්නට බැරි ව ඇගේ උගුරේ හිර වුණේ ය. පළිඟු ට ඉකි බිඳෙන්නට ආවත්, නො හඬා දරා ගෙන ඕ බත් පත කුණු කූඩයට දැමුවා ය.

“මොකද්ද බං උඹලට වෙලා තියෙන්නෙ…අර යකා කිසි දෙයක් කියන්නෙත් නෑ. දැං මේ උඹත් තනියම කෑම කනව. මොකද මේ…”

උතුම් පළිඟු වෙත ඇවිත් ප්‍රශ්න කළේ ය. කිසල් සිය මිතුරා සමගින් වුව කිසිත් කියා නැති බව පළිඟු ට වහා වැටහිණ.

“අරූට ආයෙ අක්ෂි ඕන කියනවද…”

“අනේ නෑ අයියෙ. එයාට දොස් කියන්න එපා”

“එහෙනං මොකද්ද අවුල…”

“වර්ෂා කිව්වෙ නැද්ද…”

“මං දන්න වර්ෂා කාගෙවත් දෙයක් වෙන කෙනෙක් එක්ක කතා කරන කෙනෙක් නෙවෙයි පළිඟු”

“මොරීන් මැඩම්…ස්කොල් එක කෑන්සල් කරනව කිව්ව අයියෙ…මං කිසල් ගෙං ඈත් වුණෙ නැත්තං”

උතුම් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ඕක නොවුණනං තමයි පුදුම වෙන්න ඕනෙ. දැං අපේ එකා මොනාද කියන්නෙ…”

“මං…මං…ඉගෙන ගන්න ඕන කියල”

ඒ වචන ටික හෝ උගුරෙන් පිට කර ගත්තේ අසීරුවෙනි. පළිඟු ඇස් දෙක තද කොට පියා බිම බලා ගත්තා ය. හිමි නොවී ම ආදරයක් අහිමි වී තියේ. දෛවයේ ඒ සෙල්ලම අතිශය අකාරුණික ය. මහත් අසරණ හැඟීමක් පළිඟු ට දැනෙන්නට ගති. උතුම් සුසුමක් හෙළාගෙන අසුනෙන් නැගිටින්නට ගියේ ය. එතකොට ම ඔවුන් වෙත ආ කිසල් පළිඟු ගේ අතක් තදින් අල්ලා ගෙන ඇය ව පිටතට ගෙන ගියේ ය. සිදු වන්නේ කුමක් දැයි නො දැන උන් යුවතිය ඔහු පසු පස ඇදී ගියේ වික්ෂිප්තව ය. දැන් ඒ ගිවිසුම් අහෝසි වී තියේ. අක්ෂි ට පේන්නට කිසල් පළිඟු ගේ අතින් අල්ලා ගත් යුගය හමාර වී තියේ. දැන් එළඹ තිබෙන්නේ රංගනයන් ගෙන් තොර ව සැබෑවට මුහුණ දීමේ සමයයි. එසේ තිබියදී ත් ඔහු මේ විදිහට ඇගේ අතකින් ඇදගෙන යන්නේ කිම දැයි පළිඟු ට කිසි සේත් සිතා ගත හැකි වූයේ නැත.

ඇහැල මල් ගහ යට බංකුව තෙක් ම ඈ කැටිව ගිය කිසල් අත අතනෑර ම එහි හිඳ ගත්තේ ය. පළිඟු හැකි තාක් ඔහු ට දුරින් හිඳ ගත්තා ය.

“මට ඒක කරන්න බෑ”

ඔහු කීවේ ය. යුවතිය කැළඹීගෙන වාගේ ඒ වත දෙස බලා ගත්තා ය.

“බොරුවට නෙවෙයි ඇත්තටම මට දැං ඔයාගෙං ඈත් වෙන්න බෑ”

පළිඟු ගේ ඇස් වඩාත් මහත් වී ද ඇස් පිය සැලෙන්නේ නැතිව ද පැවතිණ. 

“අම්මට ඕන දෙයක් කරගත්තදෙං. මං ඔයාට මගෙං ඈත් වෙන්න දෙන්නෙ නෑ”

“කි…සල්…”

පළිඟු ගේ හඬ වෙව්ලා ගියේ ය.

“ඒත්…ඔයා ආදරේ අක්ෂිට. ඔයාට ඕන වුණේ…”

“මට ඕනෙ ඔයාව මැට්ටි”

ඔහු දැඩි බවක් පෙන්වන්නට හැදුවා ට කිසල් ගේ වචන වල තැවරී තිබුණේ ආදරය බව හැඳින ගන්නට පළිඟු ට නො හැකි වූවේ නැත. මේ කොහොම නිමේෂයක් ද? ඇයට ඕනෑ වූයේ දැඩි ව ඔහු වැළඳ ගන්නට ය. ඔහු ගේ පපුතුර තුරුලු ව ඉකිලන්නට හෝ කෑ ගසා සිනාසෙන්නට ය. නමුත් මේ ඒ කිසිත් කළ හැකි ස්ථානයක් නොවේ. ඔවුන් සිටියේ විශ්ව විද්‍යාලයේ ඇහැල ගහ යට බංකුව මත ය. දෙනෝ දාහක් සිසුහු මෙහි ඔබ මොබ යති. එති. ඔවුන් ගේ ඇස් බැල්මට නිරතුරු ඔවුහු ලක් වෙති. 

කෙසේ වෙතත් යමක් කියන්නට බැරි කමක් නැත. නමුත් පළිඟු වදනක් හෝ දොඩා ගන්නට පොහොසත් තත්වයක නො සිටියා ය.

“මං දන්නෑ…දැන් තමයි මට තේරුණේ ඒක ආදරේ කියල. අද උදේ ඉඳලම මං දැනං හිටියෙ ඔයා නැතුව මෙතනිං එහාට කිසි දෙයක් කරන්න බෑ කියල විතරයි”

කිසල් ඇත්ත ම කීවේ ය. ඔහු ගේ හදවතට මහත් නිදහසක් හා සැහැල්ලුවක් දැනිණ. මීට පෙරත් අනන්තවත් අල්ලා ඇති පළිඟු ගේ අත, ඔහු මේ වෙලාවේ අල්ලා ගත්තේ වෙනස් ම හැඟීමකිනි. මෙතෙක් ගහක් ගලක් සේ සියල්ල හිර කර ගෙන සිටි යුවතිය ඉකි ගසා හඬන්නට පටන් ගත්තා ය.

පන්ති කාමරයට ගිය ඕ මුලින් ම කළේ වර්ෂා ට පණිවිඩය දෙන එකයි.

“ඇති යන්තං. මං හිතුව අපේ මෝඩයට ලාදුරු වගේ හැඟීම් දැනීම් නැති අසනීපයක්වත්ද කියල”

හිටි හැටියේ හදිස්සියෙන් ම දේවල් පහල වෙත්දී ඇතැම් විට දරා ගත නො හැකි තරම් සතුටක් දැනෙන්නට පුළුවන. ඇතැම් විට සංවේදනා සියල්ල ගල් ගැසී කිසිත් නො දැනී යන්නටත් පුළුවන. පළිඟු පත් වූයේත් එහෙම තත්වයකට ය. ඇයට තාමත් මේ කිසිත් ඇති සැටියෙන් ම සිදු වූවා දැයි සිතා ගත නොහැකි ය. නැත්නම් මේ ශීතල දිගු නිද්‍රාවක් අතර මග දුටු කෙටි සිහිනයක් විය නො හැකි ද? 

නොමේරූ රාත්‍රියේ සිසිලස ටික ටික කටු තුඩු අනිත්දීත් පළිඟු අඹ ගහ යට බංකුවට වී කල්පනා කරමින් සිටියා ය. ඔහු කීවේ ආදරේ කියා නොවේද? පිරිමියෙකු ඇයට එහෙම කීවේ ප්‍රථම වතාවට බව පළිඟු ට සිහි කළ හැක. පාසල් යන කාලේදී වත් පිරිමි ළමයි එබඳු හැඟීමකින් ඇයට ලං වෙන උත්සාහයක් දරා නැත. ඊට ප්‍රධාන ම හේතුව ඇය වූ කලී ස්ත්‍රීත්වය උතුරා දෝරෙ ගලන අහිංසක කමකින් හෙබි යෞවනියක නොවීමයි. පළිඟු ගේ කටට පිරිමි ළමයි බිය වූහ. ප්‍රේමාරාධනයක් කොට ඇගෙන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප වනවා දකින්නට කිසිදු යෞවනයෙක් කැමති වූයේ නැත. ඒ නිසා ම ඇයට වඩා රුවින් අඩු කෙල්ලෝ පවා පෙම්වතියෝ වූහ. ප්‍රේමය පිළිබඳව  ඔවුන් ට වඩා බෙහෙවින් චමත්කාරවත් හැඟීම් සමූහයක් හිතින් දරා උන් පළිඟු කිසි දා පෙම්වතියක නොවූවා ය.

“මං දන්නව ඔයාට ඕන වුණේ ස්කොල් එක නෙවෙයි මං කියල. මං දැනං හිටිය ටික දවසක ඉඳං ඔයාගෙ ඇස් මට ආදරෙයි කිය කියා හිටියා කියලා”

කිසල් ගෙන් කෙටි පණිවිඩයක් ආවේ ය. එය දුටුවත් පිළිතුරක් යවන්නට පළිඟු වෙත කිසිදු සූදානමක් වූයේ නැත. මොනවා කියන්නද කියා ඕ දැන සිටියේත් නැත. අක්ෂි ගෙන් ප්‍රතික්ෂේප වූ ආදරය ගැන වද වෙවී උන් කිසල් ට රහසේ පෙම් කළත්, ඇත්තට ම පෙම්වතියක වන ආකාරය ගැන කිසිදු අදහසක් පළිඟු වෙත නොවිණ.

“ඒක නිසා මුකුත් කියන්න ඕන නෑ. ඔයාගෙ හිතේ තියෙන හැම දේම මං දන්නව. මට දැනෙනව”

ඔහු නැවත කියා එව්වේ ය. අයිස් කුට්ටියක් සේ මෙතෙක් දවස් මිදී උන් කොල්ලා මේ විදිහට දිය වෙන්නට පටන් ගත්තේ කෙසේදැයි පළිඟු නොදැන හිටියා ය.

මේ අතරේ කිසල් ගේ ගෙදර පහළ මාලයේ, අම්මා හා දූ අතර බහින්බස් වීමක් සිදු වෙමින් පැවතිණ.

“දුෂ්ට වෙන්න එපා අම්මි. ඒ ළමයගෙ ස්කොල් එක කෑන්සල් කරන එක කොච්චර අසාදාරණද…මිනිස්සුංගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරන්න එපා. මිනිස්සුංගෙ අනාගතෙත් එක්ක සෙල්ලං කරන්න එපා”

“ඔයා මොනාද දන්නෙ වර්ෂා…ඔයාගෙ රැඩිකල් අදහස් වලිං මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් කියල හිතුවද… මේ කෙල්ල බය නැතුව අදත් කිසල් එක්ක මුලු ගැන්නිල කතා කර කර ඉඳල තියෙනව. මං ඊයෙ එයාට කිව්ව දෙකෙං එකක් තෝරගන්න කියල”

“මං පළිඟු වුණානං මං තෝරගන්නෙ මගෙ ආදරේ”

“දොඩවන්නෙපා. කෙහෙල්මල් ආදරේ”

“අම්මි මොනාද ආදරේ ගැන දන්නෙ…අපි පුංචි කාලෙ ඔයා චූටි මාමට කරපු අපරාදෙ මං දැක්කනෙ”

“මොකද්ද මං කරපු අපරාදෙ…මං කළේ එයාට හොඳ තැනක ගෑනු ළමයෙක්ව බන්දල දීපු එක. එයාගෙ කරුමෙට ඒ කසාදෙ දික්කසාද කර ගත්තට”

“මාමා බෑ කියද්දිනෙ අම්මි ඒක කළේ. මාමාට පාඩුවෙ ඉන්න දුන්නනං එයා කැමති විදිහෙ කෙනෙක්ව මැරි කරනවනෙ දවසක”

මොරින්ට තව දුරටත් කිව හැකි යමක් නොවිණ. වර්ෂා ගේ දෑස් මත වූයේ ද්වේශයක සලකුණු ය. මාමා ට කළ දේ, අයියා ට කරන්න හදන දේ, දිනෙක ඇය තමන්ටත් කරන බව වර්ෂා නිසැකව දැන උන්නා ය. ඇය මේ මොහොතේ අරගල කරමින් සිටියේ උදා වන්නට නියමිත ඇගේ අනාගතය වෙනුවෙනි.

සිය බාල සොයුරා වන චමල් ව, මව ගේ වියෝ වීමත් සමග බාර වූයේ එවකට විවාහක ව සිටි මොරීන් ට ය. ඇය දැඩි සේ ඔහු ගේ පාලනය සියතට ගත්තා ය. විවාහ වන වයසට එළඹි චමල්, ඒ වෙත්දීත් සහකාරියක තෝරා ගෙන නො සිටි නිසාවෙන් මොරින් ගේ බලපෑම මත ඈ තෝරා දුන් තරුණියක හා විවාහ වූයේ ය. ඒ විවාහයට හය මසක් ගත වන්නට පෙර, ඔහු අහම්බෙන් මුණගැහුණු වත්සලා සමග හදවතින් බැඳුණේ ය. වත්සලා ඔවුන් ගේ යුග දිවිය මැද්දේ කිසි දා තුන් වැනියක නොවූව ද සිය බිරිඳ සමග ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්නට චමල් ට හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x