Chat With Smart Lady – අභිෂේකා විමලවීර

මේ දවස් වල බොහෝ දෙනා කතාබහ වෙන ගීතයක හිමිකාරිය ඇය. ගායනයට වගේම ගීත රචනයටත් ඈ තුල තියන හැකියාව මේ වනවිටත් ඔබව පුදුම කරලා ඇති. ඇය අභිශේකා විමලවීර. අද Chat With Smart Lady කතා බහ දිග හැරෙන්න ඇය එක්ක.

මතක , පහුගිය දවස් හත ඇතුලත Youtube top artist list එකේ දෙවනි තැනට ඔබව ගේන්න සමත් වෙලා තියනවා. ඒ ගැන අපි කතා කරමු.

ඔව්. ” මතක ” නිසා පහුගිය දවස් හත ඇතුලත Youtube top artist list එකේ මං දෙවනි තැන ඉන්නවා මේ වෙද්දි.ඇත්තටම ඒක මගේ හීන ලැයිස්තුවේ තිබ්බ දෙයක් නෙමෙයි. “නිස්සාර ” ට 1 million views ගන්න මාස හයක් විතර ගියා.නමුත් ” මතක ” ඒක සතියෙන් කලා.එහෙම බැලුවොත් මෙතෙක් කරපු නිර්මාණ වලින් සාර්ථකම එක ” මතක ” කියන්න පුලුවන්.

මේ ගීතය මේ තරම් ආදරයට පාත්‍ර වෙන්න එහි පද ලොකු හේතුවක් වෙලා තියනවා. කොහොමද මෙහෙම ගීතයක් ඔබ අතින් ලියවුණේ?

සාමාන්‍යයෙන් සින්දුවක් ලියනකොට අපි කප කප,හද හද නේ ලියන්නේ.මේ සින්දුව එකපාරටම එක වචනයක් වත් කපන්නෙ නැතුව ලියපු සින්දුවක් එක හුස්මට.දිවුල්ගනේ මහත්මයා එක්ක සින්දුවක් කරන්න ඕන කියලා මම කාලයක් හිතන් හිටියා.එතකොට මම එක එක පද රචකයන් ලියපු ගීත දහයක් පහලවක් විතර යවලා තිබුණේ ඒ වෙනකොට.හැබැයි ඒ ඔක්කොම ප්‍රතික්ෂේප උනා වචන හරියන්නේ නෑ කියලා.මොකද මම හිතුවෙ නෑ මට එච්චර හොඳට ලියන්න පුලුවන් වෙයි කියලා.ඒ නිසා එක එක අයට කියලා ලියාගත්ත ඒවා යැව්වා.මොකද දිවුල්ගනේ මහත්මයා කිව්වේ ඉතිහාසයේ එයා ගායනා කරපු හැම සින්දුවකම වචන තමයි එයා බැලුවේ කියලා.ඉතින් වෙනසක් ඕනේ කියලා තමයි එතුමා කිව්වෙ.ඉතින් කෝකටත් කියලා මම මේකත් දැම්මා.ඊට පස්සෙ එතුමා ඇහුවා මේක මෙච්චර කල් කොහෙද තියන් හිටියේ ,මේක වෙනස්, මේක කරමු කියලා.කවුද ලිව්වෙ ඇහුවම මම කිව්ව මම ලිව්වෙ කියලා.මම හිතුවා ආයෙ ප්‍රතික්ෂේප වෙයිද දන්නේ නෑ කියලා මම ප්‍රවීණයෙක් නොවෙන නිසා.නමුත් එතුමාට අදාල උනේ වචන ටික විතරයි .ලිව්වෙ කවුද කියන එක නෙමෙයි. ඉතින් ඔහු හරිම කරුණාවන්ත හොඳ හදවතක් තියන ,අලුත් අයට අත දෙන ජේෂ්ඨ කලාකාරයෙක්.හරිම සතුටුයි එතුමා එක්ක සින්දුවක් කියන්න ලැබුන එක ගැන

සමාජයේ මතයක් තියනවා කලාකරුවෙක් ටික කාලයක් නිර්මාණ නොකර හිටියොත් ඔවුන්ව ප්‍රේක්ෂකයාට අමතක වෙනවා කියලා. ඒත් ඔබ කාලයකට සැරයක් නිහැඬියාව බිඳිමින් එළිදක්වන නිර්මාණ පවා ප්‍රේක්ෂකයා තදින් වැළඳගන්නවා.මේකට හේතුව විදියට ඔබ දකින්නේ මොකද්ද ?

ඒකට හේතුව මම දකින විදියට ,මම කරන වැඩේ ගැන මම සෑහෙන්න හිතනවා. ” නිස්සාර ” ගීතය කරලා ඊළඟ ආදර ගීතය කරන්න මට අවුරුදු හතරක් විතර ගියා.ඒ අවුරුදු හතර ඇතුලත මම කල්පනා කරනවා ඊලඟ එක මොකද්ද කරන්න ඕනෙ කියලා.මගේ ඊලග ගීතය සමහරවිට සති දෙකකින් එයිද දන්නෙත් නෑ.හැබැයි ඒ එන එක මට දැනෙන්න ඕන.මට දැනුනෙ නැත්තම් මම ඒ වැඩේ කරන්නෙ නෑ.මම කරපු හැම නිර්මාණයකටම මම වග කියනවා.ඒ සින්දුව අහද්දි මම ඉස්සෙල්ලා බලනවා මට ඒක දැනෙනවද කියලා.මට ඒක දැනෙන්නෙ නැත්තම් අනිත් මිනිස්සුන්ටත් ඒක දැනෙන්න බෑ කියන මතයේ තමයි මම ඉන්නෙ.ඉතින් මගේ චැනල් එකට ගිහින් ඒ තියන සින්දු ටික අහද්දි තාමත් මට අප්පිරිය නැතුව අහන්න පුලුවන් .ඊලඟට සින්දුව කරන අදහස තව සති දෙකකින් මගේ ඔලුවට ආවොත් මම ඒක දානවා.මම කියන්නෑ සෑහෙන කාලයක් ගන්න ඕන කියලා වැඩක් කරන්න.මම කරන වැඩේ මට දැනෙන මොහොතේ මම එලියට දානවා.ඒ වචන ටික දැනුනොත් මම ඒක ගීතයක් කරනවා.ගීතය මට හිතුනොත් මම විශුවල් එකක් කරනවා.එහෙම සින්දු හදලා රෙකෝඩ් කරලා තියන සින්දු හුඟක් තියාගෙන ඉන්නවා තාම එලියට දාපු නැති.මොකද ඒවා මට දැනිලා නැති නිසා.

ආදරය කියන දේ එකිනෙකාට දැනෙන විදිය වෙනස්. ඔබට කොහොමද ආදරය දැනෙන්නේ?

ආදරය කියන දේ මං හිතන්නේ චූටි කාලෙ ඉඳන් ගත්තම එක එක කාර්තු වල අපිට දැනෙන විදිය මාර වෙනස්.අවුරුදු 18 දී ප්‍රථම ප්‍රේමය දැනෙන විදියට නෙමෙයි අපිට අවුරුදු 25 ආදරය දැනෙන්නෙ.අවුරුදු 25 දි දැනෙන විදිය නෙමෙයි 30 දි දැනෙන්නෙ.මේ වෙනකොට මම තේරුම් අරන් විදියට ආදරය කියන්නේ ශරීරයේ වෙන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක්

විවාහක කාන්තාවක් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?

කාන්තාවක් හෝ පිරිමියෙක් බොහෝ වෙලාවට සම තැන කියලා කතාවක් හදාගන්නවනේ.මම කියන්නේ ඔය සම තැන ඉල්ලන එකෙන්ම වෙන්නෙ කාන්තාව දෙවනියා කියලා පිලිඅරගෙන කියන එක.අපි කසාද බඳිනකොට හොයන්නේ අපිට වඩා උස පිරිමියෙක්. අපිට වඩා පිරිමි ළමයා කොට උනොත් හුඟක් වෙලාවට ඒ කසාදේ කෙරෙන්නෙ නෑ.ඒ කියන්නේ automatically අපි ඉල්ලා හිටිනවා අපි තමයි දෙක කියලා .හැබැයි ඒ දෙක කියන එකේ තේරුම තමන්ගෙර් තියන talent එකෙන් දෙක කියන එක නෙමෙයි.මගෙ තාත්තා හැමතිස්සෙම කියපු දෙයක් තමයි, කවදා හරි කසාද බැන්දම ගෑනු කෙනා ඉන්න ඕන චුට්ටක් පිරිමි කෙනාට ගරුත්වය දීලා කියලා. ඒකෙන් අදහස් කරන්නෙ නෑ පිරිමි කෙනා ගෑනු කෙනාට ගරු කරන්නෙ නෑ කියලා.ගෑනු කෙනෙක් සමහර වෙලාවට සම තැන නෙමෙයි ඉන්නෙ ඊටත් ඉස්සරහින්.මේ ලෝකේ ගැහැනියකට කරන්න බැරි දෙයක් නෑ.අපි සම තැන ඉල්ලන එකම අපරාදෙ.සම තැන නෙමෙයි මූලික තැනටත් ඉස්සරහින් තමයි අම්මා කෙනෙක් ඉන්නේ.අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරනව කියන එකෙන්ම ඒ පිලිගැනීම ලැබිලා ඉවරයි.ඒ නිසා මම කියන්නෙ ගැහැනියක් නෙමෙයි පිරිමියෙක් පවා හම්බ කරන්න ඕන.මම කියන්න උත්සහ කලේ ,පිරිමියාට වෙනවා නම් කසාද ජීවිතේ ඇතුලේ ගැහැනියගෙන් සල්ලි ඉල්ලන්න,අන්න ඒ ඉල්ලනකොට ඇතිවන ලැජ්ජාවම ගැහැනියෙක්ට ඇතිවෙන්න ඕන.ඉස්සර කාලේ ඉඳන් පිරිමි කියන්නෙ දඩයක්කාරයෝ කියලනෙ අපි කියන්නෙ.ගැහැනු කියන්නෙ ඒ දඩයක්කාරයා ගේන දේ හදලා දෙන කෙනාට.එතකොට භාණ්ඩ හා සේවා හුවමාරුවක් ඉස්සර ඉඳන්ම වෙලා.අද වෙනකොට ගැහැනු hunter බවට පත් වෙලා ඉන්නෙ ඇතැම් අවස්ථා වල.පිරිමියා තමයි උයලා දෙන්නෙ.තමන්ගෙ තියන වගකීම් යුතුකම් කියන එක මාරු වෙලා.එතකොට මං කියන්නෙ පවුල් ජීවිතය ඇතුලේ ගෑනු කෙනෙක්ට පිරිමියාගෙන් සල්ලි ඉල්ලන්න ලැජ්ජ හිතෙනවා වගේම පිරිමියෙක්ටත් හිතෙන්න ඕන.මං හරි ආසයි ඔය ප්‍රශ්නෙ වෙනස් වෙන දවසට.හැමදාම අපි අහන්නෙ ගෑනු කෙනෙක් හැටියට ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕන කියලා.කොච්චර ඉන්නවද ලංකාවේ ගෑනුන්ගෙන් නඩත්තු වෙන පිරිමි.කවුරුත් ඒක ගැන අහන්නෙ නෑ.නිකමට හිතන්න ගෙදරක අම්මගේ වගකීම් ටික අයින් වෙලා ගියොත්? ගැහැනු පිරිමි මතත්,පිරිමි ගැහැණු මතත් depend වෙනවා.දෙගොල්ලන්ට දෙගොල්ලන්වම ඕන.මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ වෙනස් වෙන්න ඕන කාලය ඇවිල්ලා.

දියණියක් ඉන්න මවක් කියන්නේ ලොකු වගකීමක්. ඔබට තියන ඒ වගකීම ගැන කතා කලොත්?

දියණියක් විතරක් නෙමෙයි.දරුවෙක් කියන පොදු කුලකය ගත්තම ලොකු වගකීමක්.මොකද දරුවෙක්ව බිහි කරන්න ඉන්න කාන්තාවක් අඩිය තියන්නේ ,කන්නේ ,වතුර ටිකක් බොන්නේ ,කූල් වතුර ටිකක් බොන්නෙ ,උනු වතුර ටිකක් බොන්නෙ ගොඩක් හිතලා.ඒ වගේම වාහනේක යන්නෙ බෑ. Pregnant කියලා දැනගත්ත මොහොතේ ඉඳලා අම්මාට එනවා පුදුමාකාර වගකීමක්.ඊට පස්සෙ හිතනවා දරුවා ඉපදුනාම හරි කියලා.හැබැයි ඉපදුනාම හරි නෑ.අම්මට නින්දක් නෑ.කියන්න දෙයක් නෑ අම්මා තාත්තා විඳින දුක ගැන.හැබැයි ඒ වගකීම විඳින්නම ඕන පුදුමාකාර සුන්දර අත්දැකීමක්.සමහර වෙලාවට අපිට හිතෙනවනෙ ළමයෙක් හදන එක හරිම කරදරයක් කියලා.මං කියන්නෙ ඒ වගකීම ඇතුලේ තමයි මනුස්සයෙක්ට ජීවිතේ කියන එක දැනෙන්නේ.මේක හරි සාපේක්ශ කතාවක්.සමහර අයගෙ අරමුණු වෙනස් වෙන්න පුලුවන් ,ළමයි නැති අය ඉන්න පුලුවන්.ඒ අය තමන්ගෙ ජීවිතේ අරමුණු වෙනස් කරගන්නව තමන්ට ජීවත් වෙන්න.ජපානයේ කියමනක් තියනවා ” ඉකිගායි ” කියලා.ඒ කියන්නේ උදේ ඇහැරිලා ඇඳෙන් බිමට පනින්න අරමුණක් තියෙන්න ඕන.සමහර වෙලාවට මේ වෙලාවෙ මගේ අරමුණ බබාව බලාගන්න එක, එයා වෙනුවෙන් දේවල් කරන එක.තව කෙනෙක්ගෙ අරමුණ ඒක නොවෙන්න පුලුවන්.සමහර වෙලාවට පවුල් ජීවිතේ පැත්තෙන් බින්දුවේ ඉන්න මනුස්සයෙක් බිස්නස් පැත්තෙන් පීක් එකේ ඉන්න පුලුවන්.ඉතින් දරුවෝ ඉන්න අයට දරුවෙක් කියන්නෙ වගකීමක් ,බරක් ඒ වගේම ජීවත් වෙන්න ” ඉකිගායි ” එකක්.ඒ කියන්නෙ ජීවත් වෙන්න හේතුවක්.

ගොඩක් කාන්තාවන් අතරමං වෙන තැනක් තමයි තමන් වෘත්තීමය වශයෙන් ඉදිරියට යන්න ඕන මොන අංශයෙන්ද කියලා. ඇත්තටම කාන්තාවක් කොහොමද තමන්ගේ පාර හොයාගන්නේ ?

මගේ පැත්තෙන් මට ඔය ප්‍රශ්නේ ලොකුවට තිබ්බා.මොකද මට කරන්න පුලුවන් දේවල් හුඟක් තිබ්බ.සින්දු කියන්න, ලියන්න , රඟපාන්න ,econ පැත්ත, journalism , IR පැත්ත ,music , beauty culture පැති වලින් ඕන දෙයක් කරන්න පුලුවන් මට. තමන්ට තියන opportunities වැඩිවුනාම හිතාගන්න බැරිවෙනවා කොයි එකද මට වැඩියෙන් පුලුවන් ,කොයි එකද මම කරන්න ඕන කියලා.එතනදි මම තෝරගත්ත එක තමයි මම රස්සාවක් කරනවා කියලා මට දැනෙන්නෙ නැති වෘත්තීය මොකද්ද කියලා.ඒ කියන්නෙ මට අඩුවෙන්ම පීඩනයක් තියෙන්නෙ මොකේද ,මම අඩුවෙන් මහන්සි වෙලා වැඩි ප්‍රතිලාබයක් ගන්නෙ මොකේද කියලා.ඒක තමයි රූපලාවණ්‍ය කියන්නෙ.හැමදාම උදේට සැලෝන් එකට යනකොට මට හිතෙන්නෑ මම වැඩට යනවා කියලා.ඒක මගේ ජීවිතේ කෑල්ලක්.කවුරුහරි ගැහැනියකට උදේට නැගිටලා වැඩට යන එක වදයක් නම් එයා කරමින් ඉන්නෙ වැරදි රස්සාව

ව්‍යාපාරික කාන්තාවක් ,මවක් සහ ආදරණීය බිරිඳක් හැටියට ඔබ කොහොමද ඔබේ කටයුතු කළමනාකරණය කරගන්නේ ?

සාමාන්‍ය මනුස්සයෙක් හැටියට මටත් අතපසු වෙන දේවල් තියෙන්න පුලුවන්.හැබැයි මම හරිම අඩුවෙන් අතපසුවීම් කරන්න කැමති කෙනෙක්.මම Perfectionist කෙනෙක්, හැම වැඩකම සීයට සීය බලාපොරොත්තු වෙන කෙනෙක්.ඒ නිසා මගෙ අතින් වැරදි වෙනවා අඩුයි.මම හැම එකක්ම තිතටම බලනවා.මොකක් හරි වැඩක් කලාම ඒක හරියටම හරිද කියලා.ඒ නිසා තාම මට එහෙම complaint එකක් ඇවිල්ල නෑ ඔයා මේක කරේ නෑ අරක කරේ නෑ කියලා.බබා කියලත් නෑ ,හස්බන්ඩ් කියලත් නෑ.යුතුකම් පැත්තෙන් මට පුලුවන් හැමදේම කරලා තියනවා.ඒකට හේතුව මගෙ චරිත ස්වභාවය අනුව මම හැමදේම හරියටම කරන්න උත්සහ කරන කෙනෙක්.එහෙම කරේ නැත්තම් මටම පොඩි අවුලක් තියනවා මගෙ අතින් මේක මිස් උනා කියලා.පොඩි කාලෙ ඉඳන්ම මම එහෙමයි.ඒ නිසා පවුලද රස්සාවද කියලා වෙනසක් නෑ.බබාව උනත් එයා විභාගයකට මුහුණ දුන්නත් වැඩිම ලකුනු ගන්න, කොහෙ හරි ගමනක් ගියත් ලස්සනටම ඉන්න තමයි ඕනෙ.ඒ වගේම ගතිගුන වලින් ආකල්ප වලින් හොඳම ළමයා කරන්න තමයි ඕනෙ.ඒක තමයි මගේ අරමුණ

ජීවිතේ “මතක” අතර තනිවුනු අයට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ ?

“මතක ” අතර තනිවුන අය කරන ලොකුම වරද තමයි ඒ මතක අමතක කරන්න උත්සහ කරන එක.උදාහරණයක් විදියට අපි හිතමු කෙනෙක් එක්ක යාලුවෙලා හිටියා ,ඒක breakup උනා කියලා.අපි ඒ පාරවල් වල යන්නෑ ,ඒ පින්තූර ඔක්කොම ගිනි තියලා දානවා,එයා එක්ක අහපු සින්දු අහන්නෑ, දුක හිතෙන ඒවා බලන්නෑ ,කපල් එකක් දැක්කත් කේන්ති යනවා.වැඩ වැඩියෙන් කරලා බිසී වෙනවා,සමහර වෙලාවට ඩිප්‍රෙශන් වලට බෙහෙත් බොනවා,ඒ කරලත් අමතක වෙන්නෑ. ඉතින් මතකය කියන්නෙ මානසික ප්‍රශ්නයක්.එක්තරා මානසික ලෙඩ වර්ගයක් තියනව.ඒක හොඳ කරන්න පුලුවන් ඒක තුලින්මයි.එතකොට මතක කියන්නෙත් භීතිකාවක්.ඒක නැති කරගන්න මතක අමතක කරගන්න බෑ.වැඩියෙන් ඒ මනුස්සයා එක්ක හිටපු තැන්වලම යන්න ඕන.වැඩියෙන් ආදර සින්දු අහන්න ඕන.මගේ තාත්තා කියලා හිතන්න.හුගක් වෙලාවට කරන්නෙ පින්තූර හංගලා පේන්නැති වෙන්න තියන එකනෙ.නෑ.ඒක සාමාන්‍ය දෙයක් වෙන්න ඕන.පින්තූර හැමවෙලේම ඇස් ඉස්සරහා තියෙන්න ඕන.එතකොට ඒක ගෙදර තියන සාමාන්‍ය බඩුවක් වෙනවා.හැංගිලා තිබ්බම වතුර යට තියන බෝලයක් වගේ අපි අපේ ඔලුවම command එකක් දෙනවා අමතක කරන්න කියලා.මතක අමතක කරන්නැති තරමට ඒක අමතක වෙනවා.මතක අමතක කරන්න ට්‍රයි කරන තරමට ඒක මතක් වෙනවා !

ඉතින් , අපි ඔබට ආරාධනා කරනවා ඇගේ ” මතක ” නරඹන්න, ඒ මතක අතර මොහොතකට තනිවෙන්න කියලා.තවත් බොහෝ හරවත් නිර්මාණ කලා ලෝකයට දායාද කරන්න ඇයට ශක්තිය ලැබෙන්න කියලා Smart Lady අපි ඇයට සුබ පතනවා !

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles