පළිඟු මන්දිර – අවසාන කොටස

උපාධි නිබන්ධනය අවසන් කිරීමෙන් පසු නිවර්තනා යළිත් ප්‍රංශය බලා නික්ම ගියා ය. ඈ සමු ගන්නා මොහොතේ පළිඟු ඒ තරම් හැඬුවේ මන්දැයි ඇය ම වුව නො දැන හිටියා ය.

“ගියාට මට ඔයාව අමතක වෙන්නෑ. දැං මට මෙහේ නංගි කෙනෙක් ඉන්නව. ආයෙ මං ලංකාවට එන්නෙ ඔයාව බලල යන බලාපොරොත්තුවෙං. නංගිලගෙ ගෙදර යනව කියල”

සිනහ වී සිටියාට නිවර්තනා ගේ ඇස් පත්ලේ නළියන කඳුළක් වූයේ ය.

“මැරි කළාට පස්සෙ දෙන්නා එක්ක ෆ්‍රාන්ස් එන්න ඕනෙ ටික දවසකට. අපි ඇවිදින්න යං ගොඩක්. ඔන්න වෙඩින් එකට මට ඉන්වයිට් නොකර ඉන්න එහෙම බෑ හරිද…”

කුඩා දැරියක ගේ සෙයින් පළිඟු ගේ හිත සනසා තබා යන්නට නිවර්තනා කටයුතු කළා ය. කාත් කවුරුත් නැති ව සිටි ඇය ට හදිසියේ පවුලක් ම මුණ ගැහුණු අයුරු ගැන වත්සලා ගේ හදෙහි වූයේ සැනසීමකි.

වත්සලා හා චමල් අතර විවාහයක් සිදු කිරීම පිළිබඳව අන් සියල්ලන්ට වඩා උනන්දුවක් වූයේ කිසල් ට ය. ඒ වෙනුවෙන් ඔහු දින ගණනාවක් තිස්සේ වත්සලා එක්ක කතා කළේ ය. තර්ක කළේ ය.

“දෛවය ඔය දෙන්නව වෙන් කළා තමයි. ඒත් ඒ දෛවයමනෙ ආයෙ මුණ ගැස්සුවෙත්. ඒ නිකංම නෙවෙයිනෙ ආන්ටි. එදා අත්වැරැද්දක් වෙලා නිසා ඒක කරෙක්ට් කර ගන්න වෙන්නැති”

“උඹ එක්කනං කතා කරල බේරෙන්න බෑ කොල්ලො”

“සතුටෙං ඉන්න මාර්ගයක් තියෙනවනං ඇයි අපි අහක බලා ගන්නෙ…ඔය දෙන්නම ජීවිතේ එක තැනක් වැරදුණ අය. ඒ වැරැද්ද මුළු ජීවිතේ ම විනාස කරල දාන්න ඕන නෑනෙ”

“කිසල් හිතන්නෙ දැං අපි විනාස වෙලා කියලද…”

වත්සලා සිනහ වූවා ය.

“සතුට විනාස වෙලා නැද්ද…”

ඒ ප්‍රශ්නයට නම් ඈ නිරුත්තර වූවා ය. සතුට කියන දේ ජීවිතයේ ඈතින් ඈතට ඇදී ගොස් අඳුරේ දුක් විඳි එක්තරා යුගයක් ඇගේ හිතේ ඇඳී මැකී ගියේ ය. ඒ කිසිත් දැකිය නො හැකි වූ කළු කුහරයකි. අන්ධකාරය ඇගේ හද වෙලා ගෙන තිබිණි. කඳුළින් දෑස් සේදී ගොස්, එහි වූ දීප්තිය කෙමෙන් වියැකී මැකී ගියේ ය. 

පළිඟු වෙනුවෙන් ජීවත් විය යුතු යයි හදිසියේ ම ඇයට සිහිපත් වූයේ ඒ අතර ය. සතුට තිබෙන්නේ තමා තුළ මිස පරිබාහිර තැනෙක නො වන බවත්, තමන් ගේ සතුට සොයා ගත යුත්තේ තමන් ම බවත් පසක් වෙත්දී ඈ අඳුරෙන් නැගී සිටියා ය. මොනවා නැති වී ගියත් ජීවිතය හෝ ඉතිරි වී පවතිත් දී අප ඒ ජීවිතය වෙනුවෙන් ජීවත් විය යුතු ය. ඔවුන් දෙදෙනා නඩත්තු කිරීමේ සටන වෙනුවෙන් වත්සලා පෙනී සිටින්නට ගත්තේ ඉනික්බිති ය. 

නමුත් යළිත් වරක් දීප්තිමත් වූ යමක් ඈතකින් දිස් වන්නට පටන් ගෙන තිබේ!

“පුංචා”

වත්සලා කල්පනා කරමින් උන් මිදුලේ අඹ ගස යට බංකුව වෙත ගිය පළිඟු, වත්සලා ගේ පිටුපසින් ඈ වැළඳ ගත්තා ය. 

“ඔච්චර කල්පනා කරන්නෙපා අනේ”

“මං මුකුත් කල්පනා කරන්නෑ බං”

“මොනා වුණත් මට දැං සැනසීමයි”

“ඇයි…”

“ඔයාගෙ ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්න එක ගැන”

“ඒ ඉතිං උඹේ නිදහසටනෙ. එතකොට උඹල දෙන්නට මං ගැන බලන්න ඕන නෑනෙ”

“සමහර දේවල් තියෙනව වචන වලිං විස්තර කරන්න බැරි. ඒක නිසා ඔයා ඒ විදිහට හිතං ඉන්න. ඒත් ඒක නෙවෙයි ඇත්තම”

“දැං උඹ මොකද්ද කියන්න යන්නෙ…”

“මං ආසයි අපිට පවුලක් තියෙනවනං. ඔයා චූටි මාමව මැරි කරනවනං”

අන්තිමට ඒ තීරණය නොගෙන ඉන්නට වත්සලා අපොහොසත් වූවා ය. ‘ඔයා කැමති දෙයක් කරන්න’ කියා ඈ ඔහු වෙත කෙටි පණිවුඩයක් යැව්වා ය. අවුරුදු ගණනක් තිස්සේ ඔහු ගේ සුව දුක් විමසනු වස් ලියා මකා දමන ලද කෙටි පණිවිඩ හිත ළඟ පෙළ ගැසී ඇයට සරදම් කළේ ය.

එදා වත්සලා රෝස පාට ඔසරියකින් සැරසී සිටියා ය. විවාහය ලියාපදිංචි කරනු වස් රෙජිස්ට්‍රාර්වරයා වෙත ගොස් ඇවිත් පවුලේ අය වෙනුවෙන් කෑම වේලක් පිරිනමන්නට සූදානම් කොට තිබිණි. චමල් කල් ඇතිව ම මොරින් ට මේ බව කියා එදිනට සිය නිවසට ඇරයුම් කළේ ය.

“උඹට පිස්සුද චමල්…සදහටම තනියම හිටපං ඔය ලැජ්ජනැති වැඩේ කරන්නෙ නැතුව”

මොරීන් උදහස් වී කෑ ගැසුවා ය. චමල් මඳහසක් නගා ගත්තේ ය.

“තමන්ට සතුටෙං ජීවත් වෙන්න පුළුවන් තැනක නවතින එක ලැජ්ජ නැති වැඩක් නෙවෙයි අක්කා”

“සතුටෙං ජීවත් වෙන්න වෙන තැනක් හොයා ගන්න බැරි වුණාද මනුස්සයො…ඒකට අර පාං කඩේ ගෑනිවම ඕනෙ උනාද…දැං මං කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ…මොරින් මැඩම්ගෙ මල්ලි බැන්දෙ පාං කඩේ ගෑනිව…මොරින් මැඩම්ගෙ පුතා යාළු වෙලා ඉන්නෙ පාං කඩේ කෙල්ල එක්ක කියල කැම්පස් එකේ ළමයිනුත් හිනා වෙයි. උඹල ඔක්කෝටම මොන පිස්සුවක් වැහිලද…ඇයි දෙයියනේ මට මෙහෙම ලැජ්ජ කරන්නෙ…”

“අක්කා. ඔයා කියපු දේවල් නොකළ කෙනෙක් නෙවෙයිනෙ මං. දැං මටත් අවස්ථාවක් දීල බලන්න”

චමල් කීවේ එපමණකි. කෙසේ වෙතත් එදා ඒ ප්‍රීතිමත් මොහොතේ මොරීන් චමල් ගේ නිවසට පැමිණියා ය.

“ඔයා බොහොම හොඳ තීරණයක් ගත්තෙ මොරීන්. දැං ඉතිං අපේ කාලෙ ඉවරයි. අපි මේ අයට ඉඩ දීල බලං ඉමු”

සනත් මොරීන් වෙත ගොස් ඇගේ උරහිස මත අතක් තබා ගෙන කීවේ ය. ඇය නො රිස්සුමෙන් ඒ අත දමා ගැසුවා ය.

“මං ආවෙ මෙතන සෙලිබ්‍රේට් කරන්න නෙවෙයි සනත්. මෙන්න මේ ටික කියල යන්න”

වත්සලා චමල් ගේ උරහිස පිටුපසට වූවා ය. ඔහු ඇගේ පිටට යන්තම් තට්ටු කොට මොරින් වෙත ආවේ ය.

“ඔවු කියන්න අක්කා. මොනාද ඔයාට කියන්න තියෙන්නෙ…”

“කියන්න තියෙන්නෙ මං උඹව සහෝදර කමෙං අයිං කළා කියල. මීට පස්සෙ මට මල්ලි කෙනෙක් නෑ. දෙමවුපියො නැති වෙච්ච දවසෙ ඉඳලම උඹව හදා ගත්තු මටනෙ උඹ මෙහෙම කළේ…”

“අක්කා”

“කතා කරන්න එපා. කතා කරන්න එපා තව වචනයක්වත්. මං උඹේ අක්ක නෙවෙයි. උඹ මගෙ මල්ලිත් නෙවෙයි. මේ හිඟන හැතිකරේ ලං කර ගත්ත දවසෙ ඉඳලම කරදර”

මොරීන් පළිඟු වෙතට දැඩි බැල්මක් හෙළුවා ය. ඒ බැල්මෙන් ඈ දැවී අළු වී නො ගියා පුදුම ය. පළිඟු බිම බලා ගත්තා ය.

 “හෙටිං පස්සෙ ඔය ළමය කැම්පස් එක පැත්ත පලාතට එන්න එපා. ඒ ස්කොල් එක මෙතනිං ඉවරයි”

“අක්කා…ස්කොල් ඕන නෑ. මං පළිඟු ගෙ ඩිග්‍රි එකට සල්ලි ගෙවනව. ඕගොල්ලංගෙ කැම්පස් එකේ බැරිනං වෙන තැනක හරි ඒක වෙයි”

වත්සලා ගේ නෙතින් ගිලිහුණ කඳුළක් කම්මුල් දිගේ ගලා ගියේ ය. අසරණ වීමේ දී නො හැලෙන කඳුළු, සුරක්ෂිත බවට දැනෙන හැඟීමේ දී ඇතැම් විට ගැහැනු ඇස් වලින් ගලා යයි. පළිඟු ත් ඇයත් තව දුරටත් කාත් කවුරුත් නැති හුදෙකලා ප්‍රාණීන් නො වන බවට හැඟීමෙන් වත්සලා ප්‍රහර්ෂයට පත් ව සිටියා ය. 

“මොරීන්. ඔයා ටිකක් සන්සුන් වෙන්න”

සනත් මොරීන් ගේ උරහිස වටා සිය සුරත දමා ගත්තේ ය. මේ වතාවේ ඕ ගසා බසා දැමුවේ නැත. ඒ වෙනුවට හඬන්නට පටන් ගත්තා ය. ඒ කේන්තිය වැඩි කමට හෙළන කඳුළු බව සනත් දනී.

“අපි කිරිබත් කෑල්ලක් කාල ඉමුද…ම්…”

“මගෙ මළගම දවසට කිරිබත් උයං කන එකයි ඇත්තෙ”

කියමින් ඕ තොමෝ කේන්තියෙන් ම නික්ම ගියා ය. ටික වෙලාවක් යන තෙක් ගෙදර ආලින්දය බරැති සුසුම් වලින් පිරී පැවතිණි. කඳුළු පැල්ලම් පිටින් ම මුළුතැන්ගෙට ගිය වත්සලා තේ පිළියෙල කළා ය.

“අපි දෙන්නටත් ආන්ටි ඔහොම කේස් එකක් අදීද…”

උතුම් කාටත් රහසින් වර්ෂා ට ලං ව ඇසුවේ ය. ඇය කට කොනකින් සිනහ වූවා ය.

“අම්මිගෙ තීරණේට විරුද්ධ වුණ එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ. නැතුව ඔයාගෙ ෆැමිලි එක ගැන ඇඟිල්ල දික්කරන්න හේතුවක් නෑ කියල අම්මි දන්නව. බලමුකො ඉතිං…”

මතු මහලේ ඈ සඳහා වෙන් වූ කාමරය වෙත පළිඟු යත්දී කිසල් සඳැල්ලෙහි සිටිනු දුටුවා ය.

“මොකද මෙතන…තේ බොන්න පහළට යන්න”

කිසල් හෙමිහිට ඈ වෙතට ආවේ ය. ඔහු ගේ ඇස් වල වූයේ මනමාල බැල්මකි.

“මේක අපේ මාමලගෙ ගේ හරිද…”

“ඉතිං…අපිට මොකෝ. මේක අපේ පුංචලගෙ ගේනෙ”

“අපේ චූටි මාමගෙ ගෙදර අපිට ඕන වෙලාවට එන්න පුළුවන්. ඕන්නං දවසක් දෙකක් නැවතිල වුණත් යන්න පුළුවන්. ඒ ආවහම මං ඉන්නෙ අර රූම් එකේ”

කිසල් ඇඟිල්ල දිගු කොට පෙන්වූයේ පළිඟු ගේ කාමරයට යාබද එක ය. ඇය තොල පිට පෙරළමින් අඩැසින් බැලුවා ය.

“ඔයා දැං හරියට නරක් වෙලා කිසල්. යං තේ බොන්න”

“කොහෙද ඉතිං ඔය දුවන්නෙ…”

ඔහු ඇගේ අතකින් අල්ලා තමන් වෙතට ඇද්දේ ය. පළිඟු නතර වූයේ කිසල් ගේ පපුව මැද්දේ ය.

“මට අම්මව තේරෙනව. මං අම්ම එක්ක තරහත් නෑ. එයා ඉක්මනට වෙනස් වෙයි”

“හ්ම්. මැඩම්ට වෙනස් වෙන්න වෙයි. ඒකට ඔයාගෙ උදව් ඕනෙ කිසල්. අම්මගෙං ඈත් වෙන්න හදන්නෙපා. කෙල්ලෙක් නිසා තමංගෙ පණ වගේ හිටපු පුතා එයාලගෙං දුරස් වෙන එක කිසිම අම්ම කෙනෙක්ට දරාගන්න බෑ. ලේලිට වෛර කරන්නෙ ඒකයි. ඒත් මං කවදාවත් අම්මා ගෙං ඔයාව උදුරගන්න හිතන්නෑ. අම්මට වගේ ඔයා අම්මා ට ආදරේ කරන්න. මට වගේ මට ආදරේ කරන්න. ඒ දෙක පටලගන්න තරං මං මෝඩ නෑ”

කිසල් පළිඟු ගේ හිස සිය පපුතුර හොවා හිස් මුදුන සිප ගත්තේ ය. ඔහු ට දැනෙමින් තිබුණේ අසීමිත සැහැල්ලුවකි. ඊයේ තරම් හෙට නරක නොවනු ඇතැයි විශ්වාස කරන්නට ඔහු ට ඕනෑ විය.

-සමාප්තයි-

අලුත්ම නවකතාව “ඔබට ඇහෙනව නම්” සමඟ ලබන සඳුදා මුණ ගැහෙමු

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content