සුළං සීනු – 17

මම හැල්මේ දිව ගියෙමි.දැඩි සත්කාර ඒකකය වෙත දිව යාමට තරම් ඇඟට පණ නැති බව දැනෙද්දී පවා මා ගියේ දිවගෙන ය. විදුලි සෝපානය අමතකව වේගයෙන් පඩිපෙළ නගින මගේ පිටුපසින් චාරුනී ද දිව ආවා ය.

“සංකට ඇයි??”

හති හලන අතරතුර මා නිසල්ගෙන් ඇසුවේ ආවේගයෙනි. ඔහු පුදුමයට පත් බැල්මක් හෙළුවේ ය.

“සංකල්පගේ කම්පැනි එකේ සීඊඕ ඇවිල්ලා..ඒකයි කතා කරේ..”

ඔහු කියූ දේ ඇසූ මට හුස්ම ගන්නට සිහි විය. නමුත් චාරුනී ඔහුට හෙළුවේ කමකට නැති මිනිසෙකු වෙත හෙලන බැල්මකි.

“මේ කෙල්ලට අමාරුවෙන් කෑම කටක් දුන්නේ..කාපුව සේරම පිච්චෙන්න ඇති.එයා විතරක් නෙවේ මාත් බය උනා. ටක් ගාලා කාටහරි කෝල් එකක්වත් නොදී මාත් එයා එක්කම දිව්වා..”

මිතුරියකගේ ස්වරයෙන් මිදී වෛද්‍යවරියක බවට හැරුණු හඬකින් චාරුනී කීවේ අමනාපයෙනි.චානක සියල්ල බලා කියා ගන්නා මොහොතක සංකල්පගේ ප්‍රධානියෙකු පැමිණීම මා සිරුරේ ලේ වතුර කරගෙන දිව එන්නට කාරණාවක් නොවේ.

“ඒ ආවේ ලේඩි කෙනෙක්. පවී හිටියනම් හොඳයි හිතුණා..”.නිසල් දෙවුර සලමින් පැවසීය.චානක ඒ කාන්තාව මවෙත රැගෙන ආවේ ඒ මොහොතේ ය. ඇය මට කණගාටුව පළ කරමින් ආයතනයෙන් ඉටු වන සියළු දෑ ගැන පැවසුවා ය.හැඩවැඩකාරියක වූ ඇයට මා හරිහැටි සවන් දුන්නේ නැත. මට වගකීම් සහ යුතුකම් අකුරටම ඉටු කරන්නට එන පිරිස ගැන වගක් උවමනා නොවී ය. සංකල්පට රෝහලේ රැඳෙන්නට අවශ්‍ය මුදල නැතිනම් මට ඔහු රජයේ රෝහලකට රැගෙන යා හැකි ය. සැපසම්පත් සහ යුතුකම් නොකඩවා ලැබීම වෙනුවට මට උවමනා වූයේ භීතියෙන් මුසපත්ව හිඳින මා ආදරයෙන් වැළඳ ගන්නා දෑත් ය.මා සමඟ රැඳෙන බවට පිළිණ දෙන දෑත් ය.රෝහලේ සියළු කටයුතු බලාකියා ගන්නා චානක ද සීනුට අවුලට පත් වන්නට නොදී ඈ වෙතට ගිය ලෝචනා ද හැරෙන්නට මට මගේ යැයි කියන කිසිවෙකු නැත. චාරුනී මගේ අත අල්ලා ගත්තේ අහම්බයෙනි.ඒ හැරෙන්නට නිසල්ගෙන්වත් පසුගිය දින කිහිපයේ වූ හිතවත්කමවත් පෙනෙන්නට නැත. ඔහු ද හැසිරෙන්නේ අමුත්තකිනි.

කියවන්න :  සුළං සීනු - 2

“පවීට තියෙන්නේ දැන් ගෙදර යන්න. අද මට නයිට් එකක්. මං ප්‍රොමිස් වෙනවා ඔයාව පැයෙන් පැයට අප්ඩේට් කරන්න..”

සංකල්පගේ ප්‍රධානියා නික්ම ගොස් මඳ වෙලාවකට පසු චාරුනී මට පැවසුවා ය.

“මට යන්න හිතක් නෑ..”

මම පුටුවේ ඔහේ ගුලිවී පැවසීමි.

“අද ලෝවි එහෙ ඉඳී පවී. ඔයා යන්න..ශානක අයියා කීප සැරයක්ම කෝල් කරා. ආන්ටි අවුල් වෙන නිසා එයාල ආන්ටිට කියලා නෑ. ශානක අයියලා රෑ වෙනකොට මෙහෙට එයි. අපි සංකව අයිසීයු එකෙන් රූම් එකට ගත්තම ආන්ටිව ගෙන්නා ගමු..”

චානක සියලු වගකීම් ඔහු කරට ගෙන ක්‍රියාත්මක වන අතර ගත් සැලසුම් හෙළි කළේ ය.ශානක, සංකල්පගේ අයියා මෙහි පැමිණීම ගැන මට සැනසුමක් දැනිණ.ඔහු වගකීමක් ගන්නට දන්නා මිනිසෙකි. චාරුනි මගේ උරහිසක් අත ගා ගෙදර යන්නැයි සංඥා කළා ය.

“මචං..උඹට පුලුවං නේද පවීව ගෙදරින් දාන්න.. තනියම කැබ් එකක යවන්න මට බයයි..”

චානක අනතුරුව ඉල්ලා සිටියේ නිසල්ගෙනි. සංකල්පගේ තත්ත්වය ගැන නොනවත්වා මා දැනුවත් කරන්නට චාරුනී ගිවිසවා ගත් මම නිසල් සමඟ ගෙදර යන්නට පිටත් වීමි.

“තිසූ කෝ නිසල්..” මට ඈ සිහි වූයේ රියට ගොඩ වූ පසු ය. නිසල් කිසිවක් නොකියා මොහොතක් රැඳුණේ ය.

කියවන්න :  සුළං සීනු - 19

“ගෙදර ගියා පවී.. අද ඒ ළමයගෙ බර්ත්ඩේ එක. එයා ඒක සෙලිබ්‍රේට් කරන එකත් නවත්තලා දවසම ඔයා එක්ක හිටියේ..”

තිසුරි මා සමඟ රැඳුණු බවක් කීව ද ඈ මුළු දවසම ගෙවූයේ නිසල් සමීපයෙන් වාඩි වී ගෙන ය. මා සනසන්නට හෝ මගේ හිත හදන්නට යැයි කියා ඈ මවෙතට නොආ තරම් ය.මගේ යැයි කියන කෙනෙක් නැති අඩුව වඩා තදින් දැනුණු දිනයේ ඒ අඩුව පුරවන්නට වෙනදා තරමට නිසල්වත් සමත් වූයේ නැත. ඒ තිසුරි ඔහු සහමුලින්ම අයත් කරගෙන ඔහු අසල රැඳීම නිසා ද විය හැකි බව සිතමින් මම අසුනට හිස බර කරගතිමි.

” මං ලෑස්ති වෙලා හිටියේ එයාට සර්ප්‍රයිස් පාටි එකක් දෙන්න. පොඩියට. ඒක කතා කරගන්න තමා ඔයාටත් උදේම එන්න කිව්වෙ.. කොහෙද ඔක්කොම අවුල් වුණානෙ..”

මට කෝපයක් දැනෙන්නට විය.මේවා නිසල් මේ මොහොතේ කියන්නට උවමනා කතාන්දර නොවේ.

“අද ජූනි එකොළහ.කොහොමටත් කවදාවත් මට තිසුරිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න බැරි වෙයි..”

නිසල් නැගුවේ අමුතු සිනාවකි.

“ඔය අතීතෙ වළ දාන්නෙ කවද්ද..”

එය මා මියෙනතුරු සිදු නොවේයැයි කියන්නට සිතුණ ද මට තර්ක කරන්නට සිත් වූයේ නැත.නිසල් අද දවස මා වෙනුවෙන් කැප කර අවසන් ය.ස්තූති කිරීම විනා රණ්ඩුවක පැටලීම නොහොබිනා ය.

“අර ලේඩි ඩොක්ට කවුද.. ඔයාගෙ යාලුවෙක් ද?”

නිසල්ට ඇත්ත හෙළි කළ යුතුදැයි සිතමින් මා හදවත සමඟ තර්කයක් ඇරඹීමි.

4.8 8 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments