Chat with Smartlady – ප්‍රතිභා ප්‍රභා

ඇය විටෙක ගායිකාවක්, ගුරුවරියක්.විටෙක කිවිඳියක්.තවත් විටෙක සයිබර් අවකාශය හරහා හදවත් වලට කතා කරන්නියක්.මිනිසුන් නොකියන හැඟීම් ඇගේම වචන වලට පෙරලන ඇයව අද චැට් විත් ස්මාට්ලේඩි කතා බහට එකතු කරගන්න අපි හිතුවා. ඇය ” ප්‍රතිභා ප්‍රභා “

මේ දවස් වල ඔබේ වැඩ කටයුතු කොහොමද ?

අලුත් ගීතයක පටිගත කිරීම් කලා.තාම ඒක සම්පූර්ණ උනේ නෑ මේ දවස් වල තියන තත්වෙත් එක්ක.ඊට අමතරව කවි පොත සූදානම් වෙමින් පවතිනවා.පාසලේ කටයුතු නම් මේ දවස් වල ඔන්ලයින් තමයි කරන්නේ.ඒ වගේම ඊලග වාරයට පාඩම් සැලසුම් කරමින් ඉන්නවා.

සයිබර් අවකාශයේ අපි දකිනවා තරුණ පරපුරේ අය විවිධ අදහස් හුවමාරු කරගන්නවා, නිර්මාණකරනයේ නියැලෙනවා.මේ අය සමාජ මාධ්‍ය භාවිතා කරන විදිය ගැන ඔබට මොකද්ද තියන අදහස?

මම හිතනවා සමාජ මාධ්‍ය භාවිතය යහපත් අතට කරනවා නම් ඒකෙන් හම්බ වෙන ප්‍රයෝජන ගොඩක් තියනවා.ඒ උනාට කණගාටුවට කරුණ තියෙන්නෙ මේ දේ යන්නේ අනිත් පැත්තට.ගොඩක් වෙලාවට මම හිතන්නේ තරුණ පරම්පරාවට විශේශයෙන්ම අපි guidance එකක් හැමවෙලේම දෙන්න ඕන කොයි පැත්තටද යන්න ඕන කියලා.හැබැයි guidance එක දුන්නට ඕනම කෙනෙක්ට අවබෝධය ඇතිවෙන්න ඕන තමන් තුලින්මයි.හරක් බානක් දක්කනවා වගේ අපිට දක්කගෙන යන්න බෑ ,සමාජයේ හැසිරීම කියන දේ අවබෝධය තුලින්ම, ඒ දේවල් තුලින් ලැබෙන්න ඕන.ඉතින් ජීවිතේ වරදිනවා නම් සයිබර් අවකාශයෙදි හරි පාර හොයාගන්න ඕනෙත් ඒ අයම තමයි.

තරුණ පරපුරේ කෙනෙක් හැටියට ඔබ සමාජ මාධ්‍ය නිතර භාවිත කරන කෙනෙක්. ඔබ දකින විදියට කාන්තාවකට සමාජ මාධ්‍ය වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද?

මං හිතන්නේ ගොඩක් හොඳ දේවල් තියනවා.මං දකිනවා ස්වයං රැකියා, ඒ වගේම ගෘහ අලංකරණය ,ගෘහණියන්ට ඕන කරන දේවල් ,ඒ වගේම කාලයක් රැකියාවක් කරලා මවක් වීමෙන් පස්සේ නිවසේ ඉන්න කාන්තාවන්ට කරන්න පුලුවන් දේවල්.ගොඩක් මාර්ග වලට ඉඩ හසර සලස්වා දෙනවා මේ සයිබර් අවකාශය ඔස්සෙ.

සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදි කාන්තාවකගේ හැසිරීම කෙබඳු විය යුතුයි කියලා ඔබ හිතනවද ?

මෙහෙමයි.අපිට කාගෙවත් හැසිරීම විනිශ්චය කරන්න බෑ.මොකද එක එක්කෙනා හැසිරෙන විදිය ඒ කෙනාට ආවේණිකයි.අපි හිතන්න පුලුවන් ඒ කෙනා හැසිරෙන්නෙ ඒ කෙනාගේ පවුල් පසුබිමෙන් ආපු විදියෙන් ,එක්කෝ ඒ කෙනාගේ අධ්‍යාපනයේ ප්‍රමාණයෙන් කියලා.එතකොට විවිධාකාරයෙන් හැසිරෙන කාන්තාවන් සමාජයේ ඉන්නවා.ඒ වගේම විවිධාකාරයෙන් තමන්ව ප්‍රකාශ කරන කාන්තාවොත් ඉන්නවා .මගේ ප්‍රකාශනය ලේඛනය.මම කවි ලියනවා.හැබැයි ඒ වගේම මගේ තව පැත්තක් තියනවා. මම පොඩි ළමයෙක් වගේ.මගේ ඒ පැත්තත් තියනවා.මම පෙන්නන්නෙ නෑ මම ගොඩක් දේවල් දන්න කෙනෙක් කියලා .මමත් තාම දේවල් ඉගෙන ගනිමින් තියෙන්නෙ මේ සමාජයේ දකින අහන දේවල් තුලින් .ඒ වගේම මගේ පේජ් එකේ මට කතා කරන කාන්තාවන්ගෙ ප්‍රශ්න තුලින්.ඉතින් එතකොට මම හිතන්නෙ මමත් තාම ඉන්නෙ අධ්‍යනයක.ඉතින් මම හිතන්නේ එක එක්කෙනා ගැන හිතන්න බෑ ඔයා මෙහෙම ඉන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා .හැබැයි මම විශ්වාස කරනවා ඕනම කාන්තාවක් මතක තියාගන්න ඕන තමන් මොන වගේ ප්‍රකාශනයක්ද සමාජ මාධ්‍ය භාවිතයෙන් දෙන්නෙ කියලා .මොකද සමහරවෙලාවට සමහර කාන්තාවෝ තමන්ගේ පවුල් ප්‍රශ්න, අතිශය පෞද්ගලික දේවල් තමන්ගේ මුහුණු පොතේ හැමෝටම බලන්න දානවා.මම හිතන්නෙ ඒ දේවල් අනවශ්‍යයි.තමන්ගෙ ගෙදර ප්‍රශ්නයක් තියනවා නම් ඒක විසඳෙන්න ඕන ගේ ඇතුලේ.ගෙයි ගිනි පිටට දෙන්න එපා කියලා ඉස්සර ඉඳන් එන කතාවකුත් තියනවනෙ. ඉතින් ගෙයි ගිනි ගෙදර විසඳගන්න ඕන.එතනින් ඔබ්බට ගිය දේවල් වලට තමයි සමාජ මාධ්‍ය තියෙන්නෙ.ඉස්සර යුවලක් තරහ උනාම ෆේස්බුක් ගිහින් ස්ටේටස් අප්ඩේට් කරන්නෑනෙ කවුරුත්.ඒක ගෙදර කතා කරලා විසඳගන්නවා. දුරින් ඉන්න ආදරවන්තයෝ දෙන්නෙක් තරහ උනාම ඉස්සර නම් කෝල් කරලා රන්ඩු වෙන්න බෑ.එතකොට ලියුමක් ලියනවා.ලියුම හම්බ වෙනකොට තරහ නිවිලා ඔක්කොම ප්‍රශ්නත් විසඳිලා ඉවරයි.ඉතින් සමාජ මාධ්‍ය නැති කාලේ ජීවිතේ සරලව තියෙන්න ඇති කියලා හිතනවා.දැන් පොඩ්ඩක් සංකීර්ණ වෙලා කියලා හිතනවා.

සමාජ මාධ්‍ය තුල ඔබ බොහොම ආදරණීය සොයුරියක්. එතකොට තමන්ගේ ප්‍රශ්න සමාජ මාධ්‍යවල පල කරන අයට අවවාදයක් දෙන්න ඔබට අවස්ථාවක් උදාවෙලා තියනවද?

මගේ පේජ් එකේ මට පෞද්ගලිකව කතා කරන ගෑනු ළමයි ඉන්නවා. මෙහෙමයි අක්කේ මෙහෙම දෙයක් උනා පුලුවන් නම් මට දෙයක් කියන්න කියල.මම හිතන්නේ ඕනම ගෑනු ළමයෙක්ට අම්මා තරම් මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් කිසිම කෙනෙක් නෑ.මම දකින දෙයක් තමයි මේ පරම්පරා දෙක පොඩ්ඩක් දුරස් වීමක්.ඉතින් දරුවෝ දෙමව්පියන්ට කතා කරන්නෙ නෑ.ඒ මොකද දෙමව්පියෝ වැඩිහිටි උනාට පස්සේ අමතක කරනවා තමන්ට තරුණ කාලයක් තිබ්බ කියලා.දෙමව්පියන්ට මතක් වෙන්නෙත් නෑ අද කාලේ වෙනස්,අපේ කාලේ වගේ නෙමෙයි කියලා .තාක්ශණය දියුණුවෙලා අපේ පුංචි දූපත ලෝකයට විවර වෙලා තියෙන්නෙ.අපේ තරුණ පරපුර අලුත් දේවල් හොඳ නරක බලන්නෙ නැතුව ඔක්කොම උකහා ගහන්නවා.ඉතින් මේ අවබෝධය වැඩිහිටියන්ට තියෙන්නෙ ඕන.ඉතින් අම්මා තමයි දුවෙක් හරි පුතෙක් හරි වෙනුවෙන් විවෘත වෙලා ඉන්න ඕන එයාලා කියන දේ අහන්න.හොඳම උපදේශක තමා අම්මා ඇත්තටම කිව්වොත්.ඉතින් එහෙම නොවුන අවස්ථා වල මම කතා කරලා තියනවා මගේ පේජ් එකට කාන්තාවන්ට.බොහොම පොඩි දරුවො සමහරු.ඇත්තටම දරුවෝ කියන්න පුලුවන් .ඉතින් ඒ කතා කලාම ඇත්තටම මම සතුටු වෙනවා ප්‍රසිද්ධියේ තමන්ගෙ ප්‍රශ්න කියන්නෙ නැතුව මට ඇවිල්ලා කියන එකට. මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා ඒගොල්ලන්ට .ඉතින් මට පුලුවන් හැටියට උදවු කරනවා.මම කියන්නෙ හැමතිස්සෙම විශ්වාසවන්ත එක්කෙනෙක් එක්ක කතා කරන්න.එහෙම නැත්තම් ඊට වඩා තත්වය බරපතල නම් මනෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවෙන්න.

cyber bullying ගැන ඔබ මොකද හිතන්නේ?

පලවෙනිම දේ මම ඒකේ ටාගට් එකක් වෙලා තියනවා.මම cyber bullying වලට ලක්වුනා. මම ගායිකාවක් විදියට කරපු එක ගීතයක් තිබ්බා ලංකාවෙ ඉතා ප්‍රසිද්ධ කඩවසම් නලුවෙක් එක්ක කරපු. ඒ ගීතය ප්‍රචාරය උන වෙලාවෙ ඉඳන් මගේ රූපය සහ ඔහුගෙ රූපය සසඳමින් ඉතාම හිත රිදවන විදියේ කමෙන්ට් කිරීමක් පටන් ගත්තා යූටියුබ් නාලිකාවේ.ඊට පස්සෙ මගේ තව ගිතයක් කලා ඉංග්‍රීසි තනුවකින්.ඒ ගීතය එළිදැක්වුන වෙලාවෙත් මං දැක්කා ගොඩක් දේවල් තිබුනා.එතකොට මම තරුණයි ,මම මේ තරම් පරිණත නෑ දේවල් දිහා බලන විදිය.මට ඉස්සෙල්ලාම තරහ ගියා.මම හිතුවා මිනිස්සු ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා.ඊට පස්සෙ මම ටික ටික එයාලගෙ පැත්තෙන් හිතන්න ගත්තා .Cyber bully කෙනෙක් වෙන්න එයාගේ මානසික තත්වය මොනතරම් දුක්ඛිත එකක් වෙන්න ඇද්ද, කොච්චර තනි වෙච්ච මනුස්සයෙක් වෙන්න ඇද්ද ,එක්කෝ එයාගෙ තියන කුසලතාවයක් කවුරුත් දැකලා නෑ.එයාගේ වටිනාකමක් කවුරුත් බලලා නෑ.එතකොට මෙතන වෙලා තියෙන්නෙ මට හම්බවුන අවස්ථාව මෙයාගෙ හිතේ ඇති කරපු හීනමානය.ඉතින් ඒ හීනමානය තුලින්ම ඇතිවුන ඉරිසියාව, ඒ කියන්නෙ හරිම ප්‍රාථමික සිතුවිල්ලක්.ඒ ඉරිසියාව ඔඩුදුවපු කමෙන්ට් එක තමයි cyber bully කෙනෙක් එලියට දාන්නෙ.ඇත්තටම එයාලට අනුකම්පා කරන්න ඕන.මම දකිනවා සමහර celebrities ලා එයාලා එක්ක ලොකු arguments යනවා. මම හිතන්නේ maturity එක කියන්නෙ අපි දකින හැමදේටම respond කරන එක නෙමෙයි.අපි දේවල් දකිනවා ඕන තරම්.ඒ දකින හැමදේටම respond කර කර අපිට ඉස්සරහට ගමනක් යන්න බෑ මම හිතන්නේ.අපි තෝරගන්න ඕන අපි මොනදේටද respond කරන්නෙ කියලා .නැත්තම් අහක බලාගෙන අපේ ගමන යන්න පුලුවන් අපිට.

බොහෝ කාන්තාවන් විවාහ වන විට තම රැකියාව , වෘත්තීය අත හරිනවා. ඒ ගැන ඔබ දරන අදහස මොකද්ද?

මම කියන්නෙ විවාහ උනත් නොවුනත් කාන්තාවකට ස්වාධීන වීම අත්‍යාවශයයි.ඔබට ආදරණීය සැමියෙක් ඉන්න පුලුවන් ඔබේ සියලුම අවශ්‍යතා ඉශ්ඨ කරලා දෙන්න.ඒ උනාට ඔබ ස්වාධීන වීම ,ඔබට මොකක් හරි ආදායම් මාර්ගයක් තියනව කියන එක ඔබව ස්වාධීන කාන්තාවක් කරනවා. දැන් සමාජයේ ස්වයං රැකියාද එකි මෙකී නොකී ගොඩාක් options තියනවා තෝරගන්න.ඔබේ බුද්ධියෙන් කල්පනා කරලා බලලා ඔබට සුදුසු මාර්ගය මොකද්ද කියලා හොයාගන්න. ආදායම් මාර්ගයක් තියන කාන්තාවගේ සැමියාත් නොකිව්වට අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ආදායම් මාර්ගයක් තියන බිරිඳක් ඉන්නව කියන එක ගැන.

සාම්ප්‍රදායික කාන්තාවන් බොහො වෙලාවට හිතන්නේ අවුරුදු 23 -24 පහු උනාම විවාහ වෙලා සැමියා මත යැපෙමින් දරුවන් බලාගෙන ගෘහණියක් හැටියට ඉන්න. මේක සමාජයේ පවතින මතයක්. ඔබ මොකද්ද ඒ ගැන හිතන්නේ?

මම හිතන්නේ කාන්තාවක් විදියට අපි සමාජයට ඇවිල්ලා ඉන්න විවිධ අරමුණු සාක්ශාත් කරගන්න.ඉතින් සමහරක් කාන්තාවක් හිතන්න පුලුවන් මගේ ජීවිතේ අරමුණ මම දරුවෝ හදලා මෙහෙම දරුවෝ වෙනුවෙන් කැපවෙච්ච මවක් වෙලා ,සැමියාට හොඳ බිරිඳක් වෙලා එතනින් මගේ chapter එක ඉවරයි කියලා.ඇත්තටම ඒ කාන්තාවට ඊට වඩා හැකියාවන් තියනවා ඒක හරි අපරාධයක්.එතනදි ඇත්තටම ලංකාව වගේ රටක ස්වාමිපුරුෂයාගේ සහයෝගය නැත්තම් ගොඩක් වෙලාවට කාන්තාවට තමන්ගෙ ඉලක්ක අරමුණු කරා යන ඉඩ අඩුවෙලා තියනවා.මොකද ලංකාවෙ පවුල කියන දේට මූලිකත්වය දෙනවනේ.අම්මා කියන කෙනාට ඉශ්ට කරන්න තියන කාර්යභාරය මෙහෙමයි කියලා, කියලා ඉවර කරන්න බෑ.ඒ duty හරියට කරන්න පුලුවන් නම් මම හිතන්නෙ ඕනම duty එකක් හරියට කරන්න පුලුවන් .අම්මා කෙනෙක් වීම තමයි තියන අමාරුම රස්සාව.ඒක සුලුකොට තකන්න හොඳ නෑ ඒ තීරණය ගත්ත කෙනෙක් ඉන්නවා නම්.මම හිතනව ඔවුන් තුල ධෛර්යය තියනව නම් තව ඉදිරියට ගිහිල්ලා මගෙ තව capacity මොනවද ,මොනවද ජිවිතෙ තව කරන්න පුලුවන් කියලා ධෛර්යය තියනවා මම හිතන්නෙ ඒක ලස්සනයි කාන්තාවකට හැමදාම එකම තැන පල්වෙවී ජීවිතේ තියනවට වඩා

දික්කසාද වූ කාන්තාවකට මේ සමාජයේන් පැන නගින ගැටලු ගැන ඔබේ මතය කුමක්ද? සමහර කාන්තාවෝ දික්කසාදයට වත් නොයා ගැටලු මැද්දේ ඉවසගෙන ඉන්නව.ඒ ඉවසීමෙ සීමාව තමන් හොයාගන්න ඕන කොහොමද ? සහ එතනින් ඉවත් වෙනවා නම් ඒ පියවර කොහොමද ගන්න ඕන?

මේක සංස්කෘතියෙන් තමයි පටන් ගන්න ඕන.අපේ සංස්කෘතිය දැන් half boiled egg එකක් වගේ වෙලා තියෙන්නෙ දැන්.පොඩ්ඩක් ඇමරිකාවෙන් අරගෙන ,තව පොඩ්ඩක් ඉන්දියාවෙන් අරගෙන දැන් ඔක්කොම ටික සංකලනයක් වෙලා නිකන් අමුතු එකක් හැදිලා තියෙන්නෙ. අපිට කාටවත් දොස් කියන්න බෑ.රටක් ලෝකෙට විවර වෙනකොට අනිවාර්යයෙන්ම ඒ දේවල් එනවා රට ඇතුලට. ඒවා අපි ගන්න ඕන කොහොමද කියන එක හිතන්න ඕන.සමහරු විවාහ වෙච්ච ගමන් අනිත් අතට ඩිවෝස් වෙනවා.ලංකාවෙ විවාහ මංගල්‍යයක් කියන්නෙ අතිශය සද්ද බද්දෙට ,නෑ හිත මිතුරො දාහක් එක්දාස් පන්සීයකට එන්න කියලා පවත්වන විශාල ප්‍රිය සම්භාශනයක්.එදාට මේ යුවලට වඩා සතුටු වෙන්නෙ එන අය.යුවලගෙත් අරමුණ එන අය සතුටු කිරීම.ප්‍රණීත කෑම බීම ඇඳුම් පැලදුම් නැටුම් ගැයුම් වලින් හැමදේම හරිම ලස්සනට තියනවා.ඉතින් මේ මනෝරංජනය මේ යුවලගෙන් මුලු ජීවිත කාලයටම බලාපොරොත්තු වෙනව නම් ඒක හරිම අසාධාරණයි.ඒ දෙන්නා තමයි දැනගන්න ඕන එකට ජීවත් වෙන්න පුලුවන් ද බැරිද කියලා.ඒක කාටවත් තීරණය කරන්න බෑ.කාටවත් පීඩනයක් යොදන්න බෑ ඔය දෙන්න කොහොමහරි එකට ඉන්න ඕන කියල.විවාහය කියන්නෙ යුවලගේ කැමැත්ත අකමැත්ත මත තීරණය වෙන දෙයක්.එයාලා එකට ඉන්න කැමතිනම් එකට ඉන්න ඕන,වෙන් වෙන්න කැමති නම් වෙන් වෙන්න ඕන.අකමැති තැන්වල රැඳෙන එකෙන් වෙන්නෙ මානසිකව අනවශ්‍ය ගැටලු රාශියක ආරම්භය විතරයි.ඉතින් එතනින් සමහරවිට ඒ මිනිස්සු ජීවිතේ පසුගාමී වෙනවා.සමහර දෙමව්පියන් කියන්න අකමැතියි තමන්ගෙ දුව,පුතා දික්කසාද වෙලා ඉන්නෙ කියල.ඒක failure එකක් නෙමෙයි.ඒත් සමාජය දකින්නේ එයා ෆේල් උනා කියලා.ඒ උනාට කවුරුත් දකින්නෑ මෙයා මේ තැනට එන්න උත්සහ දරලා තියනවා කියන එක.ජීවිතය කියන රේස් එක ඇතුලේ අපි උපරිමයෙන් උත්සහ කරන්න ඕන අපිට උවමනා තැනට එන්නයි.

එතනින් එහාට කතා කලොත්,Single parent කෙනෙකුටත් සමාජයෙන් බොහෝවිට ගැටලු ඇතිවෙනවා.අපහස විඳින්න සිද්ද වෙනවා.විශේශයෙන්ම කාන්තාවන්ට.ඔබට ඒ ගැන තියන අදහස මොකද්ද ?

Single parent කියන දේ ආකාර දෙකකින් වෙන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ගේ spouse නැතිවෙලා හෝ දාලා ගිහින් වෙන්න පුලුවන්.ඔය දෙක අතරතුර මම දකින හොඳම single parent මගෙ අම්මා.මගෙ අම්මා තාත්තා නැතුව නංගිවයි මාවයි දෙන්නවම හැදුවා.ඒක ඇත්තටම අමාරු task එකක්.දරුවෙක්ට අම්මයි තාත්තායි දෙන්නම වෙන එක අමාරුයි.ඒක ගැන ඇත්තටම කියන්න වචන නෑ.මගෙ අම්මා කෙරෙහි මට තියන ගෞරවය ඇය සමාජයෙ හැසිරෙන විදිය එක්ක මම හිතනවා ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි.සමාජයෙන් මොන දේ ආවත් ඒ වගේ කාන්තාවන් තුල තියනවා හිතාගන්න බැරි ධෛර්යයක් .ඇත්තටම හැම කාන්තාවක් තුළම මේ ධෛර්යය තියනවා.මේක හොයාගන්න එක එක්කෙනාට ගතවන කාලයයි වෙනස්.සමහරු යොවුන්වියේදි ,තව සමහරු විවාහයෙන් පස්සෙත් හොයාගන්නවා.ඉතින් කාන්තාවක් single parent නෙමෙයි මොන කෙනෙක් උනත් ජීවිතයට මුහුණදෙන්න ඇයට ශක්තිය තියනවා.කොහොම උනත් single parent කෙනෙක්ව විනිශ්චය කරන්න හොඳ නෑ අපි. හැම කතාවකම දෙපැත්තක් තියනවා.අපි දන්නෑ අනෙක් පාර්ශවයේ කතාව.සමාජයකට මනුස්සයෙක් ව ඇති කරන්නත් නැති කරන්නත් පුලුවන්.මේවා හරිම සංවේදී ප්‍රශ්න .මේ දේවල් සියදිවි නසාගැනීම් මනුශ්‍ය ඝාතන දක්වා යන්න පුලුවන්.ඒ නිසා ඕනම ප්‍රශ්නයක ඉන්න කෙනෙකුට කරුණාවන්ත වෙන්න.මොකද එයාලා ලොකු නිහඬ සටනක් කරන ගමන් ඉන්නෙ.

අද ස්මාට්ලේඩි කතාබහට එකතු උන ඇය ප්‍රතිභා ප්‍රභා. මේ කතාබහෙන් ඔබේ ජිවීතයට ඔබ බොහෝ දේවල් එකතු කරගන්නට ඇති කියලා අපි හිතනවා.අපේ ප්‍රාර්ථනාවත් එයයි.කතා බහ අවසන් කරන්නට කලින් ඇය විශේශ යමක් පැවසුවා.

” විශේෂයෙන් මම කියන්න කැමතියි සමාජයේ මතයක් තියනවා කාන්තාවන්ට එකතු වෙලා වැඩක් කරන්න බෑ කියලා.ඉතින් මම හරිම සතුටු වෙනවා කාන්තාවන් සමූහයක් එකතුවෙලා කරන මේ වැඩේට සහභාගී වෙන්න ලැබුන එකට.ඇත්තටම කාන්තාවෝ එකතු උනාම හොඳ දේවල් කරන්න පුලුවන් .ඒකට ශක්තිමත් කාන්තාවන් එකට එකතු වෙන්න ඕන.ඉතින් ස්මාට්ලේඩි සමූහයට මම මගේ ගෞරවය පල කරනවා මේ සමාජය දැනුවත් කරන කාර්‍යයට.ස්තූතියි මට ආරාධනා කලාට “

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles