පළිඟු මන්දිර – 40

නිවර්තනා කියන්නේ මොරීන් ගේ පවුලේ හිතවතියකි. විදේශයක සිට පැමිණි ඇය වෙත මොරීන් සුවිශේෂ විවාහ යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබේ. එහෙවු ඇය නිතර දෙවේලේ මොරීන් මුණගැහෙන්නට විශ්ව විද්‍යාලයට පැමිණීම පළිඟු ට නම් පුදුම වන්නට කාරණයක් නොවේ. ඒ යන එන අතර වාරයේ, ආසන්නයේ වන මේ අවන්හලට යම් හේතුවක් මත ගොඩ වීමත් අහඹු හෝ පුදුම විය යුතු කාරණයක් නොවේ. පළිඟු, සිනහවකින් ඇයට සංග්‍රහ කිරීමේ උත්සාහයක් ගනිමින් සිටියා ය. ඒ අතරේ නිවර්තනා ගේ ඇස් තව තවත් අතීතයේ කරක් ගසන්නට වූයේ ය.

“හරි මට මතක් වුණා. ඔයා නේද එදා වැස්සෙ මාව කුඩේ යටිං….”

“ඔව්…ඒ මං…”

පළිඟු නො දැරියක බඳුව සිනාසුණා ය. 

“අනේ…එතකොට ඔයා මෙතන…”

“මේක මගෙ පුංචාගෙ පේස්ට්‍රි ෂොප් එක”

“ඇත්තද…එහෙනං මං නියම තැනටනෙ ඇවිත් තියෙන්නෙ. එදා මට නම අහගන්නවත් බැරි වුණානෙ. ආයෙ ඔයාව කොහොම මීට් වෙන්නද කියල මං හිත හිතයි හිිටියෙ…”

“මිස්…මොනාහරි කනවද…”

“අනේ…මං නිවර්තනා. හැබැයි ඔයා මට වැඩිය චුට්ටං බට්ටිච්චෙක් වගෙයි. ඒක නිසා අක්ක කියන්නකො. මිස්…ඒක හරි නෑ. එතකොට අපි දුරයි වගේ”

“හරි එහෙනං…අක්ක මොනාහරි කනවද…”

“මං ආවෙනං වෝටර් බොට්ල් එකක් අරං යන්න. ඒත් දැං ඔයා ඉන්නවනෙ. මොනාහරි කන ගමං චැට් එකක් දාමු”

අනාරාධිතව ම නිවර්තනා පුටුවක් ඇද හිඳ ගත්තා ය. මේ කිසල් ට සිය මවු විසින් යෝජනා කොට තිබෙන සහකාරියයි. ඈ ගැන පළිඟු ගේ හදවතෙහි ඊර්ෂ්‍යාවක් හට ගැනීම ගැන පුදුම නො විය යුතු ය. පුහුදුන් මිනිස් ගතිය එයයි. අනිත් සියල්ලට ම වඩා ආදරය ඊර්ෂ්‍යා කරයි. නමුත් පුදුමයකට වගේ පළිඟු ගේ හිතේ නම් නිවර්තනා පිළිබඳව අංශු මාත්‍රික හෝ ඊරෂ්‍යා සහගත හැඟීමක් ජනිත වූයේ නැත.

“කන්න අක්කෙ. බොන්න ටී එකක් හදන්නං…”

“නියමයි”

මහමෙරක බර දැනිය යුතු වෙලාවක හිත වලා රොදක සැහැල්ලුව ට පත් වන්නටත් පිළිවන්ද? වත්සලා තේ හදන්නට බාර ගත්තෙන් පළිඟු විත් නිවර්තනා ඉදිරියේ හිඳ ගත්තා ය.

“ලංකාවෙ මිනිස්සු හුඟක් අමුතු වෙලා”

ඇය කතාව පටන් ගත්තේ එහෙම ය.

 “කිසි ම ළෙංගතුකමක් නෑ වගෙයි හැසිරෙන්නෙ. ඇත්තටම අපි පොඩි කාලෙ මෙහෙ ඉන්නකොට තත්වෙ මෙච්චර නරකට තිබුණෙ නෑ කියලයි මට මතක. අපි නර්සරි ඇරෙන වෙලාවට මගෙ වෝටර් බොට්ල් එක නිතරම වගේ ඉවරයි. එතකොට අම්ම ඒ ළඟ ගෙදරකිං වතුර ඉල්ලල මට පොවනව. ඒත් දැං ගෙදරකිං තියා කඩේකිංවත් නිකං වතුර ටිකක් ඉල්ලන්න පුළුවන් ද….වතුර බෝතලෙත් සල්ලි වලටනෙ ගන්න වෙලා තියෙන්නෙ”

“අක්ක ගිය අනිත් රටවල එහෙම නැද්ද…”

පළිඟු විසින් අසන ලද්දේ අරුම පුදුම ප්‍රශ්නයක් වාගේ ය නිවර්තනා බලා සිටියේ. ඒ ඇයි දැයි පළිඟු ට සිතා ගත නො හැකි විණි.

“ඇයි…අක්ක ඔය විදිහට මං දිහා බලන්නෙ…මං මුකුත්…වැරදි දෙයක් කිව්වද…”

“ඔයා කොහොමද දන්නෙ මං වෙන රටක ඉඳං ආව කියල….”

පළිඟු සිනා සුණා ය. නිවර්තනා ගැන ඊටත් වැඩිය දේවල් මේ වෙත්දී ඇය දැන උන්නා ය. ඉන් බොහොමයක් කාරණා දැන ගත්තේ වර්ෂා ගෙනි. නමුත් ඒ කතා කියන්නට තරම් පළිඟු ඉක්මන් වූයේ නැත.

“ආ…ඒකද….ඒක ඉතිං…අක්කව දැක්කහම පේනව”

ඇගේ සිනහව මෝඩ එකක් කියා පළිඟු ට ම සිතිණි. නමුත් නිවර්තනා යුවතිය ගේ ස්වභාවයෙන් සතුටට පත් වූවා ය. ඇය ට ලංකාවේදී අවශ්‍ය වූයේ එහෙවු නිර්ව්‍යාජ මිනිස් ඇසුරකි.

“ඒ රටවල එහෙම තමයි. ඒ වුණාට අනේ…මට ඔයාගෙ නම අහගන්න බැරි වුණානෙ තාම…”

“පළිඟු”

“අනේ…ස්වීට් නමක්. මේකනෙ පළිඟු. මටනං තවත් ඒ වගේ රටක් ලංකාවෙං දකින්න ඕන්නෑ. අපිට මාර දේවල් ටිකක් තිබුණනෙ වෙන කොහෙවත් නැති. අන්න ඒව දැං දැං නැති වෙලාම ගිහිං කියල දැනෙනකොට හිතට මාර අවුල් අප්ප. ඔයාලට දැනෙන්නැතුව ඇති. ඒත් වෙන රටවල ජීවත් වෙද්දි අපි නොදැනම අපි හිතෙං තුරුල් කරං ඉන්නෙ ඒ අපේ ගති. ලංකාවෙ මිනිස්සු නිවාඩුවක් ලැබුණ ගමං මෙහෙ දුවං එන්නෙ මං හිතන්නෙ ඒ අපේ කම විඳගෙන යන්න. පහුගිය ටිකේ මං ටිකක් ඈත ඇවිද්දනෙ. ඒ ගම් වලත් දැං ඒ ගැමි ගති අඩුයිනෙ”

බටහිර රටක ජීවත් වූවා ට නිවර්තනා ට පුළුල් වූ දර්ශනයක් තිබෙන බවක් පෙනිණි. එය පෙරදිග සංස්කෘතිය හා බැඳුණු එකක් වීම විශේෂිත ය. ලංකාවෙන් බටහිර නොව ලෝකයේ වෙනත් ඕනෑ ම රටකට වසර දෙක තුනකට හෝ යන බොහෝ අය යළි මවු බිමට පැමිණෙන්නේ ජීවිත කාලයක් ඒ රට වල ම පදිංචි වී සිටියා මෙනි. හදවතින් ම විදේශික බවක් හඟවමිනි. සැබවින් ඔවුන් ගේ හිස් ගෙඩි වල වන්නේ ව්‍යාජයෙන් වසා ගත් පුස් බවකි. ඒ අතින් නිවර්තනා කියන්නේ ව්‍යාජයක් නොව සැබෑවකි. තමන් නිසඟයෙන් ම ඇය වෙත ආශක්ත වන බවක් පළිඟු ට දැනුණේ ය.

“මං ආවෙ මගෙ අසයිමන්ට් එක කරන්න. හැබැයි දැං මට අමුතු ජාතියෙ කොල්ලෙක්වත් හැන්ඩ්ල් කරන්නයි වෙලා තියෙන්නෙ”

නිවර්තනා ගේ ඒ කතාව නිසා පළිඟු ගේ හදවත බෝම්බයක කම්පනයට හසු විය. දන්නා කතාවක් වී ද ඇගේ මුවින් ඒ ගැන නො අසා ඉන්නට තිබිණි නම් පළිඟු වඩාත් කැමති ය.

“දන්නව ඇති නේද කිසල්ව…මොරින් ආන්ටිගෙ පුතා…ඔයත් මේ කැම්පස් එකේනෙ…”

‘ඔව්’ යි හඟවන්නට පළිඟු හිස සැළුවේ තුනී ව යන්නට නො දුන් මඳහසිනි.

“මේ කොල්ල මහ ආඩම්බරකාරයෙක් වෙලානෙ. මාව ගණං ගන්නෙවත් නෑ. ඔයා දන්නවද අපි දෙන්න නර්සරි ගියෙත් එකට. අඬන්න ඔන්න මෙන්න මූණ බෙරි කරං ඉන්නකොට මං තමයි නැන්දම්මා වගේ බැණ බැණ එයාට කෑම කවන්නෙ”

නිවර්තනා ගේ ඇස් වල ඒ අතීතය ඇඳී ගියේ මහත් වූ දයාර්ද්‍ර බවක් ද සමගිනි. අද ඊයේක නොව ඔහු ඇගේ වී සිටියේ ඈත ම ඈත අතීතයකදී බවට ඒ ඇස් සාක්ෂි දුන්නේ ය. ඇය සතු ඒ අයිතිවාසිකම මිහිපිට වෙන කිසිදු කෙල්ලක සතු නොවේ යයි හඟවන්නට නිවර්තනා ට උවමනා වුණා වත් ද? 

“එක දවසක් කොල්ල කඳුළු පෙරනව ඔන්න. ටීචර් ඇහුවත් ඇයි කියල කියන්නෑ. පස්සෙ මං ලං වෙලා ඔළුව අතගාල ඇහුවා ඇයි පැටියො අඬන්නෙ…මට කියන්න බැරි දෙයක් ඔයාට නෑනෙ…මට කිව්වොත් මං ඔයාට උදවු කරනවනෙ…ඉතිං කියනව නේ කියල”

මහත් කුහුලක් පළිඟු තුළ උපන. ඇය නො දන්නා ඔහු ගේ ඉතා ඈත අතීතයේ හිමිකාරී, ඔහු ගැන ඇයට වන ශුද්ධ වූ හිමිකම ගැන පැහැදිළිව ම පසක් කරවමින් සිටියා ය.

“කොල්ල මගෙ කනට ලං වෙලා රහසිං කිව්ව චූ බරයි කියල. ඒ ගමන මං ඉක්මනට වොෂ් රූම් එක්ක ගියහම තමයි ඇඬිල්ල නැවතුණේ”

“ඒක ලස්සන අතීතයක්”

පළිඟු ට එහෙම නො කියා බැරි විය. ඒ සමග ම සිය හදවත අමුතු රිදුමකින් ඇදුම් කනවා ඇය ට දැනිණ. නිවර්තනා ට කිසල් හා බැඳුණු එවන් ළමා වියක් තිබුණා ය කියා තැවෙන්නට තරම් ඇය බොළඳ කෙල්ලක නොවේ. නමුත් එහෙවු අතීතයක් එක්ක ම දැන් ඇය ට ඔහු ගේ වර්තමානය හා අනාගතය පිළිබඳ අයිතියත් ඔහු ගේ ම මෑණියන් විසින් බන්දේසියක තබා පිළිගන්වා තිබේ. එතැනදී පළිඟු ගේ ආදරය කියන්නේ කෙතරම් නොතරම් විය හැකි දෙයක් දැයි ඇය ට සිතා ගන්නට බැරි නැත. 

“අනේ මන්ද ඔයා හිතයි මට පිස්සුද කියල. ඔයාව එක දවසක් විතරක් දැකල මෙච්චර දේවල් කියවන්නෙ ඇයි කියල හිතයි. මන්දා පළිඟු..එදා පළවෙනි වතාවට ඔයාව දැක්ක වෙලාවෙත් මට ඔයා හරි හුරු පුරුදුයි වගෙයි දැනුණෙ. සංසාරෙ කොතනකදි හරි අපි අක්කල නංගිල වෙලා හුඟක් ළඟිං ඉඳල ඇති. ඒකයි එහෙම දැනෙනව ඇත්තෙ…”

ඒ ළෙංගතුකම පළිඟු ගේ හදවතටත් දැනෙමින් තිබිණි. ඇතැම් විට ඇය කිසල් ට ඇති අයිතිය පෙන්වමින් කතා කළත් ඈ ගැන පළිඟු තුළ තරහක් ඇති නොවන්නේ එම සසර හුරුව නිසා විය හැක.

“මට මෙහෙ ඉන්න පුළුවං මාස තුනක් වගේ තමයි. මෙහෙ ඉන්නකල් කතා කරන්නවත් ඔයා වගේ යාළුවෙක් හමුබුණ එක සතුටක්”

හදවතින් ම එසේ කියූ නිවර්තනා පළිඟු ගෙන් සමු ගත්තේ ඇගේ දුරකතන අංකයත් ඉල්ලා ගනිමිනි.

වත්සලා සුසුමක් හෙළුවා ය. මේ තරම් දේවල් උහුලා දරා ගනිමින් පළිඟු නිසොල්මනේ හිඳින්නේ කෙසේ දැයි සිතත්දී ඇගේ හදවත සත් කඩකට පැළෙන්නට හදයි. හිතක් මත්තේ දෛවය ඒ සා ලොකු පරීක්ෂණ කරන්නට හේතුව තවමත් වත්සලා ට තේරුම් ගත නො හැකි ය. 

“මං නිවර්තනා අක්කිට කියන්නං අයියගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයා කියල. එතකොට එයා පාඩුවෙ වෙන අතක් බලා ගනීනෙ”

වර්ෂා කීවා ය. පළිඟු බෙහෙවින් කලබල වූවා ය.

“එපා එපා. මට ප්‍රොමිස් වෙන්න වර්ෂා. කවදාවත් එයාට එහෙම දෙයක් දැනගන්න තියන්නෙ නෑ කියල…”

“ඇයි ඉතිං. ඇත්ත කියන දේ බොරුවට වැඩිය හරි පහසුයිනෙ පළිඟු”

“ඒක ඇත්ත. ඒත් ආදරේ කියන්නෙ නිදහසට වර්ෂා. මගෙයි කියල බෝඩ් ගහං වෙන් කර ගත්ත තැනක ඒ නිදහස නෑ නේද…නිවර්තනා අක්කා කිසල් ට ආදරේනං…කිසල් ගෙ හිතෙත් එයා ගැන හැඟීමක් ඇති වෙන්න ඉඩ තියෙනවනං…මං වේලාසන මගෙයි කියල වෙන් කරගෙන තේරුමක් නෑ. ඒ ඔයාගෙ අයිය. මගෙ ජීවිතේම එයා. ඉතිං අපි ඇයි එයාලගෙ නිදහස මානසිකව හරි අපේ අතට ගන්න හදන්නෙ…අපි බලං ඉමු…මොකද වෙන්නෙ කියල…”

වර්ෂා ගේ ඇස් විසල් වී තිබිණි. පළිඟු ට තියෙන්නේ ඒ සා දැවැන්ත හදවතකැයි මීට පෙර ඈ දැන සිටියේ නැත. රැඩිකල් චරිතය ඈ ය. බාහිර වශයෙන් අරගල කාරියක නොවුණා ට පළිඟු ගේ හදවත සිය හදවතටත් වඩා සමාජවාදී හා පොහොසත් එකකි.

හිතන්නට දේවල් බොහොමයක් පළිඟු ගේ හිත මත පැටවී තිබිණි. ඒවා ගැන හිතන්නට ගියොත් වන්නේ හඬ හඬා කඳුළු වලට දවස දිය කර හරින්නට ය. ඒ නිසා ම හැකි තාක් හැම තත්පරයක ම වැඩ කරන්නට ඇය උත්සාහ කළා ය. අධ්‍යයන කටයුතු අතරේ දිවා කාලය කාර්යබහුල විය හැක. හැන්දෑවට අවන්හලේ වැඩට වත්සලා ට උදවු වෙමින් ද රාත්‍රයේ යළි පාඩම් වැඩ කරමින් ද ඕ කාලයට ගෙවී යන්නට හැරියා ය. ඇතැම් අවස්ථා වල නිවර්තනා විශ්ව විද්‍යාලයේ දී දැකිය හැකි ය. කිසල් ව ඇසුරකට යොමු කර ගැනීම සඳහා නිවර්තනා උත්සාහ කරමින් සිටියා ය. ඔවුන් කතා බහක සිටිනු විශ්ව විද්‍යාලයේ දී දුටුවොත් පළිඟු මගහැර ගියා ය. පෙර දී සේ කිසල් සමගින් පෙම් පිළිසඳරේ යෙදීම ද මේ වෙත්දී පළිඟු විසින් හිතා මතා ම අඩු කර දමන ලදී. ඒ මොරීන් ගේ කේන්තිය අඩු කර දමනු වස් ගන්නා ලද උපක්‍රමයක් සේ ඈ කිසල් ට හැඟවූවත්, සැබවින් ඕ බිය වූවේ නිවර්තනා ගේ ඇස් වලට ඔහු ගේ පෙම්වතිය සේ මුණගැහෙන්නටයි. එවැන්නක් වුව හොත් නිවර්තනා ගේ හදවත බිඳෙනු ඇත. ඈ ඉදිරියේ පළිඟු වංචාකාරියක ද වනු ඇත. ඒ සා සමීප පිළිසඳරක යෙදීත් කිසල් සිය පෙම්වතා බව පළිඟු විසින් හෙළිදරවු නො කරන ලද හෙයිනි. නමුත් ඇය ට එසේ කළ නො හැකි වූයේ නිවර්තනා ඉස්සර වූ බැවිනි. ඈ තුළ කිසල් පිළිබඳව වන අපේක්ෂාව ගැන දැනගත් පසු කෙසේ එවැන්නක් කියා සිටින්න ද? 

“ගෑනු අපි ඔහොම තමයි බං. අපි ගැන හිතන්න කලිං අපි හිතන්නෙ අනිත් අය ගැන. අනිත් අයගෙ සතුට ගැන…”

වත්සලා මැනැවින් පළිඟු ව වටහා ගත්තා ය. දින කිහිපයක් තිස්සේ වත්සලා ගෙන් ඇසිය යුතු යයි හිත හිතා උන් යමක් දැනගන්නට පළිඟු මේ අවස්ථාව කර ගත්තා ය.

“පුංචා…”

“ම්…”

“එදා ඔයාට මුණගැහුණ වෙලාවෙ කොයි තත්වෙක හිටියත් අද චූටි මාමා නිදහස් මනුස්සයෙක්නෙ…ඉතිං…දැං එයා ඔයාට කිව්වොත් බඳිමු කියල…”

“උඹට පිස්සුද පළිඟු …”

පළිඟු බලාපොරොත්තු නොවූ සේ වත්සලා ඇගේ ඇඟට කඩන් පැන්නා ය.

“ඇයි…ආදරේ කරන්නවත් මැරි කරන්නවත් නියමිත වයසක් නෑ නේද පුංචා…”

වත්සලා සුසුමක් හෙළුවා ය.

“ඒත් එහෙම දෙයක් වෙන්නෑ”

“ඇයි ඒ…”

සිය ප්‍රශ්නය ට පිළිතුරක් අත්‍යවශ්‍ය බව හඟවමින් පළිඟු වත්සලා දෙස ම බලා ඉන්නට වූවා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles