පළිඟු මන්දිර – 36

1
922

ඒ වාගේ කැත වැඩක් ඇයට කළේ අක්ෂි කියා හෝ මොරීන් කියා හෝ හිතන්නට පළිඟු ට ඕනෑ වූයේ නැත. නමුත් එහෙම හිතෙන එක නවතාලන්නට ඇය ට හැකි වූයේ ත් නැත. තවමත් පුහුදුන් මිනිස් ගති ඉක්මවා උසස් මානසික තල වලට ඈ පිවිස සිටියේ නැති නිසාවෙනි. අක්ෂි සමගින් කතා කරන්නට නො හිතෙන පිළිකුළක් ඇයට දැනිණ. නමුත් වරදකරුවා නිශ්චිත ව නො දැන ඒ විදිහට කෙනෙකු ගැන හිතන එකත් වැරදි බව හිත ඇයට කීවේ ය.  තත්පර කිහිපයක් හිතත් එක්ක සිතිවිලිමය යුද්ධයක් කරමින් සිටි පළිඟු දුරකතනයට පිළිතුරු දුන්නේ එහි හැඬවුම නිහඬ වෙන්නට ගිය අන්තිම නිමේෂයේදී ය.

“කියන්න අක්ෂි”

නො රිස්සුමක් හෝ කේන්තියක් හෝ ස්වරයේ නො තැවරෙනු වස් ඕ විසල් උත්සාහයක් ගත්තා ය.

“දැං ඉතිං මොකද්ද අනේ වෙන්නෙ…මට නං හරි අප්සට් ඔයා මේ කරගත්ත දේට”

ඇය කෙනෙකු ට අනුකම්පා කරන්නට කොහෙත් ම නො දන්නා බවක් පළිඟු ට දැනිණ. අනිත් අතට අක්ෂි කතා කළේ ඒ සිදුවීමේ වරද පළිඟු ගේ පැත්තට බර කොට ය. ප්‍රථම වතාවට පළිඟු ට කේන්තිය යටපත් කළ නො හැකි විය.

“මොකද්ද මං කර ගත්ත දේ…අක්ෂි…මට ඕන්නෑ ඔයා මාව විශ්වාස කරන්න. හැබැයි ඕක කාගෙ හරි කැත වැඩක්. ඒක කිසල් විශ්වාස කරනවනෙ. මට ඒ ඇති”

“ඒ වුණත් පළිඟු…මොරීන් ආන්ටිනං කොහොමත් දැං කැමති වෙන එකක් නෑ”

‘එයා මට කොහොමත් කැමති වෙලා හිටියෙ නෑනෙ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ’කියා කියන්නට දිව නළියෑවත්, පළිඟු එය නො කීවේ කිසල් ගේ මව ගැන පිටස්තරයන් හා ඒ විදිහට කතා කිරීම නො මනා යයි ඈ දැන සිටි බැවිනි. කිසල් ට ආදරය කරනවා නම් අනිවාර්යයෙන් ඔහු ගේ මවු පියන්ට ගෞරව කළ යුතු ය. ඔහු ගේ පවුලේ අයට තමන්ගේ අයට සේ ආදරය කළ යුතු ය. ඇතැම් විට අක්ෂි මේ තැත් කරනුවේ ඈ ලවා මොරීන් ට දොස් කියවා ගන්නට වුව විය හැකි යයි හදිසියේ ම පළිඟු ගේ යටි හිත ඇය ට මතක් කර දුන්නේ ය.

“මං වැරැද්දක් කළේ නෑ කියල මගෙ හිත දන්නවනෙ”

පළිඟු සුසුමක් හෙළුවා ය. 

“හැබැයි ඒ කොල්ල හැන්ඩ්සම් නේ…”

එවර අක්ෂි සිය තානය වෙනස් කරමින් කතා කළා ය.  පළිඟු ඒ කතා බහට සම්බන්ධ වී ගෙන සිටියේ ආයාසයකිනි. 

“මං විශ්වාස කරන සොබා දහම කියල දෙයක් තියෙනව අක්ෂි. හිතා මතා මෙහෙම කරන්න කාට හරි ඕන වුණානං…ගෑනු ළමයෙක්ගෙ ආත්ම ගෞරවයත් එක්ක සෙල්ලං කරපු ඒ කෙනාට දෙන්න ඕන දඬුවම ගැන සොබා දහම දන්නව කියල මට විශ්වාසයි”

අක්ෂි ගේ හදවත ‘දඩස්’ ගා ගැස්සිණි. 

“ඒ කෙනා කවුද කියල දැනගන්න මට ඕනකමක් නෑ. එහෙම ඕනකමක් තියනවනං ඔය ෆොටෝස් ටික පොලීසියට දීල ඒවයෙ ඉන්න කෙනාව හොයා ගන්න විතරනෙ තියෙන්නෙ. ඊට පස්සෙ ඒ මනුස්සයගෙං දැනගන්න පුළුවන්නෙ කාගෙ උවමනාවට ද ඒක සිද්ද වුණේ කියල. කොහොම වුණත් මං දන්නව කිසල් ගෙං මාව ඈත් කරන්න උවමනාව තියන කෙනෙක්ට විතරයි මෙහෙම දෙයක් කරන්න ඕන කියල”

අක්ෂි ට දැනුණේ බියකි. පළිඟු මොනවා කීවත් කිසල් ඒ ගැන හොයන එක නතර කරාවියි කෙසේ සිතන්න ද? පළිඟු කියන විදිහට පොලීසිය මැදිහත් වීමෙන් ඒ පුද්ගලයා අනාවරණය කර ගත හොත් ඇයට වන්නේ පොළොව පලා ගෙන හැංගෙන්නට බව අක්ෂි දනී.

“ම්…ඒක කවුරු හරි කරවපු දෙයක්නං…මොරින් ආන්ටිට තමයි එහෙම ඕන වෙන්නෙ…නේද…ඔයා කියනව වගේ ඕක දැං ඔතනිං නතර කරන්න පළිඟු. මොරින් ආන්ටි වැරදිකාරය වුණොත්…එයා ඔයාට හැමදාටම වෛර කරයි…නේද…”

පළිඟු ගේ මුවගට සිනහවක් ආයේ ය. රක්ත වර්ණ වී ඇති බටහිර අහස දෙස බලාගෙන ඇය ඒ සිනහව තුනී වී යන්නට ඉඩ හැරියා ය. 

අත්දැකීම් විසින් ජීවිතයක් පරිනත කරන්නේ ය. ඒ සා ලොකු වයසක් ඈ ජීවිතය දිග ඇවිද ගොස් නො තිබිණි ද, පළිඟු කුඩා කල පටන් එකතු කළ අත්දැකීම් ප්‍රමාණය විශාල ය. එය සම වයස් වෙනත් දැරියක ස්පර්ශ කර ඇති ජීවිතයට වඩා මහත් වූවකි. නංගිලා දෙදෙනෙක් එක පෙළට ගෙදරට ගෙනෙත්දී ත් පළිඟු කුඩා දැරියක වූවා ය. නමුත් මහ ගැහැනියක සේ ගෙදර බොහෝ වැඩ කරන්නට ඇය ට සිදු විය. කුඩා ළමයින් ඔක්කේ ගසා ගෙන සිටින්නට සේ ම ගේ මිදුල් අතු පතු ගාන්නට ,තේ හදන්නට, හාල් ගරන්නට සේ ම ළිප අවුළුවන්නට පවා ඇය ට සිදු විය. පුංචි දෙයක් වැරදුණත් වසන්තා කෑ ගැහුවේ මහ ගෑනියකට සේ ය. වසන්තා විසින් පළිඟු ට පමුණුවන ලද දඬුවම් ද ඒ වයසේ දැරියකට ඔරොත්තු දෙන ආකාරයේ ඒවා නොවේ. හරියට වළඳක් සේදී නැති ය කියා වතාවක් ඕ එය සෝදා දැරිය ගේ හිසෙහි වත් කළා ය. ඇතැම් දවසක දඬුවම් වශයෙන් නිරාහාර ව නිදන්න ට පළිඟු ට සිදු විය. 

කියවන්න :  පළිඟු මන්දිර - 47

අම්මා ඇය ට ආදරේ නැත්තේ ඇයි දැයි පළිඟු සිතූ වාර අනන්ත ය. ඇය ට එක ආකාරයකටත් නංගිලා ට වෙනත් ආකාරයකටත් සලකන්නට හේතුවකුදු සිතා ගන්නට එදා ඇගේ ළමා මනසට හැකි වූයේ නැත. නමුත් අද ඇය දනී. ඇතැම් සංසාර කර්ම වලට ඒ ආකාරයෙන් වුව දඬුවම් ලැබෙනවා විය හැක. පෙර සසරේ දී ඈ අතින් මහත් පාපයක් වසන්තා ට සිදුව ඇතිවා විය හැක. එසේ සිතීමෙන් අදටත් රිදුම් දෙන හිත සනසා ගන්නට පළිඟු ට පුළුවන. අදත් නො වියළී පවතින කඳුළ තුනී කර දමන්නට එතකොට ඇය ට පුළුවන. අම්මා වන වසන්තා ගැන පුහුදුන් සිත්හි උපදින ද්වේශී හැඟීම් යටපත් කොට දමා, ලෝකයට තමන් බිහි කරනු වස් අපමණ දුක් වින්දේ ඇය නේදැයි මෙත් සිතින් සිතන්නට එවිට ඇය ට පුළුවන. 

කුස දරා හිඳ ඈ ලොවට බිහි කළ අම්මා ත් අනුකම්පා නො කළ එකේ අක්ෂි ගෙන් හෝ මොරීන් ගෙන් නො ලැබෙන අනුකම්පාවක් ගැන තැවෙන්නට කිසිදු හේතුවක් පළිඟු ට නැත.

කිසල් ගෙන් ඇමතුමක් ආවේ ඇගේ හදවත සන්තාප සිතිවිලි වලින් බර වී තිබියදී ය. ඈ හැඬුවේ නැතත්, ඇගේ හදවතෙහි වූ බර කිසල් ඉව කළේ ය.

“මොකක් හරි අවුලකද ඔයා…”

දෙතොල් පට සපා ගත් මඳහසකින් ඕ ඇස් පියන් වසා ගත්තා ය.

“පළිඟු”

“ම්…”

“ඇයි..”

“අම්ම මතක් වුණා. මට දුකයි කිසල්. පුංචා නිසා අම්මා කියල කෙනෙක් අමතකයි වගේ ඉන්න මට පුළුවන් වෙලා තියෙනව තමයි. ඒත් හිතට දුකක් දැනෙන වෙලාවට ඒ දුක සිය ගුණේකිං වැඩි කරගෙන අම්ම මතක් වෙනව කිසල්. අම්මටත් එපා වෙච්ච මට …ඔයා ආදරේ කළා. ගෙදරිං විසික් කරල දාපු මාව…ඔයා…ඔයා…”

“පළිඟු…මැණික…”

“මගෙ අම්මට එපා වුණ මං…ඔයාගෙ අම්මට මං එපා කියන එක ගැන මොනා කියන්නද…මට දවසක ඔයත් නැති වෙයි. ඒත් එහෙම වුණා කියල…අඬන්නවත් අවසර නැති වෙයි”

හදවත දිය වී කඳුළු ලෙස ගලා යන්නට ඉඩ දී ඇය ඉකිළුවා ය. මොරීන් සමග තබා අක්ෂි සමග හෝ හැප්පෙන්නට තරම් ශක්තියක් ඇය ට නොමැත. බලයක් හෝ ධනයක් ද නොමැත. දුක් දෙන ජීවිත සංසාරයේ ඔහු නිසා උපන් දුකත් කරපින්නා ගෙන ඇවිද යන්නට ඇය ට සිදු වනු ඇත.

ඇගේ කඳුළු වියැළී යන්නටත් පෙර කිසල් ඈ ඉදිරියේ පෙනී සිටියේ ය. උහුලා ගෙන ඉන්නට බැරි බරක් ව ජීවිතය දැනී යන්නා වූ වෙලාවට ඒ බර ට උර දිය හැකි හෝ ඒ බර හෑල්ලු කළ හැකි කෙනෙක් පැත්තකින් ඇවිද යන්නට ඉන්නා එක මොන තරම් සුවය දනවන සිතිවිල්ලක් උපද්දනවා දැයි පළිඟු අත්විඳිමින් සිටියා ය. 

යුවතිය ගේ අතැඟිලි කිසල්ගේ පිරිමි ඇඟිලි අතර සුරක්ෂිත ව දැවටී තිබිණි. සන්ධ්‍යාවත් රාත්‍රියත් අතර මැද හෝරාව සෞම්‍ය වූයේ ය. දුහුවිලි සුවඳ තවරා ගත් මඳ පවනක් නගරය පිස හමමින් තිබිණි. කිසල් ළඟින් විහිදුණේ මනරම් පිරිමි විළවුන් සුවඳකි. ඔහු ට වඩාත් සමීප ව වීදිය දිග ඇවිද යන ගමන් ටික වෙලාවක් පළිඟු ඒ සුවඳින් ආත්මය පුරවා ගත්තා ය.

කියවන්න :  පළිඟු මන්දිර - 6

“දැං ඕක අමතක කරල දාන්න. එක සිද්දියක් ගැන අඬ අඬ ඉන්න ගියොත් අපිට හිනා වෙලා ඉන්න වෙලාවක් නැති වෙයි”

ඔහු මධුර ප්‍රේමණීය තානයකින් හදවත පිරිමැද්දේ ය. 

“මට ඕනත් හිනා වෙලා ඉන්න. මේ විදිහට ඔයාගෙ ඇඟිල්ලක එල්ලිල මේ පාරවල් දිගේ ඇවිදං යන කාලය එච්චර දිග නැති වෙන්න පුළුවන්. ඒත් ඉතිරි ජීවිතේ දිගේ ම යද්දි මට ඔයා ගැන මතකය එක්ක හිනා වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනෙ”

“අපිට මුකුත් වෙන්නෑ”

ඔහු ගේ අතේ ග්‍රහණය දැඩි වෙනවා පළිඟු ට දැනිණි.

“මේක කළේ කවුද කියල හොයාගෙන ගියොත් අන්තිමට එතන ඉන්නෙ අක්ෂි වෙන්න පුළුවන්. නැතතං මගෙ අම්ම වෙන්න පුළුවන්”

“අපි හොයන්න ඕන නෑ. මට දැනෙන්නෙ ඒ අක්ෂි. ටිකකට කලිං එයා මට කෝල් කළා”

ඔවුන් දෙදෙනාගේ ම සුසුම් නගරයේ දුහුවිලි ගහන වාතාශ්‍රය හා මුහු විය. වීදි දිග නියොන් එළි දැල්වෙන්නට පටන් ගත්තේ ය. වීදි දිග ඉක්මන් ගමනේ යන මිනිසුන් ගේ හිත් වල පිරී ඇති සන්තාප වේදනා ගැන අංශු මාත්‍රයකුදු එ් එළියට නො පෙනිණි. පංචස්කන්ධයත් ඒ හා බැඳි සුඛ දුක්ඛ වේදනා සමූහයත් යනු දෙකක් නොව එකකි. නමුත් ලෝකය හැම විට ම දකින්නේ පංචස්කන්ධය පමණකි. එක අතකට එය අවාසනාවක් වන්නා සේ ම අනිත් අතින් එය වාසනාවකැයි පළිඟු සිතුවා ය.

“මොනාද කල්පනා කරන්නෙ…ම්…”

“මන්දා. ඔයා මෙහෙම මගෙ අතක් අල්ලං ඇවිදිද්දි…සමහර වෙලාවට මුකුත් නැතුව මං හිස්..  සමහර වෙලාවට හැම දේකිංම මං පිරිල ඉතිරෙනව. ඒ දෙකටම මං කැමතියි”

“මගෙ ඩිග්‍රි එක ඉවර වුණ ගමං අපි මැරි කරමු”

පළිඟු ප්‍රති පිළිතුරු දෙන්නට ගියේ නැත. සැබවින් කෙසේ ඊට ප්‍රතිචාර දක්වන්නද කියා හෝ ඕ නො දැන සිටියා ය. අනාගතය පමණකුදු නොව වර්තමානය හා අතීතය පවා ඇයට නො විසඳුන ප්‍රහේළිකා ය. කෙසේ වතුදු ඔහු එක්ක එක් ව දකින මේ හීනයට ඈ බොහෝ සේ පෙම් කරන්නී ය.

පෙම්වතුන් දෙදෙන අඩඳුරු අවන්හලකින් දෙහි යුෂ පානය කළෝ ය. මේ රෑ පහන් වන තුරා ඒ විදිහට අත් අල්ලාන ළඟට වී ඉන්නට ඇත්නම් කියන රහසිගත සිතිවිල්ල දෙදෙනා ගේ ම හිත් වල නො වූවා නොවේ. එය හිතේ ම හංගා ගෙන ඉන්නට  අපොහොසත් වූයේ කිසල් ය.

“මෙහෙම ඉන්න තිබුණනං…මේ රෑ එළි වෙනකල්…”

ඔහු ගේ දෑස් මත වූයේත් ඇගේ ඇස් වල වූ දීප්තිය ම ය. යුවතිය ලජ්ජාශීලී මඳහස කිසල් ගේ අත් ගොබයෙහි සඟවාලූවා ය. මුළු නගරය අඳුර හා තැන් තැන් හි විසුල ආලෝක පැල්ලම් රාශියක් බවට පත් ව තිබියදී ඔවුහු ඇගේ නිවස බලා පැමිණියහ. වත්සලා තිගැස්මෙන් මඟ බලා උන්නා ය.

“ඇති යන්තං. දැනුයි මගෙ ඇඟට ලේ පොදක් ඉනුවෙ”

කිසල් මනමාල පාට මන්දස්මිතයක් නගා ගත්තේ ය. ඒ සිනහව තුළ වසඟයෙන් අතරමං වෙන්නට පළිඟු ගේ හිතට ඕනෑ වුණත්, ඈ ඉක්මනින් ඒ මායාවෙන් නිදහස් වූවා ය.

“ඒ මොකද අනේ…”

“ඒ මොකද අහන්නෙ…කොච්චර වෙලාද…මං හිතුව මෙයා උඹව පන්නං ගිහිංවත්ද කියල”

එවර කිසල් ගේ ආඩම්බරකාර මඳහස මඳක් පිපුණේ ය.

“අපෝ…වැඩේමයි”

“අනේ පලයං කොල්ලො යන්න. වැඩේමයි තමයි. පුළුවන් වුණානං උඹ එහෙම නොකරම ඉඳියි”

කිසල් ගේ වත රතු වෙමින් තිබිණ.

“අනේ…මොනාද පුංචා කියන්නෙ…”

පළිඟු පින්සෙණ්ඩු වූවා ය.

“කෑම හදල තියෙන්නෙ. කාල නෙවෙයි නේද ආවෙ…”

“අපෝ නෑ. මෙයා පුංචා උයපුව කාල යන්න ඕන කිව්ව”

මෝටර් රථයක විදුලි පහන් ගේට්ටුව ළඟ නතර විය. තිදෙනා උනුන් ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලූහ. වචන කතා නො කළා ට කාගේත් හිත් වල වූයේ කැළඹීමකි. පළිඟු සිය උගුරු දණ්ඩ අල්ලා ගත්තේ හුස්ම ගැනීම අසීරු වූ අවස්ථාවක මෙනි. ගේට්ටුවේ කොක්ක පැන්නෙන හඬ ඇගේ දෙපා සීතල කරවන ලදී.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ilankoon
2 months ago

හරිම හරිම ලස්සනයි අක්කා