සුළං සීනු -15

“ඔයාට පුලුවන්ද නංගි පවීලගෙ ගෙදර යන්න.නීතා මේ මොකුත්ම දන්නේ නෑ.. සීනු වුණත් පවී ගෙදර එන්න ලේට් වෙනකොට අප්සට් යයිනෙ..”

තිසුරි වරදකාරී හැඟීමක් සහිතව අප දෙස බලා සිටියා ය. මේ මොහොතේ පැවසීමට නොහැකි යමක් ඇගේ හිතේ සිරව ඇති සෙයක් මට දැනිණ.ඈ වචන සොයන්නට යත්න දරද්දී ලෝචනා වහා හඬ අවදි කළා ය.

“ආ..හරි නංගා..ඔයාට බෑ නම් කමක් නෑ.”

අනතුරුව ලෝචනා මගේ අතක් සෙමින් අල්ලා ගත්තා ය. මට සැබෑවටම අවැසි වූයේ ලෝචනා සීනු වෙත පිටත් කර හරින්නට ය.නොදන්නා තිසුරි සමඟ මගේ දියණිය මිතුරු වීම ගැන මගේ විශ්වාසයක් නැත. නමුත් ඈ උපන් දා සිටම ලෝචනා සීනුට බොහෝ කිට්ටුවන්ත ය.අද රාත්‍රිය රෝහලේ පහන් කරන්නට ඉටා ගත් මට උවමනා වූයේ ලෝචනා අපේ නිවසට යවන්නට ය.

“ලෝචි.. ඔයා යන්නකො.. මං ඉන්නං තනි නෑ.. පුලුවන් නම් චානකට ඉන්න කියන්න..”

හඬ පිට නොවන තරමට මගේ උගුර කට වියළී ගොස් ය. ඒ වචන කිහිපය කියන්නට මට මගේ මුළු ශක්තියම වැය කරන්නට සිදුව තිබිණ. සීනු උපන් දා බොහෝ වෙලාවක් ප්‍රසව වේදනා වින්දද මෙතරම් සිරුර ද මනස ද නොවෙහෙසුණු බව මට සහතික ය. එදා මා හුන්නේ සැනසීමකිනි. අද මම අසරණව ගිය බිරිඳක්මි.වෛද්‍යවරුන් සහ මිතුරන් කොපමණ දේ පැවසුව ද මට සංකල්පගේ ජීවිතය ගැන විශ්වාස කරන්නට අපහසු විය.

“මමත් ඉන්නං ලෝචි.. ඔයා පවීලගෙ ගෙදර ගිහිං එන්න..”

නිසල් වහා ඉදිරිපත් විණි. ඔහු මා අසලින් රැඳීම සහනයකි. තිසුරි සෙවණැල්ලක සේ ඔහු අසලම ගැවසුණ ද මේ මොහොතේ නිසල් මා වෙත රැඳීම ගැන මට දැනුණේ සැනසීමකි.

“ඔපරේෂන් කීපයක් කරන්න වෙනවා පවී.. බිල් එකේ අවුලක් නෑ නේද.. සංකලගෙ අයියත් මට සල්ලි වගයක් එවලා තිබ්බා. ඔයාටත් කරදර නිසා ජෙනරල් හොස්පිටල් නම් යවන්න එපා කීවා..”

සියල්ල සොයා බලමින් එහෙමෙහෙ යන චානක මවෙතට විත් කීවේ ය. දන්නා දා සිට සංකල්පගේ හොඳම මිතුරා වූ ඔහු කැළඹීම පිටතට නොපෙන්වා හිඳින්නට වෙර දරන බව මට නොවැටහුණා නොවේ. දේවකගේ අවමඟුල දා මා අපේ නිවසේ ඉහළ මාලයට වී හිස් දෑසින් ඔහුගේ නිවස දෙස බලා සිටි අන්දම මට සිහි විණි. අවුරුදු විසි ගණන් වල පසු වූ ඔහුගේ මිතුරන් එදා වැලපුණේ කුඩාවුන් සේ ය. චානක ද නොපෙන්වා සිටින්නට වෙර දරන කම්පනය සමඟ දේවකගේ මිතුරන්ගේ හැඬුම්බර මුහුණු සසඳමින් මම කම්පිතව ගියෙමි.

ලෝචනා පිටව ගිය පසු මට දැනුණේ හිස්කමකි.නොනවත්වා සියල්ල සොයා බලන චානක මා අසල රැඳුණේ නැත.මම දෑස් උස්සා නිසල් ද තිසුරි ද සෙවූයෙමි. ඔවුන් දෙදෙනා මට නුදුරින් ළංව හිඳගෙන ජංගම දුරකථනයකට දෑස් අලවා හිනැහෙමින් සිටි‍ය හ. ඒ දසුනට හදවත ඊර්ෂ්‍යාවෙන් බර කරන්නට වෙනත් දිනයක නම් නොහැකි වන්නේ නැත. නමුත් අද මා හුන්නේ බියෙනි,වේදනාවෙනි.
රෝහලේ සැත්කම් කාමරයේ සැත්කමකට ලක් වෙමින් හිඳින සංකල්පට කුඩා හෝ ප්‍රේමයක් මසිතේ ඇතිදැයි මට අදහසක් නැත. එහෙත් ඒ මගේ දියණියගේ ලෝකයම වූ ඇගේ තාත්ති ය. පිය සෙනෙහස නැති ලෝකයක ඈ කෙසේ ජීවත් වේදැයි සිතා ගත නොහැකි ය. සිතන්නට ද නුවුමනා ය.

“පවනි..මොකුත් කාලත් නැද්ද තාම…”

චාරුනී මා අසලින් අසුන් ගත්තේ මා නුවුමනා කල්පනාවන් මැද දුර ගමනක් යද්දී ය. මම හිස වනා නැතැයි පැවසුවෙමි.

“අපි කැෆේ එකට ගිහින් මොනවම හරි කමු.. බොන්න හරි..”

චාරුනී බලා සිටියේ සුහදකම සහ කාරුණිකබව දෑසේ තවරා ගෙන ය. මට ඈ ප්‍රතික්ෂේප කරන්නට බැරි නම් වගක් දැනිණ.අතීතයේ දී දේවකට ළංව සේයාරු ගන්නා සරසවි තරුණියන් ගැන කෙළවරක් නැතිව ඔහු සමඟ රණ්ඩු ඇල්ලූ යොවුන් පවනි ගැන මගේ සිහියට නැගිණි. ඒ තබා තිසුරි ගැන පවා මා හිඳින්නේ අපහැදීමෙනි. එහෙත් සංකල්ප ජීවිතයේ එක්තරා කාලයක් බෙදාගත් තරුණිය ගැන මට අහිතක් දැනෙන්නේ නැත. ඇගේ දෑසේ පිරී ඇති මිත්‍රත්වයක සේයා මට දැනේ. මෙවැනි අසීරු මොහොතක හිත හදා ගන්නට එය ද රිදී රේඛාවකි.

“සංකල්පට හොඳ වෙයිද චාරුනී..”

චාරුනී මා කැටුව රෝහල් අවන්හල වෙත යන්නට සෝපානයට ගොඩ වෙද්දී මම වචන ගැලපුවෙමි. ඈ අර සුන්දර සිනාව මවෙත හෙළුවා ය.

“මං දන්න දොස්තරකමේ හැටියට නම් පොඩි පොඩි ඔපරේෂන් ටිකක් තමයි තියෙන්නෙ. ටික දවසක් මෙහෙ ඉන්න වෙයි. කිසිම ජීවිත අනතුරක් නෑ.. රිස්ක් එකකුත් නෑ..”

අනතුරුව ඈ වඩා පුළුල් සිනාවකට හැරුණා ය. කාලයක් ප්‍රේමයෙන් බැඳුණු මිනිසා ගැන ඈ සතු මතක ඒ සිනාවේ රැඳී තිබිණ.මම අහිතකින් තොරව අසා සිටියෙමි.

“ඔයාට නම් ටිකක් වැඩ වැඩි වෙයි. සංක ලෙඩක් දුකක් හැදුණම බබෙක් වගේනෙ…”

ඈ සෝපානයෙන් පිට වූයේ එසේ කියන’තර ය. මා දන්නා සංකල්පට අසනීපයක් වූ දිනයක් සහ මා ඔහු වෙනුවෙන් කැප වූ මොහොතක් සිහි කරන්නට වෙර දරමින් මම ඈ පසුපස ඇදුණෙමි.

සුළං සීනු පෙබරවාරි පළමුවැනිදා සිට සතියේ දින පහේම උදෑසන 11.30 ට කියවන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles