සුළං සීනු – 25

කලබල නගරය නොනැවතී ගමනක ය.හවස් වරුවේ හිරු ගිලෙන්නට පෙර නිවෙස් කරා දුවන බොහෝ මුහුණුවල ඇත්තේ වෙහෙස නිවා ගැනීමේ ඉක්මන් ආශාව යැයි මම සිතුවෙමි.ගෙදර යන්නට එකම හේතුව සීනු පමණක් වූ අතීතය අතීතයට ම එක් වීම සතුටකටත් වඩා සැනසීමකට ළං ව මට දැනේ. ගේට්ටුවෙන් ඇතුළු වද්දීම සීනුගේ කුඩා ටිමී මගේ දෙකකුල් වැලඳ ගන්නේ දවස පුරා සීනු රැකබලා ගත් අන්දම කියන්නට මෙනි.ගෙඋයනේ මා වැවූ කුඩා පැළ මල් හලමින් වසන්තය අරඹා ඇත.නීතා සමඟ රෑ කෑම සකසමින් සංකල්ප එනතුරු මඟ බැලීම දැන් ඉතා සුන්දර ය. ඔහු රෑබෝ වී එන්නේ වැඩ කන්දකට යටව සිට යැයි පිළි ගැනීමට තරම් දැන් මා නුවණැත්තියක වීම ගැන මට දැනෙන්නේ සතුටකි.

නිසල් මදෙස බලා හුන්නේ කල්පනාකාරී ව ය.ඔහු ගැටලුවක නම් අසා හිඳින්නට හැකි බව පවසා මා ඔහුට කෙටි පණිවිඩයක් යැව්වේ ද ඔහු එයට කැමැත්ත පළ කරේ ද හවස් යාමයේ ය.

මේ හමු වීම ඒ වෙනුවෙනි.

“ඔයා තිසුරිට අකමැති නම් ඔයා කරන්න ඕන එයාගෙන් ටිකක් ඈත් වෙන එක නිසල්..තිසුරි තේරුම් නොගෙන ඉන්නෙ නෑනෙ.ඔයා ඒ ළමයා ආව ගමන්ම එයාට ක්ලෝස් වුණානෙ.කසුන්ලා,තේජකලා කවුරුත් එහෙම නැතුව ඔයා එයාට වැඩියෙන් කිට්ටු උනාම ඒ ළමයා ඒ ආදරේ කියලා හිතන්න ඇති.”

නිසල් කිසිත් නොපවසා බීම බිඳක් තොලගා ගත්තේ ය.

“ඇත්තටම මට මේ වෙනුවෙන් වෙන විසඳුමක් පේන්න නෑ..”

ඔහු මවෙත දැඩි බැල්මක් හෙළී ය.අනතුරුව ඔහු පැවසුවේ කාලයක් මා ඔහුගෙන් අසන්නට පෙරුම් පුරා බලා හුන් වචන පේළියකි.

“තියනව.. ඔයා පිළිගන්න මං ඔයාට ආදරේ බව. එතකොට තිසුරිට තවදුරටත් මෙතන කරන්න දෙයක් ඉතුරු වෙන් නෑ..”

අතීතයෙන් මිදී වර්තමානයේ මිහිරියාව තේරුම් ගත නොහැකිව හිඳ අහේතුකව සංකල්පට වෛර කළ පවනි මෙතැන හුන්නා නම් ඈ ඉදිරියට පැන සන්තෝසයෙන් මේ උගුල වැලඳ ගන්නා බව මම දනිමි.නමුත් දැන් හිඳන පවනි වෙනස් ය. කල්පනාකාරී ගැහැනියකි.

“ඔයා.. මට ආදරෙයි? මොන පිස්සුවක්ද ඒ.. දරුවෙක් ඉන්න අම්මෙක්ට ආදරේ කරන්නෙ ඇයි ඔයා?”

නිසල් නොපරදින බැල්මකින් මදෙස බලා හුන්නේ ය. ඔහු එක්කෝ කපටි මිනිසෙකි. නැතිනම් හැඟීම් වල අතරමං වූ දුර්වලයෙකි.

“ඔයා හිටියේ තනි වෙලා.සංකල්ප ගැන කොච්චර අවුල් ඔයා මා එක්ක කිව්වද.. මට ඔයාව බලා ගන්න ඕන උනා. ඔයාව සතුටින් තියන්න ඕන උනා. ලෝචනා ඒක තේරුම් ගත්තා මහිතේ. ඒකනෙ තිසුරි තිස්සෙම මං අස්සෙන් තියන්න එයාට ඕන උනෙ.. ඒකෙන් උනේ ඔයා ආයේ සංකල්පට කිට්ටු වෙච්ච එක..”

ඔහු එල්ල කරන පන්දුවලට කල්පනාකාරීව පහර නොදුන්නොත් මා දැවී යන බව මට විස්වාස ය.

“නිසල්,මට හොඳ යාලුවෝ මිසක් ආදරවන්තයෝ ඕන උනේ නෑ. මට ලෝචනා වගේම තමයි ඔයත්.. හොඳ යාලුවෙක්. අනික අහන් ඉන්නෙ නැතිකම මිසක් සංකගෙ වෙන අවුලක් නෑ. අපිට කසාදෙට පස්සෙ ඔච්චර ළඟින් ආස්සරේ කරන්න ලැබුණෙ ඇත්තටම මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ඉතිං අපි ළං උනා.. හොඳ යාලුවෙක්නං ඔයා ඒකට සතුටු වෙන්න එපැයි..”

“සංකල්ප හොඳ මනුස්සයෙකුත් නෙවෙයි පවී.. ඇත්තටම නෑ.මං ඌ ගැන හෙව්වනෙ.. ඊට පස්සෙ තමා මං ඔයාට ආදරේ කරන්න තීරණේ කළේ..”

නිසල් අවසාන් තුරුම්පුව දිග හරිනවා විය හැකි ය. ඔහු කියන්නේ මොන තරම් ගැටලුවක් වුව ද චාරුනී සමඟ එක් වී හෙමින් සීරුවේ ඒ ගැටය ලිහා ගන්නට මම සිතුවෙමි.මේ ඔහු කියන්නේ සැබෑවටම සංකල්ප හැර දැමිය යුතු කතාවක් වුව ද කම් නැත. මගේ ජීවිතය තුළ නිසල්ට අවස්ථා නොදිය යුතු ම ය

“අර එදා සංකල්පගෙ බොස් කෙනෙක් හොස්පිටල් එකට ආවේ, ලේඩි කෙනෙක්. මං ඔයාව එතනට එදා ගෙන්නා ගත්තෙත් ඒකයි.සංකල්පයි එයාගෙයි සම්බන්ධයක් තියනව. සංකල්ප රෑ වෙලා ගෙදර එන්නත් හේතුව ඒකයි.. මට මේක ඔයාට කියන්න විදියක් තිබුණේ නෑ..මට තිසුරිවත් වෙන කාවවත් ෆීල් වෙන්නේ නෑ..මට ඇත්තටම ඕන ඔයා.. මං ඔයාවයි දුවවයි බලා ගන්නං.. අපි ඔයාලගෙ නංගි ඉන්න දිහාට යං පවී..සැනසීමෙන් ජීවත් වෙමු..”

පුහුණු වෙන නළුවෙක් මෙන් දෙබස් කියවාගෙන යන නිසල් ගැන කෝපයකටත් වඩා මට දැනුණේ අපුලකි.ඔහුගේ පන්දුවට හඬමින් දැවී යාම වෙනුවට හයේ පහරක් ගසන්නට මට ජවයක් තිබිණ. එනිසා මා ඔහු දෙස බැලුවේ නිවුණු මුහුණෙනි.

“ඔයා ඔය කියන ලේඩි ගැන මං දන්නවා නිසල්.”

” ඒකනෙ… ඒකයි මේ ඔයා අප්සට් එකේ හිටියේ.ඕවාට අවුල් වෙන්න එපා..එයාට හොඳ නම් ඔයාටත් පුලුවන් වෙන්න ඕන…”

“නෑ නිසල්.. ඔයයි පැටලීමක ඉන්නෙ. මං සංකගෙ සීඊඕ ලේඩි ගැන දන්නව. එයා සංකත් එක්ක අෆෙයා එකක්? ඒක මාත් එක්ක තියනවා කියලා නම් ඔයාට කියන්න පුලුවන් නිසල්. ඒ ලේඩි ලෙස්බියන් කෙනෙක්. එයාට ඉන්නෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එකම අපාට්මන්ට් එකක තමයි එයාල ඉන්නෙත්.. එතකොට..”

මුහුණට පහරක් වැදී ගිය මිනිසෙකු මෙන් නිසල් බලා හුන්නේ ය. මා එතැනින් නැගිට ආවේ සැහැල්ලුවෙනි. සංකගේ කාර්යාල මිතුරෙකුගේ විවාහය දා එකී තරුණිය ඇගේ පෙම්වතිය ද සමඟ ආ හැටි මා දෑසින් දැක සති දෙකක්වත් ගෙවී නැත.ඒ කල් ගිය සම්බන්ධයක් බවට එතැන හුන් කෙල්ලන් ඕපාදූප පැවසූ අන්දම ද මට අමතක නැත. මේ නිසල් හදිසියේ ඇද බෑ බොරුවකි. එතැනින් එහා කිසිත් නැත.

මම ටැක්සියකට නැග ගත්තේ මේ ගැන කියන්නට ලෝචනා සොයා යන්නට සිතමිනි.ඈ බලන්නට සිත් වූ නිසා ඇගේ නිවසට යන බව කියන්නට සිතමින් මම දුරකථනය අතට ගතිමි. එහි මඟ හැරුණු ඇමතුම් නිසල්ගෙන් වූ අතර එක්.කෙටි පණිවිඩයක් විය.

එය තිසුරිගෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles