කින්කිඳ බොල කින්කින්දෝ, මඟුල් ගෙදර බත් නැතෝ, ඇයිද කියලා බලමුදෝ

ඔන්න අදත් ලස්සන කතාවක් අරගෙනයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ කතාවත් සිබිල් වෙත්තසින්හගේම කතාවක්. කතාවක් කිවුවට පුංචි නාට්‍යක් ලෙසයි කතුවරිය මේ කතාව අපට ඉදිරිපත් කරන්නේ.

ඉතින් අපි හිතනවා ඔයාගෙත් දරුවන්ගේත් කතන්දර වෙලාව රසවත් කරන්න පුළුවන් ලස්සන කතාන්දරයක් කියලා මේ කතාව. විශේෂයෙන්ම කියන්න ඕනා මේ පොතට 1972 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා කියලා. ඉතින් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් ළඟ එන එකේ ඔයාගේ පොත් ලිස්ට් එකට දරුවන් වෙනුවෙන් ඇතුල් කරගන්න හොඳම පොතක් කියලා මේ පොත හඳුන්වන්න පුළුවන්.

මෙන්න මේකයි කතාව, අම්මයි අප්පච්චියි නෑ ගමන් යනවා එයාලගේ මද්දුම දෝණිගේ මඟුල් ගෙදරට නෑ දැයන්ට ආරාධනා කරන්න. මේ කතාව කතුවරිය ඉදිරිපත් කරන්නේ කවියෙන්,

අප්පොච්චි – ඒ පද මේ පද අහක දමන්නේ
ටික ටික කාලේ අපතේ යන්නේ
බුලත් තියන්නට හෙප්පුව ගන්නේ
මඟුල් කියන්නට ඉඩ කඩ දෙන්නේ

මෙන්න මෙහෙම අම්මයි අප්පච්චියි නෑයන්ට ආරාධනා කරනවා .ඔන්න මඟුල් දවස උදා වෙනවා. හතර වටින් නෑයෝ එන්න පටන් ගන්නවා.

රබන් ගසන්නේ ලොකු අම්මයි
සුරල් ගසන්නේ පොඩි අම්මයි
රබාන රත් කලේ ලොකු අම්මයි
පදය පුරන්නේ අත්තම්මයි

මේ අතරේ මනමාල මහත්තයත් එනවා. හැමෝම සතුටින් දවල් කෑම මේසෙට යනවා. හරි වැඩේ කෑම මේසේ බත් නැහැ. ඒත් තඹ හැලි හත අටකම බත් උයලා. හැමෝම බත් වලට මොකද වුණේ කියලා හොයනවා. මනමාල මහත්තයට හොඳටම කේන්තියි. ඔය අතරේ පොඩි දුව බත් දීසියක් බෙදාගෙන දුවනවා හැමෝම දකිනවා. ඇය කියනවා මඟුල් ගෙදර වැඩට උදව් වුන බබ්බුවයි අප්පුවයි, බත් කන තරඟයක් තියනවා. ඒ දෙන්න බත් හැලි ඔක්කොම කනවා කියලා.

බබ්බුවයි අප්පුවයි මැස්ස උඩ තරඟයක්
වැඩිය බත් කන්ට හැකි එක්කෙනා බැලීමක්
දැනටමත් බබ්බුවා කෑවා බත් හැලි තුනක්
අප්පුවා තරඟයෙන් නෑ දිනන පාටක්

ඔන්න ඔහොම බත් හැලි වලට වුණේ මොකද කියලා හොයා ගන්නවා. බබ්බුවයි අප්පුවයි තරඟ ය නවත්තලා ආයෙත්මත් බත් උයන්න යනවා. ඉක්මනටම බත් උයලා පිරිසට කන්න දෙනවා. කලින් කියපු බොහෝ කතා වගේම මේ කතාවත් නාට්‍යානුසරිව රඟ දක්වමින් දරුවන්ට කියා දිය හැකි එකක්. ඉතින් විවේක හැන්දෑවක් වර්ණවත් කරන්නට සමත් මේ කතාව දරුවන්ට කියා දෙන්න අමතක කරන්න එපා.

අපි තවත් අලුත් කතාවක් එක්ක නැවත හමු වෙමු .

චම්මි

 

Related Articles

Don't Miss


Latest Articles