පළිඟු මන්දිර – 48

සැන්දෑ අහස තඹ පාටින් රටා මවා තිබුණේ ය. සුළඟ ඉතාමත් සිහිළැල් ව හමා යන්නට විය. ඒ මඳ පවනට පවා අඹ පතක් නටුවෙන් ගිලිහී පොළොව බලා මඳ වේගී ගමනක් ආවේ ය. අඹ පත්‍රය බිම පතිත වන විට නැගුණ මුදු හඬින් පවා වත්සලා ගේ සිත්හි ගැස්මක් ඇති විය.

තණ පත් පොඩි වෙමින් ඈ බිම පා තබන හඬ චමල් ට නෑසුණා නොවේ. ඒ එන්නේ වත්සලා බව දැන ඔහු හිතා මතා ම හිස නො ඔසවා සිටියේ ය. ටිකකට කලින් දිය නා උන් ඇය ගැල්වූ රාණි සබන් වල සුවඳ පවා චමල් ට දැනිණි.

“තේ…”

වත්සලා ගේ උගුරෙන් හඬ පිට වූ – නො වූ ගාණ ය. තේ බන්දේසිය ඔහු වෙත පාමින් ඇය මඳක් චමල් වෙතට නැඹුරු වී ගෙන සිටියා ය. චමල් දෑත පොවා තේ කෝප්පය පිළිගත්තේ ය. ඔවුන් ගේ ඇස් මුණ ගැසුණේ වත්සලා යළි නැගී සිටියදී ය.

“හිස්ට්‍රි රිපීට්ස් කියනවනෙ. මට තේරෙනව. මට දැනෙනව. ඔයාගෙ හිතේ බයක් ඇති පළිඟු ගැන. අද නෙවෙයි ඒ කාලෙත් ඔයා එයා ගැන කිව්වෙ මගෙ දුව කියල. ඔයාගෙ දුව වෙනුවෙං මේ සැරේ මාත් ෆයිට් කරනව”

වසර ගණනකින් වියපත් ව සිටියාට, පෙනුමෙහි මඳ පරිනත බවක් වූවාට චමල් වයසට ගොස් නැති බවක් වත්සලා ට පෙනිණි. වැදගත් ම දේ ඒ කට හඬයි. ඔහු ත් ඇය ත් අතීතයේ ඒ කෙටි කාලය තුළ වැඩියත් ම සම්බන්ධ වූවේ දුරකතනය ඔස්සේ ය. මුහුණටත් වඩා ඇය වැඩිපුර හුරු ව සිටියේ ඔහු ගේ හඬට ය. කාර්ය බහුල නොව කාර්යාලීය හෝරාවන් හි දී ඔහු නිතර ම වත්සලා සමග කතා කළේ ය. ඇය හදවතින් බැඳී සිටි ඒ හඬෙහි නම් කිසිදු වෙනසක් වී නැති බව වත්සලා ට දැනෙයි.

“අනේ මන්දා…මට කෙල්ල ගැන බය නැතුව නෙවෙයි. ඒ වුණත්…ප්‍රශ්න වලින් මිදෙන්න එයා එයාගෙ ආදරේ නැති කර ගන්න ඕනෙ කියලත් මං හිතන්නෑ”

“ඔයා හිතනවද මං ප්‍රශ්න වලට බයේ ඔයාව අත්ඇරිය කියල…”

“අත්අරින්න කොහොමත් අපි අපිව අල්ලං හිටියෙ නෑනෙ”

“අත් වලිං අල්ලං හිටියෙ නැති වුණාට…මට හිතෙන්න තාමත් අපි හිත් වලිං අත්ඇරිල නෑ කියලයි”

හිත ගැස්සෙනවා වත්සලා ට දැනිණි. නමුත් ඒ බව චමල් ට දකින්නට ඉඩ නො තැබූ ඕ, බන්දේසිය මත රැඳී තිබූ වතුර බින්දුවක් ඇඟිල්ලකින් එහෙ මෙහෙ කළා ය.

“ඩිවෝස් එකෙං පස්සෙ ඔයාට කතා නොකරපු එක ගැන අද මං හදවතින් ම පසු තැවෙනව. ඒත් එදා මං බය වුණා…ඔයා මං ගැන වැරදියට හිතයි කියල”

හැම දවසක ම පාහේ ඔහු ට දුරකතන ඇමතුමක් දෙන්නට හිතුණු බව ඕ චමල් ට කියන්න ගියේ නැත. ලියූ කෙටි පණිවිඩ දහස් ගණනක් දුරකතනය තුළ ම ගබ් සා කර දැමූ බව දන්නේ ඇය විතර ය. එසේ කරන්නට හිත හදා ගත හැකි වී නම් චමල් ගේ දික්කසාදය පිළිබඳව මීට පෙර ඇය දැන ගන්නට තිබිණි. නමුත් එසේ දැන ගත්තා ය කියාත් වෙනසක් වන්නට නියමිත නැති වන්නට ඇතැයි වත්සලා සිතුවා ය. දෛවය හැම දේ ම කරන්නේ ඔහු අත වන පිටපතට අනුව ය.

“ජීවිතේ ගැන තීරණ ගන්න කිසිම වෙලාවක බය වෙන්න ඕන නෑ කියල අද මං දන්නව. හරි යන්න හරි වැරදෙන්න හරි කරන්න ඕන දේ කරන්න ඕනෙ”

“පරණ වළවල් ගොඩදාන්න ඕන නෑ නේද දැං…”

වත්සලා සුසුමකින් කතා කළා ය. චමල් ඇදෙස නෙතු ඔසවා බැලුවේ ය. ඒ බැල්ම, මීට දස වසරකට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී දුටු බැල්මට වඩා මඳකුදු වෙනස් ව නැති බව ඇය ට ඉඳුරා විශ්වාස ය.

“මෙහෙ හරි නිස්කලංකයි නේද…”

කියා අසමින් සනත් මිදුලට බැස්සේ ය. චමල්, හිස් කළ තේ කෝප්පය වත්සලා අත වූ බන්දේසිය මත තබමින් නැගිට ගත්තේ ය.

“මේ මල් ජාතිය මොකද්ද…හරි ලස්සනයි නේද…”

තාප්පය කෙළවරකට වන්නට වූ අතුපතර විදා වැඩුණු කහ පාට මල් දරන විහාර පිච්ච ගස සනත් ගේ ඇසට හසු විය.

“විහාර පිච්ච තාත්තා. සුදු පාටට මල් පිපෙන්නෙ. ඊළඟට කහ පාට වෙනව. ගහ පුරාම මල් පිපුණහම මිදුලම සුවඳයි”

පළිඟු ඉක්මන් කොට මල් ගස ගැන විස්තරයක් කළා ය.

“අතු පැළ වෙනවද පුතේ…”

“හදාගන්න ටිකක් අමාරුයි. මං පැළකරපු එකක් ඇති. මං ඒක තාත්තට දෙන්නං”

කළු පාට ප්ලාස්ටික් මල් බඳුනක සිටුවා තිබූ මල් පැළය දෝතින් ගෙනවිත් පළිඟු සනත් ට තිළිණ කළා ය. නිරෝගී ව වැඩෙමින් තිබි එහි මල් දෙක තුනක් ද පිපී තිබිණි. 

“දවසක දුව එනකල් එහෙනං මේ මල් ගහේ මල් අපේ මිදුල සුවඳ කරයි”

සනත් ලා නික්ම ගියේ ඒ මල් පැළය ද සමග ය. නමුත් ඔහු ලෝකයක් ම මේ මිදුලෙහි තබා ගියා සේ ය පළිඟු ට දැනුණේ.

“ඒව හරියන්නෑ හරිද…මමයි ඔයාගෙ දුව”

වර්ෂා සනත් ට නෝක්කාඩු කීවේ ය. සනත් හඬ නගා හිනැහිණ.

“ඊරිසියාකාරි”

“ඊරිසියයි තමයි. තාත්ති කියන්නෙ මගෙ හිතේ ලොකුම වීරයා. මගෙ පළවෙනි ක්‍රෂ් එක”

වර්ෂා සනත් ගේ උරහිස් වටා දෑත් යවා ගත්තා ය. සනත් ගේ සිනහව මැදුර පිස දෝංකාර නැංවිණි.

“ඒ වුණාට උඹ දවසක කවුරු හරි කොල්ලෙක්ට පැටලිලා අපිව දාල යයි. එදාට ඒ කෙල්ලනෙ අපිට ඉතුරු වෙන්නෙ”

වර්ෂා සනත් දෙස බලා උන්නේ ආදරය පිරි දෑසකිනි. දුවකට තාත්තා කෙනෙකු ගෙන් ලැබෙන ආදරය සේ ම හවුහරණය ද වෙන තැනකින් ලද නොහැකි බව මේ වයසේදී ම ඇය වටහා ගෙන හිඳින්නී ය. කාගේ ආදරය අහිමි වී ගියත් තාත්තා ගෙදර ඉන්නවා නම් හිත හයිය කර ගෙන ගෙදර එන්නට ලොව ඕනෑ ම දුවකට පුළුවන. සෙනෙහසේ ඒ අතැඟිල්ල ගිලිහී ගිය දවසක ඇයට දැනෙනා වූ හුදෙකලාව, ලොව කිසිදු පිරිමියෙකු ට සමනය කළ නො හැකි වන්නේ ය.

වර්ෂා සුසුමකින් අත්මිදුණා ය.

“ඔයා පළිඟු ට ආදරේ කරනවට මං තරහ නෑ තාත්ති. තාත්තගෙ ආදරේ කියන්නෙ එයාට හුඟක් දුර දෙයක්. මං වගේ නෙවෙයි…එයා මේ ගෙදරට පහනක් වෙයි. ඔය දෙන්නට මං නැති අඩුවක් දැනෙන්නෙ නැති තරං…”

සාමාන්‍යයෙන් කඳුළකට ඉඩ නො දෙන කෙල්ලක වන වර්ෂා ගේ නෙත ට කඳුළක් උනා එමින් තිබිණි. සනත් දියණිය තුරුලු කර ගෙන ඇගේ හිස පිරිමැද්දේ ය.

“මගෙ පිස්සි. හිතන්නෙ දුවල දෙන්නෙක් මට වැඩියි කියලද…දෙන්නටම දෙන්න තරං ආදරේ මේ තාත්තගෙ හිතේ තියෙනව කෙල්ලෙ. මං කොල්ලො දහස් ගාණකට එක පාර තාත්ත වෙන මනුස්සයෙක්. එහෙමයි කියල මගෙ කොල්ලට කවදාවත් මගෙ හිතේ ආදරේ හිඟ වුණාද…ම්…”

“තාත්ති”

“ම්…”

“දෙයක් කිව්වොත් තරහ වෙනවද…”

“කියල බලමුකො…නේද…”

“ඔයාට තරං නෙවෙයි…”

වර්ෂා බැගෑපත් බැල්මකින් සනත් දෙස බැලුවා ය. මඳ ලැජ්ජාශීලී බවක් ද ඒ ඇස් මත ඇඳී තිබිණි.

“හ්ම්…”

“ඒත් මං…උතුම් අයියටත් කැමතියි…”

“මොකා…උතුම්…උතුම් කියන්නෙ අපේ ලෑන්ඩ් කමිෂනර්ගෙ රෝහණ ගෙ පුතා…”

“ඔව් තාත්ති”

“රෝහණ පේරා වල දි මගෙ රූමා. ඉගෙන ගන්නවට වඩා ඔය යකා පොලිටික්ස් කළේ ඒ කාලෙ. දුප්පත් කෙල්ලෙක්ව යාළු කරං හිටියෙ. මූ දේශපාලනේ කරන්න කාලෙ ගත කරද්දි ඒ කෙල්ල තමයි මැරීගෙන මූට නෝට්ස් ලිව්වෙ. අන්තිමට කැම්පස් අවුට් වෙලා ගවන්මන්ට් සෙක්ටර් එකේ ජොබ් එකක් ලැබුණ ගමං රිච් ෆැමිලි එකක දුවෙක් මැරි කළා. අර කෙල්ලට මොනා වුණාද කියල ආරංචියක්වත් ලැබුන්නෑ ඊට පස්සෙ…”

පුරුදු මඳහස සනත් ගේ මුවග විය. නමුත් අභ්‍යන්තර කම්පනයක් නො වූවා ද නොවේ. එය ඕනෑ ම පියෙකු ගේ හදවතට යම් මොහොතක දැනිය හැකි ගැස්මකි. ඔහු ගේ හුස්ම වන් දියණිය ගේ ජීවිතය භාර ගන්නා පිරිමියා දවසක ඇගේ ඉරණම කවරාකාරයෙන් වෙනස් කරනු ඇත්දැයි, වචන වලින් නො කියනා ගැස්මකි.

‘උතුම් අයිය එහෙම නෑ’ කියා කියන්නට වර්ෂා ට ඕන විය. නමුත් ඇය එහෙම නො කියා සිටියා ය.

චමල් රෑ කෑමකට පළිඟු හා වත්සලා ට ඇරයුම් කළේ ඔය අතර දවසක ය. වත්සලා මේ ගමන යාම අදි මදි කළත්, කිසල් ඇය ට ගෙදර නතර වන්නට ඉඩ දුන්නේ නැත. 

“පළිඟු ගෙ අම්ම විදිහට හැමදාම මගෙ හිතේ ඉන්නෙ ආන්ටි. මං මැරෙනකල් ම ආන්ටිට තියෙන ඒ ගෞරවේ වෙනස් වෙන්නෑ. ඉස්සරහට මගෙ තැනකට වුණත් මං යන්නෙ පළිඟු ටයි ආන්ටිටයි එතනට යන්න පුළුවන් නං විතරයි. ඒ අපි එක පවුලක නිසා”

වත්සලා දෙතොල් තද කර ගෙන සිනහ වූවා ය. ඇය කිසල් ගේ උරහිසකට හෙමිහිට තට්ටු කළේ, වචන කතා කර ගත නො හැකි ව හිර වී තිබූ නිසාවෙනි. පිරිමින් ඕනෑ තරම් මේ මිහි මත සිටිති. නමුත් ගැහැනියකට විශ්වාස කළ හැකි සහ ගැහැනියක ගේ ගෞරවය ලබත හැකි පිරිමින් ඉන්නේ අල්පයකි. ආඩම්බර කාරයෙක් සේ මුල දී පෙනුණා ට කිසල් කියන්නේත් ඒ ඉතා අල්ප වූ යහපත් පිරිමින් ගේ කුලකයට අයිති වන තරුණයෙකි. හොඳ බෑණා කෙනෙක් ලැබෙනවා කියන්නේ පවුලට අලුතෙන් පුතෙක් ලැබෙනවා කියන එක ය. නරක බෑණා කෙනෙක් ලැබෙත්දී ඒ දෙමව්පියන් ට සිය දියණිය ද අහිමි වී යයි!

කිසල් විසින් පළිඟු ව හා වත්සලා ව චමල් ගේ ගෙදර ට කැටුව යනු ලැබුවේ කැබ් රථයකිනි. ඒ යන ගමන් පළිඟු ගෙන් අසන්නට ඔහු ගේ හිතට පැනයක් නැගුණේ ය. නමුත් රියෙහි ඉදිරි අසුනේ හිඳ සිටියෙන්  අසා ගත නො හැකි විය. රියෙන් බට ගමන් කිසල් පළිඟු ගේ අතක් යන්තමින් අල්ලා වත්සලා ට වඩා පමා කර ගත්තේ ය.

“පුංචායි චූටි මාමායි මැරි කළොත් මොකද…”

නෙතු විසල් කොට බලා උන්නා මිස නිවැරදි පිළිතුරක් ඇයට සිහි වූයේ නැත. අනිත් අතට ඒ ප්‍රශ්නය කොයි තරම් බරට ඇගේ හිතට දැනුණේ ද යත්, වත්සලා ට ඇසේවියි ඕ බිය වූවා ය.

“පුංචාට ඇහෙයි”

ඒ වෙලාවේ නිහඬ වුණත් කොයි වෙලාවක හෝ ඒ ප්‍රශ්නය මතු කරන්නට කිසල් හිතා ගත්තේ ය.

රාත්‍රිය මනරම් වූයේ ය. කුඩා මිදුලක් මධ්‍යයෙහි පිහිටි චමල් ගේ කුඩා දෙමහල් නිවස සුන්දර ය. විදුලි ආලෝකය නිසා ගෙදර සිරියාව තීව්‍ර ව පෙනිණි. වැඩිපුර බඩු මුට්ටු පුරවා නො තිබූ ගෙතුළ ආලෝකයත් වාතාශ්‍රයත් නො මඳ ව තිබිණි. 

උතුම් ට එහි එන ලෙස ඇරයුම් කොට තිබුණේ චමල් ය. ඒ සනත් ගේ උපදෙස් මත ය. 

“කිසල් ගැන හිතුවට මං එයාගෙ කැමැත්ත ගැන හිතන්නෑ කියල වර්ෂා හිතනවට මං කැමති නෑ”

සනත් චමල් ට කීවේ ය. ඔහු වාගේ පියෙකු වන්නට සිය සිත්හි වූ ආශාව චමල් ගේ හිත අලුතෙන් ම රිදවී ය.

“මෙතන අපේ අක්කත් හිටියනං තමයි මං වැඩිපුර ම කැමති”

චමල් සබයට ආවේ එහෙම කියමිනි. සනත් ගේ මඳහස මත බලාපොරොත්තුවක සේයා ඇඳිණි. 

“අම්මිට වෙනස් වෙන්න වෙයි දවසක…හැබැයි අද හෙට නෙවෙයි. ටිකක් කල් යයි”

“ඒක ඇත්ත. මොරින් කියන්නෙ ඉක්මනට වෙනස් වෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි”

“ඒත් අපිට මෙහෙම එකතු වෙන්න පුළුවන් අපේම තැනක් තිබුණොත් හොඳ නැද්ද…”

කිසල් ගේ ඒ ප්‍රශ්නය, නිශ්ශබ්ද තාවයක් ඇති කරවන හේතුවක් විය. කිසිවෙකුට ඔහු කී දේ හරි හැටි වැටහුණේ ද නැති සෙයකි.

“ඇයි බං ඉතිං මේ ගේ තියෙන්නෙ”

“ඒත් චූටි මාමා ගෙයක් තිබුණට කේටරින් එකකින්නෙ කෑම ගේන්න වෙන්නෙ. ඒ වගේද පුංචාගෙ අතින් උයන කෑමත් කාල යන්න තිබුණනං”

වත්සලා ට ‘ ස් ‘ ගෑවිණි. ඉහළට ඇද ගත් හුස්ම පහළ දමා ගත නො හැකි ව ඕ බලා උන්නා ය. ‘මොනාද කිසල් පුතා දොඩවන්නෙ’ කියා ඔහු ට බණින්නට ඕනෑ වුණත්, වත්සලා එහෙම කර ගන්නට අපොහොසත් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content