සුළං සීනු – 19

සීනු දුවවිත් නිසල්ගේ තුරුලට පැන ගත්තා ය.ඔහු සීනුව ළඟින් හිඳුවාගෙන ඔහුගේ අතොරක් නැති කතා අසා හිඳීම ඇරඹී ය.දවස පුරා පාළුවෙන් සිටි ඇගේ ලෝකය මෙසේ හෝ එළිය වීම සතුටකි.සීනුගේ ලෝකය ඉතා කුඩා ලෝකයකි. ඇ බලන්නට එන අත්තම්මා සහ ලොකු තාත්තාට ද ලොකු අම්මාට ද බාප්පාට ද හැරෙන්නට ඈ සමීපව හුන්නේ ලෝචනාටත් චානකටත් පමණි. වසරකට වතාවක් අප බලන්නට එන අම්මලාට ඈ කිසිසේත්ම ළඟ නැත.සමහර නිවාඩුවකට නංගි වෙතට යන්නට සංකල්ප ගෙන එන යෝජනා මා ප්‍රතික්ෂේප කළෙමි.

“බොරු වියදමක් සංක.. ඕන නෑ..”

වෙහෙස වී මුදල් උපයන,ඒවා කළමනාකරණය කරන සංකල්ප හිනැහෙයි.

“සල්ලි තියනවා පවී…”

“එහෙනං අපි සීනු අරන් වෙන රටකට ට්‍රිප් එකක් යං..”

කතාව ඒ ලෙස නවතියි.කෙදිනකවත් නංගී වෙත යන්නට මට උවමනා වූයේ ම නැත.

නිසල් හිඳින මොහොතේ ගෙදර ගොස් ඇඳුමක් පැළඳුමක් රැගෙන එන්නට තමන්ට හැකි බවත් ඉක්මනින් නැවත පැමිණෙන බවත් කියා ලෝචනා පිටව ගියා ය. ඈ ගියේ ඉක්මනින් ආපහු එන්නට පොරොන්දු වීය.

“ලෝචනා කැමත්තක් නෑ මං මෙහෙ ආවට..”

ඇය ගිය පසු නිසල් පැවසුවේ සමච්චල් සිනාවකින් මුව සරසා ගෙන ය.ඔහු මෑත කාලයක සිට ලෝචනාට වැඩි කැමැත්තක් නැතැයි මට ද නොසිතුණා නොවේ.

“පිස්සුද නිසල්..” මට එය ප්‍රතික්ෂේප කරන්නට ඕනෑ විය.

“ලෝචනා මාර ට්‍රයි එකක් දෙනව මං තිසූට කැමතිද දැන ගන්න..” ඔහු අනතුරුව කියන්නට ගත්තේ ය.මා නිසල්ට ප්‍රේම කරන බව ලෝචනාට කී මොහොතේ ඔහු කැලඹි හැටි මට සිහිපත් විය.

“ඔයා එයාට කැමතිනෙ..”මා එසේ කීවේ එය මට ද දැන ගන්නට ඕනෑ වූ දෙයක් නිසා ය.

“තිසූ නම් මට කැමතිද කොහෙද.. මට නම් එයා ෆීල් වෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි..”නිසල් වහා කීවේ ය.අනතුරුව තවදුරටත් හේතු දක්වන්නට විය.

“එයාට වැඩකට හෙල්ප් කරන්න ගියාම මුළු දවසම ඉවරයි. ඔයාලට හිතෙන් නැද්ද පවී මේ ප්‍රයිවෙට් යුනිවර්සිටි වලින් අයිටී ඉගෙන ගෙන එන ළමයින්ට මෙලෝ නොලේජ් එකක් නෑ කියල. සල්ලිවලට ඩිග්‍රිය ගන්නව. දැනුමක් නෑ..”

කියවන්න :  සුළං සීනු -27

“එහෙම සල්ලි දුන්නට දැන් මොන ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක්වත් ළමයි පාස් කරන් නෑ නිසල්. මං නම් ඒ කතාව පිළි ගන් නෑ.අර දුලාජ් බලන්නකෝ. ඔයාලට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්න ළමයෙක්. මට නම් එහෙම බෙදිල්ලක් හරි වෙනසක් හරි හිතෙන් නෑ.තිසුරි ටිකක් දුර්වලයි තමා.ඔහොම අය අපි එක්ක ගවර්මන්ට් කැම්පසුත් හිටියේ.එක්ස්පීරියන්ස් එක්ක හරියයි..”

තිසුරිගේ වරදක් දකින නිසල්ට උඩගෙඩි දෙනවා වෙනුවට මට ඔහුට එරෙහි වන්නට හදිසි සිතුවිල්ලක් පැන නැගී තිබිණ. ඒ ඔහුගේ අසාධාරණ කතාව නිසා ද නැතිනම් දවස පුරා තිසුරි සමඟම ඉන්නට උත්සාහ ගන්නා ඔහු ඈ නැති තැනක ඈ විවේචනය කිරීම නිසාදැයි මට පැහැදිලි නැත. නමුත් මට ඔහු ගැන ජීවිතයේ මුල්ම වරට අප්‍රසාදයක් දැනෙන්නට විය.

“මං එහෙමම කීවත් නෙවෙයි..”

නිසල් වහා නිවැරදි වෙමින් දුරකථනයට මුහුණ ඔබා ගත්තේ ය.ලෝචනා එනතුරු නා ගන්නට ගිය මට නිසල් සමඟ කතා කරමින් හිඳින්නට ඕනෑ වූයේ නැත. ඒ වෙනුවට මට වතුර මල යටට වී ඔහේ කල්පනා ලෝකයක පැටලී ගන්නට අවැසි විය.කාමරයට එද්දීම ඇමතුමක් පැමිණියේ චාරුනීගෙනි.

“ඔන්න සංකට සිහිය ඇවිත් තියෙන්නෙ හොඳද.. ඔලුවෙ ඔපරේෂන් එක පොඩ්ඩක්වත් අවුල් නෑ. චානක අයියා ඉන්නවා ළඟ. සංකල්පගෙ අයියත් ඇවිත් හිටියා.මාව එයා අඳුනා ගත්තොත් කියල පොඩ්ඩක් ගිල්ටි හිතුණු නිසා මම දැන් නම් රූම් එකට ගියේ නෑ පවී. ශානක අයියා එහෙට මෙහෙට උනාම ආයේ ගිහින් බලන්නම්.. දැන් ඔයා චුට්ටක්වත් බය නොවී හොඳට කාලා නිදා ගන්න..”

චාරුනී කියවා යන්නේ සතුටිනි. බොහෝ කාලයකට පසු සංකල්ප නිසා මට සතුටක් දැනුණු බව මට හැඟිණි. ඔහු ජීවිත අවදානම සමඟ සටන් කර ජයග්‍රහණය කරන්නට ඇත්තේ සීනු සහ මා ගැන ආදරය පුරවා ගත් හදවතින් නොවේදැයි මම කල්පනා කළෙමි.සෑම ජූනි එකොළොස් වැනිදාවකම පන්සල් ගොස් බෝ මළුවට වී මතු භවයන් වෙනුවෙන් දේවක පතන්නට හුරුපුරුදු මම පළමු වතාවට සංකල්ප සිහි කර දෙවියන්ට ස්තූති කළෙමි.ඔහු සුව වූයේ මා සහ සීනු වෙනුවෙනි. එහි සැකයක් ඇත්තේම නැත.

බොහෝ වෙලා නාන කාමරයේ ගත කළ මා පිටතට පැමිණෙද්දී ලෝචනා පැමිණ සිටියා ය. ඈ නීතා සමඟ උයමන් අරඹා තිබිණ.

කියවන්න :  සුළං සීනු - 1

“කලින්ම උයන්න ගත්තද ලෝචි..”

මගේ හඬ ඇසී දෑස් උස්සා බැලූ ලෝචනා යළි හැඳි ගාමින් හුන් ව්‍යාංජනයට නෙත අලවා ගත්තේ මුළුතැන්ගෙයි පසෙකට වී තේ කෝප්පයක් තොල ගාමින් හුන් නිසල් දෙස ඇස් කොනින් බලමිනි.

“ඔව් පවී..නිසල්ට කාලම ගියෑකිනෙ.. රෑ වෙලා බයික් එකේ යන්න ඕන නෑ. මේ වෙච්ච දේවල් හොඳටම මදැයි…”

ලෝචනාගේ පල නොකියා පලා බෙදීමේ ක්‍රියාවට මට සිනාවක් උපදින්නට ආවේ ඇයිදැයි මම සිතිමී. පසුගිය මාස කිහිපය සම්පූර්ණයෙන් ම මගේ හදවත ආක්‍රමණය කළ නිසල් ගැන අද මා නුරුස්නාවෙන් බලන්නේ ඇයි? ඔහු අද දවසම තිසුරි අසලටම ව හුන් නිසා ද? නැතිනම් චාරුනී ගැන ඇසූ ආකාරය මගේ සිත් නොගත් නිසා ද?

නමුත් පළුදු වීමක් සිදුව අවසන් ය. එය යළි හා විය යුතු නැතැයි මම සිතන්නට ගතිමි.

” මං අද ඉන්න හිතන් ආවේ..”

නිසල් වහා පැවසූවේ ඒ මොහොතේ ය.

“තාප්පයක්, ගේට්ටුවක් තියන සීසීටිවී දාපු ගෙයක්නෙ නිසල් මේ.. කොහොමත් සංක මහ රෑ වෙන දවසටත් පවියි නීතයි තනියම ඉන්න තැනනෙ..අනික මේ එහා පැත්තේ ඉන්න මිස්ට අල්විස්ලත් හරි හොඳ මිනිස්සු. අපි හදිස්සියකට කතා කළොත් නෑවිල්ලා ඉන්නෑ..”

නිසල් අමනාප වන්නට ඇත.ඔහු රාත්‍රී ආහාර නොගෙනම පිටව යන්නට සැරසුණ ද නීතා වද කරමින් කෑම පාර්සලයක් සැකසුවා ය.නිසල්ගේ වර්ණ හරිහැටි නොදන්නා ඇයට මේ නිවසට එන ඕනෑම ආගන්තුකයෙකුට ඉතා ඉහළින් සලකන ආසාව ඉස්මතුව පැමිණියේ ය.

“නිසල්ට පුලුවංනම් අපි ගාව නෙවේ..චුට්ටක් හොස්පිටල් එකට ගිහින් සංක ගාව ඉන්නකො..අපේ චානු වොෂ් එකක්වත් දාගන්නකම්..”

නිසල් අඳුරේ නොපෙනී යන්නට ඔන්න මෙන්න තබා ලෝචනා පැවසුවා ය.නිසල් කිසිත් නොපවසා යන්නට ගියේ ය.

“කතන්දර පිටින් හැදෙන්නයි, අපිටම හදා ගන්න හිතෙන්නයි කලින් මොලේ පාවිච්චි කරාම කෝකටත් හොඳයි පවී..”

ලෝචනා කියන්නේ කල්පනාකාරීව ය. මම කිසිත් නොකී මුත් ඈ නිවැරදි බව විශ්වාසයට ගනිමින් සිටියෙමි.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
2 months ago

ඇති යන්තම්.. පවීට මොලේ පෑදුනා..