ඔබේ දරුවාටත් කවන්න අමාරු ද ?

ලංකාවේ එක එක ප‍්‍රදේශවල ජීවත් වෙන බබාලා ඉන්න අම්මල කිිහිප දෙනෙක්ගෙන් අපි මේ ගැන තොරතුරු අහලා බැලූවා. ඒ අය අතරෙ රැකියා කරන, රැකියා නොකරන අයත් හිටියා. ගම්බද සහ නාගරික  අම්මලා වගේ ම නාගරික ප‍්‍රදේශවල අම්මලත් හිටියා. බබාලා එක්කෙනෙක් විතරක් ඉන්න අම්මල වගේ ම බබාලා දෙන්නෙක් හෝ ඊට වඩා වැඩියෙන් ඉන්න අම්මලත් හිටියා. අපි තෝරාගත්තෙ අවුරුදු 2ත් 4ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් ඉන්න අම්මලා විතරයි. දරුවන්ට කැවීම ගැන වැඩියෙන් ම කතාබහට ලක්කරන වයස් කාණ්ඩය ඒක කියල අපි උපකල්පනය කළා. ඉතින් ඒ වයසෙ දරුවන් ඉන්න අපේ සමීක්ෂණයට එකතු වුණ අම්මලා අපට දුන්න තොරතුරු කිහිපයක් තමයි මේ.

මගේ බබාට දැන් වයස අවුරුදු තුනක්. මොන විදියට කෑම හදලා දුන්නත් එයාට කවන්න බෑ. ගිය සතියෙත් බෙහෙත් ගන්න ගියා. ඩොක්ටර්ස්ලා කියන්නෙ බබාට ලෙඩක් නෑ කියලා. ඒත් මට මේක හිතට වද දෙන ප‍්‍රශ්නයක්. මහේෂි – වැල්ලම්පිටිය

මට ඉන්නේ අවුරුදු දෙකහමාරක දුවෙක්. එයා බත් කන්න නම් කොහොමටවත් කැමති නෑ. වෙන වෙන දේවල්වලට තමයි කැමති. චොක්ලට්, බිස්කට්, මාෂ් මෙලෝස්, වගේ පැණිරස ජාති කාලා බඩ පුරව ගන්න එක තමයි එයා කරන්නෙ. මට තේරෙන්නෙ නෑ මගේ බබාට කොහොම බත් කන්න හුරු කරගන්න ද කියලා. නිරෝෂණී – කඩුවෙල

උදේම බබාගෙ කෑම හදල තියලා මම වැඩට යනවා. මම හවස එනකල් ම බබා බලාගන්නේ මගේ අම්මා. බබාට වයස දැන් අවුරුදු දෙකක්. මගේ අම්මා කියන්නෙ එයා කන්නෙ නිකන්ම නිකන් සුදු බත් විතරයි කියලා. ඉතින් එයාට  ඕනෙ කරන පෝෂණය සම්පූර්ණයෙන් දෙන්නෙ කොහොම ද කියල මට හිතාගන්න බෑ. හේමන්ති – මීරිගම

මටත් මුල් කාලෙදි  ඕක ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. ඒත් දැන් මම උත්තර හොයාගෙනයි ඉන්නේ. බබා කන්න ආස හැම විදියම දැන් මං දන්නවා. එක දිගට එකම විදියට කන්න බබාලා කැමති නැහැ. චූටි බබාලා හරියට කෑමවල ලස්සන හොයනවා. ලස්සන පාටට විවිධ හැඩවලට එලවලූ කපලා දාලා කෑම හදනවට එයාල ආසයි. මට  ඕනෙ විදියට බබාට කවනවා වෙනුවට බබාට  ඕනෙ විදියට මම කෑම හදල දෙන්න තීරණය කළේ ඒ නිසයි. අප්සරා – හොරණ

ඉතින් ඔබට දැන් මොක ද හිතෙන්නේ. ප‍්‍රශ්නය හදාගෙන තියෙන්නෙ ඔබම නේද? උත්තර හොයාගන්න වෙන්නෙත් ඔබටම තමයි. මුලින් ම ඔබේ සිඟිත්තා කෑම කන්න කැමති කොහොමද කියලා නිරීක්ෂණය කරන්න. කැරට්, බීට්, අර්තාපල් වගේ අලවර්ග විවිධ හැඩවලට කපා විවිධ ක‍්‍රමවලට පිළියෙළ කරල දෙන්න ඔබට පුළුවනි. සමහර විට ඔබ ව්‍යංජනවලට දමන තුනපහ ප‍්‍රමාණය අඩු කර බලන්න. දරුවාට බත් සමඟ බටර් හැන්දක් මිශ‍්‍ර කර දී බලන්න. සමහර දරුවන් ඒ රසට බත් කන්නට ඉතා කැමතියි. පැහැය ආරක්ෂා කර ගනිමින් පිළියෙල කරගත් ගොටු කොල මැල්ලූමක්, කිරට උයන ලද වට්ටක්කා ව්‍යංජනයක්, වැටකොලූ හොද්දක්, පිපිඤ්ඤා ව්‍යංජනයක්, කඩල ව්‍යංජනයක් ඔබේ දරුවාගේ ආහාර රුචිය ඇතිකරන්නට සමත් වේවි. දරුවාට බිත්තර තම්බා දෙන විට කෑමට ප‍්‍රියතාවක් දක්වන්නේ නැත්නම් ඔම්ලට් සාදා දෙන්න. එසේත් නැත්නම්  කැරට්, බෝංචි, බණ්ඩක්කා වැනි එළවළුවක් සිහින්ව කපා බිත්තර දමා උයා ගන්න. සාම්ප‍්‍රදායික ආහාර රටාව වෙනස් කර බලන්න. මාලූ සහ මස් වර්ග දෙන විට දරුවාට එය අප‍්‍රසන්න නොවන අයුරින් පිළියෙළ කර දෙන්න. විශේෂයෙන් ම මස් පීකුදු බිත්තර කහමද දරුවන්ට දෙන විට ඉතා සැලකිලිමත් වෙන්න.

ගේ වටේ, වත්ත වටේ ඇවිදිමින්, රූපවාහිනිය නරඹමින් දරුවාට නොදැනෙන්නට කෑම කටට තල්ලූ කිරීම වහාම නතර කරන්න. කෑම කන්නට නිශ්චිත ස්ථානයක් ඇති බව දරුවාට දැනෙන්නට හරින්න. නිසි පරිදි අසුන්ගත වී නිවැරදිව පිඟාන තබාගෙන අතින් ආහාර ගන්නා හැටි දරුවන්ට හුරු කරන්න. හසුරු කුසලතා ඇති කරගන්නට දරුවාට ඇති අවස්ථාව අහිමි කරන්න එපා. කුඩා දරුවන් බත් මිරිකන්නට කැමතියි. ඒ සඳහා අවස්ථාව දෙන්න. ඉහිරවා ගන්නා නිසා දරුවාට බත් දෙන එක නතර කරන්න එපා. දරුවා ඒ සියල්ලෙන් ම යමක් ඉගෙන ගන්නා බව මතක තබාගන්න. ඔබේ ඉවසිලිමත්බව අත්‍යවශ්‍ය වන්නේ දරුවන් කෑම කන්නට දිගු වෙලාවක් ගත කරන නිසයි. අනවශ්‍ය සේ ඔබ කලබල කළොත්, දරුවා බත් පිඟාන බිම හලා දමන්නට වැඩි ඉඩක් තිබෙනවා. පිඟානේ ඇති කෑම වර්ග ගැන දරුවා සමග සාකච්ඡා කරන්න. කොල මැල්ලූම් වැනි දේ දරුවාට හුරු කරන විට ඒවා කෑමෙන් ලස්සන වන බව, කොණ්ඩය දිගු වන බව, ඉක්මණින් ලොකු වන බව ඔබට කියා දිය හැකියි. දරුවන් එවැනි උත්තේජන හමුවේ වැඩි වැඩියෙන් කෑමට පොළඹවා ගත හැකියි.

තවත් දෙයක් මතක තබාගන්න. ඔබ දරුවා වෙනුවෙන් පිළියෙල කළ සියල්ල ම දරුවා අනුභව කළ යුතු යැයි ඔබ තීරණය කරන්න එපා. කෑම අපතේ යන නිසා දරුවන්ට එය බලෙන් හෝ කවන්නට උත්සාහ ගත්විට සිදුවන්නේ ඊළඟ දවසේ ඒ අමිහිරි අත්දැකීම සිහිපත් කරමින් දරුවා සමස්ත ආහාර ගැනීමේ ක‍්‍රියාවලිය ම ප‍්‍රතික්ෂේප කිරීමයි. ඔබ දරුවාට ආහාර දෙන්නට පෙර ඔහු හෝ ඇය ඊට සූදානම් දැයි පරීක්ෂා කරන්න. සමහර මව්වරුන් දරුවන්ට කිරි වේල දී පැයක් යන්නටත් පෙර බත් පිඟානක් දරුවාට කවන්නට උත්සාහ ගන්නවා. ඔබට බඩගිනි වෙලාවට දරුවන්ට කවන්නට හදන්න එපා. දරුවන්ට බඩගිනි වෙලාවට ඔබ වෙනත් වැඩකටයුතුවල යෙදී සිට, ඔවුන් ඒ කාලය තුළ බිස්කට් වැනි වෙනත් අමතර ආහාර ගත්තායින් පසු දරුවන් බත් නොකෑම ගැන මැසිවිලි නැගීමෙන් පලක් නැහැ.

ගෘහණියක් හැටියට රසය සමඟ ගුණය ආරක්ෂා කරගනිමින් ආහාර පිළියෙළකරන අයුරු මේ වනවිටත් ඔබ දන්නවා. විශේෂයෙන් ම දරුවන්ට ආහාර පිළියෙළ කිරීමේ දී තවදුරටත් ඔබ සැලකිලිමත් විය යුතුම කරුණු කිහිපයක් තියෙනවා. ආහාර මිළ දී ගැනීමේ දී ඒවායේ පිරිසිදුකම, නැවුම් බව, අධික ලෙස රසායනික භාවිතයන්ට ලක් නොවූ බව පිළිබඳ තහවුරු කරගන්න. ආහාර පිළියෙළ කිරීමේ දී සියලූ බඳුන්,පිහි, හිරමණය ආදිය සහ ඔබේ දෑත පිරිසිදුව තිබේදැයි පරීක්ෂා කරන්න. සහල්, මස් සහ මාලූ වර්ග, පලාවර්ග නිවැරදිව සහ ප‍්‍රමාණවත් තරම් සෝදා පිළියෙළකිරීම ගැන සැලකිලිමත් වන්න.

ශීතකරණයේ තැබූ ආහාර වර්ග නැවත රත්කිරීම, ක්ෂණික ආහාර පිළියෙළ කිරීම, පැකට් කළ ආහාර වර්ගවල කල් ඉකුත් වන දිනය, ආදිය ගැන දැඩි අවධානය යොමු කරන්න. රස කාරක භාවිතය, විවිධ වර්ණක යෙදීම, තෙල්වර්ග වලින් බැදීම, වෙළඳපොළේ ආහාර මිලදී ගැනීමේ දී අපට වළක්වන්න බැරි වුනත් ගෙදර පිළියෙළ කරන ආහාරවල දී සැලකිලිමත් වෙන්න පුළුවන් කරුණක්. දරුවා වෙනුවෙන් ආහාර පිළියෙල කරන විට සතියේ දින හත තුළ ප‍්‍රධාන වේල් තුනට ඔබ ලබාදෙන්නට සැලසුම් කරන සහ දරුවා කැමැත්තෙන් කන ආහාර වර්ග ලයිස්තුගත කරන්න. මෙහිදී ඔබ සිහි තබාගත යුතු දේ තමයි, දරුවා අකමැති එහෙත් දරුවාගේ පෝෂණයට සෘජුව ම බලපාන සමහර ආහාර වර්ග ඔබ වෙනස් ක`මවලට පිලියෙල කර දී අත්හදා බැලිය යුතු බව. කොල මැල්ලූම් කන්නේ නැති දරුවාට බලෙන් කොල මැල්ලූම් දෙන්න අවශ්‍ය නැහැ. මිටි කිරි හෝ බටර් දමා රතුලූණු හොඳින් දමා කොල තම්බා දෙන්න පුළුවනි.

ඔබේ දරුවා බත් කන්නට ප‍්‍රිය නොකරන අවස්ථාවල පැස්ටා, සහල්පිටි නූඞ්ලස්, පිට්ටු, ඉදිආප්ප වැනි විකල්ප හඳුන්වා දෙන්න.

නිසියාකාරව බඩ නොපිරුණු විට නිතර නිතර දරුවන් හඬන්නටත් එය හේතුවක්. දරුවා තේරුම් ගන්නට මවක් හැටියට ඔබට ඇති සහජ ඉව අපතේ යවන්න එපා.

-නිරංජලා-

 

Related Articles

Don't Miss


Latest Articles