fbpx

පළිඟු මන්දිර -38

ඒ උදේ වත්සලා ත් පළිඟු ත් අතර ඒ හැටි කතා බහක් නො වුණ තරමි. සිය හදවත අරක් ගත් ප්‍රේමයක් ඇති බව පළිඟු ට කියා තිබුණ එක ගැන වත්සලා පසු තැවුණා ය. ඒ චමල් බව ඇයට දැනෙන ලෙස හැසිරීම ගැනත් ඇය තමන්ට ම සමාව නො දුන්නා ය. මේ අතීත කතාව කිසි සේත් පළිඟු ගේ වර්තමානය ට හෝ අනාගතය ට බලපානවා දකින්න ට වත්සලා ට උවමනා නැත.

“ඔය මොනාත් අර ළමයි එක්ක කියන්න ඕන නෑ”

උදේ අවන්හලෙන් පිට වෙත්දී වත්සලා පළිඟු ට කීවා ය. මුණිවතින් බලා උන්නා මිස යුවතිය ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත. සංසාරය චක්‍රයක් බව ඕ උගෙන තිබුණා ය. නමුත් ජීවිතයේ සියලු සිදුවීම් මේ ආකාරයෙන් චක්‍රයකට යා වී ඇති බව ඇය දැන සිටියේ නැත. සියල්ල දම් වැලක පුරුක් මෙන් එකට පිරිද්දී තිබේ. මේ සංසාර බැඳීම් වලින් ගිලිහී යන එක පහසු නැත.

මොරීන් රැගත් රිය පළිඟු පසු කරමින් විශ්ව විද්‍යාලය දෙසට ඇදිණ. මොරීන් වහා යුවතිය හැඳින්නා ය. මේ රියට ම යට කර ඈ ඉවරයක් කර දමන්නට ඇත්නම් කියා ඉපදුණ සිතිවිල්ල ගැන ඕ තොමෝ තමන්ට ම දොස් කියා ගත්තා ය.

“මේ ජරා කෙල්ල නිසා මං පවු පුරෝගන්නව”

ඇය තනිව මිමිණුවා ය. දැන් ඇය ට පළිඟු ව විශ්ව විද්‍යායෙන් නෙරපා දමන්නට බැරි කමක් නැත. මුල දී ඇය ව නතර කොට තැබූ වර්ෂා ගේ තර්ජන වලට දැන් ඈ බය නැත. නමුත්, එහෙම කළත්, කිසල් මේ කෙල්ල අත් නො හරින බව සක් සුදක් සේ විශ්වාස ය. පළිඟු ට උපාධියක් තිබෙනවාද නැත්ද යන්න ඔහු ට වැදගත් නොවන බව කිසල් ඇගේ මූණට ම කීවේ ය. දැන් ඔහු හිතුවක්කාර ය. අකීකරු ය. මුරණ්ඩු ය. ඇය පළිඟු ව විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරියොත් ඒ කේන්තියට ම ඔහු හිතුවක්කාර කමක් කරන්නට පුළුවන. එයින් සිදු වන්නේ ඇය ශිෂ්‍යාවක ගෙන් පළි දැරුවා ය යන නරක නාමය විශ්ව විද්‍යාලය තුළ ප්‍රචලිත වන එක පමණකි. ඒ නිසා කිසල් ගේ හිත වෙනස් කිරීම වෙනත් ආකාරයකින් කළ යුතු යයි මොරීන් සිතා ගත්තා ය.  ඒ සඳහා, ඉක්මනින් ම අවස්ථාවක් උදා වන බව ද ඇය දැන සිටියා ය.

ඇගේ ඇස් වල වූ ද්වේශය පළිඟු ව තැතිගැන්වී ය. වත්සලා ගේ ඇස් වල වූ කඳුළත් ගින්දරත් ඇය ට සිහි විය. මතු යම් දවසක ඇගේ ඉරණම විසඳෙන්නට නියමිත ආකාරය ගැන නො සිතා ඉන්නට යුවතිය තීරණය කළා ය.

ඈ ආවේ අකල් වැස්සක් එක්ක ය. දින ගණනාවක් තිස්සේ පොළොව පෙළු හිරු, කළු වලාවකින් වැසී යන්නට පටන් ගත්තේ ය. වැඩි වෙලා නො ගොස් ම දෙපත් කපා අක් වැහි ඇද හැළිණ. පළිඟු කුඩා පට කුඩය යටින් ගමන් කරමින් සිටියා ය. රියෙන් බසින්නට සෙවනක් නැති ව වට පිට බැලූ නාඳුනන යුවතිය පළිඟු ගේ නෙත ට හසු විය. ඇය සිනාසුණේ හුරු පුරුදු බවකින් සේ ය. ඒ සිනහවට පිළිතුරු සිනහවක් නොදී ඉන්නට පළිඟු ට හැකි වූයේ නැත. උදවු ඉල්ලා සිටින හෝ උදවු කරන්නට එකඟ වීමේ වචන වලින් තොරව ම ඇය පළිඟු ගේ කුඩය යටට පැන්නා ය.

“මාර වැස්සක්නෙ…කොහේ ඉඳල කඩං වැටුණද මන්දා”

උරහිසට මඳක් උඩට සිටින සේ කැපූ කොණ්ඩයක් ද ලොකු දීප්තිමත් දෑසක් ද තළඑළළු සමක් ද ඇති නාඳුනන්නිය බටහිර සමාජය ඇසුරු කළ අයෙකු බව බැලූ බැල්මට පෙනිණ. ඈ පෙන්වූ ක්ෂණික සුහද ශීලයත් අයිති දියුණු මහාද්වීපික ලෝකයට මිස දූපත් සමාජයට නොවේ. නමුත් ඇගේ සිංහල වහර අතිශය සාමාන්‍ය වූයේ ය. පළිඟු ඈ වෙත ඇදී බැඳී යන්නට තත්පර කිහිපයකට වඩා ගත වූයේ නැත.

“මොරීන් ආන්ටි ඔෆිස් එකේ ඇති නේද…”

“ම්…මැඩම් ඇති…”

“ලංකාවෙ වැස්ස ෂෝක් අනේ…ලෝකෙ කොතනකදිවත් වැස්ස මේ තරං ලස්සනට මට දැනිල නෑ”

ඇය විදේශයන් හි සරණ, ජාත්‍යන්තර කුලකයේ යුවතියක බවට පළිඟු කළ අනුමානය නිවැරදි ය. 

“මං සිංහල නවල් එකක කියෝල තියෙනව පාරට බහිද්දි ගෑනු ළමයෙක්ගෙ අතේ කුඩයක් තියෙන්න ඕනමයි කියල. ඒ කතාව ඇත්ත. දැං බලන්නකො මේ වැස්ස පාත් වෙච්ච හැටි. හැබැයි ඔයානං හරි හොඳ  ගෑනු ළමයෙක්”

ඇය පළිඟු දෙසත් කුඩය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් මඳහසකින් කීවා ය. ඈ කියන කතා වලට ප්‍රතිවදන් දෙන්නට තරම් මුඛරි කමක් මේ වෙලාවේ පළිඟු වෙත වූයේ නැත. ඒ වෙනුවට ඕ ආගන්තුක යුවතිය ගේ ස්ත්‍රී පෞරුෂයෙන් වශීකෘත ව සිටියා ය.

“මේ තියෙන්නෙ ඔෆිස් එක. මැඩම් ඇතුළෙ ඇති”

එක පැහි බිඳක් නො වැටී අමුත්තිය කාර්යාලයේ බරාඳයට ගොඩ වූවා ය. නමුත් පළිඟු ගේ සිරුරේ එක් අර්ධයක් තෙත් වී තිබිණි. ආපසු හැරී එත්දී වැස්සේ ඝෝෂාව අතරින් හඬක් ඇසිණි.

“ඒයි…නංගී…”

පළිඟු හැරී බැලූයේ ස්ථිර ව ඒ ඇය අමතන හඬක් සේ සිතා ම නොවේ. නමුත් ආගන්තුක යුවතිය වැස්ස තුළින් ඇවිද යන ඇදෙම බලා ගෙන සිටියා ය.

“මට තෑන්ක් කරන්න අමතක වුණා. තෑන්ක් යූ පැටියෝ”

පළිඟු ගේ මුවග වූ මන්දස්මිතය පින්න මලක් සේ පිපිණි. 

“වෙල්කම්”

සිනහව අතරින් ම ඕ කීවා ය. නමුත් වැස්සේ හඬ, පළිඟු ගේ මන්ද්‍ර ස්වරය අමුත්තිය වෙත ගෙන ගියා දැයි සැක සහිත ය. දෙදෙනා ම දෙ පස හිඳ සුරත් වනා උනුන් ට පිටු පා ගත්හ.

මොරින් ඉදිරියේත් අමුත්තිය පෙනී සිටියේ ඒ සිනහවෙන් ම ය. නමුත් මොරීන් නම් එබඳු සිනා දස දහසක් පෑවා ය. සැබවින් ඇගේ හිසේ මලක් පිපිණි. මහත් සැනසීමක් ඇය ට දැනිණ. 

“නිවර්තනා”

මොරීන් යුවතිය ව වැළඳ ගත්තා ය.

“කොහොමද ආන්ටි ඉතිං…”

“අනේ නිවර්තනා ඔයාට තාමත් තියෙන්නෙ අර චූටි කෙල්ල කාලෙ තිබුණ හුරතල් මූණමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ”

“ආන්ටිනං තවත් තරුණ වෙලා”

කිකිණි හඬින් දෙදෙනා ම හිනැහුණහ. මොරීන් ගේ හොඳම පාසල් මිතුරිය වන ප්‍රියානි, සිය දරු පවුලත් සමග බටහිර රටක් වෙත නික්ම ගියේ නිවර්තනා හා කිසල් ප්‍රාථමික පන්ති වල සිටියදී ය. මහාද්වීප හා සාගර ගණනාවක් ඈතින් හිටියත් දෙදෙනා ගේ මිත්‍රත්වය හීන වී ගියේ නැත. ලංකාවට පැමිණි හැම විටෙක ම ප්‍රියානි මොරීන් ව හමු වූවා ය. දෙවතාවක් පමණ මොරීන් ද ප්‍රංශයේ පැරිස් නුවර නිවාඩුවක් සඳහා ගියේ, මිතුරිය සමග පැරීසිය නැරඹීමේ සාඩම්බරය විඳින්නටයි.

“ඔයාගෙ බෝනික්කිවනං දවසක මට ඕනෙ ප්‍රියා”

මොරීන් නිතර කී කතාවකි එය. එක පන්තියේ සිටි නිවර්තනා හා කිසල් අතර සමීප සම්බන්ධයක් දිනෙක ඇති වෙනු දකින හීනයක්, කාලයක් තිස්සේ ම මොරීන් දැක්කා ය. නමුත් කිසල් අක්ෂි සමග හාද වූයේ ඇගේ බලාපොරොත්තු සිඳ දමමිනි. ඒ සම්බන්ධය බිඳී ගිය වෙලාවේ මොරීන් සිය බලාපොරොත්තු අලුත් කර ගත්තත්, කිසල් ඇගේ සිහිනයට ඉඩ තැබුවේ නැත.

මේ වතාවේ නිවර්තනා තනි ව ලංකාවට පැමිණියේ සිය උපාධි නිබන්ධනය සඳහා ලංකාවේ ඉතිහාසය හා කලා ශිල්ප ගැන කාරණා කරුණු හදාරන්නට බලා ගෙන ය. මොරීන් ඒ සඳහා සිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ආචාර්ය වරයෙකු ගේ උදවු ලබා දෙන්නට පොරොන්දු වී සිටියා ය.

ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පස්සේ, ලංකාවේ සිටින කාලය තුළ සිය නිවසෙහි නතර වන ලෙස මොරීන් නිවර්තනා ට ඇරයුම් කළා ය. ඇගේ යටි අරමුණ වූයේ කිසල් ට නිවර්තනා සමීප කරවීමයි.

“අනේ තෑන්ක්ස් ආන්ටි. ඒත් මට ඒක කරන්න බැරි වෙයි. මොකද මට මෙහෙට වෙලා ඉඳල බෑනෙ. අසයිමන්ට් එකට ඕන ඩීටේල්ස් හොයාගෙන මං ඒන්ෂන්ට් සිටි වලට යන්න ඕනෙ. ඒ ඒ තැන් වල නතර වෙලා නිදහසේ මේ වැඩේ කරන්න තමයි මං හිතං ඉන්නෙ. ආන්ටි මට මීට් කරවනව කියපු…”

“මං මිස්ට රත්නායකට කියලයි තියෙන්නෙ. එයා ඔයාට උදව් කරයි”

මොරීන් දුරකතනය ගත්තේ ආචාර්ය වරයා ව සම්බන්ධ කර ගැනීමටයි.

වැස්ස තව තවත් සැඩ වනවා මිස තුරල් වන සලකුණකුදු දැකිය හැකි වූයේ නැත. භෝජනාගාරය තුළ වූයේ ටික ටික හෝ තෙමී ගිය තරුණ තරුණියන් ය. උන්හිටි ගමන් වායු ගෝලයේ ආර්ද්‍රතාවයත් සිසිලසත් වැඩි වී තිබිණි. නමුත් මේ හදිසි දේශගුණ වෙනස පෙම්වතුන්ට නම් ආශිර්වාදයක් වූ සේ ය. ඔවුහු තන් හි තන් හි ලං වී මුමුණමින් ද කවා පොවා ගනිමින් ද හිස කේ හා මුහුණු වල වූ තෙත, කුඩා ලේන්සු වලින් පිස දමමින් ද සිටියහ. 

“මැඩම්ව හම්බ වෙන්න ලස්සන ගර්ල් කෙනෙක් ආවා”

පළිඟු කෑම කන ගමන් මිමිණුවා ය. සැබවින් මෙතෙක් වේලා ඇගේ සිතින් ආගන්තුක තරුණිය බැහැර නොවී සිටියා ය. කෙසේ වෙතත් කිසල් තුළ ඒ ආරංචිය නිසා උනන්දුවක් ඇති වන බවක් නො පෙනිණ.

“ඇහුන්නැද්ද අනේ කියපු දේ…”

ඔහු ගෙන් ප්‍රතිචාරයක් නො ලැබීම ඇය ව මඳ වශයෙන් නො රිස්සුම් කරවී ය.

“ඇහුනා”

“එහෙනං සද්ද නැතුව ඉන්නෙ…”

“මං දන්නව දැං ජෙලස් කියල”

“අනේ මේ”

කිසල් හඬනගා හිනැහුණේ ය. අක්ෂි උනන්දුවෙන් ඔවුන් දෙස බැලුවා ය.

“කවුද ඒ…”

“මං දන්නෙ කොහොමද…”

යුවතිය මූණ නෝක්කාඩු කර ගත්තා ය.

“බොරුද මං කිව්වෙ…ඕකට තමයි කියන්නෙ ඊරිසියාව කියල”

“වැඩේමයි. අපිට මොකද ඒ ඔයාගෙ මනමාලි වුණත්”

“මොකද කියල පේනව මූණෙංම”

“පිස්සුද අනේ…”

කේන්තියක් හැඟවූවාට සිතේ වන්නේ අමුතු දුකක් බව පළිඟු හැඳින්නා ය. ඇස් වල තෙතමනයක් ද ඇයට දැනිණ. නමුත් ඒ වැස්සට තෙමුණ නිසා ඇති වූ තෙතක් යයි සිතන්නට ඇයට ඕනා විය.

“මං දන්නව කොච්චර කොහොම දැං ළඟිං හිටයත් අන්තිමට ඒක විඳගන්න වෙනව කියල. ඔයාගෙ මනමාලි ඒ වගේ හොඳ කෙනෙක්නං ඒක හිතට කොච්චර සැනසීමක් ද…”

හඬ නො බිඳී පවත්වා ගන්නට පළිඟු ට ඕනෑ විය. ඈ දුකෙන් නොවේ කියා පෙන්වන්නට ඇය ට ඕනෑ විය. නමුත් ඇතුළාන්තයෙහි වූයේ ඉකිබිඳ හැඬිය හැකි දුකකි. ඒ දුකට හේතුව අර නාඳුනන යුවතිය ම ද කියා ඈ සිතුවා ය. වත්සලා ට මඟහැරී ගිය ආදරය ගැන මහත් බරක්, අද පාන්දර යාමයේ පටන් පළිඟු ගේ හදවත මත පැටවී තියේ. ඒ වත්සලා ගේ පමණක් නොව පළිඟු ගේත් දුකයි. ඔවුන් ගේ ඉරණමයි.

“මොකද මේ…ම්…මොකද්ද වුණේ…”

සියල්ල විහිළුවක් කර ගැනීම නවතා කිසල් කෙළින් පළිඟු ගේ මූණ දෙස බැලුවේ ය. ඇය ඔහු ගේ මග හරින්නට තැත් කළා ය.

“මුකුත් නෑ”

ඒ වචන දෙකෙහි වූයේ වචන දහස් ගණනකිනිදු නිර්වචනය කළ නො හැකි සන්තාප සාගරයකි.

“තියනව කියල මට දැනෙනවනෙ. කියන්න…”

ඔහු ගේ වචන මත්තෙහි ආදරය කොයි තරම් දැනෙන්නට තිබුණා ද යත්, ඇගේ ඇස් වල එතෙක් හිතුවක්කාරකම් කළ කඳුළ පැරදී කඩා වැටිණ.

“පළිඟු…”

කිසල් ඇගේ වමත තද කොට අල්ලා ගත්තේ ය. ඒ අත සීතලින් මිදී ගොස් තිබුණා සේ ය.

“පුංචා ඉන්නෙ ගොඩාක් දුකෙං කිසල්”

“ඇයි ඒ…”

“ඔයාට කියන්නත් එපා කිව්ව. ඒත් මං කොහොමද ඔයාට නොකියා ඉන්නෙ…”

“ඔයාට මාව විශ්වාසයි නේද…”

“ගෑනුංගෙ පපු පිරිල තියෙන්නෙ ලේ වලටත් වඩා ගණකම් ආදරේ දුකෙං කිසල්. සංස්ථානික ධමනිය දිගේ මුළු ඇඟ පුරාම දුවන්නෙ ඒ දුක දියවෙච්ච ලේ. මුළු ජීවිතේටම අමතක කරන්න බැරි ආදරයක්…මැරෙනකල් ම ගෑනුංගෙ පපු ඇතුළෙ හුස්ම ගන්නව ඇති. ජීවත් වෙන්නෙත් මැරෙන්නත් ඒ දුක එක්කයි කිසල්. ඒක මරණීය වේදනාවක්. මට ඒ වේදනාව හොඳටම දැනෙනව”

“ඔයාට එහෙම දුකක් එක්ක මැරෙන්න වෙන්නෑ. ඒක මං මටම දෙන පොරොන්දුවක්”

“පුංචා…පුංචා…”

“අපේ චූටි මාමාගෙ මොකක්හරි කනෙක්ෂන් එකක් තියෙනවද ඒ දුකට…”

පළිඟු තිගැස්සී ගිහින් කිසල් දෙස බලා ගත්තා ය. ‘ඔයා දන්නෙ කොහොමද එහෙම දෙයක්’ කියන ප්‍රශ්නය ඇගේ ඇස් මත විය.

“ඊයෙ රෑ මටත් යන්තං එහෙම දෙයක් දැනුණා. ඒගොල්ලංගෙ ඇස් වල හුඟක් පරණ ආදරයක් තියෙනව වගේ දෙයක්…”

ඉකිබිඳ හඬනු රිසි වුවත් පළිඟු ගේ කොපුල් තලා මත වූ කඳුළ වාෂ්ප වී වියළී ගිහින් තිබිණි. ඈ සිය ප්‍රේමවන්තයා ගේ වත මත නතර වී බලා සිටියේ ඔහු ගෙන් පිළිසරණක් පතන්නට මෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x