ලේබල් එක බලලම හේදුවොත් ඔබ කැමතිම ඇඳුම් වැඩිකලක් පාවිච්චි කරන්න පුලුවන්.

ලස්සනට හැඩට ඉන්න කැමති ස්මාට් අපි ඇඳුම් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවනේ. ඒ නිසාම හොදැට හෝදලා, වේලලා, මදින්නත් අපි අමතක කරන්නේ නෑ. නමුත් මේ අදුම් සේදීමේදී ,වියලීමේදී වගේම අයන් කිරීමේදීත් සිදුකරන වැරදි නිසා අපි ආසාවෙන් ගත්තු ඇදුම් නාස්ති වෙලා යන අවස්තා තියනව . ඇදුම් මිලදී ගත්තු ආයතනයට චෝදනා කරන්න කලින් පොඩ්ඩක් මේ ලිපිය කියවලම ඉන්න කියල අපි ඔබට යෝජනා කරන්නෙ අපේ අතින් මෙතනදි අත් වැරදීමක් වෙන්නත් පුලුවන් නිසයි.

මොකද ඇඳුම් අතේ හේදුවත් රෙදි සෝදන මැෂින් එකේ හේදුවත් ඒ ගැන සැලකිලිමත් විය යුතු දේවල් ගොඩක් තියෙනවා. බොහෝ රෙදි අධික වේගයකින් , වැඩිකාලයක් රෙදිසෝදන යන්ත්‍රය තුල සේදීමෙන් හානි වෙන්න පුලුවන් , ඔබ මිලදී ගන්න ඇදුමේම ඒ විස්තරත් සදහන් කරල තියන බව ඔබ දන්නවාද? කොහොමද ඒ විස්තර වලට අනුව ඇදුම් වර්ග නිවැරැදිව පිරිසිදු කර ගන්නෙ කියල අපි අද ඔබට කියල දෙනව.

නිමි ඇඳුම් වෙළඳ ජාලයක සේවය කරන මට මේ සම්බන්දව අත්දැකීම් ගොඩාක් තියනවා. මට දවසක් ඔෆිස් එක ඇතුලේ කතාවක් ඇහෙනවා. අපේ එක්තරා ශාඛාවකට පාරිභෝගික මහත්මියක් සාරියක් මාරු කරන්න ගෙනවිත් කියලා. රුපියල් 50,000 කට වඩා වටින ඒ සාරිය උත්සව අවස්ථාවකට අදින සාරියක්. ඇය ඒ සාරිය පළමුවෙනි වතාවට ඇඳල හොඳින් සෝදල. ඉතිං සාරිය නැවත භාවිතයට ගන්න නොහැකි තත්වයටම පත්වෙලා. ඩ්‍රයි ක්ලීන් කරන්න ඕනේ සාරිය අතේ හෝ රෙදි සෝදන මැශිමේ සේදීම නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ වගේ අතපසුවීමකින් ඔබේ ඇඳුම, කාලය, ධනය ආරක්ෂා කරගෙන ඔබේ ස්මාර්ට් බව වැඩි කරගන්න හැටි තමයි මේ කතා කරන්නේ.

ඔබ කවදාවත් ඇඳුම අරගෙන ලේබලය කියවලා තියෙනවාද? ලේබල් එකේ තියන දේවල් හරියට කියවාගත්තොත් ඔබ ස්මාර්ට්. ඒකේ තියනවා බ්‍රෑන්ඩ් එක හෙවත් වෙළඳ නාමය, රෙදි වර්ගය, නිශ්පාදිත රට, නිශ්පාදිතයා, ප්‍රමානය, care instructions එහෙමත් නැත්නම් ඇඳුම රැක බලා ගැනීමට අවශ්‍ය උපදෙස් වගේ දේවල්. ඇඳුම රැක බලා ගැනීමට වැදගත් වන care instructions විස්තර කරන එක දිග කතාවක් උනත් අපට ගැලපෙන ලෙස සරලව කොටස් කලොත් මෙහෙමයි,

1.හෝදන හැටි
2.බ්ලීච් කරන හැටි
3.වේලන හැටි
4.මදින හැටි

හෝදන හැටි

ඇඳුමක් මිලදීගෙන ගිය පාරිබෝගිකයන් නැවත දින කීපයකට පසු, කොට වූ, කොටස් ගැලවුනු හෝ පාටට හානි වූ ඇදුම් රැගෙන යලිත් ප්‍රදර්ශනාගාර වෙත එන්නේ බොහෝ විට ලේබලය නොකියවා සෝදන, මදින නිසා කියලා මම අත්දැකීමෙන් දන්නවා.

ඇඳුමක් සේදීමේදී,
1.රෙදි සෝදන මැශිමේ සෝදන්න
2.අතේ සෝදන්න
3.සෝදන්න එපා
4.ඩ්‍රයි ක්ලීන් පමනි
5.ඩ්‍රයි ක්ලීන් කරන්න එපා

කියන සේදුම් අවස්තා තිබෙන්න පුලුවන්. මේ සේදුම් ක්‍රමය හරියට අනුගමනය කිරීමෙන් ඔබේ ඇඳුම හරියටම ලෙස පිරිසිදු කරගන්න පුලුවන්.

වතුර බාල්දියෙන් සේදීම සංකේතවත් වෙනවා. ඇතුලේ ඇති තිත් වලින් උශ්නත්වය පෙන්වනවා

  1. සීතල වතුරෙන් සේදීම (උශ්නත්වය 65f – 85f අතර වතුරෙන් සේදීම)
  2. මද උනුසුම් වතුරෙන් සේදීම (උපරිම උෂ්ණත්වය 105 f වන වතුරෙන් සේදීම )
  3. උනුසුම් වතුරෙන් සේදීම (උපරිම උෂ්ණත්වය 120 f වන වතුරින් සේදීම)

සාරි, ශල්වාර්, සාදවලට අදින ගවුම්, කෝට් වගේ ඇඳුම් බොහෝ වෙලාවට ඩ්‍රයි ක්ලීන් කරනවා. ඒ ගැන ලේබලයේ සඳහන් ජරලා තියනවා. එහෙම ලේබලයක් නැතිනම් ඔබේ වෙළඳ සේවක මහතාගෙන් විමසන්න අමතක කරන්න එපා.

බ්ලීචිං කරන හැටි

ඔබට බ්ලීච් කරන්න අවශ්‍ය නම් ඉතාමත් අවධානයෙන් ඔබේ ඇඳුමේ තියෙන ලේබලය ඒ දෙස බැලීම වැදගත් වෙනවා. රසායනික ද්‍රවය මගින් කරන සුදු කිරීම, පැල්ලම් ඉවත් කිරීම හෝ ඇදුමේ පැහැය ලා පැහැ ගැන්වීමේ ක්‍රියාවලියේ දී රෙද්දට වෙන හානිය වැඩි නිසා ඔබේ ඇඳුම නැවත සැකසිය නොහැකි ලෙස වෙනස් වෙනවා.ඒ නිසා බ්ලීචිං කරනකොට පරිස්සමින්.

1.බ්ලීචිං කළ හැක
2.බ්ලීචිං කරන්න එපා
3.ක්ලෝරීන් නොමැති බ්ලීචිං පාවිච්චි කරන්න

වේලන හැටි

සේදීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් තමයි වේලීම. tumble drying එහෙමත් නැත්නම් රෙදි සෝදන මැෂිමේ වේලන කොටසේදී සිදුවන උණු වායු දහරා වේගයෙන් කැරකෙන යන්ත්‍රය හරහා යැවීමෙන් සිදුවන වේලිම කරන්න හැකි හෝ නොහැකි බව සංකේත මගින් කතා කරනවා. ඒක තවදුරටත් විස්තර කිරීම සමචතුරශ්‍රයක් තුළ ඇති වෘත්තයක් තුළ ඇති තිත් ලකුණු මඟින් සිදු කරනවා.

1.tumble dry කිරිමට හැකි ය
2.tumble dry කිරීමට නොහැකිය
3.එල්ලා වියළා ගන්න
4.පැතලිව තබා වියලන්න
5.අඹරන්න එපා

මදින හැටි

සමහර රෙදි වර්ග වල අලංකාරය මැදීමේදී තවදුරටත් වැඩිදියුණු වෙලා පෙනුනත් සමහර රෙදි සම්පූර්ණයෙන්ම හානියට ලක්වෙනවා. පුංචි ඉස්තිරික්කයක් සහ ඒ තුළ තිබුණු කුඩා තිත් මගින් පෙන්වන්නේ ඒ ඇඳුම් මැදීමට සුදුසු බව සහ ඊට අවශ්‍ය උෂ්ණත්වයයි

1.අඩු උශ්නත්වය යටතේ මදින්න
2.මධ්‍යම උෂ්ණත්වය යටතේ
3.වැඩි උෂ්ණත්වය යටතේ මදින්න
4.මදින්න එපා
5.මැදීමේදී වාෂ්ප එකතු කර මදින්න එපා

ඉතිං ඔබ මේ සියල්ල හරියට කරලා ඔබේ ඇඳුමට හානියක් සිදු වූවා නම් ඔබේ ඊළඟ කාරනේ වන්නේ ඔබේ වෙළඳ මහතා හමු වීමයි. එම නිසා ඇඳුම පලවෙනි වතාවට සේදීමට ලක් කරන විට ඊට අදාල ටැග් සහ බිල්පත් ඔබ ගාව සුරක්ෂිතව තබා ගන්න. මෙවනි අවස්තා වලදී හොඳ පාරිභෝගික සේවයක් සහිත නිමි ඇදුම් වෙළඳසල් වලින් පාරිභෝගිකයාට සහනයක් ලබාදෙනවා. හරි ආකාරයට සේදීමේ ක්‍රියාවලියට කිරීමෙන් ඇඳුමේ පෙනුම පවත්වාගෙන යාමට මෙන්ම එහි කල් පැවත්ම රඳවා ගැනීමටත් පුලුවන්.

පුංචි රහසක්

නිමි ඇඳුම් වෙළඳ ජාලයක රැකියාව කරන කෙනෙක් හැටියට මේ ටිකත් නොකියාම බෑ. ඔබ ඇදුමක් මිලදිගෙන ගමනක් අඳින්න කලින් ඒ ඇඳුම සේදීමට සුදුසු ඇඳුමක් නම් අනිවාරයෙන්ම සෝදන්න අමතක කරන්න එපා. ඔබ මිලදීගෙන ඇත්තේ ඔබ වගේම තව බොහෝ පාරිභෝගිකයන් පිරිසක් අත ගාලා, ඇඳලා බලා හෝ නිවසට රැගෙන ගොස් මාරු කරපු ඇඳුමක් වෙන්න පුලුවන්. ඒ වගේම නිශ්පාදකයාගේ සිට අවසානයට ඇඳුම ප්‍රදර්ශනයට දාන සේවකයා දක්වා මේ ඇඳුම අතපත ගාන පිරිස කීයක්දැයි ඔබ දන්නෙ නෑ. ඒ නිසා ස්මාර්ට් ඔබේ ආරක්ශාවට අලුත්ම ඇඳුම් සෝදලා අඳින්න.

Related Articles

Don't Miss


Latest Articles