පළිඟු මන්දිර – 44

0
780

සිදු වෙන්නට යන්නේ කුමක් දැයි පළිඟු නො දැන සිටියා ය. පණිවිඩයක් තබා නිවර්තනා ඈ අවන්හල වෙත ගෙන්වා ගන්නට හේතුවත්, දැන් මේ විදිහට කිසල් මෙහි පැමිණීමත් අතර සම්බන්ධයක් ගැන හිතා ගන්නට හැකි දැයි ඇය ට දැනී නො දැනී ගිය අතර, ඒ සිතිවිල්ල සිය දෙපා පණ නැති කරවූ බවක් යුවතිය අත්වින්දා ය. මෙතැන මේ මොහොතේ ඔවුන් දෙදෙනා කෙසේ හැසිරෙනු ඇත්ද කියා ඇය විපිළිසර ව සිටියා ය. 

ඒ මොහොත සිහිනයෙන් දුටු දුර ඈත මතකයක් සේ ය. කිසල් ගේ සිනහව ඒ සා වශීයක් ව මීට පෙර ඇය දැක නැත. පළිඟු දල්වා ගත් නෙතින් ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. නිවර්තනා ගේ දෑසත් කිසල් ගෙන් මුදා ගත නො හැකි ලෙසින් ඔහු වෙත ඇලී තිබිණි. කිසල් කෙළින් ම ආවේ පළිඟු වෙතට ය. ඔහු ලං වෙත් වෙත් ඇගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි වන්නට විය. එය මායාමය නිමේෂයකි. නැතහොත් දිව්‍යමය මොහොතකි. 

“මං එනකොට ඔයා කැම්පස් එකේ නෑනෙ”

ඔහු මුදු ලෙස ඇගේ අතැඟිල්ලක් අල්ලා ගත්තේ ය. පළිඟු ට දැනුණේ සිරුරේ ඒ පාර්ශවය මුළුමනින් අප්‍රාණික ව ගියා සේ ය. ඇගේ උගුර කට ඇසිල්ලකින් වියළිණි.

නිවර්තනා ඇස් උඩ හිඳුවා ගත්තා ය.එය කිසි සේත් වචන වලින් විස්තර කළ නො හැකි මොහොතකි. මුලින් නිවර්තනා ට දැනුණේ අධිවේගී හෘද ස්ඵන්දනයක් පමණකි. සිය දෑස් දුටුවේ කුමක් දැයි ඇය නැවතී සිහිපත් කළේ ඉනික්බිති ය. කිසල් පළිඟු ගේ අතැඟිල්ලකින් අල්ලා ගත්තේ ය. එවෙලේ ඔහු ගේ ඇස් වල වූ කෝටි ගණනක් හැඟීම් වලින් කියැවුණේ එක ම කතාවකි. ඒ ආදරයයි. පළිඟු කෙරේ ඔහු ගේ පිරිමි සිත්හි වන අචල ආදරයයි. ඒ ආදරය කෙතරම් ශක්තිමත් ද කියා, කෙතරම් ස්ථිර සාර ද කියා, කෙතරම් අවංක ද කියා ඇස් වල ලියැවී තිබුණේ ය. නිවර්තනා මුව මඳක් විවර කර ගෙන හුස්මක් ගනිමින් සිටියා ය. පෙනහළු වාතාශ්‍රයෙන් පිරෙත්දී හදවත කීරි ගැසෙන වේදනාවක් ඇය ට දැනිණ.

“උදේ කෙනෙක් මීට් වෙන්න ගියා…වැදගත් දෙයක් කියන්න…”

පළිඟු රිදෙන්නට යටි තොල් පට සපා ගත්තා ය. නිවර්තනා ගේ මූණ දකින්නට බැරි කමක් දැනෙන, පොළොව පළා ගෙන හැංගෙන්නට ඕනා කමක් දැනෙන සිතිවිලි සමූහයකින්  ඇය උතුරා පිටාර ගලන්නට වූවා ය. මුළු මහත් ඇය වෙතින් විද්‍යමාන වූයේ අතිමහත් අසරණ බවකි. කිසල් ඒ බව නොදුටුවා නොවේ. නමුත් මේ වෙලාවේ ඒ ගැන හිතන්නට ඔහු ට ඕන වුණේ නැත. මේ මොහොත අත්හැර ගත හොත් කිසි දා අත්මිදිය නො හැකි පශ්චත්තාපයක බර හිසින් දරා ගන්නට වන බව යටි හිත ඔහු ට මුර ගා කියමින් තිබිණි.

“මට බඩගිනියි”

ඔහු ගේ ස්වරයේ වූයේ අයිතිවාසිකම ගැන හැඟීම මිස අන් කවරක්ද? නිවර්තනා ට එය හොඳට ම දැනිණි. කාලයකින් වැහි පොදක තෙතමනය නො ලද මහ කාන්තාරයක් සේ ඇගේ හදවත පුපුරා ඉරිතලා යමින් තිබිණි. නමුත් සරුසාර උල්පතක් සරි ව පළිඟු ගේ නෙත් තෙත් වන්නට ගත්තේ ය. නිවර්තනා වෙනුවෙන් කෑ ගසා හඬන්නට තරම් උවමනාවකින් ඇය මිරිකී යන්නට වූවා ය.

“පළිඟු…”

නිවර්තනා ගේ හඬ පළිඟු ට ඉතා ළඟ පාතින් ම ඇසිණි. ඒ ස්වරයෙහි කෙතරම් නම් දයාර්ද්‍ර බවක් විණි ද? පළිඟු ගේ කඳුළු ඇස් උල්පත් පුපුරා ගියේ ය. ඇගේ කොපුල් තලා දිග කඳුළු ගඟ ඉක්මනින් ගලා ගියේ ය. නමුත් නිවර්තනා ට කතා කරන්නට තරම් ආත්ම ශක්තියක් පළිඟු වෙත වූයේ නැත.

කියවන්න :  පළිඟු මන්දිර - 8

“මං ගිහිං එන්නද පළිඟු…”

නිවර්තනා මඳහසකට අරෑඳියා ය. නමුත් ඇගේ හදවත හඬා වැටෙමින් තිබිණි. 

“අක්…කෙ…”

පළිඟු කොඳුරා ගත්තා ය. ඒ හඬ උගුර යටින් ගිලිහී ආවේ අසීරුවෙනි. දෙතොල් තෙරපා ඉක්මන්  සිනහවක් පෑ නිවර්තනා දිවගෙන වාගේ ගොස් අවන්හල ඉදිරියේ නවතා තිබූ කුළී රියෙහි නැගුණා ය.

“අනේ පවු එයා…”

පළිඟු ට ඉකිබිඳී හැඬිණි.

“ඇයි ඔයා එහෙම කළේ කිසල්…”

“මේ වෙලාවෙත් එහෙම නොකළොත් වෙන්නෙ අපිට සදහටම වෙන් වෙන්න”

“ඒත් නිවර්තනා අක්කා හිටියෙ එයාට ඉවසගන්න පුළුවන් දුකක නෙවෙයි. එයා මොනා කර ගනීද කියල මට බයයි…”

“නිවර්තනා කියන්නෙ මෝඩ කෙල්ලෙක් නෙවෙයි”

“ඒත් ආදරේ නිසා මිනිස්සු ජීවිතේදි කරන ලොකුම මෝඩ වැඩ වුණත් කරන්න පුළුවන්”

“අපි නිවර්තනාට කතා කරමු හෙමිහිට.ම්…”

නිවර්තනා ඈ නවාතැන් ගත් හෝටල් කාමරයට ගියේ සිහිනයකින් සේ ය. දරුණු පහරක් වැදුණ සෙයින් ඇගේ හිස බමමින් තිබිණි. යහනේ මුණින්තලා වැතිරී හෝරාවක් පමණ නිහඬ ව නිසල ව උන් ඕ ඊළඟට නැගී සිටියේ සිනහවකිනි. අනතුරුව වතුර මල යටට වී ඇයට ම නිනව් නැති තරම් කාලයක් දිය නෑවා ය. වතුර බින්දු ඇගේ කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම රූරා ගියේ කවර හැඟීමක් ඈ තුළ ශේෂ කරමින් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. නිවර්තනා ගේ දෙතොලතර ජයග්‍රාහී සිනහවක් නළියමින් තිබිණි. නමුත් ඇගේ ඇස් වලින් හෝ ගා කඳුළු ගැළුවේ ය. එකඳුළු ඇයට හෝ නොපෙනී වතුරේ දිය වී යාම ගැන ඕ දෙවියන් ට පින් පෙත් දුන්නා ය.

නිවර්තනා දිය නා කාමරයට ආවේ තීරණයක් අර ගෙන ය. ඇය පළිඟු ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“අක්…කෙ…මං ඔයාට කතා කරන්න හිටියෙ”

පළිඟු ගේ හඬ වෙව්ලා ගියේ ය.

“මාත් එක්ක තරහ වෙන්නෙපා”

“මමනෙ කෝල් එක ගත්තෙ…ඒ ඔයා කියන දේවල් අහන්න නෙවෙයිනෙ. මට කියන්න තියන දේවල් කියන්නනෙ”

නිවර්තනා ගේ හඬ පෞරුෂය හමුවේ මහත් කුරුකුහුඹු බවක් පළිඟු ට දැනිණි.

“සො…රි…”

“හවසට මං ඔයාලගෙ ගෙදර එන්නං”

“හා…”

ඈ එන්නේ කුමක් කියන්නදැයි පළිඟු දන්නේ නැත. ඈ තුළ වූ තිගැස්ම නම් කෙතරම් ද කියා කිසල් ට සේ ම උතුම් ට ද සිතා ගත හැකි විය.

“මොකටද ගෙදර එන්න කිව්වෙ…ඔයාට තිබුණෙ එන්න එපා කියන්නනෙ”

කිසල් සිය නො මනාපය නො සැඟවූයේ ය. නමුත් උතුම් ඔහු සමගින් එකඟ වූයේ නැත.

“උඹ මාර කතාවක්නෙ කියන්නෙ. මේ කෙල්ලට පුළුවන් ද එන්න එපා කියන්න…”

“කිසි දේකට නෑ බෑ එපා නොකියා ඉඳල ඔක්කොම කුණු කන්දල් ඔයාගෙ ඔළුව උඩ දා ගන්නකො එහෙනං”

“පළිඟු හම්බවෙන්න යන්න එපා කියල උඹ නිවර්තනාට කියපං එහෙනං”

“මේ දෙන්න ඉතිං මැන්ගෝ ෆ්‍රෙන්ඩ්ස් ලනෙ. මටත් කියන්නෙ නැතුවනෙ මේ දෙන්න මීට් වෙන්නෙ”

“කිසල්…”

“මං ඔයාට එක දෙයක් කියන්නං පළිඟු. නිවර්තනා කියන ඕන දේකට හා අක්කෙ ඔවු අක්කෙ කියල ඇවිත් මං කරපු හැම දේම අවුල් නං කරන්නෙපා”

ගැහැනු හිතක් වඩාත් හොඳින් තේරුම් ගත හැක්කේ තවත් ගැහැනියකට ම ය. කිසල් මොනවා කීවත් ඒ තරම් ආත්මාර්ථයකින් නිවර්තනා ගැන සිතන්නට තරම් දැඩි සිතක් ඇති කර ගන්නට පළිඟු ට නුපුළුවන. අනිත් අතට ඇය සිටින මානසික තත්වය වටහා ගන්නට බැරි කමක් පළිඟු ට නැත. පළිඟු කියන්නේත් කිසල් ට පෙම් කරමින් ඔහු දෙස ඈතකට වී බලා උන් අයෙකි. ඒ රිදුමේ වන අසීරුව ගැන ඇයට වෙන කෙනෙකු වෙතින් දැන ඉගෙන ගන්නට අවැසි නැත.

කියවන්න :  පළිඟු මන්දිර - 42

“මං කිසල්ව වෙන කාටවත් දෙන්නෑ”

පළිඟු හිඳ උන් අඹ ගහ යට බංකුව වෙත විත් හිඳ ගත් නිවර්තනා කීවා ය. පළිඟු ඇතුළාන්තයෙන් සසල වුවත් පිටතින් සන්සුන් ලෙස බිම බලා ගත්තා ය. නිවර්තනා  එක්ක තරඟ කොට දිනන්නට හැකි ද කියා සිතන්නට හෝ ඇයට ඕනෑ නො විණි. 

“එයා මගෙ වුණේ අපි නර්සරි යන කාලෙ ඉඳං”

පළිඟු බිම බලා ගෙන ම උගුර මඳක් පිරිමැද ගත්තා ය.

“ඒත් ඒ කොල්ලට දැං වෙන කෙල්ලෙක් හම්බවෙලා. මං එයාව බලා ගත්තටත් වැඩිය හොඳට එයාව බලා ගන්න…මට ජෙලස්ද…අනේ මන්දා. චුට්ටක් දුකයි. හැබැයි ගොඩක් තරහයි. ඒ මට ඔයා මුකුත් නොකියපු නිසා”

“අක්කෙ…මොනා කියන්නද මං…ඔයා එයාට කැමතියි කියල දැනගත්තට පස්සෙ…”

“එහෙනං මට එයාව දීල පැත්තකට වෙනවද…”

පළිඟු යළිත් වතාවක් බිම බැලුවා ය. කිසල් වෙනුවෙන් වෙන ඕනෑම කෙල්ලක සමග තරග කරන්නට ඈ දෙවරක් නො සිතනු ඇත. පැරදුනා හෝ දිනුවා හෝ වී ද නිවර්තනා සමග එහෙවු තරගයකට වැටෙන්නට කිසි දා ඇයට හිත හදා ගත නො හැකි වනු ඇත.ඒ මන්ද කියාත් පළිඟු නො දැන හිටියා ය. ඇතැම් විට පෙර සංසාරයේ එක ආත්මයක හෝ ඔවුන් සහෝදරයන් ලෙස එක මවු කුසයකින් ඉපිද ඇති නිසා වන්නට පුළුවන. 

“පළිඟු”

දුර ඈත විශ්වයක සිට නිවර්තනා ගේ හඬ පළිඟු ට ඇසුණේ ය. මේ හිඳ සිටින්නේ අඹ ගහ යට බංකුව මත කියා හෝ අඹ කොළ සිලි සිලි නදින් සුළඟ හා එක් ව සැළෙනවා කියා හෝ ඇයට දැනුණේ නැත. තෙරක් නැති අවකාශයේ අරමුණකින් තොර ව ඇය ඒ මේ අත පා ව යන්නා සේ විය.

“කිසල් ගැන මේ විදිහට හිතන්න පටං ගත්තට පස්සෙ මට හිතුන්නෑ කවුරු නිසාවත්…මොන හේතුවක් නිසාවත් මං එයාව නැති කර ගනී කියල. ඇත්තටම…කොල්ලෙක් ගැන මේ විදිහට මට දැනුණ පළවෙනි වතාව මේ…කවුරු නිසාවත් එයාව නැති කර ගන්න මට ඕන්නෑ. හැබැයි ඔයාට එයාව නැති කරල මට අයිති කර ගන්න හිතන්නවත් බෑ දැන්නං”

පළිඟු ගේ හදවත දෙදරා ගියේ ය. ඇය වහා හිස නගා නිවර්තනා දෙස බැලුවා ය. නිවර්තනා මද මුදු සිනහවක් පෑවා ය.

“ඔයා නොවී ඒ මේ ලෝකෙ ඉන්න මොන කෙල්ල වුණත් මං මේක දිනල මිසක් අත්අරින්නෑ. හැබැයි ඔයාට මං පරදිනව පළිඟු…කැමැත්තෙං…මං දන්නෑ ඇයි කියල…සමහර විට ඒ…කිසල්ට වැඩිය ඔයාට මං ආදරේ නිසා වෙන්නැති. ඔයා මගෙ නංගි වෙලා ඉන්න ඇති…ගිය ආත්මෙක වුණත්…ආදරේ කරන කොල්ලට වැඩිය ඕන කෙල්ලෙක් තමංගෙ සහෝදරයන්ට ආදරේ ඇති. සහෝදරයො වෙනුවෙන් අතාරින්න බැරි දෙයක් නැතුව ඇති. සහෝදරකම කියන්නෙ ඒකට වෙන්නැති පළිඟු…”

නිවර්තනා කතා කළේ සිනහ වෙමිනි. නමුත් පළිඟු ගේ නෙත් බැමි පුපුරා කඳුළු ගලා යමින් තිබිණි.

“අනේ අක්කෙ…”

“මට දැං ලැජ්ජයි. ඔයා මට කලිං කිව්වනං මේ මොනාත් නෑනෙ”

“මටත් දැනුණෙ ඔයාට වගේම වෙන්නැති. කිසල්ව නැති වුණත් ඔයා වෙනුවෙං…ඒක ඉවසන්න පුළුවන් කියල මට හිතෙන්නැති”

“මගෙ නංගි…”

නිවර්තනා වහා පළිඟු  වැළඳ ගත්තා ය. පළිඟු  ඉකි බිඳ බිඳ හැඬුවා ය. ඇගේ කඳුළින් නිවර්තනා ගේ උර මඬල දෝවනය වන්නට ඇත.

4.6 7 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments