සැමියාගේත් ඔබෙත් ආදරණීය බැඳීම පළුදු වන බිරින්දෑවරුන් නොකළ යුතුම දේවල්.

“පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුණි ඝණ කළුවර..
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර…”

දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ ඈත්වීම දරා ගත නොහැකි වූ බිරිඳකගේ වේදනාව කියැවෙන ගීතයක්.ජීවිතයේ කවදාම හෝ දවසක මේ ගීය ඔබේ වී ඔබට දැනී තිබෙනවා ද? එහෙනම් මේ ලියන්නේ ඔබට.

සැමියා ඔබෙන් ඈත් වෙන්න බලපාන හේතු, ඔහු ඔබව රවටන බව දැන ගන්න පුලුවන් ක්‍රම ආදිය ගැන අපි බොහෝ වාරයක් කතා කරලා තිබෙනවා නේද?හැමදාම ඔහු අතින් වෙන වැරදි ගැන කතා කරන හින්දා අද අපි ඔබෙන් ඔහුට විය හැකි වැරදි ගැන කතා කරමු. ඔබ අතින් මේ දේවල් වෙනවා නම් ඔබ දෙදෙනා ඈත් වෙන්නට සම්පූර්ණයෙන් වැරදි ඔබ බව කණගාටුවෙන් වුණත් පිළි ගන්න වෙනවා

වෙනත් පිරිමියෙකු සමග ඔබේ සැමියා සැසැදීම

මේ කියන්නේ ඔබට තිබෙන පොඩි පොඩි සෙලිබ්‍රිටි ක්‍රෂ් ගැන නෙවෙයි.ඒවා ඔබට ඔහු සමඟ හවුලේ රස විඳිය හැකි විහිළු බවට පත් කරගන්න ඔබට පුලුවන්. නමුත් ඔබේ ඔෆිස් එකේ ඉන්න වෙනත් මිතුරෙක් සමග ඔබේ සැමියා සංසන්දනය කරමින් එහෙමත් නැතිනම් ඔබෙ පැරණි පෙම්වතා සමග ඔබේ සැමියා සංසන්දනය කරමින් ඔබේ සැමියාට නිතර නිතර ඔබ කරන පැමිණිලි ,අවලාද ඔබත් ඔහුත් අතර අනවශ්‍ය දුරස් කමක් ගොඩ නගාවි. මන් කොයිතරම් හොදින් රැක බලා ගත්තත් මගේ බිරිඳට මාව අගයක් නෑ කියන සිතුවිල්ලෙන් ඔබේ සැමියා මානසිකව ඇද වැටෙයි. එය ඔබගෙන් ඔහු ඈත් කරන ප්‍රධාන කරුණක් වේවි. ඒ වගේම සයිබර් හාදකම්, ඔෆිස් එකේ හාදකම් ඔබ රතු ඉරෙන් එපිටට ගෙනියනවා ඔහු ඔබෙන් ඈත් නොවී සිටීවි ද?

ඔෆිස් එක ගෙදර ගෙන ඒම.

ඔෆිස් වැඩ තිබිය යුත්තේ ඔෆිස් වෙලාවේ පමණයි. ඔබ යහනට රැගෙන එන ලැප්ටොප් එකෙන් නොනවත්වාම කරන්නේ ඔෆිස් වැඩ නම් නිවසේ සිටින වෙලාවෙන් සැලකිය යුතු මොහොතක් ගත කරන්නේ කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්න නම් ඔහු ඔබෙන් ඈත් වීම සිදු වෙන ඉඩකඩ බොහොම වැඩියි.

නිතරම කේන්ති ගැනීම.

අපි හෝමෝන වෙනස්කම්, ශාරීරික අපහසුතා සහ මානසික ගැටලු වලට බොහොම පහසුවෙන් ලක් වන කාන්තාවන්.නමුත් ඔබේ අපහසුතා ඔබ පිට කරන්නේ කෝපයෙන් නම් ඔහු ඔබෙන් ඈත් වනවා විනා ළං වන්නේ නෑ. ඔබට මාසික ඔසප් වීම් ඇති දින, ගර්භනී කාලයේ සහ ප්‍රසූතියට පසු අපහසුතා ගැන, යම් කාරණාවකට මානසික පීඩාවෙන් සිටීනම් ඒ ගැන ඔහුව දැනුවත් කරන්න. ඔබ කෝප වන සැබෑ කාරණාව අවබෝධ කර ගත් විට ඔහු ඔබට උදව් කරන්නට ඉදිරිපත් වේවි.

අපිරිසිදුකම.

අපට හැමවිටම සුවඳ විහිදුවමින් විලාසිතා සහිතව ඉන්න බැහැ. අපේ සහකරු අපිව අපේ සැබෑ ස්වරූපයෙන් පිළි ගත යුතුයි. ඒත් ඔබේ Personal hygiene වලට ඔහුට දිය හැක්කේ ලකුණු බිංදුවක් නම් ඔබේ සබඳතාවය තව දුරටත් රැකෙන්නේ නෑ. නිතර ඔබ ළගින් එන දහඩිය සුවද, හිසකෙස් වලින් එන අප්‍රිය පොල්තෙල් ගඳ වගේම ඔබේ ලිංගාශ්‍රිත අපිරිසිදු බව ඔහුව ඔබෙන් ඈත් කරන දේවල් කියල ඔබ දන්නවද? නිතරම සුවද විලවුන් ආලේප කර ඉන්න කියන ප්‍රායෝගිකව නොවන පණිවිඩය නෙවෙයි මේ ඔබට කියන්නෙ. දිනපතා හොඳින් ශරීරය පිරිසිදු කර ගැනීම, සමේ අවපැහැ වුන තැන් පිළිබද සැලකිලිමත් වෙලා නිවසේදීම කළ හැකි ප්‍රතිකාරයක් කරල මැරුණු සම ඉවත් කරගැනීම වගේ සරල කාරණා තුලින් ඔබේ පිරිසිදු කම රැක ගන්න පුලුවන් නේද? ඒ නිසා හැම විටම පිරිසිදුවට ඉන්න.ප්‍රියජනක වෙන්න අවශ්‍ය වෙන්නේ ඔබට ඔබ ගැන සැලකිලිමත් වෙන්න පුංචි කාලයක් වැය කිරීම පමණයි .

ඔහුට ආදරය කිරීම සහ ලිංගික ජීවිතය පැහැර හැරීම.

විවාහයේ මල් සමය විවාහයේ මුල් අවුරුදු කිහිපය පමණක් නෙවෙයි. එය ජීවිතය පුරාම පැවතිය යුතුයි.ඔහුට ආදරයෙන් කතා කිරීම, ඔහු ගැන සොයා බැලීම, ඔහු සමඟ ඇවිදින්නට යාම පැහැර හරින්න එපා.දරුවන් ලැබුන පසු ආදරය කිරීම රැකබලා ගැනීම දරුවන්ට පමණක් සීමා කරන්න එපා. ඔබේ සැමියාත් ඔබේ ආදරය රැකවරණය බලාපොරොත්තු වෙනව. ඉදහිට ආදරයෙන් හිස අතගාන ආදරණීය බිරිදක් ලග සැමියෙක්ගෙ සැනසීම බොහෝ කාලයක් රැදිල තියනව. ඒ වගේම ලිංගික ජීවිතයට තිත තබන්නත් එපා.ඔබට එය අප්‍රියජනක වීමට සහ එපා වීමට හේතු හොයා ගන්න.ආදරයෙන් අලුත් වෙමින් ආදරෙන් ජීවත් නොවුණොත් ඔහු ඔබෙන් ඈත් වීම සිදු වේවි.

ඔහුට සවන් නොදීම සහ සහයෝගය නොදැක්වීම.

Young couple arguing

ඔහු මොනවා හෝ කියන්නට උත්සාහ ගනිද්දී ඔබට ඒවා අසා හිඳින්නට වෙලාවක් නැති වීම බරපතල වරදක්. ඔබ මුළු කතාවම අසා නොසිට ඔබේ මතයන් ඉදිරිපත් කරමින් ඔහුට අපහාස කිරීම,වාද කිරීම ඊටත් වඩා ගැටලුවක්. ඔහුට කාර්යාලයේ ඇති ගැටලුවක්, නිවසේ ඊළඟ අලුත්වැඩියාව, වාහනය මාරු කිරීම, දරුවන් සම්බන්ධ තීරණ ආදිය ඔහු කතා කරන්නේ සහ තීරණ ගන්නේ ඔබ සමඟයි. ස්මාර්ට් විදියට ඒ දේවල්වලට මඟ නොපෙන්නා “ගොං වැඩ කිරීම” හෝ ” ඵලක් නැති කතා කීම” ගැන ඔහුට අපහාස කරන්නට යාමෙන් ඔබ දෙදෙනා ඈත් වීමට හේතු ඇති වේවි.

නාස්තිකාර වීම

වර්තමානයේ අපි හැමෝම ජීවන අරගලයකට මැදි වී අවසන්. ඉතින් ඔබ ලෝබකම් නොකර ඒත් ඉතුරුම් කරන අරපිරිමැසුම්දායක ගැහැනියක් වීමත් අනිවාර්යයෙන් කළ යුතුයි.ඔහු උපයන මුදල් වගේම ඔබේ ඉපයීම්වලටත් වුණු දේ හිතා ගන්න බැරි වෙන්න ඔබ නාස්තිකාරියක් වෙනවා නම් ඔබත් එක්ක ජීවිතය බෙදා ගැනීමේ ඇති ඵලය ගැන ඔහු ආයේ ආයේ හිතන්න පුලුවන්.

මේ දේවල් ඔබ අතින් වෙනවා ඇති.වෙන්න යන බවක් ඔබට දැනෙනවා ඇති. හැබැයි නිවැරදි වෙන්න ඔබ තවමත් ප්‍රමාද නෑ. ජීවිතය කියන්නේ වැරදෙමින් ඉගෙන ගන්නා ගමනකට.

ඔහු අතින් වෙන වැරදි ගැනම නිතර සැලකිලිමත් වෙන අපි, අපට වෙන්න පුලුවන් වැරදි ගැනත් ආයේ හිතමු. ඈත් නොවී ආදරයෙන් ජීවත් වෙමු.

Related Articles

Don't Miss


Latest Articles