පළිඟු මන්දිර – 46

0
710

හැමදාමත් වසන්තය පවත්නේ නැත. හැමදා ම ගිම්හානය පවතින්නේ ද නැත. ඍතු ඇවිත් යයි. ඊළඟට වෙන එකක් එයි. සොබා දහමේ හැටි එහෙම ය. සොබා දහම කිසි ලෙසකින් හෝ එක තැන නතර වී නො පවතියි.

ජීවිතයත් එහෙම ය. ජීවිතයට ද ඍතු විපර්යාස තිබේ. සෞම්‍ය මිටියාවත් සේ ම ශුෂ්ක හා කටුක කඳු හෙල් ද, ශීතල නිම්න ද පසු කොට ගමන් කිරීම ජීවිතය නම් වෙයි. කන්දක් නැග්ගොත් පල්ලමක් බලාපොරොත්තු විය යුතු ම ය. 

ඕනෑ ම ඍතුවක් සම සිතින් පිළිගැනීමට පළිඟු සූදානමින් සිටියා ය. ආදරය පිළිබඳව ඇති වන විශ්වාසය ජීවිතයට ඒ සවිය ලබා දෙයි.

කිසල් ගේ නිවස පිස සැඩ සුළඟ හමා යමින් තිබිණි. 

“එන්ගේජ්මන්ට් එකකට ලෑස්ති වෙන්න එපා ආන්ටි. එහෙම දෙයක් වෙන්නෑ”

නිවර්තනා මොරීන් ගේ මූණට ම කීවා ය. කන් දෙකෙන් දුම් දමනවා සේ මොරීන් ට දැනෙන්නට ගත්තේ ය. 

“ඔයා අර…පාං කඩේ කෙල්ල නිසාද ඔහොම කියන්නෙ…උං මොක්කුද නිවර්තනා…අපිට ගැලපෙන උන්ද…කිසල් කීයටවත් ඕක කරන්නෑ. මං කරන්න දෙන්නෙත් නෑ. ඕව මේ ඔය වයසට කම්මැළි කමට කරන දේවල්. දුව ඒ ගැන කලබල වෙන්න ඕන නෑ”

“මං කලබල වෙලා නෑ ආන්ටි”

ඉතා ම සන්සුන් ලෙස නිවර්තනා කතා කළා ය.

“ඒත් ඒ ගර්ල්ට එහෙම අපහාස කරන්න එපා. අපි ඉන්න රට වල නං රස්සාව අනුව මිනිස්සුන්ට වෙනස් විදහවල් වලට සලකන්නෑ. මොකද කොයි රස්සාවත් එක වගේ වැදගත් නිසා. දොස්තර කරන වැඩේ කුණු අදින මනුස්සයට කරන්න බෑ තමයි. හැබැයි කුණු අදින මනුස්සය කරන සේවය දොස්තරට කරන්නත් බෑනෙ. අනික ආන්ටි පළිඟු කියන්නෙ ඉගෙන ගන්න ළමයෙක්. එයාට දැනටමත් මේ ලෝකෙ උරුම තැනක් තියනව.  කිසල් ආදරේ කරන්නෙ එයාටනං අපි කාටවත් පුළුවන් කමක් නෑ ඒක වෙනස් කරන්න. ඒ නිසා ඒ ළමයට හිරිහැර කරන්න හිතන්නවත් එපා”

නිවර්තනා එසේ කීවත් මොරීන් හැසිරුණේ උමතුවෙන් සේ ය. ඇය පළිඟු ගේ ලිපිනය සොයාගෙන හැන්දෑවක ගෙදරට ම ගියා ය. වත්සලා කළුවර කවිච්චිය ගසා බසා දමා මොරීන් ට එහි හිඳ ගැනීමට සැලැස්වූවා ය.

“දන්නව ඇතිනෙ මං මෙහෙ එන්න හේතුව…මං ආවෙ කෑ කෝ ගහල කලබල කරන්න නෙවෙයි. අපි ඒ ජාතියෙ මිනිස්සුත් නෙවෙයි”

මොරින් හාත්පස සිසාරා බැලූයේ ඇය ට නො තරම් තැනකට පිවිසි පිළිකුලෙන් සේ ය. ඇදෙස ම බලා උන් පළිඟු, මොරීන් ගේ දෑස් හමු වෙත්දී ම බිම බලා ගත්තා ය.

“ඔය වයසට පොත්ත රතුවට මූණ කට පෙනුමට හිටියහම කොල්ලංගෙ හිත් නතර වෙනව තමයි. ඒත් මේ ළමය තේරුං ගන්න ඕනෙ අපිට මෙහෙම දේකට කැමති වෙන්න බැහැයි කියන එක. ඔයා අම්ම කෙනෙක් වෙලා දරුවො උස් මහත් වුණ කාලෙක හැසිරෙන්නෙත් මෙහෙම ම තමයි”

“ඒත් කුරුලු කූඩුවක් කඩල දාන එක පවු නේද මැඩම්…”

වත්සලා මැද්දෙන් පැන්නා ය. පළිඟු ගේ බඳු තිගැස්මක් ඇගේ ඇස් වල වූයේ නැත. වර්ෂා ගේ සේ ඒ ඇස් මෙන් ම හඬ ද එඩිතර වූයේ ය. නමුත් පසුබාන සූදානමක් මොරින් වෙත වූයේ නැත.

“මොන කුරුලු කූඩුවක් ගැනද ඔය කියන්නෙ…කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළු වෙලා කියන්නෙ කූඩු වෙලා කියන එක නෙවෙයිනෙ. කසාද බැඳලත් මාසයක් යනකොට ඩිවෝස් වෙන කපල්ස් ඕන තරං. එහෙම එකේ…”

“මැඩම් මේ කෙල්ලව හොයං ඇවිත් ඕවා කියන එක වැරදියිනෙ. කිසල් පුතාට මේක නතර කරන්න ඕනනං…එයා ලව්වා නේද ඒක කරවන්න ඕනෙ…”

“අපි මල් පැළ හිටෙව්වොත් ඒ අස්සෙ වල් පැළ වැවෙන එක නතර කරන්න බෑනෙ. මල් පැළ වලට දාන පෝර වතුර උරාගෙන මල් පැළත් වහගෙන හැදෙන ජාතියක් තමයි වල් පැළ කියන්නෙ. අපි මල් හිටවනවනං දැනගන්න ඕනෙ වල්  ගලවන්නත්”

කියවන්න :  පළිඟු මන්දිර - 20

එහෙම කියමින් මොරීන් අසුනෙන් නැගිට ගත්තේ ද්වේශී බැල්මකිනි. වත්සලා තිගැස්සී ගියා ය. 

“මේ නො දරුවන්ට කරදරයක් කරන්නනං එපා මැඩම්”

කියා කියවෙන්නට ම ගියත් මොකක්දෝ හේතුවක් හින්දා ඕ ඒ වචන මුව තුළ ම හිර කර ගත්තා ය.

මොරීන් එහි ගිය බව පළිඟු ගෙන් දැනගත් කිසල් අම්මා එක්ක ඇවිළුණේ ය.

“මගෙ ජීවිතේ හැම දෙයක් ම සිද්ද වුණේ අම්මට ඕන හැටියට. නැතුව මගෙ කැමැත්තට නෙවෙයි. මට ලිට්රිචර් කරන්න ඕන වෙද්දි අම්මට වෙස්ටර්න් මියුසික් කරන්න ඕන වුණා. මට කොමර්ස් කරන්න ඕන වෙද්දි අම්මට අයි ටී කරන්න ඕන වුණා. ඒ හැම වෙලාවෙම අම්මට දිනුම දීල මං පැරදුණා. ජීවිතේ මගෙ නෙවෙයි අම්මගෙ වගේ හිටිය. හැබැයි මෙතනදි මං අම්මට ඕන කෙනා තෝර ගන්නෑ. අම්මට දිනන්න දීල බලං ඉන්නෙත් නෑ”

කිසි දවසක ශබ්ද නගා මොරීන් ට කතා කොට නැති කිසල් ගේ දෙදරන්නට කෑ ගැසුවේ ය. මොරින් මඳක් තිගැස්සීගෙන මුව ද අයා බලා සිටියා ය. 

“බොරුවට ගිරිය පුප්පගෙන කෑ ගහන්න එපා කිසල්. නිවර්තනා ව රවට්ටගත්තට එන්ගේජ්මන්ට් එක සිද්ද වෙන්නෙ නෑ කියල හිතන්න එපා. තව මාස දෙක තුනකිං කැම්පස් අවුට් වුණ ගමං වෙඩින් එකත් ගන්නව. මේ අම්ම කියපු දෙයක් නොකර ඉඳලා නෑ පුතේ”

මොරින් ගේ ඇස් වල වූ අධිෂ්ඨානය කිසල් හොඳින් හැඳින්නේ ය. ඇය යමක් කීවොත් හොඳින් නැත්නම් නරකින් හෝ එය කරන බව දන්නා ඔහු එදා ම අන්තර්ජාලය ඔස්සේ ඔහුට ගැලපෙන රැකියා කිහිපයක් සඳහා ඉල්ලුම් කළේ ය. ඉන් නො නැවතී නවාතැන් කාමර කිහිපයක තත්වය ද සොයා බැලුවේ ය.

” කෙල්ලෙක් නිසා තමංගෙ පුතා තමංව අත්අරින එක තරං වේදනාවක් අම්මා කෙනෙක්ට වෙන නෑ කිසල්. ලේලියෙක්ට කවදාවත් ඒ විදිහට ඒ අම්මගෙ හදවතේ නවතින්නත් බෑ”

පළිඟු හැකි තරම් කිසල් ගේ හිත හදන කතා කීවා ය. නමුත් ඔහු ගේ හිත බිඳී ගොස් තිබුණේ ඇයට වුව පිරියම් කළ නො හැකි සෙයිනි.

“පළිඟු…මේ වෙලාවෙදි එක්කො මං පිරිමියෙක් වගේ තීරණයක් ගන්න ඕනෙ. නැත්තං අම්මගෙ කීකරු පුතා වෙලා අම්මට ඕන විදිහට නටන්න ඕන. හැබැයි මං අද එහෙම කරනව කියන්නෙ අද විතරක් නෙවෙයි. මගෙ මුළු ෆැමිලි ලයිෆ් එක පුරාම ඒක කරන්න වෙනව කියන එකයි. එහෙම වුණොත් ඒක ඔයාට නෙවෙයි අම්මා ගෙ ඕනකමට බඳින කෙල්ලෙක්ට වුණත් දවසක මං කරන ලොකු අසාධාරණයක් වෙයි. දැං ඉන්න කෙල්ලො අම්මලගෙ හුරතල් පුත්තු නලෝ නලෝ ඉන්නෑ පළිඟු. පිරිමියෙක් වගේ තීරණ ගන්න බැරි වුණොත් උං කරන්නෙ දමල ගහල යන එක”

කිසල් බෝ දුරට හිතන්නට පටන් ගෙන සිටියේ ය. දන්නා කියන අයගේ පවුල් ජීවිත මත්තෙහි සිදු වූ ව්‍යසනයන් පිළිබඳව ඔහු හුදෙකලා අධ්‍යයනයක් කරමින් සිටියේ ය. ඒ අත්දැකීම් තුළින් උගනිමින් ද ඒවා සිය පෞද්ගලික ජීවිතය ට ආදේශ කොට සිතමින් ද සිටියේ ය.

“අනිත් එක පළිඟු…මොන විදිහෙ මැරේජ් එකක් කර ගත්තත් අම්ම කෙනෙක්ට පුතෙක් නැති වෙන්නෙ නෑ. මොකද ඕන කොල්ලෙක්ගෙ හිතේ අම්මට වෙන් වෙච්ච තැනක් තියනව. එතනට එන්න කිසිම ගෑනු ළමයෙක්ට බෑ. අමමල අන්න ඒක තේරං අරං ඒ කොල්ලට පාඩුවෙ තමංගෙ ජීවිතේ ගත කරන්න දෙන්න ඕනෙ”

පළිඟු මුදු ලෙස කිසල් ගේ අත්ල පිරිමැද්දා ය. බොහෝ මිතුරන් සිතා සිටින විදිහට කිසල් වනාහි ‘බබෙක්’ නොවේ. විවාහ ජීවිතය සහ අනෙකුත් මිනිස් බැඳීම් පිළිබඳව ඔහු ට මනා අවබෝධයක් වන්නේ ය.

“අපිට ලොකූ තැනකිං ජීවිතේ පටං ගන්න බැරි වෙයි. හැබැයි මං ඔයාට ලස්සන ලෝකයක් හදල දෙනවමයි. ඒකට මට ටිකක් කල් ඕන වෙයි පළිඟු”

කියවන්න :  පළිඟු මන්දිර - 42

“ඔයා ඉන්න තැන කොහොමත් මට ලස්සන ලෝකයක් මැවිල තියෙයි”

“මට එක දෙයක් දැනගන්න ඕනෙ”

“මොකද්ද…”

“අම්ම සැරෙන් සැරේට මොන බලපෑම කළත් ඔයා වෙනස් වෙන්නෙ නෑ නේද කියල”

නැහැ යි හඟවන්නට පළිඟු හිස දෙපසට සැළුවේ ලොකු හුස්මක් ද සමග ය. කිසල් සිය දෝතින් ම පළිඟු ගේ අතක් අල්ලා ගත්තේ ය.

“එක්ස්කියුස් මී”

එහඬින් දෙදෙනා ම හැරී බැලූහ. අක්ෂි කෘතිම සිනහවක් පෑවා ය.

“මට…කිසල් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ”

පළිඟු කිසල් ගේ අතින් මිදුණා ය.

“එහෙනං ඔය දෙන්නා කතා කරන්න. මං යන්නං”

“ඔයා ඉන්න පළිඟු”

කිසල් ගේ ඒ ඉල්ලීම පළිඟු මඳහසින් ප්‍රතික්ෂේප කළා ය. ඒ විදිහට ඇය නික්ම ගියේ කෙසේදැයි අක්ෂි ට සිතා ගත නො හැකි විය. සිය පෙම්වතා ඔහු ගේ පැරණි පෙම්වතියත් එක්ක හුදෙකලාව කතා කරමින් සිටීම ගැන ඊර්ෂ්‍යා නො හිතන කෙල්ලක ඉන්නට පුළුවන් දැයි අක්ෂි සිතුවා ය.

“කිසල්…අයිම් සොරි…”

මේ නම් අක්ෂි ගේ ව්‍යාජ රංගනයක් නො වන බව කිසල් ට වහා දැනිණි.

“නිවර්තනා වගේ ගර්ල් කෙනෙක්වත් රිජෙක්ට් කරල ඔයා පළිඟු වම ඕන කියනවනං…මට හිතාගන්න පුළුවන් තව මං කොච්චර ඔයාගෙ පස්සෙං ආවත් වැඩක් නෑ කියල”

කිසල් ගේ මුහුණ මත සිනහවක් නැගුණේ ය.

“වෙච්ච දේවල් වලට සොරි කියන්නයි මට ඕන වුණේ. ඇත්තටම දැං මට හුඟක් දේවල් තේරෙනව කිසල්. අපි දෙන තරමට තමයි අපිට ලැබෙන්නෙ. ආදරේ වුණත් එහෙමයි. ජෙලසි ෆීලිං එකක් නැතුව නෙවෙයි. ඒත් ඔයාට විශ් කරන්න මට ඕනෙ කිසල්”

“තෑන්ක් යූ. එහෙනං මං යන්නද…”

ඇගේ අවසරයක්  ලැබෙන්නට පෙර ම ඔහු ඉක්මන් අඩි තබා නික්ම ගියේ ය. ඊට වැඩිය යමක් ඈ සමග කතා කරන්නට ඔහු ට  නැත්දැයි අක්ෂි ට සිතිණි.

අශේන් සමග කිසිදු සබඳකමකට ඇගේ සූදානමක් නැතැයි වර්ෂා මොරින් ට කෙළින් ම කීවා ය.

“මාව හම්බ වෙන්නයි කිය කිය එයාට මෙහෙ එන්න එපා කියන්න අම්මි. මං කැමති නෑ අශේන් ගෙ ඔය නාඩගං වලට”

මොරින්ට දැනුණේ සිය ලෝකය ම දරුණු කුණාටුවකට හසු වූවා මෙනි.

“ඇයි ඒ…අශේන් කියන්නෙ ඔයාට ප්‍රපෝස් කරල ඉන්න කෙනා”

“ඒක තමයි මං මේ දැන්ම කියන්නෙ එහෙම බලාපොරොත්තුවක් තියා ගන්න එපා කියල. ඒ මිනිහට මං කැමති නෑ”

“මට පිස්සු හදවන්න එපා ළමයි. මොකද්ද මේ ඕගොල්ලන්ට වෙලා තියෙන්නෙ…”

“මට පුදුම ඔච්චර දේවල් දන්න අම්මි අශේන් ගැන දන්නෙ නැත්තෙ මොකද කියලයි”

“මොනා දැන ගන්නද…කොලු කමට කරන දේවල් මැරි කළාට පස්සෙ කරන්නෙ නෑනෙ”

“අම්මිට මොකද්ද ඒ ගැන දෙන්න පුළුවන් සහතිකේ…”

“අශේන්ව හදා ගන්න එක ඔයාගෙ වැඩක්”

“අනේ මේ අම්මි. මට එයාව දරුකමට හදාගන්නද කියන්නෙ…පස්සෙ මට දොස් කියන්න එපා අම්මි. ඔන්න දැම්ම මං කියලයි තියෙන්නෙ. මං අශේන්ව මැරි කරන්නෙ නෑ”

ඉතා පරෙස්සමෙන් ඇය විසින් සැලසුම් කරන ලද  සියල්ල විනාශ වී යන්නට ආසන්න බවක් දැනී මොරීන් වියවුලට පත් වූවා ය. දරුණු හිස රුදාවක් මුලින් ම ඈ පෙළන්නට ගති. විශ්ව විද්‍යාලයට පවා නොගොස් දින කිහිපයක් ඕ කාමරයට වැදී සිටියා ය. ආහාර පාන ප්‍රතික්ෂේප කරමින් මුරණ්ඩු ලෙස හැසිරෙන්නට වූවා ය. 

“මගෙ ළමයි දෙන්නා මගෙ වචනෙට කීකරු වෙනකල් මං කන්නෙ නෑ”

සනත් ගේ කේන්තිය ඉහ වහා ගියේ ය.

“ඕන දෙයක් කර ගන්නව තමුං. මට හදන්න බැරි වෙච්ච එකේ ළමයි හරි තමුංව හදා ගන්නවනං ලොකු දෙයක්”

අඩි පොළොවේ ගසා කෑ ගැසූ සනත් රියට නැගුණේ මෙතෙක් අතපසු වූ යමක් කරන්නට හිතාගෙන ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments