සුළං සීනු – 14

දිගටම ඉකි ලමින් හුන් මා සිටියේ ජීවිතය මට දෙන දරුණු දඬුවම් දරා ගත නොහැකිව කම්පිතව ය.අද ජූනි මාසයේ එකොළොස් වැනිදා ය.මීට හරියටම සත් වසරකට පෙර දේවක අප හැර යන්නට ගියේ ය.අද සංකල්ප අනතුරට ලක් වී යැයි ඇමතුමක් පැමිණ ඇත.මා නැවත නැවත එකම අත්දැකීමක පැටලී ගෙන ඇත.

“අක්කි, අඬන්න එපා.ලෝචනා අක්කි කියන්නේ එච්චර අමාරුවක් නෑ කියලා..”

තිසුරි මගේ හිස ඇගේ උරහිස මතින් තබා ගත්තා ය.ඈ හා තරග කරන්නට සිතමින් වඩා හැඩවැඩ වී කාර්යාලයට ආ මම ඇඟේ උරහිසේ අඳුන් තවරමින් හඬන්නට පටන් ගතිමි.

“අදට දේවක නැති වෙලා අවුරුදු හතක්”

මගේ අනිත් පස අසුන් ගෙන සිටි නිසල් දෙස බලමින් මා කීවේ ඉකිලමිනි. ඔහු නෑසුණු තාලයට ඉවත බලා ගත්තේ ය.

“මං දන් නෑ ඒ කවුද කියලනං.. ඒත් අක්කි විකාර හිතන්න එපා. වාහනයක් හැප්පුනාම ඉතිං හීරිලා තිබ්බත් වටේ පිටේ අය හොස්පිටල් එක්ක යනවනෙ අක්කි. පවුලේ අයට යන්නත් වෙනවා..”

තිසුරි දිගින් දිගටම කියවමින් මගේ අත පිරිමැද්දා ය.

සංකල්ප මිය ගොස් ඇත්නම් මගේ සහ සීනුගේ අනාගතය කෙබඳු වේදැයි සිතමින් මම කම්පිත වීමි. “මට රස්සාවක් තියනවා..ඉස්සරහට තව ස්ටඩි කරන්න බැරි නෑ. මගෙ සැලරි එක සීනුටයි මටයි හොඳටම ඇති..මට මිනිහෙක් ඕන නෑ.” මා නංගි සමඟ නිතරම පැටලුණේ එසේ කියමිනි.සැබෑ ය..සංකල්පගෙන් දික්කසාද වන්නට මට නිසල් හමු වන්නට පෙර සිට ඕනෑ විය. නමුත් හදිසියේ ඔහු මිය ගොස් ඇත්දැයි සිතන හැඟීම මට දරා ගත හැක්කක් වූයේ නැත. තාත්තා මිය යාම මගේ කුඩා සීනුට මා කෙසේ පහදා දෙන්නදැයි මට සිතන්නටවත් ඕනෑ වූයේ නැත.

“කෝ සංකල්ප??”

කියවන්න :  සුළං සීනු - 4

මා රෝහලට පිවිසුණු වහා හමු වූ ලෝචනාගෙන් ඇසුවේ උමතුව ය.

“යං.. යංකො අපි ඇතුළට…”

ඈ මගේ අත පරෙස්සම්සහගතව අල්ලා ගත්තා ය.

“ලෝචි මට බොරු නොකියා ඇත්ත කියන්න. සංක මැරිලද?”

ලෝචනා මදෙස බලා සිටියේ වේදනාත්මකව ය. අසන්නට යන දෙය කල් තියා දැන හුන්නා සේ නිසල් මා තරයේ අල්ලා ගත්තේ ය.

“පිස්සුද කෙල්ලෙ. මොනවද මේ අහන්නේ? සංක ඉන්නවා. චානුත් ඇති ඇතුළේ..”

ඈ මට තරවටුවක ලෙසින් කීවා ය.

“ඇත්තටම එයා ඉන්නේ අයිසීයූ එකේ. ඇක්සිඩන්ට් එකක්නෙ කෙල්ලෙ.අමාරුයි තමයි. ඒත් ජීවිතේට අවදානමක් නෑ. සිහිය එයි..”

ලෝචනා අනතුරුව මා වැළඳගෙන පැවසුවා ය. ඈ කියන බස අදහන්නට අසීරුවෙන් මා කළේ දිගටම වැළපීම ය.

“ඇක්සිඩන්ට් එකක් ගැන ඔයාගෙ හිතේ අවුල් තැනක් තියනවනෙ පවී.. දැන් ඔයා එතනට ගිහින් සංකල්පව දැකලා අවුල් වුණොත් සීනු බලා ගන්න කවුරුත්ම නෑ. ඒ නිසා අපි මෙතනට වෙලා ඉමු..සංකල්ප ටිකක් ඕකේ වුණු ගමන් අපි ඔයා එතනට එක්ක යනවා..”

ලෝචනා කියන්නේ මා දැඩිව වැලඳ ගෙන ය.නිසල්ගේත් තිසුරිගේත් අවිනිශ්චිත බැලුම් මා දිගින් දිගටම අවිශ්වාසයට ඇද දමද්දී පවා ලෝචනා මට මොනමොනවාදෝ කියමින් හුන්නා ය.

“පවීව එතනට එක්ක යන්න ලෝචි..”

නිසල් ඉල්ලූ නිසාම ලෝචනා මා සංකල්ප වෙත රැගෙන ගියා ය. යන්ත්‍ර රැසකට මැදිව සිටින මගේ දියණියගේ පියා මා දැක්කේ වීදුරුවකින් මෙපිට සිට ය.මම කඳුළු වගුරවමින් හැඬුවෙමි.සිනිඳු අතක් මගේ උරහිස මත රැඳෙනු මට දැනුණේ ඒ මොහොතේ ය. මම හැරී බැලුවෙමි. ඈ හුන්නේ මා සනසන බැල්මකිනි.

“සංකට ඉක්මනින් සනීප වෙනවා.”

ඈ අනතුරුව පැවසුවා ය.ඇගේ අත ගසා ඉවතට යන්නට කිසිම උවමනාවක් නොවූ නිසාම මම ඈ විශ්වාස කරන්නට පටන් ගතිමි.

කියවන්න :  සුළං සීනු - 7

“චාරු අඳුනා ගත්තද ඔයා..”

ලෝචනා මගෙන් ඇසුවේ චාරුනී මට හිඳගෙන සිටින්නට කියා අප වෙතින් යන්නට ගිය මොහොතේ ය.මම හිස වැනීමි.

“ඔයාට කලින් සංකව අඳුනන නිසා චාරු ඒ කාලෙ ඉඳන් මාව දන්නව. මේ වෙලාවෙ සංකව බැලුවට ඔයා ඒ කෙල්ල එක්ක කේන්ති ගන්න එහෙම එපා ඔන්න..”

ලෝචනා ඉතා පහත් හඬකින් පැවසුවා ය. චාරුනී කවුදැයි නිසල් හෝ තිසුරි දැන ගත යුතු නැති කතාවක් ඒ හඬේ තැවරී තිබිණි. කුමක්දෝ හේතුවකට චාරුනී හිතවත් වෛද්‍යවරියක යන කාරණය මිස සංකල්පගේ පැරණි පෙම්වතිය බව නිසල් ට කියන්නට මට සිත් දුන්නේ නැත.

“සීනුව හොස්පිටල් ගේන්න එපා පවී.. ඔයා දැන් ලෝචි එක්ක ගෙදර යන්න. මම ඉන්නවනෙ. මං සංකගෙ අයියටත් කෝල් කරා. එයත් එයි..”

චානක අප වෙත පැමිණ කීවේ ය.නමුත් සංකල්ප අතැර යන්නට බැරි වගක් මට දැනිණ.

“මට යන්න බෑ..”

“ඇයි චාරු ඉන්න නිසා ද.. දැන් ගිහිං බට්ටිත් එක්ක හිටපං.. මං රෑ වෙලා ඇවිත් ගන්නං..”

ලෝචනා කියන්නේ තර්ජනාත්මක ස්වරයකිනි.දේවක ගැන හැම තත්පරයකම සිහි කරමින් හිඳ මෑත කාලයේ නිසල් ගැන රහස් ප්‍රේමයක් හදවතේ ඇති කරගත් මට චාරුනී අවිශ්වාස කරන්නට ඕනෑ වූයේ නැත.එහෙත් මට සංකල්ප හැර යන්නට බැරිකමක් දැනෙන්නට විය.

“අද ජූනි එකොළහ. දේවක නැති වෙලා අවුරුදු හතක්. මට බයයි.. දවස ඉවර වෙනකං මං මෙතන ඉන්නවා..”

ලෝචනා නිරුත්තර ව මොහොතක් හුන්නා ය. ඉන්පසු ඈ තිසුරි වෙත හැරුණා ය.

“නංගා.. අනේ උදව්වක් කරන්න ඩාලිං මට..” ඈ තිසුරි ඇමතුවේ ආදරණීයව ය.නිසල් ද දෑස් උස්සා ලෝචනා දෙස බලන වග මගේ අපැහැදිලි බැල්මට හසු විණි.

4 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments