පළිඟු මන්දිර – 31

1
957

සුළඟට නතු වී නටුවෙන් ගිළිහුණ රොබරෝසි මල් කිහිපයක් සුළඟත් එක්ක ම අවකාශයේ කැරකෙමින් හිඳ සරසවි බිම වැතිර ගත්තේ ය. එදෙස දෑස් යොමු කරගෙන උන් පළිඟු ගේ දෙතොල් මත ඉතා තෘප්තිමත් වූ මඳහසක සේයාවක් ඇඳී තිබිණි. කිසල් වෙනුවෙන් ඇය ශිෂ්‍යත්වය පවා අහිමි කර ගන්නට සූදානම් නම්, ඒ ප්‍රේමය කරනකොට ගෙන මේ සරසවි බිමෙන් පවා නික්මෙන්නට සූදානම් නම්, ඇයට ඔහු කවර හේතුවක් මත හෝ අහිමි වී යාවියි සිතිය හැකි ද?

“ආදරේ වෙනුවෙන් සමහරු ජීවිතේ පවා අතාරින්න ශක්තිමත් වෙනව කියල වෙලාවකට අපිට අමතක වෙලා යනව…”

සිහිනයක සරින් පළිඟු මිමිණුවා ය. අක්ෂි අතිශය කළබලයට පත් වූවා ය.

“ඔයා කිව්වෙ එහෙනං…එයා තාමත් ආදරේ මටයි කියල…”

පළිඟු මොහොතකට බිම බලා ගත්තා ය. මේ බෝ ප්‍රවේසමෙන් පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්නයකි.

“ඒක…ඒක…මට වෙච්ච වැරදීමක් වෙන්න ඇති. මං හිතාගෙන හිටිය වැරදි විදිහක් වෙන්න ඇති. සමහර පිරිමි ළමයි තේරුං ගන්න ටිකක් අමාරුයි. එයාලගෙ හිත් වල තියන දේවල් එළියට ගන්න හුඟක් අමාරුයි”

අක්ෂි බලා උන්නේ තේරුම් ගත නො හැකිව ය. එදා එහෙම කියත්දී පළිඟු ගේ ඇස් වල වූ වේදනාව අද මේ මොහොතේ දැකිය නො හැකි ය. හදවතේ පත්ලෙහි දරුණු සුළි සුළඟක් ඇති වනයුරු අක්ෂි බලා සිටියා ය. ඈ මුළුමනින් ම පැරදී ඇති බවක්  ඇය ට දැනිණ. නමුත් අක්ෂි කියන්නේ පුංචි කාලේ හෝ පැරදෙන්නට කැමති වූ හෝ පරාජය පිළිගන්නට රිසි වූ දැරියක නොවේ. හොඳින් නැත්නම් නරකින් හෝ දිනන්නට ය ඇයට උවමනා වූයේ. ඕනෑ කියා හිතුණ ඕනෑම දෙයක් ඕනෑ ම මොහොතක ලබා ගන්නට ඇය ඕනෑ ම දෙයක් කළා ය. එසේ ම ඒ දේ එපා වූ විට දෙවරක් හිතන්නේ නැතිව ම ඒ අත්හැර දැම්මා ය. වරක් ඕ කිසල් ට කළේත් එයයි. දැන් නැවතත් ඇය සිතන්නේ කෙසේ හෝ ඔහු තමන් සතු කර ගන්නටයි.

දිගු වෙලාවක් අමුතු බැල්මකින් පළිඟු දෙස බලා උන් අක්ෂි නිහඬව ම නික්ම ගියා ය. ඇය ඔය යන්නේ නිකං ම නො වන බව පළිඟු දනී. අක්ෂි වගේ කෙනෙක් එහෙම පසු නො බසින බව ඇය ට නො දැනෙනවා නොවේ. නමුත් කිසිදු භීතියක් පළිඟු ගේ හදවත ට නො දැනිණ. ඇතැම් විට ඒ ආදරයේ හැටියක් වන්නට පුළුවන. ආදරය කිසි සේත් බිය හඳුනන්නේ නැත. ආදරයක් විනාශ කර දමන්නට බිය සමත් වන්නේ ද නැත!

උදා වී තිබුණේ වසන්තයයි. හැම තුරු මුදුණක් ම මලින් සැරසී ලෝකය සුවඳවත් කරමින් පැවතිණ. අලුත් පෙම්වතුන් ගේ හදවත් තුළ මල් යායක් පිබිද තිබිණි. ආදරයේ සුවඳින් හිත පිරී ගිය කල ජීවිතය පුදුම තරමින් සෞම්‍ය වන්නේ ය. ඒ වූ කලී පිහාටුවක සැතපී අකාශයේ පා වෙනවා බඳු සැහැල්ලුවකි.

කිසල් කියන්නේ කුළුඳුල් ප්‍රේමවන්තයෙක් නොවේ. ඔහු වසර කිහිපයක් අක්ෂි සමගින් සබඳතාවයක් පැවැත්වූයේ ය. සැබවින් ඔහු ඇයට පෙම් කළේ ය. නමුත් ඒ සබඳතාවය ඇතුළේ කුමක් හෝ හිස්කමක් තිබිණැයි ඔහු ට දැනෙන්නේ දැන් ය. එතැන තිබුණේ සම්බන්ධතාවයක් පමණක් විය නො හැකි ද? එතැන උනුන් හදවතින් බන්දන ප්‍රේමයක් නො තිබුණා විය නො හැකි ද? නමුත් පළිඟු ගේ සිනහවක් පා මුල ජීවිතයේ සියලු හිස්තැන් එක නිමේෂයකින් පිරීතිරී යන්නේ ය. 

“අක්ෂි ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනම දෙයක්…”

කිසල් ඈ පිළිබඳව පරම සත්‍යය දරන ගෙන හිටියේ ය.

“හ්ම්…මං දන්නව”

“ඔයාට බයයිද…”

පළිඟු මඳහසක් නගා ගත්තා ය.

“මන්දා…මට එහෙම කිසි හැඟීමක් දැනෙන්නෑ”

“පළිඟු”

“ම්…”

“ඉස්සරහට සිද්ද වෙන්න නියමිත දේවල් එක්ක ඔයාට ගොඩක් හිත රිද්දගන්න වෙයි. හැබැයි මොන දේ සිද්ද වුණත් මං ඔයාගෙ පැත්තකිං ඉන්නව කියන එක අමතක කරන්න එපා. ඔයා මොකද්ද ඇත්ත කියල කියන්නෙ…මං ඒක විශ්වාස කරනව. ඔයාටත් ඒ විදිහට මාව විශ්වාස කරන්න වෙයි. එහෙම නැති වුණොත් ඒගොල්ලො ලේසියෙංම අපිව දෙපැත්තකට කරයි”

කියවන්න :  පළිඟු මන්දිර - 12

පළිඟු බර වූ හිතකින් හිස සැලුවා ය. මෙතුවක් කාලයකට කිසිදු පිරිමියෙකු වෙනුවෙන් නො දැනුණ විදිහේ හැඟීමක් හිතේ ඇති කරන්නට සමත් වූ මේ යෞවනයා දෙස බලාන ඈ හුස්ම ගත්තේ නැවතිල්ලේ ය. දෛවය කිසිවක් කිසිවෙකුට පහසුවෙන් ලබා ගන්නට සලස්වන්නේ නැති බව පළිඟු දැන උන්නා ය. අපට වඩාත් වටිනා දේවල් ලබා ගැනීම වෙනුවෙන් ලොකු සටනක් කරන්නට සිදු වන්නේ ය. ඉතා විශාල කැපකිරීමක් කිරීමට සිදු වන්නේ ය. එසේ කරමින් සටන අත්හැර නො යන්නාට පමණක් ජයග්‍රහණය හිමි වනු ඇත. 

ඉරිදා ට යෙදී තිබුණ පළිඟු ගේ උපන් දිනය වෙනුවෙන් සුවිශේෂ මතකයක් ඉතිරි කරන්නට වර්ෂා ට ඕන විය. උතුම් සමගින් එක් වී ඈ සැලසුම් කළේ එක් දින විනෝද ගමනක් යන්නටයි. පේරාදෙණියේ මල් වත්තේ දී උපන් දිනය සැමරීම ඔවුන් ගේ අදහස විය. 

“ආන්ටිත් යං. ඉරිදට කොහොමත් පේස්ට්‍රි ශොප් එක වහලනෙ…”

වර්ෂා වත්සලාට ඇරයුම් කළේ, ඇය ඔවුන් ගේ වයසට ම වැටී විනෝද විය හැකි වර්ගයේ කෙනෙක් බව සිතා ගත හැකි බැවිනි. අනිත් අතට කිසිවෙකු මේ ගමන දෙස වැරදි ඇසකින් බලන හෝ වැරදි හිතකින් හිතන එක, වැඩිහිටියෙකු වන වත්සලා ද ඊට සහභාගී වීම මත සිදු නොවනු ඇතැයි වර්ෂා සිතුවා ය.

“අනේ මේ මට මොන ට්‍රිප්ද ළමයිනේ…ඕගොල්ලොනෙ තරුණ ළමයි. ඕගොල්ලො තමයි විනෝද වෙන්න ඕනෙ. ජීවිතේ විඳින්න පුළුවන් හැම දේම උපරිමයෙන් විඳ ගන්න ඕනෙ”

“ආන්ටි කතා කරන්නෙ හරියට වයසට ගිහිං වගේනෙ”

“අපිට දැං වයසයි තමයි. එහෙ බලල මෙහෙ බලනකොට ළමයි ලොකු වෙලා තිබුණට…කාලෙ ගෙවිල ගිහිං තියෙන්නෙ අපිවත් වයසට අරං ගිහිං තමයි”

“අනේ මේ…ඔය ඉන්නෙ නිකං දහ අටේ කෙල්ල වගේ. විකාර නැතුව යං”

වත්සලා එකඟ වූයේ වර්ෂා ගේ වදයෙන් බේරෙන්නට බැරි තැන ය. එදා උදයෙන් ම අවදි වී වත්සලා කෙටි කෑම වර්ග කිහිපයක් සකසා ගත්තා ය. උන්හිටි ගමන් ආයේත් අතීතය ජීවිතය ඉදිරියේ විද්‍යමාන වන සෙයකි ඇයට දැනුණේ. යෞවනය පොපියන මේ කොලු කෙල්ලන් අතරේ දී ඇය ද නිරායාසයෙන් තරුණ වී ඇති සැටියක් වත්සලා අත් වින්දා ය.

“මං කිව්වනෙ අනේ මහන්සි වෙන්න එපා කියල. අපිට මගදි ඕන දෙයක් ගන්න පුළුවන් නෙ”

ගෙතුළට පිවිසි වර්ෂා, ඒවා දැක නෝක්කාඩු කීවා ය.

“ඒ වුණාට පුංචාගෙ කෑම හැම තැනම නෑනෙ. මේගොල්ලො කියන කතා ගණං ගන්න එපා පුංචා”

උතුම් කෑම කූඩයට අත දමා එවෙලේ ම කට්ලට් එකක් කටට ඔබා ගත්තේ ය. වර්ෂා ඔහු ට රවා බැලුවා ය.

“දැක්ක නේද….තනියම කටේ ඔබා ගත්ත. කෑල්ලක්වත් අපිට නොදී”

“අනේ අපිටනං ඕන්නෑ. අපිට නොදුන්නට නෙවෙයි එයාට නොදුන්නටයි ඔය නෝක්කාඩු”

පළිඟු දඟකාර දෑසගින් වර්ෂා ට අභියෝග කළා ය. වර්ෂා පළිඟු ගේ කොණ්ඩය ඇද්දා ය.

“ඌයි…මං බොරුද ඉතිං කියන්නෙ…”

ඒ වෙලාවේ වර්ෂා ගේ ඇස් මත වූ බැල්ම මගහැර යන්නට ඕනෑ වූයෙන් උතුම් කිසල් වෙත හැරිණි. 

“බඩු ටික දාගමු නේ මචං”

“හ්ම්”

“හැබැයි උඹ පිටිපස්සට එන්න බෑ. මේක මේ ජෝඩු දාල යන ගමනක් නෙවෙයි”

කිසල් ගේ වත රතු වන හැටි පළිඟු බලා ගෙන ය. 

“උඹ පලයං ඉස්සරහ සීට් එකේ”

“මං ඉස්සරහ තමයි කොහොමත් යන්නෙ”

ජීවිතය මේ සා වෙනස් වූයේ කෙසේ දැයි පළිඟු මඳහසකින් යුතුව සිතුවා ය. කිසල් කියන්නේ කොහේ කොතැනක උන් කෙනෙක් ද? පළිඟු වෙත ඔහු ගසා ආවේ සුළි සුළඟකට හසු ව ය. ඒ සුළියට නතු ව ඔහු ගේ නළලත තුවාල වී තිබිණි. සියල්ල පටන් ගත්තේ ඒ තුවාල සුව වෙනු වස් ඇය බෙහෙත් දමන්නට ඉදිරිපත් වීමෙනි. 

කියවන්න :  පළිඟු මන්දිර - 43

ඈ සිටියේ කොතැනකද? ඈ සිටියේ උසස් පෙළින් පස්සේ අල්ප ලකුණු ප්‍රමාණයකින් විශ්ව විද්‍යාලයට වරම් අහිමි වී අනාගතය ගැන අතිශය අවිනිශ්චිත තත්වයක ය. එක්කෝ ඉගෙන ගත යුතු ය. නැතහොත් රැකියාවක් කළ යුතු ය යන්න ඇය නිසැක ව දැන උන්නා ය. නමුත් ඒ දෙකම සපයා ගැනීම උදෙසා මේ කුඩා රටෙහි අතිශය වෙහෙසක් දැරිය යුතු ය. බලය ඇත්තෙකු ගේ මැදිහත් වීමකින් තොර ව රැකියාවක් ලබා ගැනීම දුෂ්කර වූ ව්‍යායාමයකි. ඈ වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ වත්සලා ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීමත් පළිඟු ගේ හිස මත පැටවී තිබිණි. වත්සලා කිසි දා එවැන්නක් අපේක්ෂා නො කළ ද පළිඟු ට ඒ යුතුකම පැහැර හළ නො හැකි ය. 

විශ්ව විද්‍යාලය අසල ගොඩනැගිල්ලෙහි කුඩා කඩ කාමරයක් ලබා ගත හැකි වීම දෛවයේ ප්‍රාතිහාර්යයක් සේ පළිඟු විසින් පිළිගනු ලැබූවේ එහෙයිනි.  උසස් අධ්‍යාපන සිහිනය හදවතේ කොනක නිවි නිවී දැල්වෙමින් තිබුණත්, ජීවිතය ගොඩ නගා ගැනීම වෙනුවෙන් මාර්ගයක් විවර වී තිබීම හදවත ට ශක්තිය දුන්නේ ය. දෛවය ඔහුව ඇගේ ඇස් දෙක ඉදිරියේ පතිත කරවූයේත් ඒ අසිරිමත් දිනයේ ය. 

“මොකද අනේ අහසයි පොළොවයි අල්ලල ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ”

වර්ෂා ගේ සීතල අතැඟිලි කම්මුල් මත තැවරෙත්දී පළිඟු තිගැස්සී පියවි සිහියට එළඹියා ය.

“එදා මේ දවසෙ කොහොම ඉන්න ඇද්ද කියලද හිතුවෙ…ඉපදිච්ච ගමං…”

මඳහසකින් මුව සරසා ගත් යුවතිය ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගත්තා ය.

“ඇත්තටම ඒ පොඩි දරුවා කොච්චර අසරණ ආතමයක්ද කියල එදා එයා දැනගෙන හිටියෙ නෑනෙ…අවුරුදු හයක් හතක් වෙනකොට අම්ම තාත්තගෙ උණුහුමෙං රැකවරණෙං ඈත් වෙන්න වෙන…”

“සමහර දේවල් සිද්ද වෙන්නෙ හොඳම විදිහට කියල හිතෙන්නෙ නැද්ද…ඒ නිසානෙ ඔයා මේ වගේ පුංචි කෙනෙක් ළඟ හැදුණෙ. ඒ නිසානෙ අපි වුණත් මෙහෙම මුණ ගැහුණෙ….”

“ඔව්…ඒක ඇත්ත…ඒත්…”

“යං යං….අද සෑඩ් මූඩ් බෑ”

අම්මා කෙනෙක් ගෙන් වෙන් වීමේ දුක දරුවෙකු ගේ හදවතක සදාකාලිකව මිදී යන බව කියන්නට පළිඟු ට ඕන වුණත් වර්ෂා එවැන්නකට ඉඩ නො තබා ඇය ඇදගෙන වාගේ මිදුලට ගියා ය. උතුම් හා කිසල් ගෙන යන බඩු බාහිරාදිය රියට දමමින් සිටි අතර වත්සලා ගෙදර දොර ජනේල වසා ඇත්දැයි නිසැක ව තහවුරු කර ගනිමින් මිදුලට ආවා ය.  සේපාලිකා මල් සුවඳ හාත්පස ඉහිර තිබුණේ ය. වත්සලා සේපාලිකා මල් අහුරක් දෝතින් එකතු කර ගත්තා ය.

“අයියෝ පුංචා අපි මේ පන්සල් නෙවේ යන්නෙ”

උතුම් කෑ ගෑවේ ය. 

“අනේ මේ හිටපං”

වත්සලා මල් අහුර අත්ලට ගෙන වෑන් රථයෙහි ඉදිරිපසින් ආවේ, බුදු රුව ඉදිරියෙහි එමල් තබන්නට රියදුරු ට පිලීගන්වනු වස් ය.

“අනේ මේ මල් ටික තියන්නකො”

කියාගෙන ම ඕ මල් අහුර සහිත අත රියදුරු වෙත පෑවා ය. ඔහු මල් ගන්නට අත පෑවේත්,  ඔවුන් ගේ සිව් නෙත් අතර අවකාශයෙහි අකුණු දස දහසක් පුපුරා ගියේත් එකට ම ය. ටික වෙලාවක් යන තෙක් සිහි එලවා ගන්නට වත්සලා අපොහොසත් වූවා ය. මල් අහුර වත්සලා අතින් රියදුරු අතට මාරු වූවත්, ඒ මොහොතේ මුලු විශ්වය ම නතර වී ඇති සැටියක් ඇයට දැනිණ. 

“හරි හරි කට්ටියම නගිමූ”

උතුම් ගේ ඒ හඬින් තිගැස්සුණ වත්සලා, අසීරුවෙන් දෙපා වාරු කර ගෙන විත් රියට නැගුණා ය. කවුළුවක් අයිනේ අසුන් ගත් ඕ හුස්ම ගත්තේ අමාරුවෙනි. මෙහෙම දේවල් ඇත්ත ජීවිතයේ වෙන්නට පුළුවන් බව ඇය විශ්වාස කොට තිබුණේ නැත.

“මේ අපේ චූටි මාමා. අමාරුවෙන් තමයි මෙයාව වැඩේට අල්ලගත්තෙ”

වර්ෂා පළිඟු ට ඔහු ගැන කීවා ය.

“චූටි මාමා මේ පළිඟු…මගෙ යාළුව. මේ එයාගෙ පුංචි”

ඔහු යන්තම් හිස සැලුවත් වත්සලා නම් උන්නේ ගල් වී ගෙන ය. 

5 8 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Diyamanthi
3 months ago

විශ්වයේ සුන්දර තම හමුවීමක්,පුන්චය් චූට් මාමය්