පළිඟු මන්දිර – 34

0
1138

මැයි ගහ යට හිඳ කිසල් පළිඟු ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තේ ය. ඉන්නවා කී තැන ඇය නොවේ. ඔහු වට පිට බැලුවේ ය. කිසි තැනෙක ඈ නැත. 

පළිඟු ඇමතුමට පිළිතුරු දෙන්නට සූදානම් වූවා ය. නමුත් ඇය ව පැහැර ගත් පුද්ගලයා ඈ අතින් දුරකතනය උදුරා ගෙන එය ක්‍රියා විරහිත කළේ ය.

“මොකද්ද මේකෙ තේරුම…ඇයි මාව මෙහෙම අරං යන්නෙ…”

හැකි තාක් නිරවුල් සිහියක් ඇති ව හැසිරෙන්නට පළිඟු උත්සාහ කළා ය. 

“කලබල වෙන්න දෙයක් නෑනෙ. මට කැමති වෙන්න විතරයි ඔයාට තියෙන්නෙ. මට කැමති වුණානං කිසිම ප්‍රශ්නයක් නෑ”

ඔහු උස් හඬින් සිනහ වූවේ ය. පළිඟු ඔහු ගේ මූණ දෙස හරියට බැලුවේ එතකොට ය. හෙතෙම තරුණයෙකි. හැඩි දැඩි සිරුරක් ඇති තරුණයෙකි.

“ඇයි මං ඔයාට කැමති වෙන්නෙ…”

ඇය තරමක් තදින් ප්‍රශ්න කළා ය.

“අනිත් එක ගෑනු ළමයෙක්ගෙං කැමැත්ත අහන්නෙ මෙහෙමද…මේ විදිහට බලෙං වාහන වලට දාගෙනද…”

ඔහු නැවතත් උස් හඬින් හිනැහුණේ ය. කිසියම් තිගැස්මක් පළිඟු වෙත විය. නමුත් ඇය බියක් නො පෙන්වා ඉන්නට හැකි තාක් උත්සාහ කළා ය. දැන් ඈ සිටින්නේ නො දන්නා පිරිමියෙකු ගේ ග්‍රහණයට නතුව ය. යමක් කළ යුත්තේ ඉතා හොඳින් කල්පනා කිරීමෙන් පසු බව ඇය දැන උන්නා ය. 

“මට යන්න දෙන්න ප්ලීස්. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව”

“එහෙම කොහොමද…මන්නෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්”

නන්නාඳුනන අතුරු පාරවල් ගණනාවක් දිගේ ගිය රිය වත්තකට ඇතුලු කොට නැවතිණි. ඊට පෙර කිහිප වතාවක ම කෑ ගසන්නට ගිය පළිඟු නිහඬ වූයේ ඔවුන් අත වූ පිස්තෝලයක් නිසාවෙනි.

“බහින්න. මං කිව්වනෙ. ඔයාට කිසිම කරදරයක් වෙන්නෑ”

ඔවුහු පළිඟු ව ගෙතුළට තල්ලු කළහ. ඉන් පසු කිසිදු කතා බහකින් තොර ව හැඩි දැඩි තරුණයා ඇය වැළඳ ගත්තේ ය. පළිඟු ඔහු ගෙන් මිදෙනු වස් දැඟළුවා ය. කෑ ගැසුවා ය. නමුත් ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නට කෙනෙක් එහි සිටියේ නැත. 

ඇය ට කිසිත් සිතා ගත නො හැකි ය. ටික වෙලාවකට පස්සේ ඔවුන් ම පළිඟු ව රියෙහි දමා ගෙන විත් මගින් බස්වා ගියහ. ඇය කිසිත් සිතා ගත නො හැකි තුෂ්ණිම්භූත තත්වයක පසු වූවා ය.

පළිඟු අත පත් ඇගේ දුරකතනය ට කිසල් ගෙන් යළි ඇමතුමක් පැමිණියේ ය. 

“කිසල්”

හදවත ගැස්ම කෙතරම් උත්සන්න ව තිබිණි ද හැකි තාක් සාමාන්‍ය තත්වයෙන් කතා කරන්නට ඇයට ඕනෑ විය.

“කොහෙද මනුස්සයො ගියේ…මං මැයි ගහ ළඟට ඇවිත් කොච්චර කෝල් කළාද…කෝල්ස් වලට ආන්සර් කළේ නැත්තෙ මොකද…”

“ම්…මෙ…මට…පොඩි හදිස්සි වැඩකට එන්න වුණා කිසල්. අනේ සොරි…මං…ෆෝන් එක බෑග් එකේ දාං හිටියෙ…සයිලන්ට් දාල තිබුණෙ”

එහෙම බොරුවක් කියන්නට ඇය පොළඹවාලූයේ ඔහු ව කරදරයක පටලන්නට තිබූ නො කැමැත්තයි. සිද්ධ වූයේ කුමක් දැයි පළිඟු ට තවමත් සිතා ගත නො හැකි ය. ඇය ව වැළඳ ගැනීමේ උත්සාහයක් ගත්තා මිස ඒ නාඳුනන මිනිසා ඇයට කිසිත් කීවේ හෝ ඇසුවේ හෝ නැත. මුලින් ඇගේ කැමැත්ත ගැන කතාවක් කීවාට පසුව එවැන්නක් ගැන සඳහනක් හෝ නො කළේ ය. මෙහි මතුපිටින් සිදු වූ දේ ට වඩා යමක් ඇතුළතින් විය නො හැකි දැයි පළිඟු කල්පනා කළා ය. මොරීන් හෝ අක්ෂි විසින් මෙය සිදු කරන ලද්දේ නම් මීට වඩා බරපතල යමක් සිදු විය යුතුව තිබුණා නොවේ ද? ඔවුන් විසින් ඇය ව පැහැර ගනු ලැබ ඒ තරම් පහසුවෙන් නිදහස් කර යවාවියි සිතිය හැකි ද? 

තනි ව කිසිත් අවබෝධ කර ගත නො හැකි වූ තැන පළිඟු වර්ෂා ට කතා කළා ය. වත්සලා සමගින් මේ බවක් පැවසුවහොත් ඇය වඩාත් කලබල වනු ඇත. වර්ෂා පළිඟු ව මුණ ගැහුණේ නුගේගොඩ නගර මධ්‍යයේ දී ය. පළිඟු විසින් අකුරක හෝ අඩුපාඩුවකින් තොර ව, සිදු වූ සියල්ල වර්ෂා සමගින් පවසන ලදී.

“ඒක හිතා ගන්න බැරි වැඩක්නෙ”

සැබවින් ම ඈ පුදුම වූවා ය.

“මං අපේ අම්මිව පොඩ්ඩක්වත් සුද්ද කරන්නෑ පළිඟු…එයා තමන්ට ඕන දේ සිද්ද කර ගන්න ඕනම දෙයක් කරයි. ඒත් එයා මේ වැඩේ කෙරෙව්වනං මේකෙං එයාට මොකද්ද ලැබෙන්නෙ…මං කියන්නෙ අක්ෂි කළා වුණත්….එක්කො ඔයාට කරදරයක් කරන්න ඕනෙ. එහෙම නැත්තං ටික දවසකට හරි ඔයාව හංගගෙන ඉන්න ඕනෙ. එහෙමත් නැත්නං තර්ජයක් හරි කරන්න ඕනනෙ. ඒ කිසි දෙයක් නැතුව ඔයාව අරං ගිහිං ඔය විදිහට එව්වෙ…”

“මටත් කිසි දෙයක් තේරෙන්නෙ නෑ. කිසල් ට කිව්වොත් එයා මොන විදිහෙ කලබලයක් ඇති කරයිද දන්නෑ. සමහර විට මොරින් මැඩම් එක්ක රණ්ඩු කරන්නත් පුළුවන්”

“ඔව් ඔව්. එයා දේවලට රිඇක්ට් කරන්නෙ ටිකක් අමුතු විදිහටනෙ. දැක්කෙ නැද්ද අක්ෂිට රිද්දන්න කරපු දේ”

“අපි දැං මොකද කරන්නෙ වර්ෂා…”

“අපි සද්ද නැතුව ඉමුකො බලන්න. හැබැයි මේකෙ රිසල්ට් එකක් විදිහට මොකක් හරි දෙයක් සිද්ද වෙන්නම ඕනෙ. ඒක මොකද්ද කියල බලමු. ඔයා පරිස්සමෙන් ඉන්න ඕනෙ පළිඟු. ඔය විදිහට තනියම ගමන්නං තියා ගන්නම එපා”

ජීවිතය හැම දාම එක ම ස්වරූපයකින් පවත්නේ නැත. මඳ සුළං සේ ම චණ්ඩ මාරුත ද එය පිස හමන කාල උදා වේ.  ළා හිරු සේ ම ගිනියම් හිරු ඒ දවන කාල ද උදා වන්නේ ය.  ඒ කවර ඍතුවකදී වී ද අපි ජීවිතයට මුහුණ දිය යුතු වන්නෙමු. ඍතු වෙනසක් වන්නට යන බව පළිඟු ට ඉවෙන් වාගේ දැනෙමින් තිබිණි. නමුත් ඒ වෙනසට බියෙන් කිසිවක් සිය මිටෙන් මුදා හැර ගන්නට ඇය ට ඕනෑ වූයේ නැත. ඇය සුළං මුහුණතෙහි සිට ගෙන, පැමිණෙන්නට නියමිත දෙයක් පිළිගනු වස් බලා සිටියා ය.

අන්තිමට එය පැමිණියේ ය. ඒ නවීන තාක්ෂණය ඔස්සේ මොරීන්, සනත්, කිසල්, වර්ෂා, උතුම් ඇතුළු ව තවත් විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකු ගේ ම ජංගම දුරකතන වලට ය. පළිඟු තරුණයෙකු ට තුරුලු ව හිඳින ඡායාරූප කිහිපයක් ඒවායේ විය. ඒ දුටු කිසල් කැළඹී ගියේ ය. ඇය මේ විදිහට තරුණයෙකු ඇසුරු කළේ කවදා දැයි ඔහු ට සිතා ගත නො හැකි විණි. පළිඟු කියා තිබුණේ කිසල් ට පෙර කවදාවත් ඇයට පෙම්වතෙකු නොවූ බවයි!

“අවුල් තමයි බං. ඒත් උඹ පුළුවන් තරං අවුල් නොවී හිටපං”

උතුම් කල් ඇතිව ම කීවේ ය. කිසල් බරපතල ලෙස කල්පනා කරන්නට වූයේ ය. ඒවා සංස්කරණය කළ ඡායාරූප නො වන බව පැහැදිළි ය. ඒ සිටින්නේ පළිඟු ම ය. ඔහු තුළ ලජ්ජාවක් ඇති නො වුණා ම ද නොවේ. විශ්ව විද්‍යාල සිසුන් අතර මේ සිද්ධිය පැතිර ගියේ ලැව් ගින්නක් සේ ය. උදේ සරසවියට පැමිණි පළිඟු දෙස ළමයින් බැලුවේ වපරැහිනි.  සිනාසුණේ සමච්චලයෙනි. ඔවුන් කියන්නේ ඇනුම්පද බව දැනුණත් එහෙම කියන්නේ ඇයි කියා ඈ දැන නො සිටියා ය. වෙනදා සේ කිසල් ඇය එන පෙරමග වූයේ නැත. උන් හිටි ගමන් ලෝකයේ භ්‍රමණය වෙනස් වූයේ කෙසේද කියා නො දැන ඕ වැඩි වූ හද ගැස්ම ඇති ව කිසල් සොයා යමින් සිටියා ය. උතුම් ඇය වෙත ඒ අතරේ ය.

“ඇයි…ඔහොම බලන්නෙ…”

උතුම් ගේ බැල්මේ පවා වෙනසක් පළිඟු ට දැනිණ.

“මොකද්ද බං මේ කර ගත්තෙ…”

“ඇයි…මොකද්ද…”

“ඒ පින්තූර ටික දැං මුළු කැම්පස් එකම දැකලයි තියෙන්නෙ”

“මොන පින්තූරද…”

“ඇත්තටම කවුද ඒ…”

උතුම් සිය දුරකතනයේ වූ ඡායාරූප කිහිපය පළිඟු ට පෙන්වූයේ ය. ඇගේ ඇස් ද්වේශයෙන් දිළිහෙන්නට විය.

“මොකද්ද පළිඟු මේකෙ තේරුම…”

“කිසල්…එයා…එයා…”

“කිසල් ෆුල් අවුල්”

“අනේ අයියෙ”

වෛර කරන්නට මිස හඬන්නට ඇයට ඕනෑ වූයේ නැත. නමුත් අසරණ හැඟීමක් දැනෙන බොහෝ අවස්ථා වල ගැහැනු ඇස් කඳුළු ඉස්සර කර ගන්නේ ය. පළිඟු ගේ කොපුල් තලා දිගේ කඳුළු දෙපෙළක් ගලා යන්නට විය. 

ඒ වෙලාවේ විශ්ව විද්‍යාලය වෙත පැමිණෙමින් තිබූ මොරීන් රැගත් රිය පළිඟු හා උතුම් කතා කරමින් සිටි ස්ථානයට ඔබ්බෙන් නතර වූයේ ය. රියෙන් බට මොරීන් පළිඟු දෙස බලා ගෙන ඔවුන් වෙත පැමිණියේ ගිනි ගන්නා දෑසකිනි.

“තර්ඩ් ක්ලාස් පවුල් වල ළමයි මේ වගේ තැන් වලට මැච් වෙන්නෑ කියල මං මුල ඉඳලම දැනං හිටිය. ලැජ්ජයි. අපේ කැම්පස් එකට ඔය වගේ ජරා ළමයෙක් වද්ද ගත්ත එක ගැන ඇත්තටම මට ලැජ්ජයි”

පිහි තුඩකින් පපුව සූරා දමනවා බඳු වේදනාවකින් පළිඟු වේදනා බර වූවා ය. ජීවිතය කෙතරම් දුෂ්කර වී ද ඈ කිසි දා සිය ආත්ම අභිමානය කෙළෙසා ගත් තැනැත්තියක නොවේ. මේ ඡායාරූප වල  සිටින්නේ ඈ නොවේ කියන්නට පළිඟු ට නුපුළුවන. ඒ ඇයයි. එදා ඇය ව බලයෙන් ම රියකට දමා ගෙන ගිය තරුණයා ව ඇය ට මතක ය. ඒ සිදුවීම මුල සිට අගට ම යළි මෙනෙහි කරන්නට ඇය ට පුළුවන. පළිඟු උත්සාහ දැරුවේ ඔහු ගේ ග්‍රහණයෙන් මිදෙන්නට ම ය. නමුත් මේ ඡායාරූප වල එහෙම දෙයක් කියවෙන්නේ නැත. ඒ නිසා මේවා මත ඇය ට චරිත සහතික දෙන්නට ඉදිරිපත් වෙන අය සඳහා කියන්නට නිදහසට කාරණයක් ඇය ට නොමැත්තේ ය. කීවාට කිසිවෙකු එබන්දක් නො පිළිගන්නා බව ද සක් සුදක් සේ විශ්වාස ය.

“ඔය ළමය මෙහෙං යනව. ප්ලීස්…”

කියාගෙන මොරීන් නික්ම ගියා ය. සරසවි සිසුන් ගේ සාවඥ සිනහ මුහුණු දසතින් පළිඟු ට පෙනේ. පොළොව පලා ගෙන සැඟවිය යුතු ද? මේ වරද ඇය නො කළ බව දන්නේ ඈ හා වර්ෂා පමණ ය. මෙයින් මතු කිසල් ඇගේ මූණ දකින්නට පවා පිළිකුල් කරනු ඇත. නමුත් ඔහු පසු පස ප්‍රේමය සිඟමන් යදින්නට තරම් ඇයට දිළිඳු විය නො හැකි ය.

ඒ මොහොතේ වර්ෂා සරසවි දොරටුව ළඟ දී ත්‍රීරෝද රියකින් බැස පළිඟු වෙත දිව ආවා ය. ඇවිත් ඇය වැළඳ ගත්තා ය. පළිඟු තවත් කඳුළු හෙලන්නට නොගොස් ඒවා ඇස් වල ම වාෂ්ප කොට හැරියා ය.

“මං…මං මෙහෙම…”

“මුකුත් කියන්න එපා. ඔයා නිදහසට කාරණා කියන්න ඕන නෑ පළිඟු. මං එදා කිව්වෙ…ඒ සිද්ද වෙච්ච දේ නෙවෙයි භයානක වෙන්නෙ ඒකෙ රිසල්ට් එකයි කියල…ඔයාගෙ වරදක් නැති බව මං දන්නව. ඔයාව විශ්වාස අය ඔයාව තේරුං ගනී. කවුරුත් නැතත් මං ඔයා එක්ක ඉන්නව”

ඒ වචන ටික පළිඟු ට මහ මෙරක් සදිසි ය. මේ කිසිවෙකු වෙතින් විශ්වාසය අයැද සිටිය නො හැකි මොහොතකි. විශ්වාසය කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් මිස කිසිවෙකු ගේ හදවතක බලයෙන් රෝපණය කළ හැකි දෙයක් ද නොවේ. මෙයින් මනතට කවරක් කෙසේ සිදු වේවි ද කියා සිතා ගන්නට හෝ නුපුළුවන. කුමක් සිදු වුණත් ඊට මුහුණ දිය යුතු ව තියේ.

කිසල් ඔවුන් වෙත පැමිණියේ හී ගසක වේගයෙනි. අවකාශය පුරා ඒ මොහොතේ විදුලි කොටන්නට වූවා සේ පළිඟු ට දැනිණ. ඇය වෙත පැමිණි ඔහු තදින් ඇගේ අතක් අල්ලාන වර්ෂා හා උතුම් වෙතින් ඉවතට ඈ කැටුව ගියේ ය. සරසවි බිමේ ඈත කොනක දී ඇගේ අත නිදහස් විය. එතකොට ඒ අත ඉතා තදින් රිදෙමින් තිබිණි. ඊට වඩා බෙහෙවින් ම හිත තුවාල වී ද රිදෙමින් ද ලේ වහනය වෙමින් ද පවතින බව ඇය ට දැනී නො දැනී ගියේ ය.

“මොනවද මේ වෙන්නෙ…මට ඇත්ත කියනව. මොකාද ඌ…”

කිසල් ගේ ගර්ජනාව සරසවිය පුරා දෝංකාර දෙන්නා සේ ය පළිඟු ගේ සවන් මත පිළිරැව් නැංවුණේ. ඇය සිය දෑතින් දෙසවන් වසා ගෙන ඇස් දෙක ද තදින් පියා ගත්තා ය.

4.8 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments