පළිඟු මන්දිර – 42

1
1109

මොරීන් සියල්ල කදිමට සැලසුම් කළා ය. නිවර්තනා ව අහිමි කර ගන්නට ඇය ට කොහෙත් ම ඕනෑ වූයේ නැත. කිසල් ට පෙම්වතියක හිඳින බව නිවර්තනා ගෙන් වසංගා, ඉක්මනින් විවාහ ගිවිස ගැනීම සිදු කිරීම ඇගේ අරමුණ විය. මුලින් ම ඕ ඒ ගැන නිවර්තනා ගේ මව හා ඇගේ පැරණි මිතුරිය වන ප්‍රියානි සමගින් කතා කළා ය.

“ඒ දෙන්න පොඩි කාලෙ ඉඳලම ඔයාට තිබුණ ආසාවනෙ ඕක”

ඒ අතීතය සිහිපත් කොට ප්‍රියානි සිනහ වූවා ය.

“අපේ කෙල්ල කැමතිනං මගේ කිසීම අකමැත්තක් නෑ. අපි මේ හැම දේම කළේ දරුවො වෙනුවෙන්නෙ මොරීන්. අපි දැං ඒගොල්ලංගෙ ඇස් පාදල තියෙන්නෙ. එයාලට සතුටෙං අනාගත ජීවිතේ ගත කරන්න පුළුවන් කාත් එක්කද කියන එක ඒගොල්ලොයි තීරණේ කරන්න ඕනෙ. මට නං ඒ තෝරගන්නෙ හිඟන්නෙක්ව වුණත් ප්‍රශ්නයක් නෑ”

ප්‍රියානි හිතා මතා ම සිය කම්මුලට ගැසුවා ද යන පැනය ක්ෂණික ව මොරින් තුළ ඇති විය. නමුත් ඇය එසැනෙන් එය අමතක කර දැමුවා ය. මේ වූ කලී අතපසු කර ගත යුතු නැති අවස්ථාවකි. එදා රෑ කෑම සඳහා මොරීන් කිසල් ට හා වර්ෂා ට ද ඇරයුම් කළා ය.

“මට දැංම බඩගිනිත් නෑ අම්මි. ඇයි මේ කෑමට කතා කරන්නෙ…”

විශේෂ අවස්ථාවක දී මිස පවුලේ අයත් එක්ක එකට කෑම ගන්නට මේසයට එන, එසේ නොවිණි නම් කුසගිනි දැනුණ වෙලාවක පමා වී කෑම ගන්නා වර්ෂා මේසයට හිඳ ගත්තේ අමුත්තක් ඉව කරමිනි.

“ඉඳහිට කට්ටිය එකතු වෙලා කෑම කෑවම මක් වෙනවද ළමයො…”

වර්ෂා ගේ මුහුණේ අවඥාසහගත සිනහවක් නැගිණි. තත්පරයකටත් අඩු කාලයක දී ඒ සිනහව සනත් ගේ මුහුණටත් බෝ විය. මොරීන් ඒ හොඳට ම දුටුවා ය. නමුත් නො දුටුවා සේ සිටියා ය.

“කෝ මේ කිසල් තාම නැත්තෙ ඇයි…පුතා…පුතා…”

ඔහු පැමිණියේ ඉයර් ෆෝන් එක කනේ ගසා ගෙන ගීයක් ශ්‍රවණය කරමිනි. කිසල් හිතා මතා ම එහෙම කළේ මොරීන් ගේ කන්දොස්කිරියාවෙන් නිදහස් වී හිඳින්නයි.

“පුතා ඔය ඉයර් ෆෝන්ස් ගලවන්නකො. මට කියන්න වැදගත් දෙයක් තියනව”

වර්ෂා සුසුමකින් පිරුණා ය. අමමා සිටින ප්‍රීතියේ හැටියට අසන්නට වන දේ යහපත් විය නො හැකි බව අනුමාන කරන්නට ඇය ට පුළුවන.

“මං ප්‍රියා ආන්ටිට කතා කළා. නිවර්තනාත් කිසල්ට කැමති එකේ…අපි තීරණේ කළා නිවර්තනා යන්න කලිං එන්ගේජ්මන්ට් එක ගන්න”

බත් බෙදමින් සිටි හැන්ද කිසල් බන්දේසිය මත අත්හැරියේ ය. හැන්ද හඬ නගා එහි වැදුණා පමණක් නොව බත් විසිරී ගියේ ය. නමුත් කෑ නො ගහා ඉවසන්නට මොරීන් හිතුවා ය. දැන් ඉතින් කිසිල් ට කිසිත් කළ නො හැකි වනු ඇත. ඔහු උගුලෙහි පැටලී හමාර ය. මේ වගේ කුඩා දේවල් ඒ වෙනුවෙන් ඉවසන්නට ඇය ට බැරි නැත.

“අම්ම කොහොමද එහෙම දෙයක් ඩිසයිඩ් කරන්නෙ…”

කිසල් කෑගැසුවේ ය. ඔහු ගේ ඇස් වලාන් ගින්දර පිට වෙමින් තිබිණි. අයියා මේ විදිහට නැගී සිටීමේ සතුට, වර්ෂා හදවතින් විඳ ගනිමින් සිටියා ය.

“ඇයි පුතා…නිවර්තනා කියන්නෙ…”

“නිවර්තනා කවුරු වුණත් මට වැඩක් නෑ. අම්මට ඕන ඕන විදිහට නටවන්න මං රිලවෙක් කියල හිතන්න එපා”

ඒ තරම් හයියෙන් කිසල් කතා කොට ඇති දවසක් ගැන මොරීන් ට නම් කොහෙත් ම සිහිපත් කළ නො හැකි ය. මේ තරම් උද්වේගකර මොහොතකදීත් වර්ෂා අතින් කට වසා ගෙන හිනා වීම පිළිබඳව මේ අව් අස්සේත් මොරීන් දියණියට රැව්වා ය.

“කිසල්…කලබල වෙන්නැතුව කතා කරමු පුතා. ඔයා මට කියන්න නිවර්තනාගෙ මොකද්ද තියන වැරැද්ද ඔයා ඔහොම අකමැති වෙන්න කියල…”

මේ වෙලාවේ නම් මොරීන් ඉතා සියුම් ලෙස, ප්‍රතිවාදියා මුළුමනින් සිය ආධිපත්‍යය යටතට ගනිමින් පන්දුව එල්ල කරනවායි සනත් සිතුවේ ය. ඇය හැමදාමත් කළේ දරුවන්ගේ ජීවිත මතින් සිය සිහින සැබෑ කර ගන්නට උත්සාහ කරන එකයි. සනත් කවදටත් ඊට එරෙහි වූයේ ය. විශේෂයෙන් ම කිසල් ගේ ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් නොවී ඔහු ට පිරිමියෙකු ගේ පෞරුෂයෙන් වැඩෙන්න දෙන්නයි සනත් නිතර ම මොරීන් ට අවවාද කළේ ය. වර්ෂා නම් එකට එක කියා අම්මා ඉක්ම ගියත්, කිසල් කියන්නේ එහෙම කළ දරුවෙකු නොවේ. කුඩා කල පටන් ම ඔහු අමමා ට කීකරුව ද, ඇගේ සිත නොරිදවනු වස් ද ක්‍රියා කළේ ය. කිසල් අක්ෂි සමග පෙම් පලහිලව්වක් ඇති කර ගෙන ඇති බව දැනගත් වෙලේ මොරින් විරුද්ධ නොවූයේ අක්ෂි ගේ පවුල් පසුබිම ඔවුන් ගේ පවුල හා සසැඳෙන එකක් බව දැන සිටි නිසාවෙනි. නමුත් පළිඟු වෙනුවෙන් එහෙම ඉවසන උවමනාවක් මොරීන් ට නැත්තේ ය.

“ඔයාගෙ ඔය හිතේ තියෙන දේවල්නං සිද්ද වෙන්නෙ නෑ පුතා. ඔයාට තේරුං ගන්න පුළුවන් නෙ. මං මේ ඔයාව කන්ට්‍රෝල් කරන්න හදනව නෙවෙයි”

“මොකද නැත්තෙ…අම්මා හැමදාම කළේ ඒක. ඒත් මේ සැරේ එහෙම වෙන්න මං ඉඩ දෙන්නෑ”

වර්ෂා සිතින් අත්පුඩි ගැසුවා ය. පළිඟු ට අසාධාරණයක් වන සේ කිසල් කටයුතු කළ හොත් මුලින් ම ඔහු ට විරුද්ධ ව නැගී සිටින්නේ තමන් බව වර්ෂා දැව සිටියා ය.

“දරුවො…ඔයා තරුණ වයසෙ ළමයෙක් කියල මං දන්නව. ගෑනු ළමයෙක් එක්ක ඔයා අෆෙයා එකක් ඇති කර ගන්නව කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඒළමය ඔයාට ගැලපෙන කෙනෙක්ද කියල බලන එක අම්ම කෙනෙක් විදිහට මගෙ වගකීමක්”

“අම්මා…මට ගැලපෙන්නෙ කවුද කියල හොඳටම දන්නෙ මං. ඔයාට වැඩිය…”

කිසල් ඒ ටික කීවේ තදිනි. මොරීන් මඳක් ගැස්සී නො ගියාත් නොවේ. නමුත් ඇය ඒ බවක් නො පෙන්වූවා ය.

“ඔයා නිවර්තනාව ආශ්‍රය කරන්න. ටික දවසක් යනකොට ඔය බහුබූත අමතක වෙලා යයි”

“අම්මි. මොනා කරන්නත් කලින් අම්මි ඔය එන්ගේජ්මන්ට් යෝජනාව අකුලගන්න ඕනෙ. එහෙම හදිස්සියෙ කෙනෙක් එක්ක එන්ගේජ් වෙන්නෙ කොහොමද…”

මෙතෙක් නිහඬ ව උන් වර්ෂා අසිපතක් සේ නැගී සිටියා ය. මොරීන් හෙළුවේ ඈ දැවී යන විදිහේ බැල්මකි.

“අදාල නැති දේවල් වලට කට නොදා තමුංගෙ වැඩක් බලාගන්න වර්ෂා”

“එහෙම බෑ. මාත් මේ ගෙදර කෙනෙක්නෙ”

“ඔයා එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන්න කිසල්. මේක වෙනස් වෙන්නැති තීරණයක්”

බත් ඇටයකුදු නොකා කිසල් මේසයෙන් නැගී මිටියේ ය.

“අම්ම මේ විදිහට මගෙ ජීවිතේට බලපෑම් කරන්න ගන්නවනං මට සිද්ද වෙනව මේ ගේ අතෑරල යන්න. ගිහිං ජොබ් එකක් හොයාගෙන මගෙ ජීවිතේ ගත කරන්න”

එසේ කියූ ඔහු නික්ම ගියේ ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණක් ඇහෙන නිහැඬියාවක් මොහොතකට ගේ පුරා ම පැතිරිණි. ඒ භයංකර නිහැඬියාව සිය ගැඹුරු හඬින් බිඳ දැමූයේ සනත් ය.

“මොරීන්. ඔය වැඩේ දැංවත් නවත්තන්න. ඕක එච්චර හොඳ වැඩක් නෙවෙයි. කාගෙවත් ජීවිත වල අයිතිය තමංගෙ අතට ගන්න කාටවත් අයිතියක් නෑ”

“අනේ මේ ඔයා මට බණ කියන්නැතුව ඉන්න සනත්. මේ සැරේනං මං මේක අත්අරින්නෑ. කිසල් නිවර්තනා එක්ක එන්ගේජ් වෙලයි මේක ඉවර වෙන්නෙ”

“අර පාඩුවෙ හිටපු නිවර්තනා අක්කිවත් මේ ප්‍රශ්නෙට ඇදල දාල අම්මි ලොකු වැරැද්දක් කළේ”

“මං දැං සැරයක් කිව්ව වර්ෂා…කට වහනව. ආව මෙතන මට හරි වැරැද්ද කියල දෙන්න. කවුරු කොහොම හිතං හිටියත් මේක වෙනව වෙනවමයි”

කිසල් ටෙරසයට වී ටික වෙලාවක් අඳුරට සුසුම් මුහු කරමින් සිටියේ ය. පළිඟු මේ අයුරින් සිය හදවත වෙනස් කළයුරු ඔහු ටත් සිතා ගත නො හැකි ය. නිවර්තනා කියන්නේ සිය ළදරු වියේ ප්‍රේමය බව කිසල් ට අමතක නැත. පළිඟු නො සිටියේ වී නම් කිසිදු ගැටළුවකින් තොර ව ඇය ට සිය හදවතේ ඉඩ වෙන් කළ හැකි ව තිබිණි. නමුත් එසේ බැරි ය.

කිසල් පළිඟු ගේ දුරකතනය ඇමතුවේ ය.

“මං දැං කතා කරන්න හිතුව විතරයි”

ඇය ආදරය දෝරෙ ගලා යන ස්වරයකින් මිමිණුවා ය. නම නො දන්නා මල් සුවඳක් උකහා ගෙන යමින් උන් සුළඟක් කිසල් වට දඟ කරන්නට ගති. මුළු අහස් වියන තාරකා වලින් පිරීතිරී ගොස් තිබුණේ ය. නිවෙමින් දිළෙන තාරකා දෙස යෞවනයා මඳ වෙලාවක් දෙනෙත් දල්වා ගෙන සිටියේ ය.

“කිසල්”

ඇය ආත්මයේ ගැඹුරු ඉසව්වක් ආමන්ත්‍රණය කළා ය.

“ම්…”

“මුකුත් ප්‍රශ්නයක්ද…”

ඒ ප්‍රශ්නය ඇගේ හිත ශෝකයෙන් ද භීතියෙන් ද තැති ගන්වන්නක් වෙනවා දකින්නට ඔහු ට ඕනෑ වූයේ නැත.

“නෑ”

“ඒත් මට දැනෙනව වගේ”

“මොකද්ද…”

“ඔයා දුකෙං කියල”

ඔහු නිමේෂයක නිහැඬියාවක ගිළුණේ ය. ඒ නිහැඬියාව තුළ ඇය ට බොහෝ දේවල් වටහා ගත හැකි විණි. ආදරයේ දී උනුන් කතා නොකළත් සිතිවිලි කතා කරයි. උනුන් මුණ නො ගැසුණත් සිතිවිලි මුණ ගැසෙයි.

“දේවල් වලට සිද්ද වෙන්න අරින්න කිසල්. කිසි දෙයක් නතර කරන්න මහන්සි නොවී ඉන්න. ඔයා දුක් විඳිනව මට බලං ඉන්න බෑ”

ඇගේ ඇස් තෙත් වී ගෙන ද හඬ බර වී ගෙන ද ආවේ ය. දැන් දැන් සිය හදවත දුර්වල වැඩි වී ගෙන එන බවක් පළිඟු ට දැනේ. ඉතා කුඩා දේවල් පවා දැන් කඳුළු ඉස්සර කරවයි.

“ඔයා හිතන්නෙ මට බලං ඉන්න පුළුවන් කියලද…වචනයක්වත් කියන්නැතුව ගහක් ගලක් වගේ පෙන්නගෙන හිටියට…හිතන්නෙ ඔයා පිච්චි පිච්චි ඉන්න බව මං දන්නෑ කියලද…”

“අනේ ඔහොම කතා කරන්නෙපා කිසල්”

“මං දන්නව මේ හැම දේ ම කෙලවර වෙන්න ඕන විදිහ”

“ඔයා මොකද්ද කරන්න යන්නෙ…”

“පරක්කු වැඩි වෙනකල් මොන දේකටවත් බලං ඉන්න හොඳ නෑ”

“ඔයා ප්‍රශ්න දාගන්නෙපා කිසල්”

අවංක බියක් ඈ තුළ විය. ඒ මොරීන් කියන්නේ කෙබඳු චරිතයක්දැයි ටික ටික දැනෙන්නට පටන් ගත්තායින් පසු ඇති වූවා වූ බියකි. පළිඟු එබිය යටපත් කර ගෙන ඉන්නේ චිත්ත ධෛර්යයෙන් විනා පුළුවන් කමකට ද නොවේ. කෙසේ වෙතත් සිදු වන්නට නියමිත දේ කට මුහුණ දිය යුතු ය. ඒ සිදු වන්නා වූ මොහොතේ දී ප්‍රතිචාර දක්වනු විනා, කල් ඇති ව බියපත් ව හිඳීම හිත තවත් දුර්වල කරන්නාවූ තත්වයක් බව ද ඇය අවබෝධ කර ගෙන සිටියා ය.

රාත්‍රියේ නින්දක් කියා දෙයක් කිසල් ට නොවූ තරම් ය. මේ වහා ක්‍රියාත්මක විය යුතු අවස්ථාව කි. ඔහු උදෙන් ම මුණ ගැහෙනා ලෙස රාත්‍රී මැදියමේ දී නිවර්තනා ට කෙටි පණිවිඩයක් යැව්වා ය. ඇය එය දුටුවේ හොඳට ම දවල් වී අවදි වූ පසුවයි. නිවර්තනා අවදි වන විටත් කිසල් මුණගැහෙන්නට කියා තිබූ හෝරාව විනාඩි ගණනකින් ඉක්ම යමින් තිබිණි. නො සන්සුන් වූ ඕ වහ වහා කිසල් ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

5 4 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
6 months ago

Where is part 41?