fbpx

පළිඟු මන්දිර – 33

මතක ඇති කාලයක එනිවසෙහි විසූයේ වත්සලා හා පළිඟු පමණකි. එනිසාවෙන් ම නිවස තුළ වූයේ අතිශය සාමකාමී නිහඬ බවකි. පළිඟු ගේ මිතුරු සමාගමය ද ඉතා සීමිත එකක් වූයෙන්, මිතුරන් වශයෙන් නිවසට පැමිණි කෙනෙක් නැති තරම ය. උදක් මෙබඳු තරුණ හඬවල් කිහිපයක් මෙසේ මෙහි පිළිරැව් නැගෙන්නට ගත්තේ කිසල් හා උතුම් මෙහි යන්න එන්න ගත්තා ට පස්සේ ය. නමුත් අද නැගෙන මේ සිනා කතා අතරේ මහත් තමන්ගේ කමක් වෙතැයි වත්සලා ට දැනේ. කාත් කවුරුත් නැති ව හුදෙකලාවේ පැවති සිය ජීවිත වෙත උන් හිටි ගමන් පිරිවර සේනාවක් ම පහළ වූ සෙයක් ඇය ට දැනේ.

ඕ තොමෝ මේ තරම් උද්‍යෝගයෙන් තේ සූදානම් කළේ කාලයකට පස්සේ ය. ඒ හරියට වසර ගණනාවක් නියං සායෙන් දැවෙමින් තිබූ වියළි කතරකට වැහි පොදක් ඉහිර ගියා බඳු සතුටු මන්තරයකි. ඒ සතුට උත්පාද වූයේ කොතැනක දැයි නිශ්චිත ව කිව නොහේ. නමුත් එය කොහේ කොතැනක හෝ පවතින බව දැනේ. ස්පර්ශ කළ නො හැකි එබඳු දේවල් මේ විශ්වයෙහි පවත්නේ ය. ඒවා පියවි ඇසට හෝ දියුණු තාක්ෂණික මෙවලම් වලට හසු කර ගත නො හැකි වී ද, පවත්නේ ය.

පළිඟු හිටියේත් ජීවිතය පිළිබඳ ස්තූති පූර්වක සතුටකිනි. අංශු මාත්‍රික දේ වල පවා සතුට තැවරී පවත්නේ ය. අප විසින් එය සොයා ගත යුත්තෝ වෙමු. ඇයට ඒ මුණගැසී තිබිණි. 

තේ පානය මිහිරි සාදයක් සරි වූයේ ය. මොහොතක සතුට වැඩි වන්නට වන්නට, එය අත්හැර ගැනීමේ ලෝභී සිතිවිල්ලක් උපදින්නට පුළුවන. හැම හදවතක ම එබඳු සංකා සිතිවිල්ලක් කොනිති ගසමින් පැවතුණත්, අන්තිමට ඒ මොහොත එළඹියේ ය. හෙට උදය ගැන බලාපොරොත්තු සහගත ව පෙම්වතුන් යුවළ සමුගත්හ. 

“යන්නං”

චමල් වත්සලා දෙස බලා කීවේ ය. ඇය සිය සියල් හැඟීම් එක සිනහවකින් වසා සඟවා ගත්තා ය.

බොහෝ අවස්ථා වල ජීවිතය අප සමග පවත්නේ ඒකාකාරී දෛනික සිදුවීම් අතරේ ගලා යන නො වෙනස් තත්පර සමූහයක විලාශයෙනි. අපි එය සැබවින් ම අපේ ජීවිතය කියා විශ්වාස කරන්නට පටන් ගන්නෙමු. ඒ ඒකාකාරීත්වයට ඔබ්බෙන් යමක් සිදු වෙත්දී එය විශ්වාස කර ගත නො හැකි අහඹුවක් ලෙස සලකන්නට අපි පුරුදු වී සිටින්නෙමු. බහුතරයකට සාමාන්‍ය ජීවිතය යනු එයයි. එයින් පිට පැන ජීවත් වන්නට උත්සාහ කරන යමෙක් වෙතොත්, බහුතර සමාජය ඔහු ව උන්මන්තකයෙකු සේ සලකන්නට දෙවරක් සිතන්නේ නැත. නමුත් සොබා දහමේ බලවේගය විසින් ම ඒකාකාරී දෛනික ජීවිතය ඉදිරියට අහඹු නිමේෂයන් පමුණුවත් දී අපි විශ්මයෙන් කැළඹී යන්නෙමු.

චමල් ගේ රියෙන් බැස වර්ෂා හා කිසල් ද චමල් ද ගෙට ගොඩ වෙනකොට ම වර්ෂා ගේ කම්මුලක් හරහා අතුල් පහරක් එල්ල විය.

“මොරීන්…පිස්සුද ඔයාට…”

සනත් කෑ ගැසුවේ ය. වර්ෂා සිය සුරතින් වම් කොපුල අල්ලා ගත්තා ය. මොරීන් ගේ ඇස් බැල්ම වර්ෂා වෙතට ගිනි දලු විහිදමින් තිබිණ.

“මං එපා කියන දේ කරන්න තමුං කවුද…තමුං ගමං ගිහිං තියෙන්නෙ අර පාං කඩේ කෙල්ල එක්ක. ලැජ්ජ නැද්ද දෙන්නටම…ආ…ලැජ්ජ නැද්ද…”

“මොකද්ද අක්ක ලැජ්ජ වෙන්න කියල ඒ ළමයි කළේ…ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ…ඇයි ඒ ළමයින්ටත් ජීවිතයක් කියල දෙයක් නැද්ද…”

එදා තමුන් වෙනුවෙන් කතා නො කළ චමල් අද කිසල් හා වර්ෂා වෙනුවෙන් පෙනී සිටියේ ය. 

“තමුන් කරගත්ත දේ මගෙ ළමයින්ටත් වෙන්න අරින්න කියලද කියන්නෙ…පැත්තකට වෙනව චමල්”

“මං කරගත්ත දේ නෙවෙයි. මට වෙච්ච දේ. හැබැයි මට එහෙම වුණේ ඔයා නිසා. මට එහෙම සිද්ද වෙන්න සැලැස්සුවෙ ඔයා. අන්න ඒක මතක තියා ගන්න”

චමල් ද කැත්තට පොල්ල සේ සිටියේ ය.

“මං මොකද්ද කළේ…මං තමුන්ට හොඳ කසාදයක් කරල දුන්න. ඒ ගෑනිව තියාගන්න බැරි වුණේ තමුංගෙ වැරැද්ද නිසයි”

“ඇති ඇති දැං. ඕක නවත්තන්න මොරීන්”

පහළ ස්වරයකින් වී ද සනත් කතා කළේ තදිනි. ඒ විධානය හමුවේ මොරීන් තරමක් මෙල්ල වූ සේ ය. නමුත් මුලුමනින් පැරදෙන්නට ඈ සූදානම් වූයේ නැත.

“මං මෙයාලට කියලනෙ තියෙන්නෙ සනත්…එහෙම එකේ මෙහෙම දෙයක් කරල මේගොල්ලො වරදක් නෙවෙයිද සනත් කළේ..හරියට අම්ම කියන දේ කරන්නෙම නෑ වගේනෙ වැඩ කරන්නෙ”

“එහෙම නෑ අම්ම. ඒත් අපි කැමති අයව කරන්න අපිට අයිතියක් තියෙනව. අනික පළිඟු කියන්නෙ නරක ළමයෙක් නෙවෙයිනෙ”

“වර්ෂා…පුතා දැං කාමරේට යන්න. දෙන්නම යන්න. ඉඳගන්න මල්ලි”

සනත් තත්වය සම්පූර්ණයෙන් සියතට ගනිමින් සිටියේ ය. චමල් අසුන්ගත වූයේ ඒ තරම් ප්‍රසාදයකින් නොවේ. නමුත් සනත් නිසාවෙන් දමා ගසා යා නො හැකි බවක් ඔහු ට දැනිණ.

“ඔයා මේ ළමයිංගෙ මාමා චමල්. ඔයත් ඒගොල්ලංගෙ වයසට වැටිල ඒ වැරදි වලට අනුබල දෙන්න හදන්නෙපා”

මොරීන් නැවතත් දේශනය පටන් ගත්තා ය. සනත් ඇය ට නිහඬ වන ලෙසට ඉඟි කළේ ය.

“කෙල්ල කතා කළා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න එන්න කියල. මං ඔය මුකුත් දැනගෙන හිටියෙත් නෑ අයිය”

“මට තේරෙනව මල්ලි. අක්ක මේ බොරුවට කළබල වෙලා”

“බොරුවට..”

“මොරීන්…”

“කොල්ල ඒ ගෑනු ළමය එක්ක සතුටෙං ඉඳියි අක්ක. අන්න ඒ ගැන හිතන්න”

“අනේ මේ. මගෙ ළමයිංගෙ අනාගතේ ගැන මං බලා ගන්නං. ඔයා තමුංගෙ කසාදෙවත් බලා ගන්න බැරි වුණ මිනිහ මට ඒ ගැන උපදෙස් දෙන්න ඕන නෑ”

චමල් වහා ම අසුනෙන් නැගී සිටියේ ය. 

“මෙයත් එක්ක කතා කරල වැඩක් නෑ. මං යනව අයියෙ”

කියාගෙන ගෙන් පිටතට ගියේ ය. මහත් නිහැඬියාවක් එක මොහොතකට මුලු නිවස අරක් ගති. සනත් සුසුමක් හෙළා ගෙන අසුනෙන් නැගිට කාමරය වෙත ගියේ ය. 

ඒ ගමන ගැන මොරීන් දැන ගත්තේ වර්ෂා විසින් මුහුණු පොතට යොමු කොට තිබූ ඡායාරූප කිහිපයක් අක්ෂා ගේ ඇසට හසු වීමෙනි. සමහර දේවල් තමුන් ට නො ලැබෙත්දී ඉවසා ගන්නට ඇතැම් අයට පුළුවන. නමුත් වෙනකෙකු ට හිමි වනයුරු බලා ඉන්නට නුපුළුවන. මේ වෙත්දී අක්ෂි පත් ව හිටියේත් ඒ තත්වයට ය. ආයේ ඇයට කිසල් ව ඕනේ ම නැති වන්නට පුළුවන. නමුත් පළිඟු ගේ සතුට බලා සිටීමේ හැකියාවක් ඇයට නොවේ.

ඒ ගමනෙන් පස්සේ  මොරීන් තවත් වතාවක් පළිඟු ගෙන්වා අවවාද කළා ය.

“ඔයා හිතන්න ඕන නේද එයාගෙ යහපත ගැන. ඇත්තටම කිසල්ට ආදරෙයිනං කරන්න ඕනෙ ඒක. ඔය ළමයට තේරෙනවනෙ…පවුල් විදිහට අපි ගැලපෙන්නෑ. මේ ස්කොල් එකෙං ප්‍රයෝජන අරං පාඩුවෙ ඉගෙන ගන්න. ඊට පස්සෙ ජොබ් එකක් හොයාගෙන ඔයාට ගැලපෙන කෙනෙක්ව තෝරගන්න. කසාදයක් කියන දේට ඒ දෙන්න විතරක් කැමති වෙලා හරියන්නෙ නෑ ළමයො. දෙමව්පියනුත් කැමති වෙන්න ඕනෙ. දෙමව්පියන්ගෙ හිත් රිද්දල කරන දේවල් කවදාවත් හරියන්නෙ නෑ”

පළිඟු ගේ හිත වෙන කවර දා ටත් වඩා රිදිණ. මොරීන් හිතා මතා ම ඇගේ ආත්ම අභිමානයට දැඩි පහරක් එල්ල කොට තිබිණි. කිසල් ට කරන්නේ වරදක් දැයි නතර වී සිතිය යුතු බවක් ඇය ට දැනුණේ ය. කිසල් ට නො කියා ම විශ්ව විද්‍යාලයෙන් නික්මුණු පළිඟු කල්පනා කරමින් මග දිග ඇවිද යන්නට වූවා ය. ඕ අවන් හල වෙත ගියේ නැත. රොබරෝසි මල් වල රෝස පැහැය බිම ත් උඩත් විසුල පලසක් ව පෙනුණේ ය. මල් පෑගීම ගැන ප්‍රශ්නයක් මේ වෙලාවේ පළිඟු කෙරේ වූයේ ම නැත. එය එක්තරා ආකාරයක සිහි මුර්ජාවක් බඳු ය.

කිසල් ව හෝ ශිෂ්‍යත්වය යන දෙකෙන් එකක් තෝරා ගන්න ය කියා මොරින් කී වෙලාවේ නො දැනුණ සන්ත්‍රාසයක් හා භීතිකාවක් ද අපේක්ෂා භංගත්වයක් ද මේ වෙලාවේ යුවතිය පෙළයි. දැන් ඇය ඍජුව ම කියා සිටින්නේ කිසල් වෙතින් දුරස් විය යුතු බවයි. ඇරඹුමේදී ම ඕ නො දැන සිටියා නොවේ. මෙවන් ඇසුරකට කිසල් ගේ පාර්ශවයෙන් කිසිදු එකඟතාවයක් නො ලැබෙන බව ඇය දැන උන්නා ය. නමුත් ආදරය එවන් විරෝධතා මායිම් කළේ නැත. දුෂ්කරතා ගැන තැකුවේ නැත. ප්‍රේමය හැඳින ගත්තේ ප්‍රේමය ම ය. 

ඇය දිගට ම ඇවිද යමින් සිටියා ය. සිහිනයෙන් ඇවිද යන්නා සේ ඇවිද යමින් සිටියා ය. සිතිවිලි කෝටි ප්‍රකෝටි ගණනින් විත් විවිධාකාර චිත්ත රූප මනසෙහි අඳින්නට වූයේ ය. ඒවා අතරින් කළ යුත්තේ කුමක් දැයි නිවැරදි ව සිතා බලා තෝරා බේරා වෙන් කර ගන්නට ඇය දැන සිටියේ නැත. කිසල් ගෙන් දුරස් විය යුතු ද? එසේ කළ හැකි ද? නො එසේ නම් කළ යුතු වන්නේ කුමක් ද? ඔවුන් ගේ ජීවිත මධ්‍යයේ ගැටළුවක් වී නතර වන්නට වීම ඈ වේදනාවට පත් කර තිබුණේ ය. ප්‍රේමය කියන්නේ ම වේදනාවකි. එය ඇරඹෙන්නේත් පවතින්නේත් විනාශ වී යන්නේත් වේදනාවේ ප්‍රතිඵලයක් ලෙස නො විය හැකි ද?

කිසල් ගෙන් ඇමතුමක් ආවේ ඒ වෙලාවේ ය.

“හෙ…ලෝ…”

කටහඬ බිඳී ගියත් වෙනසක් නො හඟවන්නට ඇය ට උවමනා විය. නමුත් ඔහු තරමක් කලබල වී සිටියේ ය.

“කොහෙද පළිඟු ඔයා ඉන්නෙ…මොකද වුණේ…ඇයි කියන්නෙවත් නැතුව කැම්පස් එකෙං ගියේ…අපේ අම්ම ඔයාට ඔෆිස් එකට එන්න කිව්වද…මොනාද එයා කිව්වෙ…”

ඔහු ප්‍රශ්න වැලක් ම අසාගෙන ගියේ ය. පළිඟු ලොකු සුසුමක් හෙළුවා ය. මේ සියලු ප්‍රශ්න ඔහු ගේ හිතට වද දෙන බව පළිඟු දනී. නමුත් මේ කිසිදු ප්‍රශ්නයකට දිය හැකි පැහැදිලි පිළිතුරක් ඇය සතු ව නැත.

“මට ටිකක් නිදහසේ හිතන්න ඕන වුණා කිසල්. ඒක නිසා එළියට ආව”

“මට කියන්න ඔයා කොතනද ඉන්නෙ කියල. මං එන්නං”

“ඕන්නෑ කිසල්”

කියා කීවත් ඉන්නා ඉසව්වේ මං සලකුණු කියන්නට අන්තිමේ ඇය ට සිදු විය. අතු පතර විදා ගත් දැවැන්ත මැයි ගසක් යට නතර වී ඔහු එනතුරු ඈ බලා සිටියා ය. මේ දවස් වල මැයි ගස මල් වරා තිබේ. නමුත් අසාමාන්‍ය සිසිලසක් එය ඇයට ලබා දුන්නේ ය.

ඈ නිසා කිසල් ගේ මව හා ඔහු අතර ගැටුම් ඇති වෙනවා දකින්නට ඇය රිසි නැත. හිමි වෙන්නට ඉරණමේ ලියැවී නැත්නම් ඔවුන් හමු වන්නට සැලැස්වීමෙන් දෛවය බලාපොරොත්තු වූයේ කවරක් දැයි සිතා ගත නො හැකි ය. 

එතැන වෑන් රථයක් නැවතෙනු ඈ දුටුවා ය. නමුත් පළිඟු වැඩි උවමනාවකින් බලන්නට ගියේ නැත. රථයෙන් යමෙක් බසිනු දුටු නිසා ඈ මඳක් ඈත් වනු වස් අඩියක් පෙරට තැබුවා පමණි. ඉන් බැස ගත් තැනැත්තා ඇයව අල්ලා රිය තුලට දමා ගත්තේ විදුලියක වේගයෙනි. කිසිත් සිතා ගත නො හැකි වූ පළිඟු කෑ ගසන්නටත් දඟලන්නටත් පටන් ගත්තා ය.

“දඟලල වෙඩි කන්න එපා. සද්ද බද්ද නැතුව පාඩුවෙ ගියොත් තමුන්ට කිසි කරදරයක් වෙන්නෑ”

රළු හඬක් තර්ජනය කළේ ය. පළිඟු බියෙන් තැතිගෙන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x