උස්මහත් වූ දරුවන් ඉන්න කාන්තාවක් නැවත ගැබ් ගැනීම අපහාස විඳීමට වරදක්ද?

විවාහය ගැන හිතමින් ඉන්නකොට හදිසි ගැබ් ගැනීමක් වුණොත් ඔබ මොකද කරන්නේ? විවාහ වීම, ගබ්සාවකට යොමු වීම වගේ විවිධ උත්තර ඔබට ඇති.ඒත් ඒ ගැබ් ගන්නේ ඔබ නෙවෙයි, ඔබේ පෙම්වතාගේ අම්මා නම්??

ඒ පවුල ගැන ඔබ ගන්න තීරණය කොහොම වෙයිද?

මධ්‍යමපාන්තික පවුලක් වූ නකුල්ගේ පවුල බොහොම සාමකාමී පවුලක්. නකුල් සහ ඔහුගේ මල්ලි ඒ ගෙදර ජීවිතය ගෙවන්නේ බොහොම සතුටින්. හැමදෙයකටම පොඩ්ඩක් අත දාන ආච්චි අම්මා හැරුණාම හැම දෙයක්ම හරිම සන්සුන් සහ සාමකාමී.රැකියාවක් කරන තාත්තා ජිතේන්ද්‍ර සහ හවුස් වයිෆ් කෙනෙක් වුණු අම්මා පියංවදා හරි ආදරයෙන් ඉන්න යුවළක්.නකුල් ඔහුගේ ඔෆිස් එකේ රෙනේ එක්ක ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ විවාහය දක්වාම ඒ සම්බන්ධය ගෙනියන්න හිතාගෙන. අලුත් විදියට හිතන හයි ක්ලාස් ෆැමිලි එකක එකම දුව වුණු රෙනේගේ අම්මාත් නකුල් අකමැත්තක් නැහැ.

ඉතිං හැමදෙයක්ම බොහොම සාමකාමී.

ඒ හදිසියේ ආව කලන්තෙයි කැරකිල්ලටයි හේතුව දැන ගන්න ප්‍රියංවදා වෛද්‍යවරයෙක් වෙත යනතුරු විතරයි. මෙයට හේතුව ගැබ් ගැනීමක් බව වෛද්‍ය යුවල ජිතේන්ද්‍රටත් ප්‍රියංවදාටත් හෙළි කරාට පස්සේ ප්‍රියංවදා තීරණයක් ගන්නවා. ඒ මොන හේතුවකටවත් ඇය මේ කළලය විනාශ කරන්නේ නෑ කියලා.

අම්මාගේ අසනීපය ගැන දිගින් දිගටම විමසන අයියාටත් මල්ලිටත් “කියන්න දෙයක් තියන බවටත් ඒ දේ “ගෙදරට පුංචි අමුත්තෙක් ඒම” බවත් තාත්තා කියන්නේ කුණාටුවක් බලාපොරොත්තුව නොවෙන්න ඇති. ඒත් හැමදෙයක්ම වෙනස් වෙනවා.

නැන්දම්මාට මුහුණ දීම, හැමතිස්සෙම යාලුවන්ව විහිලුවට ගත්තට දැන් ඔවුන්ට තමන්ව විහිලුවකට ගන්න හේතුවක් ලැබීම වගේ කාරණා ගැන නිකිල් කම්පනයට පත් වෙනවා.හැමෝම එල්ල කරන උපහාස දරා ගන්න මේ ශක්තිමත් තරුණයාට සිදු වෙනවා. නමුත් ඔහුගේ පෙම්වතිය “මේ මොන ජරා පවුලක් ද” කියලා කිසිම මොහොතක කියන්නේ නැහැ. ඇය, රෙනේ ඉතාම ස්මාර්ට් විදියට ප්‍රියංවදා වෙනුවෙන් පෙනී ඉන්නවා.

දෙමාපියන් එක්ක කතා කරන එක නවතා දැමූ, දින ගණන් ඔෆිස් නොයන, ළඟම නෑයෙකුගේ වෙඩින් එකට යන එක ප්‍රතික්ෂේප කරන නිකිල්ට ඇත්ත පැහැදිලි කරන්න රෙනේ මහන්සි වෙනවා.

“ඔයාගේ අම්මට මෙහෙම වුණානං ඔයා ඔය වගේ හැසිරෙයිද?”

නිකිල් එහෙම අහනකොට රෙනේ කියන්නේ ” මට උනානං ප්‍රශ්නයක් තමයි. මොකද මගේ තාත්තා නෑනේ” කියලා. ඒ කතාව දුරට අරන් ගිහින් ප්‍රියංවදා විවාහක බිරිඳක් නම් ඇයට තමන්ගේ ආශාවන් සපුරා ගන්න ඉඩක් ඇති බවත් මැදිවියට එළඹීම නිසා කාමර දෙකක නිදා ගන්න අඹුසැමියන් වීම ගැටලුවක් මිස දරුවන් හැදීම ගැටලුවක් නොවන බවත් නිකිල්ට උගන්වන්න රෙනේ සමත් වෙනවා.

ඒ හැම කතාවකින්ම ධෛර්යය අරන් මේ ගැන රෙනේගේ අම්මා කරුණු විමසද්දී ඇයට දෙන්න බොහොම සෘජු පිළිතුරක් නිකිල්ට තියනවා.

“අම්මා ගැබ් ගැනීම ගැන මොනතරම් ප්‍රශ්න ආවත් එයාලා ඒ දරුවා හදා ගන්න බව මම දන්නවා. මේ ඉපදෙන්නේ මගේ නංගි හෝ මල්ලි. මම මේ වෙලාවේ හිටගන්නේ එයාලගෙ පැත්තේ..”

ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ. අම්මා තාත්තා දෙන්නා බොහොම ආදරයෙන් හැම දෙයක්ම දරා ගන්නවා. නිකිල් රෙනේ දෙන්නාට වෙන් වෙන තරමට ගැටලු එනවා. මල්ලිට පාසලෙන් නොයෙක් උසුළු විසිළු එනවා. ඇයි ආච්චි අම්මා? මුණුබුරන් නලවනවා වෙනුවට දරුවෙක් නලවන්න තීරණය කරන පුතාටත් ලේලිටත් ඇය බොහොම නරක විදියට අපහාස කරනවා.

ඒත් පුංචි අමුත්තා නෑවිත් ඉඳීවි ද?

ඒ ගැන දැන ගන්න ඔබට Badhaai Ho බලන්නම කියලා අපි ඉල්ලන්නේ මේ පවුලක ආදරය ගැන කතාවක්ම නිසා නෙවෙයි.මේ චිත්‍රපටිය භාරතීය ජාතික සම්මානය ලබ ගත් නිසාත් නෙවෙයි. මෙහි රංගනය වෙනුවෙන් නළු නිළියන් සම්මානයට පාත්‍ර වූ නිසා ද නෙවෙයි.

කාන්තාවක් මව් පදවිය ලබන තුරු ඈ විවාහ වූ දා සිට සමාජය බලා සිටිනවා. ප්‍රමාද නම් විවිධ ප්‍රශ්න එල්ල කරනවා. නමුත් කාන්තාවකට ලිංගික සතුට ලබන්නට, තමන්ගේම සැමියා සමඟ ආදරයෙන් හිඳින්නට හතලිහ පැනපු හැටියේ නුසුදුසු බව ආසියානු රටවල ඉතා වැරදි මතයක් පවතිනවා. මුණුබුරන් දකින කාලයේ දරුවන් හදන ප්‍රියංවදා අභියෝග කරන්නේ ඒ සමාජයට. ගබ්සා නොකර ඈ රකින්නේ ඇයට අහිමිවූ ගෞරවය.

ජීවිතය අපට අහඹු ලෙස ලබා දෙන දේවල් තිබෙනවා.ඒත් ඒවා ලැබෙන්නේ ද හේතුවකට.කම්පිත නොවී, ගැටලු ඇති නොකරගෙන අප ඒවා දරා ගතයුතුයි. ආයුෂ්මාන් කුරාණා නිකිල් ලෙස විශිෂ්ට රංගනයක නිරත වෙමින් ඒ කතාව මේ චිත්‍රපටිය හරහා අපට කියා දෙනවා.2018 වසරේ නිකුත් වූ මේ චිත්‍රපටිය අමිත් ශර්මාගේ අධ්‍යක්ෂණයක්.නීනා ගුප්තා,සාන්‍යා මල්හෝත්‍රා, ගජ්රාජ් රාඕ මෙහි සෙසු චරිත නිරූපණය කරනවා.

ආදරය,ප්‍රහසනය අතර ඉතා සංවේදි සිදුවීම් පිරුණු Badhaai Ho අඬමින් හිනැහෙමින් බැලිය හැකි චිත්‍රපටියක්.

විවාහය තුළ ආදරය සහ සබඳකම් වයසට නොයන බවත් දෙමාපියන්ගේ තීරණවලට අප අනවශ්‍ය ලෙස අත පෙවීම මොනතරම් අයහපත් ද යන්නත් ඔබට මේ චිත්‍රපටිය කියා දේවි.

Related Articles

Don't Miss


Latest Articles