ඔබේ සහකරු ඔබව රවටනවාද කියල ඔබටම දැනගන්න පුලුවන් ඉඟි 11 ක්.

දෙදෙනෙකු අතරෙ බැඳීමක් රැඳී පවතින්නේ එකිනෙකා වෙත ගොඩනැගෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය මතයි. මේ බැඳීම මානසික කාරණාවක්. විවාහක යුවළක් අතරෙ මනසින් ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්න කායිකව ඇතිවන බැඳීමත් පිටුබලයක් වෙනවා. ඉතින් මේ සහසම්බන්ධය ආරම්භ කරපු මුල් කාලෙට වඩා දැන් තත්වය වෙනස් වෙලා ද? ඔහු ඔබව රවටනවා කියලා ඔබට හිතෙන්න පටන් අරන් ද? ඇත්තටම ඔබට එහෙම හිතුණත් ඔහු ඔබව රවටනවා නොවෙන්නත් පුළුවනි. කොහොම වුණත් මේ තත්වය හරියාකාරවම හඳුනාගන්න මනෝ වෛද්‍ය උපදේශකයින් තහවුරු කරන ඉඟි 11 ක් අපි ඔබට කියාදෙන්න සූදානම්.

හොරෙක් වගේ කෝල් ගන්නව ද?

උගුරට හොරා බෙහෙත් කන්න අමාරුයි නේ. දුරකථන ඇමතුමක් එනවිට ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා නම්, සමහරවිට ප්‍රේමණීය හෝ ඔබ ඔහු සමීපයේ සිටිනවා නම් බිය වූ ස්වරූපයක්, තැතිගැන්මක්, වරදකාරී හැඟීමක් මතුවෙනවානම්, ඔබ සිටින නිසා සමහර ඇමතුම් උවමනාවෙන්ම මඟහැර දමනවානම්, ඇමතුමක සිටිය දී ඔබ සමීපයට ආ විට කතාවේ ස්වරය වෙනස් කරනවානම්, සමහරවිට ඔහු අලුත් සම්බන්ධෙකට මුල පුරලා විය හැකියි.

ෆෝන් එකේ හිස්ට්‍රි ඩිලීට් කරනවද?

අනුන්ගෙ ෆෝන් බලන එක කොහොමටවත් හොඳ පුරුද්දක් නෙවෙයි. එයා ඔයාගෙ හෑන්ඩ් බෑග් එක අවුස්සන එක, ෆෝන් එක බලන එක ඔයාගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා වගේම ඔහුගේ පැත්තෙනුත් ඔබ එහෙම කරන එක කොහොමටත් සුදුසු නැහැ. හැබැයි කාලයක් පුරා ඔහු ගැන ඔබට ඇති වී තියෙන සැකයක් තහවුරු කරගන්න ඕනෑ වුණොත්, ඔහු එක්ක ඒ ගැන කතා කළත් හරි පිළිතුරක් නොලැබුණොත් පරීක්ෂණ කටයුත්තක් හැටියට ඔහු ඔබේ ස්වාමිපුරුෂයා නිසා ඔහුගේ දුරකථනය බලන්නට පුළුවනි. ආසන්නයේ ම පැමිණි ඇමතුම්, ගත් ඇමතුම්, ලැබුණු පණිවුඩ, යැවූ පණිවුඩ කිසිවක් දැනගන්නට නොහැකි වන අයුරින් ඒවා මකා දමා ඇත්නම් සමහරවිට ඔබේ සැකය ඇත්ත වේගෙන යනවා විය හැකියි.

රහසිගත ෆේස් බුක් ගිණුම්/ ඊ මේල්/ දුරකථන/සිම්පත් භාවිත කරනවාද?

ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය කරන්නට ඔබට අපහසුයි. සමහර රාජකාරී අවශ්‍යතා අනුව ගිණුම් කිහිපයක් පවත්වාගැනීමේ තාක්ෂණික උවමනාවන් ඔහුට තිබෙන්නටත් පුළුවනි. ඒ කොහොම වුණත්, ඔහු මේ සියල්ල ඔබෙන් සඟවන්නට උත්සාහ දරනවානම්, ඇතැම්විට ඒ ඔහු ඔබ රවටන බවට ඉඟියක් විය හැකියි.

පවුලේ සාද, උත්සව, හමුවීම් මඟහරිනවාද

කාර්යබහුල බව නිසා ආරාධනා ලැබෙන හැම සාදයකට ම, හැම උත්සවයකට ම සහභාගී වන්න ඔහුට අපහසු විය හැකියි. ඒත්, ඇත්තටම එවැනි කාර්යබහුල තත්වයක නොසිටියදී පවා වෙනදා ඔහු ප්‍රිය කරන නෑ මිතුරු සම්බන්ධතාවලින් කෙමෙන් ඈත්වෙන්නට උත්සාහ කරනවා නම් සමහරවිට ඒක අලුත් සම්බන්ධයක් නිසා ඔහුගේ වූ පරිවර්තනයක් විය හැකියි.

ගෙදර රැඳෙන වෙලාව, ගෙදර හිටියත් ඔබත් එක්ක ගත කරන වෙලාව එන්න එන්නම අඩු වෙලා ද?

මොන වැඩ තිබුණත් හවස හයට කලින් වෙනදට ගෙදර ආව මනුස්සයා දැන් මහ රෑ වෙනකල් ඔෆිස් එකේ වැඩ තියෙන බව කියනවනම් ඇත්තම කාරණේ ඒක ද කියල හොයා බලන්න වෙනවා. සමහර විට රෑ කෑමට අලුත් අමුත්තෙක් ඔහු එක්ක එකතු වෙලා වෙන්න බැරි නෑ. ඒ වගේම ගෙදර හිටියත් ඔහු ඉන්නෙ එක්කො යාලුවෙක් එක්ක දුරකථන ඇමතුමක නම්, ලැප්ටොප් එකේ මූණ ඔබාගෙන නම්, ඔබ එක්ක කතා කරන්න විශේෂ දෙයක් නැති තරමට හිස් බවක් මූණෙන් පෙන්නනවානම් මොකක් හරි විපර්යාසයක් ඔහුට සිදුවී ඇති බව හිතන්න වෙනවා. ඔහු ඇත්තටම ඔබ රවටනවා නොවුණත්, ඉදිරියෙදි එහෙම අනතුරක් ඔබට අත්වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.

අමුතු ආදරයක් ඇති වෙලා ද?

වෙන දා කවදාවත් ඔබට පැටියෝ, රත්තරන් වගේ වචනවලින් ආමන්ත්‍රණය නොකරපු ඔහු දැන් දැන් එවැනි වදන් වලින් ඔබ අමතන්න පටන් අරගෙන ද? ඔහු නිතරම ඔබ මතක් කරන බව, ඔබ නැතුව බැරි බව නිතර නිතර කියන්න පටන් අ‍රගෙන ද? හිටි ගමන් තෑගි බෝග අරගෙන ගෙදර එන්න පටන් අරන් ද? මේක ඔහුගේ අලුත් ආදර සම්බන්ධය වසන් කරගන්නට ඔහුගේ වරදකාරී හැඟීම යටපත් කරගන්නට දරන උත්සාහයක් විය හැකියි. හැබැයි සමහරවිට එහෙම නොවී ධනාත්මක චින්තන හෝ උපදේශන වැඩමුළුවකට හෝ ආගමික දේශනයකට සහභාගීවීමෙන් පසු ඔහුට ඇති වූ චිත්ත විපර්යාසයක් වන්නටත් පුළුවනි. කොහොම වුණත් ඔබේ එලාර්ම් එක තියාගෙන ඉන්න මේක හොඳම වෙලාව.

ගෙදර නැති සුවඳ විලවුන්වල සුවඳ එන්න පටන් අරන් ද?

ඔහු වැඩ කරන්නෙ සුවඳ විලවුන් කම්පැනි එකක නම් මේක අදාළ වෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම් ෂොපින් ගියපු වෙලාවක සුවඳ විලවුන් බෝතලයක් ගන්න ටෙස්ටර් කිහිපයක් පාවිච්චි කරන වෙලාවක දි මෙහෙම වෙන්නත් පුළුවන්. හැබැයි දිගින් දිගටම ඔහුගෙන් එන විලවුන් සුවඳේ වෙනසක් ඔබට දැනෙනවානම් ඒක සැලකිල්ලෙන් ඉන්න වෙන කාරණාවක්.

යහනේ දී උනන්දුව මදිද?

වෙනදා තරම් එක්වීම්වල සාර්ථක බවක් දැනෙන්නේ නැද්ද? ඔහු ඔබ සමඟ ඉන්නේ සතුටින් නොවන බව, ඔහුගේ ස්පර්ශයන් එතරම් තාත්වික නොවන බව, සුමට නොවන බව එහෙමත් නැත්නම් කෘතීම බව දැනෙනවා නම්, වෙනත් සම්බන්ධයක ඔහු පැටලී සිටීම ඊට හේතුවක් විය හැකියි. ඒත් ලිංගික උදාසීනබවට මෙය එකම හේතුව නොවෙයි.

බාහිර පෙනුම ගැන උනන්දුව වැඩි කරගෙන ද?

වෙනදා තමන්ගෙ ඇඳුම් පැළඳුම් ගැන පිළිවෙළ ගැන ඒ තරම් තැකීමක් නොකළ, කොටින්ම ඔබේ උනන්දුවෙන් පිළිවෙළකට එළියට යන ඔහු දැන් තමන්ගෙ බාහිර පෙනුම කඩවසම් ව පවත්වාගෙන යන්න අතිශයින් වෙහෙසෙන බවක් පේනවාද? සමහරවිට ආයතනික වශයෙන් ඔහුට ලැබුණු අලුත් තනතුර, ඔහුගේ හිත මිතුරන්ගේ යෝජනා සහ ප්‍රතිචාර පැරණි තත්වය වෙනස් කළා විය හැකියි. හැබැයි හොඳින් ඉතා සියුම්ව, හොඳින් ඔහු ගැන අවධානයෙන් සිටියොත් ඇත්ත ම කාරණාව ඔබට හමුවේවි.

රණ්ඩු අහුලනව ද?

ඔබ කොයිතරම් හොඳින් ආරම්භ කරන කතාවක් වුණත් ඔහු ඒක අවසන් කරන්නෙ චෝදනාවකින්, ප්‍රතික්ෂේප කිරීමකින්, උපහාසයකින්, වරද පැටවීමකින් නම් ඔහු ඉන්නේ ඔබ සමඟ දුරස් සම්බන්ධතාවයක් නඩත්තු කරගෙනයි. මොන දේ ඇසුවත් කේන්ති යන ලක්ෂණය, කොටින් ම වෙනදා නොතිබුණු ආවේගකාරී හැසිරීම්, වචන භාවිතයේ දී අකාරුණික බව, රණ්ඩු අහුලන්නට පටන් ගැනීම ඔහු වෙනත් සම්බන්ධයකට මුල පුරා ඇති බවට, ඔබ රැවටීමකට හසුව ඇති බවට හේතුව විය හැකියි. එහෙත් ඔහු ඉන්නේ රාජකාරිමය වශයෙන් හෝ මිතුරන් නිසා හෝ වෙනත් ඇබ්බැහියක් නිසා හෝ වන මානසික පීඩනයක නම් එහිදීත් මෙවැනි ලක්ෂණ ඔහුගෙන් මතුවිය හැකියි. සැලකිල්ලෙන් තත්වයට මුහුණ දෙන්න.

අනවශ්‍ය වියදම් වැඩි වෙලා ද?

වෙනදා දෙදෙනා අතර තිබුණු මුදල් පිළිබඳ විනිවිදභාවය දැන් ඔහුගෙන් දුරස් වෙලාද? තෑගි බෝග, හෝටල් බිල්, රෙස්ටුරන් බිල්, චාරිකා, ගමන් බිමන්, විලාසිතා වෙනුවෙන් ඔහු සඟවා කරන වියදම් ලයිස්තුවක් නඩත්තු කිරීම ඇතැම්විට ඊට හේතුව විය හැකියි. කරුණු හරිහැටි සොයා නොබලා ඔහුට චෝදනා කරන්නට යාම වෙනුවට ඉතා සැලකිල්ලෙන් ඔහු පරීක්ෂා කරන්න.

ඉහත කාරණා මනෝ විද්‍යා උපදේශකවරුන් විසින් පිරිමි පාර්ශවයෙන් සිදුකරන බොහෝ රැවටීම් අවස්ථා හැටියට තහවුරු කර තිබෙන නමුත් ඇතැම්විට ඔබට පෞද්ගලික වූ ඔහුගේ ගැටළුව මීට හාත්පසින් වෙනස් විය හැකියි. ඔහු ඇත්තෙන්ම ඔබ රවටන්නට හේතුව මේ එකක්වත් නොවිය හැකියි.

එහෙමත් නැත්නම් ඔහු ඔබ රවටමින් සිටිනවා යන්න සාධක රහිත ඔබේ හිතළුවක් විය හැකියි. පුද්ගල චිත්ත ස්වභාවයන් ගැන හරියාකාරව පුරෝකථන සපයන්නට කිසිවෙකුටත් බැහැ. ඔබේ විනිශ්චයන් සර්ව සාධාරණ වුණත් නැතත් ඔහු එක්ක පවතින ඔබේ සම්බන්ධතාවය යහපත් කරගන්න ඉතාම සියුම් ව උපේක්ෂාවෙන්, විචාර බුද්ධියෙන් කටයුතු කරන්න. කලබල තීරණවලින් ඔබේ සැනසිල්ල ට වල්වදින්නට දෙන්න එපා.

මෙවැනි හැසිරීම් ඔබේ සහකරු තුලින් ලගක සිට ඔබට දකින්න පුලුවන් නම් ඔහු සමග මේ පිළිබද විවෘතව කතා කරන්න , දෙදෙනා සමගම උපදේශනය සදහා යොමු වන්න. මේ සියලු කරුණු ඔබ සමග smartlady වෙබ් අඩවිය බෙදාගන්නෙ මෙවැනි හැසිරීම් ඔබේ සහකරු තුල දක්නට ඇත්නම් ඔබ මානසිකව පීඩාවට පත් නොවී ඉවසීමෙන් වෘත්තීය පලපුරුද්දක් සහිත වෘත්තීය උපදේශකවරයෙක් ගෙ සහය ගත යුතු බවඔබට මතක් කර දීමටයි.

Related Articles

Don't Miss


Latest Articles