ගැහැනියකගේ ඔසප් වේදනාවට ඇයට අපහාස නොකළ යුත්තේ ඔබත් ගැහැනියක් නිසයි.

“ඇවිත් මේ රෙදි ටික වනනවකෝ..”

මගේ වැඩිමහල් සහෝදරිය එල්සා හිටියේ කෝපයෙන්. ඇගේ රතු වූ මුහුණ වගේම දෑසත් මට වේදනාව අමතක කළා. උණුසුම් තුවායක් යටි බඩට තද කරගෙන වේදනාත්මක කඳුළු වගුරවමින් හිටිය මම ඇය දිහා බැලුවේ අනුකම්පාව ඉල්ලන බැල්මකින්.

“රඟපාන්න එපා.. ඔය මම නොදන්න වේදනාවක් නෙවෙයිනෙ”

එල්සාගේ හඬ කෝපයෙන් උපහාසයට පෙරළුණා. කිසිවක් නොකියා මම ආයේ ඇස් පියා ගත්තා.

ඔව්,මේක වේදනාවක්.අවුරුදු පහළොවක ගැහැනු ළමයෙක්ට දරන්න අපහසු වේදනාවක්. මාසික ඔසප් වීම සිදු වන දින කිහිපයේ දී එය දරා ගැනීම මට තරමක් අපහසුයි. වේදනාව සමනය කරගන්න විවිධ ක්‍රමවලට යොමු වෙන්න මට සිදු වෙනවා. පාසල් යන්න අපහසු බව කියමින් මම හඬා වැටෙද්දී අම්මා මට උණුසුම් පානයක් දෙන්නේ මාව අස්වසමින්.

“අපිට උවමනා නම් ආයේම වතාවක් ඩොක්ට කෙනෙක් ළඟට යන්න පුලුවන් ඇමී..”

අම්මා කියන්නේ ආදරෙන්.

“මේ ලෙඩක් නෙවෙයි. සම්පූර්ණ රඟපෑමක්. මෙයා මේ දවස් ටික ගෙදර වැඩයි ඉස්කෝලෙ වැඩයි මඟ අරින්න ලස්සනට රඟ පානවා..පුදුම ඩ්‍රාමා ක්වීන් කෙනෙක් තමයි..”

එල්සා ආයේම කුණාටුවක් වගේ කඩා වදිනවා.

“එල්සාට විස්වාසද ඇමී කරන්නේ බොරුවක් කියලා?”

අම්මා අහන්නේ තැන්පත් හිනාවකින්.

” මමත් ගෑනු ළමයෙක්නෙ අම්මා.මට පීරියඩ්ස් පටන් ගත්තේ ඇමීට වඩා අවුරුදු දෙකක් කලින්. මම කිසිම කරදරයක් නැතුව ඉන්නවා නං, වෙනදා වගේම බාස්කට්බෝල් ගහනවනං,ඉස්කෝලේ යනව නං ඇයි ඇමීට බැරි??”

“ඇමී ඔයා නොවන හින්දා. ඇමීගේ ඇඟ ඔයාට වඩා වෙනස් වෙන්න පුලුවන් හින්දා..”

අම්මා උත්තර දෙන්නේ සාවධානව.

“ලෝකේ විවිධයි එල්සා. ඔයාලා ගෑනු ළමයි වුණත් ඔයාලත් විවිධයි. ඔයාගේ ඇඟ ඔයාගේ පීරියඩ්ස් දවසටත් ඔයාට සපෝට් කරනවා. ඇමී වේදනාව දරා ගන්න බැරුව කෑගහනවා.සමහරවිට ඊළඟ ඩොක්ටට පුලුවන් වෙයි ඇමීට හෝමොන් අන්බැලන්ස් එකක්ද නැත්නම් මේ එයාගේ සාමාන්‍ය විදියද කියලා හරියටම කියන්න.එයාට එච්චර බ්ලීඩ් වෙන හේතුවයි, එච්චර වේදනාවක් දැනෙන හේතුවයි හොයා ගන්න.එයාට සහනයක් හොයලා දෙන්න.”

අම්මාගේ කරුණු දැක්වීම අහගෙන ඉන්න එල්සා හෙමින් සැරේ උණුසුම් තුවායක් මගේ අතින් තියනවා.හරියට සමාව ඉල්ලන්න වගේ.

“ඔයා ඇමීට උදව් කරන්න ඕන.වේදනාව දරා ගන්න හයියක් වෙන්න ඕන.. ඒ ඇයි දන්නවද?”

අම්මා අහනකොට එල්සා උත්තර දෙන්නෙ සිහින් හඬින්.

“ඔව්..මම එයාගේ අක්කා නිසා..”

අම්මා උණුසුම් තුවායෙන් මගේ උදරය තවන්නේ ආදරයෙන්.ඇස් පියාගෙන ඉන්න මට ආයේම ඇගේ හඬ ඇහෙනවා.

“නෑ එල්සා..ඔයා ඇමීට උදව් කරන්න ඕන ඔයා එයාගේ අක්කා නිසා නෙවෙයි.ඔයත් ගෑනු ළමයෙක් නිසා. ඔයාටත් ඉස්සරහට වේදනාවන් එන්න පුලුවන් නිසා. ඒ වේදනාව හරියටම අඳුනා ගන්න ඉගෙන ගන්න. ඔයාගෙ නංගිගෙ නෙවෙයි කාගෙ වුණත්. පීරියඩ්ස් , ප්‍රෙග්නන්සි පේන්ස් එක එක්කෙනාට විවිධාකාරයි. දරා ගැනීම් වෙනස්. හැබැයි තේරුම් ගැනීම එකම වෙන්න ඕන..”

ඇත්ත! වේදනාවන් විවිධාකාරයි. ඒත් ගෑනුකම අතින් අපි හැමෝම සමානයි. අපිව දරා ගත යුත්තේ අපිමයි.

More Stories

Don't Miss


Latest Articles