රසායනික ද්‍රව්‍යවලින් තොරව ඔබේ රුව වඩන ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර රහස්.

සෑම කාන්තාවකගේම පැතුම සුන්දර රුවක් හිමිකරගැනීම.ඉතින් ලොකු මුදලක් වියදම් කර මිලදී ගන්නා කෘතීම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද කියන එක විවාද සම්පන්න මාතෘකාවක්.ඉතින් සොබා දහම අපට තිලිණ කරන ස්වාභාවික සත්කාර කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නයි අපේ මේ සූදානම. එදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධ වලිනුත් තොරයි.ඒ වගේම මුදලුත් ඉතිරිවෙනවා.

කොහොඹ

රුව ලස්සන කරන ප්‍රතිකාර අතර ඉදිරියෙන්ම ඉන්නේ කොහොඹ. කොහොඹ ගහේ ඕනෑම කොටසක් රුපලාවන්‍ය කටයුතු සඳහා යොදාගත හැකිවීම විශේෂත්වයක්.

කුරුලෑ වලට – කොහොඹ කොළ ටිකක් අරගෙන උණුවතුරෙන් තම්බා ගන්න. නිවුණු පසු එයට පුළුන් ගුලියක් දමා, එය ජලයෙන් පොඟවාගෙන මුහුණ පුරා ආලේපකරන්න. කොහොඹ, පිපිඤ්ඤා ෆේස් පැක් එකක් භාවිතා කිරීමෙනුත් මුහුණේ තෙල් ගතිය ඉවත් කල හැකියි.

කෙස් වලට -කොහොඹ තෙල් ටිකක් ඇඟිලි තුඩුවලට අරගන්න. ඒවා ආලේප කරමින් හිස්කබල හොඳින් සම්බාහනය කරන්න.

හිස් හොරි වලට -කොහොඹ කුඩු වලට ජලය දමා,තලපයක් සාදාගෙන හිසේ ආලේපකර පැයක් පමණ තබා සෝදා හරින්න. ඉන්පසු ෂැම්පු කරගන්න.

කුංකුම

කුංකුම සමේ පැහැය වැඩි කරවන ස්වාභාවික ද්‍රව්‍යක්. කුංකුම රෝස වතුර සමඟ මිශ්‍ර කර ගන්න. මඳ වේලාවක් තබන්න. ඉන්පසු පුළුන් ගුලියක් පොඟවා මුහුණේ ආලේප කරගන්න.

කුංකුම එළකිරි සමඟ මිශ්‍රකර පැය භාගයක් පමණ තියන්න.සඳුන් කුඩු තේ හැන්දක් එම මිශ්‍රණයට දමන්න.මුහුණේ ආලේප කර විනාඩි 15 -20 පමණ තබා සෝදා හරින්න.

මී පැණි

පහසුවෙන් ලබා ගත හැකි මී පැණි ඉතාමත් ජනප්‍රිය සත්කාරයක්. මී පැණි මඟින් සමට තෙතමනය වගේම කැළැල් ඉවත් කිරීමටත් යොදා ගන්න පුළුවන්. පිළිස්සුම් හෝ වෙනත් තුවාල කැළලක් මත නොකඩවා මී පැණි ආලේප කිරීමෙන් ඉක්මනින් කැළල මකා ගන්න පුළුවන්.

නෙල්ලි

නෙල්ලි කුඩු හෝ යුෂ ගෙන ඒ ප්‍රමාණයටම දෙහි යුෂ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර හිස් කබලට ආලේප කරන්න.වියලෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

කහ

කහ රුපලාවන්‍ය කටයුතු සඳහා නැතිවම බැරි දෙයක්. සමෙහි රැළි අඩුකරගැනීමට කහ බෙහෙවින්ම උපකාර වෙනවා.

සහල් කුඩු කරගන්න. එළකිරි සහ තක්කාලි යුෂ ගෙන මේ සියල්ල කහ සමඟ මිශ්‍ර කරන්න.එවිට හැදෙන උකු මිශ්‍රණය සමෙහි ආලේප කර වියලෙන තුරු තබන්න. පසුව සෝදා හරින්න.

කකුල් පැලෙනවාට – කහවලට පොල්තෙල් මිශ්‍ර කරන්න.ස්නානයට පෙර පාදයේ පැලුම් ස්ථාන වල ආලේප කර විනාඩි පහළවක් පමණ තබා සෝදා හරින්න.

සඳුන්

සඳුන් වලට අමුකිරි මිශ්‍ර කර,එය මුහුණේ තවරා,විනාඩි විස්සක් පමණ තබන්න. ඉන්පසු සෝදා හරින්න.

ඉතින් මේ අප ඔබට ඉදිරිපත්කල ස්වාභාවික සත්කාරයන් විවේක වේලාවකදී අත්විඳින්න ඔබ උනන්දුවේවි කියලා අප හිතනවා.රුව ලස්සන කරගැනීමට අමුතුවෙන් මහන්සි වෙන්න ඕනා නෑ කියලා ඔබට හිතේවි.මේ සියල්ලම එදිනෙදා අපට පහසුවෙන් ගෙදර දොර හමුවන මෙන්ම පහසුවෙන් සොයා ගත හැකි ද්‍රව්‍ය නිසා.

Related Articles

Don't Miss


Latest Articles