පළිඟු මන්දිර – 41

0
920

බොහෝ දැරියන් ජීවිතය ඉගෙන ගන්නේ සිය මවුවරුන් දෙස බලා ගෙන ය. ආදරය පිළිබඳව ඔවුන් මත වැටෙන සෙවනැල්ලත් අම්මාගේ යයි නො කියන්නට බැරි ය. නමුත් පළිඟු සම්බන්ධයෙන් එය එසේ නොවේ. පළිඟු දුටු මවුවත් ඡායාව වූ කලී වත්සලා ය. ඇගේ ආදරයේ පරමාදර්ශය වත්සලා ය. ඒ නිසා චමල් සම්බන්ධයෙන් දැන් ඈ දරන අදහස ගැන දැන ගැවීමේ අවංක අවශ්‍යතාවයක් යුවතියට ට දැනිණි.

“කියන්නකො පුංචා”

වත්සලාගේ ප්‍රතිචාරයක් නො වන තැන ඇය නැවතත් ඇවිටිලි කළා ය.

“මොනාද බං…”

බොරු නෝක්කාඩුවක් පෙන්වූවාට වත්සලා වෙත එවැනි හැඟීමක් වූවා නොවේ.

“චූටි මාමා ප්‍රපෝස් කළොත්…ඔයා එයාව මැරි කරන්නැද්ද…”

“මං හිතන්නෙ නැති වෙයි”

“ආ…” 

පළිඟු ගේ හුස්ම උඩට ගත් ගමන් හිර වූයේ ත්, වත්සලා සිය හුස්ම සුසුමක් කොට පිටතට දැම්මේත් එක ම නිමේෂයක ය.

“එතකොට…අර වයසක් අදාල නෑ කියන කතාව…”

“කතානං හදනව තමයි මිනිස්සු…ඒත් මට දැනෙන හැටියටනං පළිඟු…ගෑනු හිතකට පිරිමියෙක්ගෙ ආරක්ෂාව ඕනමයි කියල දැනෙන කාලයක් තියනව. ඒ කාලෙ ඉක්මවල ගියාට පස්සෙ…පිරිමියෙක් නැතුව තනියම ජීවත් වෙන්න අපි පුරුදු වුණාට පස්සෙ…ඒ තනි කමට අපි ඇබ්බැහි වෙනව. ඒක වෙන්නැති ඉස්සර මිනිස්සු කිව්වෙ…නියම වයසෙදි කසාද බඳින්න ඕනයි කියල”

පළිඟු නිරුත්තර ව බලා සිටියා ය. ජීවිතය විසින් ම  මිනිසුන් ගේ ජීවිත විශ්ව විද්‍යාලයක් කරනායුරු ඈ දෑස් ඉදිරියේ මැවී තියේ. 

“ආදරේ කියන්නෙ එක දෙයක්…කසාද ජීවිතේ කියන්නෙ තව දෙයක්. සමහරු ආදරයත් එක්ක කසාද ජීවිතයක් ගත කරනව. සමහරු ආදරයක් නැතුව කසාද ජීවිතයක් ගෙවනව. කසාදයක් කියන දේ වැදගත් වෙන්නෙ මනුස්සයෙක්ට එයාගෙ ජීවිතේදි වැඩියෙන්ම වටින දේ දරුවො නිසයි. මං අහල තියනව ඔය බටහිර රටවල් වල ගෑනු බැන්දෙ නැතත් කොහොමහරි දරුවෙක්ව හදා ගන්නව කියල. ඒක තමයි එයාලගෙ ජීවිතේ ලොකුම ආසාව. වැදගත්ම දේ. තමංගෙම කියල දරුවෙක් ඉන්නවනෙ ජීවිතේ තනි නොතනියට කියන එක.  මාත් දරුවෙක් හදා ගත්තනෙ පළිඟු”

හදවත පැළෙන්නට එනවා බඳු සංවේදනයකින් පළිඟු පපුව අල්ලා ගත්තා ය. ලොකු විභාග ගණනාවක් සමත් වෙමින් ජාතික හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ඔස්සේ ගමන් නො කළා ට ගැහැනු හදවතක් කියන්නේ මොන වගේ තක්සලාවක් ද?

“කොහොමත් හිතේ ඒ මතකෙ එහෙමම තිබුණා. අදටත් තියෙනව…”

වත්සලා කෙටි සිනහවක් පෑවා ය. පළිඟු ඒ සිනහවෙන් දැවී ගියා ය.

“හුඟක් වෙලාවට කසාදයක් නිසා වෙන්නෙ ආදරේ ගැන අපේ හිත් වල තිබිච්ච සෞම්‍ය හැඟීමයි බලාපොරොත්තුයි පිච්චිලා අළු වෙලා යන එක. ඒකයි මිනිස්සු කියන්නෙ ආදරේ වැඩියෙන් ම තියෙන්නෙ හිමි නොවී වෙන් වෙච්ච හදවත් වලයි කියල”

“ඔයා මාව බය කරනව පුංචා”

පළිඟු ඒ ටික කීවේ මුවින් නොව හිතිනි. සත්තකට හදවත ගැස්ම මේ සා වැඩි වී තියෙන්නට හේතුවක් ඇයට සිතා ගත නො හැකි ය. වත්සලා දෙඩුවේ සන්තාපයකින් නොවේ. ආවේගයකුදු නැති සන්සුන් බවකිනි. එහෙවු එකේ සිය හදවත මේ තරම් කලබල වී තියෙන්නට හේතුවක් ගැන පළිඟු ට සිතා ගන්නට වුව නො හැකි ය.

පළිඟු ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. එහි තිරය මත්තේ ‘නිවර්තනා අක්කා’ ලෙස සනිටුහන් ව තිබෙනු දුටු පළිඟු අලුතෙන් ම තිගැස්සී ගියා ය. වත්සලා නෙතු පිය නො සලා බලා උන්නා ය.

“හෙලෝ…කියන්න අක්කෙ”

පළිඟු ගේ දෙතොල් මත පිපුණේ අවංක සිනහ මලක් බව වත්සලා ට විශ්වාස ය. ඇය මේ තරම් ධෛර්ය සම්පන්න වීම, පුංචි අම්මා වශයෙන් වත්සලා ට සැනසීමකි.

කියවන්න :  පළිඟු මන්දිර - 10

“ඔන්න ඔයත් බෑ කියන්න බෑ. එහෙම වුණොත් මට හිතෙයි මගෙ රටේ මටයි කියල කවුද ඉන්නෙ කියල…”

නිවර්තනා කතාව ඇරඹූයේ ම නෝක්කාඩුවකිනි. ඇගේ ස්වරයේ දුකක් තැවරී ඇති බව පළිඟු ට දැනිණ. ඕ සිය මඳහස අතරින් ම කතා කළා ය.

“ඇයි අක්කෙ…මොකද්ද වුණේ…”

“කාමරයක් ඇතුළට වෙලා ඉන්නද අනේ මං ලංකාවට ආවෙ…අසයිමන්ට් එකේ වැඩ වලටනං ප්‍රොෆෙෂනල්ස්ලගෙ උදවු ගන්න පුළුවන්. ඒත් ලෙෂර් ටයිම් එකට මාත් එක්ක අවුටින් එකකට යන්නවත් කවුරුත් නෑ කියල හිතෙනකොට මැරෙන්න තරං දුක හිතෙනවනෙ අප්ප…”

සිය කුහුල් සිත සඟවා ගන්නට පළිඟු ගේ ස්ත්‍රී ආත්මය පොහොසත් වූයේ නැත.

“ඇයි….කිසල්…අයිය…”

“අනේ මේ…චුට්ටක් එළියට යන්ද කියල අහපු ගමං බෑ කියල ලයින් එක කට් කළා”

හදවතට දැනුණ සැනසීම ට පළිඟු ට සුසුමක් හෙළිණි. නමුත් ඒ සැනසීම තුළ වන්නේ ආත්මාර්ථකාමී බව නොවේ දැයි ඇය සැළෙන සිතින් සිතුවා ය. කිසල් ගේ ප්‍රේමය නො වෙනස් ව ඈ වෙත වීම පුහුදුන් මිනිසෙකු වශයෙන් ඇයට සතුටකි. නමුත් නිවර්තනා සිය සන්තාපය තුළින් පළිඟු ව වේදනාවට පත් කරන්නට සමත් වී සිටියා ය.

“පළිඟුවො…අනේ හොඳ කෙල්ල වගේ මාත් එක්ක රවුමක් ගහමුකො. අපි කැබ් එකක් ගමු. මං ඔයාව පික් කරන්නං. බෑද…”

බෑ කියා කියන්නට කොහොම හිත හදා ගන්න ද? පළිඟු ඉදිරියේ නිවර්තනා මේ පෙනී සිටිනුයේ අන්ත අසරණ ස්ත්‍රී ආත්මයක් විලසිනි. තනිකම කියන්නේ පළිඟු නොදන්නා දෙයක් නොවේ. ඒ වියරු බවින් ඇය ඕනෑ තරම් පීඩාවට පත් වී තියේ. එසේ නො වනු වස් තවත් ගෑනු ළමයෙකු වෙනුවෙන් යමක් කළ හැකි ද, එසේ නො කර ඉන්නට කිසිදු හේතුවක් ඇය ට නැත.

“මං…එන්නං…”

“හොඳ කෙල්ල. උම්මා…”

නිවර්තනා සමග ඇවිදින්නට යන්නට පළිඟු සූදානම් වනයුරු වත්සලා බලා උන්නේ නිහඬ නිසසල දෑසකිනි. ඈ මේ උර ගා බලන්නට හදන්නේ ආදරයේ වේදනාව බව වත්සලා ට නො දැනෙනවා නොවේ. නමුත් කොහොම ඇය ව සත්‍යයෙන් වසංගා තබා ගන්න ද? බ්‍රාහ්මණ වරුන් ගේ අනාවැකි කීම මත සුද්ධෝදන රජ තුමා සිදුහත් කුමරුන් ව රජ වාසල සීමාවේ පමණක් රඳවා ගත්තේ ය. මහල්ලන් හා ලෙඩුන් සීමාවෙන් පිටුවහල් කොට, ජීවිතය පිළිබඳව කලකිරෙන සුළු කිසිවක් කුමරු ගේ දෑස් මානයෙහි නොමැති බව සැක හැර දැන ජීවත් වූයේ ය. නමුත් සිදුහත් ව ගිහි ගෙයි රඳවා ගත හැකි වූයේ කෙතරම් කෙටි කාල සීමාවක් සඳහා පමණක් ද? 

පළිඟු නිවර්තනා සමගින් බෙල්ලන්විල පන්සල් ගියා ය. ඊළඟට සාප්පුු සවාරියේ ගොස්, අනතුරුව දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයට වී සුලං වැදුණා ය. නිවර්තනා මුහුදු වෙරළේ ඇවිදිත්දී ඈ ගැන බොහෝ දේවල් පළිඟු සමගින් කීවා ය.

“ඇත්තටම මං ලංකාවට ආවෙ කොල්ලෙක් ගැන හිත හිත ඉන්න නෙවෙයි. මගෙ වැඩ ටික කරගන්න. ඒත් මේ සැරේ කිසල් මාව එහෙම්පිටිංම පිස්සු වට්ටලයි තියෙන්නෙ. කොල්ලෙක් මට මේ වගේ ආඩම්බර පෙන්නුවමයි. ඒ නිසාමද මන්දා මට එයාව කෙයා නොකර ඉන්න බෑ. අනේ මන්ද…මට දැනෙන්නෙ නිකං …ෆෝ ද ෆස්ට් ටයිම් අයි හැව් ෆෝලන් ඉන් ලව් වගෙයි”

ඒ කතා වලට පළිඟු මොනවා කියන්නද? ඈ අසා සිටියා විතර ය. ස්පර්ශ කළ නො හැකි ඉසව්වක් ඇදුම් කමින් පවත්නා බවක් ඇයට දැනේ. ඒ රිදුම් පිරිමදින්නට හෝ කෙනෙක් ඇයට නැත. පළිඟු හා කිසල් අතර ඇසුරක් ඇති ය කියා නිවර්තනා නිකමට හෝ සැක නො කළා ය. ඒ බවක් හෙළිදරවු කරන්නට දැන් තමන් ප්‍රමාද වැඩි බවක් පළිඟු ට දැනිණ.

කියවන්න :  පළිඟු මන්දිර - 9

“ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද පළිඟු…”

ඒ ප්‍රශ්නයෙන් පළිඟු අහසෙන් පොළොවට කඩා වැටුණා ය. ඇගේ මුවගට නැගුණු සිනහවත් මෝඩ පාටක් ගති. 

“මේ…මේ…”

පළිඟු ගොත ගසත්දී දෙවියන් යළිත් වතාවක් ඇගේ මූණ බැලුවේ ය. ජංගම දුරකතනය හැඬවෙන්නට විය. පළිඟු ඉක්මන් කොට බෑග් එකට අත දමා දුරකතනය හොයා ගත්තා ය. යළිත් ඈ තිගැස්සී ගියේ කිසල් ගේ නම තිරයෙහි සටහන් ව තිබෙනු දැකීමෙනි. නිවර්තනා වෙතට සිනහවක් තිලිණ දුන් යුවතිය දුරකතනයත් ගෙන ඇගෙන් තරමක් ඈත් වූවා ය.

“හෙලෝ…”

“කොහෙද ඉන්නෙ…බීච් එකක වගේ සද්දෙ මොකද…”

කිසල් ට බොරු කියා දැන් පළක් නො වන බව ඇය දනී.

“මං…බීච් එකේ තමයි…”

“බීච් එකේ…කාත් එක්කද ගියේ…”

පළිඟු නිවර්තනා දෙස බැලුවා ය. ඇය මේ කතාවට සවන් දෙන බවක් පේන්නට තිබුණේ නැත.

“නිවර්තනා අක්ක එක්ක”

“මොකක්…”

“මට එන්න වුණා. පස්සෙ විස්තර කියන්නංකො හොඳේ. මං තියනවා”

පළිඟු ඉක්මන් කොට දුරකතන සම්බන්ධතාව බිඳ දැමුවේ කිසල් ගේ අවසරයකින් තොරව ම ය. නිවර්තනා ට පිටු පෑ නො හැකි ය. පළිඟු ට වඩා සෑම අතින් ම ඈ උසස් බවක් පේන්නට තිබුණ ද නිවර්තනා තමන්ට වඩා අසරණයි කියා පළිඟු සිතුවා ය. කිසල් පළිඟු ට පෙම් කරයි. නමුත් නිවර්තනා ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කර තිබේ!

ඒ රාත්‍රියේ කිසල් පළිඟු සොයා ඇගේ ගෙදරට ම ආවේ කේන්තියෙනි. 

“අදනං උඹට අහ ගන්න වෙයි ලුණු ඇඹුල් ඇතුව”

කියමින් වත්සලා පළිඟු ගේ කනට කොඳුරා එතැනින් නික්මුණේ ඒ කේන්තිය වටහා ගෙන ය. බැණුම් අහන්නට වන බව පළිඟු ඉන්තේරුවෙන් ම දැන උන්නා ය. වරදක් කර ගුරුවරයෙකු ගේ අතට ම හසු වූ දැරියක සේ, දඬුවම පිළිගන්නා සූදානමින් ඕ බිම බලා සිටියා ය.

“කිසි දෙයක් දන්නැති පූස් පැටියෙක් වගේ බිම බලං ඉන්නව මෙතන. මොන එහෙකටද නිවර්තනා එක්ක රවුං ගහන්න ගියේ…”

“ඉතිං…එයා තනියම කිව්වනෙ…ඔයා බෑ කිව්ව කියලත් කිව්වනෙ…”

“ඒ කියන්නෙ මං ගියානං හරිද…”

“ඔයා ගියානං මට කේන්ති යයි ඉතිං”

කිසල් ය සිනා ගියේ ය. 

“ඒකනෙ මං ගියේ”

“මැට්ටි…තේරෙන්නැද්ද මේක විහිළුවක් නෙවෙයි කියල….ඔයා නිවර්තනා ගෙං ඈත් වෙලා ඉන්න”

“මට එයාට ලං වෙන්න ඕන නෑ කිසල්. ඒත් එයා මට කතා කරල උදව්වක් ඉල්ලුවහම බෑ කියල කියන්නත් මට බෑ”

“මං එයාට කියන්නංකො”

ඔහු වෙතින් දිස් වූයේ මහත් හිතුවක්කාර ස්වභාවයකි. පළිඟු ඉන් සැලී ගියා ය.

“මොනාද…”

“ඔයා මගෙ ගර්ල් කියල”

“එපා එපා කිසල් ප්ලීස්…එහෙම කරන්න එපා”

“ඇයි…නැත්තං එයා නිකං බොරුවට බලාපොරොත්තු තියා ගන්නව”

“මං එයාට ඒක කලිං නොකියපු එක ගැන නිවර්තනා අක්ක මොනා හිතයිද එතකොට…අනික එහෙම දෙයක් වුණොත් මොරීන් මැඩම් නිකං ඉඳියි කියල හිතනවද…අපි ටිකක් බලමු කිසල්”

කිසල් සුසුමක් හෙළුවේ ය. ව්‍යාජය කිසිත් වෙනස් නො කරන බව ඔහු දනී. වෙන දෙයක් වෙනු වස් සත්‍යයට මුහුණ දිය යුතු ය. නමුත් දැනටමත් සියල්ල අවුල් ජාලයක් සේ පටලැවී තිබේ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments