fbpx

ඔබට ඇහෙනව නම් – 1

පෙර දා රාත්‍රිය පුරාවට ඇද හැළුණ වැස්ස නිමාවට පත් වූයේ පාන්දර යාමයේ ය. හෝරා ගණනාවක් තිස්සේ පැවති කුණාටු සුළඟ සහ දෙපත් කපමින් වැස්ස ධාරාණිපාත වර්ෂාව නිසාවෙන් පුද්ගල සහ දේපල හානි බෙහෙවින් සිදුව ඇති බව අළුයම ප්‍රවෘත්ති විකාශයෙන් කියවිණි. රැකියාවට වාර්තා නො කර ඉන්නට සිතීත් මම යළි සූදානම් ව පැමිණියෙමි. ගෙදර හිටියා ය කියා කුමක් නම් කරන්න ද?  වැහි හඬ අසමින් යහනේ ගුළි වූ විට සිදු වන්නේ අතීත ස්මරණයන් අතරේ හිත අතරමං වෙන එක පමණකි. අඩු තරමින් තුරුලු කොට ගෙන සිප සනසන්නට මපුතු හෝ සිටියා නම්… කසුන් මගෙන් උදුරා ගත්තේ මගේ යෞවනය හා පෙරුම් පුරා ගිය කුළගෙය පමණකුදු නොවේ. අකාරුණික ලෙස තෙහැවිරිදි පුතනුවන් ද මගෙන් උදුරා ගත්තේ ය. සියල් අහිමි වීම් සම සිතින් විඳ දරා ගන්නට මට පුළුවන. අසීරු ම දෙය පුතා මගේ තුරුලේ නැත කියා සිතන එක යි.

කාර්යාලයට යාම සඳහා විජේරාම හන්දියෙන් බසයෙන් බැස උඩහමුල්ල දෙසට මඳක් ඇවිද යා යුතු ය. පාවහන් වලට මඩ දිය නො එන සේ මම පරිස්සමට පිය තබමින් ගියෙමි. පාර බලනවාට වඩා මා බලා ගෙන ගියේ මගේ දෙපා දෙස ම යයි කිව හැක. කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙසින් මා මඩ වතුර පහරකින් නැහැවී ගියේ එසේ පිය නගත්දී ය.

“අනේහ්”

මට කෑ ගැසිණි. ඒ සමගින් ම මගේ දෙපා රිය වෙතට ඉක්මන් වූයේ මටත් සිතා ගත නො හැකි කේන්තියකිනි. රිය වේගය ඉතාමත් බාල වෙමින් ද රියදුරු අසුන ළඟ පැති වීදුරුව පහත් වෙමින් ද තිබිණි. 

“මොකද්ද මෝඩයො ඒ කරපු වැඩේ…”

“සොරි”

රියදුරු අසුනේ උන් තරුණයා ගේ තැඹිලි පාට යටි තොල යන්තමින් සැළිණි.

“සොරි කිව්වහම හරියයිද දැං…මොළයක් නැද්ද නැත්තං ඇස් දෙක පේන්නැතුවද ඩ්‍රයිව් කරන්නෙ…ඕක ඇතුලට නැගල වහගත්තහම හිතෙන්නැද්ද මේ පාරෙ පයිනුත් මිනිස්සු යනව කියල…”

“හරි හරි ඉතිං සොරි කිව්වනෙ”

කිසි සේත් සමාව අයදින ස්වරයක් නැති දැඩි ස්වභාවයකින් එසේ පවසමින් වීදුරු කවුළුව වැසිණි. බොර දිය දෙබෑ කරමින් රිය ඉගිල ගියේ ය.

මගේ හෘදය ස්ඵන්දන වේගය වැඩි වී ඇති බව මට දැනිණ. මා ශ්වසනය කළේ ඉක්මන් හා කෙටි හුස්ම ලෙස ය. පුළුවන් කමක් තිබිණි නම් ඔහු ගේ කමිසයෙන් ඇද මම කම්මුල් පහරක් ගසමි. හිතේ ආවේගය ඒ තරම් උණුහුම් ය.

කාර්යාලයට ගිය ගමන්, මඩ දිය ඉහිණු ඇඳුම මම ලේන්සුවක් තෙමා පිහිදුවෙමි. මේ වගේ තෙත් බර දිනයෙක මේ විදිහට තෙත ඇඳුම් වලින් ඉන්න සිදු වෙනවා කියන්නේ හිත කීරි ගස්වන්නකි. 

“අර ගොං තඩියව අහු වුණානං මට…”

මම දත් මිටි කෑවෙමි. 

මේ විදිහට හිත කේන්තියෙන් පිරී යාම දැන් දැන් නිතර ම මම මවෙතින් දකිමි. දික්කසාදයේ අකුණු සර දරුණු ලෙස වැදීමෙන් පසු, කේන්ති යාම සහ නො රිස්සුමත්, නින්ද නො යාමත් මා පීඩාවට පත් කරමින් යට කර ගෙන ඇති බව මට දැනේ. ක්ලමථය හා විශාදය වැනි මානසික පීඩනයන් හි ගොදුරක් බවට මා පත් වී ගෙන එන බව මට ම දැනේ. 

“නිම්නා මිස්ට සර් කතා කරනව”

කාර්යාල කාර්ය සහායක සරත් හඬ නගා එසේ කීවේ මා විදුලි පංකාවක් යටට වී ඇඳුම් වල තෙත වියළන්නට උත්සාහ කරත්දී ය. මුද්‍රිත මාධ්‍ය ආයතනයක් වන සන් පබ්ලිකේෂන්ස් හි අධ්‍යක්ෂවරයා වන ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ ලේකම් වරිය ලෙස මා පත්වීම් ලබා දැනට වසරකට ආසන්න ය. සැබවින් මා ලේකම් වරිය වූවාට මට කරන්නට සිදු වූයේ කොහෙත් ම තනතුරට අදාල කාර්යයන් නොවේ. නැතහොත් මා විසින් පවරා ගන්නා ලද්දේ රාජකාරියට  පිටස්තර කටයුතු වන්නට ඇත. එසේ වූයේ ආයතනයෙහි අධ්‍යක්ෂවරයා වශයෙන්, ඔහු ගෙන් වැටුප් ලබන සේවකයන් අතින් ම ඔහු දරුනු රැවටීමකට හා වංචාවකට ලක්ව සිටින බව තහවුරු වූ හින්දා ය. ඉතා හොඳ ස්වාමියෙකු ලෙස සේවකයන්ට සැලකූ ඔහු ට එසේ වනු මට බලා සිටිය නො හැකි වූයේ ය. එහෙයින් වංචාවන් හැකි තාක් අවම කර ගත හැකි අලුත් අණ පනත් හඳුන්වා දෙන්නට මැදිහත් නොවී සිටීම මට කළ නො හැක්කක් විය. ඒ නිසා ම ඇතැම් සේවකයන් මදෙස බැලූයේ සැතිරක දෙස බලනාකාරයෙනි.

“කාර්ය භාරයක් නැති ඇමතිනී”

ඔවන් මා හඳුන්වන්නට යොදා තිබූ අන්වර්ථ නාමය එය බව මම දැන සිටියෙමි.

“හැම මගුලටම අත දාන ඇමතිනි”

මා ගැන එසේ පවසා ඔවුහු සිනාසුණහ. නමුත් මා පෙනී සිටියේ සත්‍යය වෙනුවෙනි. ඒ නිසා ඇතැම් විට කනට ම ඇහුණු පිහි තුඩු වන් කතා වලින් පවා සිත රිදවා නො ගෙන ඉන්නට මම උත්සාහ කළෙමි.

“ගුඩ් මෝනිං සර්”

මම වීදුරු කුටියේ පසෙකට වීමි.

“ඔය මොකද නිම්නා තෙමිච්ච කිකිළි වගේ…තාම වහිනවද…මේ වැස්සෙ කුඩයක් නැතුවද ළමයො ආවෙ…”

හෙතෙම එක පෙළට ප්‍රශ්න කිහිපයක් අසාගෙන ගියේ ය. එතුමා අස කවදත් මට දැනෙන්නේ තාත්තා ළඟ දී දැනෙනාකාරයේ සුරක්ෂිත බවක් හා ගෞරවයකි. මේ මොහොතේත් ඒ මුහුණ මත වන්නේ පීතෘ ස්නේහය තැවරුණ මඳහසක සේයාවකි.

“අනේ බලන්න සර්. නැවක් වගේ ලොකු කාර් එකක් තිබුණට ලූණු බිකක් තරං මොළයක් නැති රස්තියාදුකාරයෙක් මගෙ ඇඟට මඩ වතුර විසික්කරගෙන ගියා. මං දැං ඇවිත් හේදුව”

“පුදුමයි ඒ කොල්ලා නිම්නා ගෙං බේරිලා ගියා”

ශ්‍රීනාත් මහතා තරමක් හඬ නැගෙන සේ හිනැහුණේ ය.

“කාර් එකක් ගන්න සල්ලි තිබුණට ඒක පදින්න තරං ඔළුවක් නෑ සර්. හුඟක් දුරට ඒක ඒ රස්තියාදුකාරය හම්බ කරපු සල්ලි වලිං ගත්ත එකක් වෙන්නනං බෑ. ශුවර් එකටම තාත්තගෙ සල්ලි වලිං ගත්ත එකක්”

“හරි හරි මං කිව්වනෙ සොරි කියල. එක සැරයක් නෙවෙයි දෙසරයක්ම කිව්ව”

මා උඩ ගොස් බිම වැටෙන්නට ඇත. අධ්‍යක්ෂවරයා ඉදිරියේ වන විධායක අසුන් යුග්මයෙන් එකක හිඳ උන් තරුණයා පුටුව කරකවමින් මවෙතට හැරුණේ ය. ඒ වන තෙක් ම ඒ අසුනේ කිසිවෙකු හිඳින බව මා දැක තිබුණේ නැත. එසේ නම් ඔහු කවරෙකු වී ද අධ්‍යක්ෂවරයා ගේ අමුත්තෙකි.

“ඒ කියන්නෙ මෙයාද නිම්නාව මඩ වතුරෙං නාවපු රස්තියාදුකාරය…”

“මොන වදයක්ද…ලංකාවෙ මිනිස්සුංගෙ ආකල්ප කවදාවත් හදන්න බෑ. මේ දූපත් මානසිකත්වය තියෙනකල් මේ රට දියුණු කරන්නත් බෑ”

මගේ උගුර කට වියළී ගෙන ආවේ ය. යටි තොල සපා ගෙන මා ශ්‍රීනාත් මහතා දෙස බැලූයේ සමාව යදින ඇස් දෙකකිනි. ඔහු නැවත වතාවක් කොක් හඬ ලා සිනාසුණේ ය.

“නිම්නා ගෙස් කළා හරියටම හරි. තාත්ත හම්බ කරපු සල්ලි වලිං ගත්ත කාර් එකක් තමයි ඒක. මං නිම්නාට කැමති ඕකමයි. හරිම තැනිං යමක් අල්ලගන්න තියෙන හැකියාවට”

“තාත්ත හම්බ කරපු සල්ලි වලිං ගත්ත කා එක දිගටම පදින්න මගෙ අදහසක් නෑ කොහොමත්. මං මගෙම කා එකක් ගන්නව ඉක්මනට”

එසේ නම් ඔහු අධ්‍යක්ෂවරයා ගේ පුතණුවන් ද? ඔහු ගේ පුත්‍රයා විදේශගත ව අධ්‍යාපනය ලබන බව මම දැන සිටියෙමි. නමුත් මා සිතූයේ ඔහු බාල වයස්කාර පුත්‍රයෙකු කියා ය. උදේ පාන්දරින් ම කන් වල ඇඟිලි ගසා ගන්නට මා දෙස් තියා තිබෙන්නේ ඔහුටයි. තාත්තා ඉදිරියේ ම රස්තියාදු කාරයෙකු කියා නින්දා කර තිබෙන්නේ ඔහු ගේ පුතණුවන්ටයි. මහත් අපහසුතාවයකින් මම බිම බලා ගතිමි. 

“නිම්නා”

“සර්…”

“අඳුරගන්න මේ මගෙ එකම පුතා කුලාන්. දැං ඉතිං කුලාන්ට මේ බිස්නස් වැඩ ටික ටික බාර දෙන්නයි මං හිතං ඉන්නෙ. මාත් ඉතිං දැං වයසයිනෙ…ම්…”

වෙන වෙලාවක නම් ‘අනේ සර්ට මොන වයසක්ද’ කියා මා කියන්නට තිබිණි. නමුත් මේ මොහොතේ මා පත් ව උන් ව්‍යාකූලත්වයේ හැටියට එහෙවු යමක් කියන්නට තරම් හයියක් මට වූයේ නැත.

“කුලාන් බිස්නස් මැනේජ්මන්ට් ගැන උපාධි පිට උපාධි අරං තමයි මේ ඇවිත් ඉන්නෙ. ඒ වුණාට මන්නං ඔය උපාධි වලට වඩා විශ්වාස කරන්නෙ ප්‍රැක්ටිකල් නොලේජ් එක. එක්ස්පීරියන්ස්. නිම්නා ටිකක් වැඩිපුර කුලාන් ට උදව් කරන්න වෙයි”

“ඕකේ සර්”

“අපි වැඩ කටයුතු ගැන පස්සෙ කතා කරමුකො. එහෙමනං නිම්නා දැං ගිහිං ඔය ඇඳුං ටිකක් වේලගන්නකො. ම්…”

“හොඳයි සර්”

මම එක වතාවකට ආගන්තුකයා දෙස බැලීමි.  මගේ ඇස් මත සමාව යදිනා බැල්මක් නොවූ බව මට සහතික ය. ඔහු ගේ ඇස්, මදෙස බැලූයේ අභියෝග කරන්නට මෙනි. ඒ තැඹිලි පාට තොල් මත මට සමච්චල් කරන්නට තතනන සිනහ බින්දුවක් නලියෑවේ ය.

මා වීදුරු කාමරයෙන් පිටතට ආවේ පරාජිත බව තැවරී ගත් සන්තාප සිතිවිලි අහුරක් ඇහැට ඇඟිල්ලෙන් අනිත්දී ය. ඇඳුම් වියළීම පසෙක තබා මම මගේ කුඩා කුටියට වීමි. ඇඳුම් වල තෙතටත් වඩා දැන් මා අසහනයට පත් කොට තිබෙන කාරණය වන්නේ කුලාන් ය. ආයතනයට ඔහු පැමිණි පළමු දිනයේ දී ම ඒ විදිහට පිළිගන්නට සිදු වීම කණගාටුවට කරුණකි. මට පිස්සු හැදීගෙන එනවා දැයි මම ම සිතුවෙමි. මනෝ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරත්දී උගත් ඇන්සයිටි ඩිසෝඩර්ස්, ස්ට්‍රෙස්, ඩීප්‍රෙෂන් වැනි මානසික තත්වයන් දත් විළිස්සාගෙන මා ඉදිරියෙහි පෙනී සිටින්නට වූයේ ය. එක අතකට, සිදු වී ඇති දේවල් වල හැටියට මා උමතු නොවී සිටින එකත් පුදුමයකි. තාත්තා සහ ලෙඩ ඇඳට වැටී සිටින අම්මා නො වන්නට මට කුමකින් කුමක් සිදු වේද කියා වුව සිතා ගත නො හැකි ය.

හෙට සෙනසුරාදා බව සිහිපත් වූයේ හදිසියේ ය. සිත ඇතුළේ සිනහ මලක් ඇඳිණි. සතියේ දින හතෙන් මා වඩාත් ප්‍රිය කරන දිනය සෙනසුරාදා ය. ඒ මට පුතු සමගින් දවස ගෙවන්නට ලැබෙන්නේ එදිනට වන බැවිනි. නමුත් පසුගිය සතියේ කසුන් මා රිදවන්නට ම පුතු මට නොදී හිටියේ ය.

“අද රෑට මං අවුට් ස්ටේෂන් යනව. ඒක නිසා ළමයව එක්කගෙන එන්න වෙන්නෙ නෑ”

කෙටි පණිවිඩයකින් ඔහු මට දැනුම් දී තිබිණි. මේ සතියේත් ඔහු එහෙම කරාවිද කියන බිය හදවත දෙදරවත්දී මම ඉක්මන් කොට කසුන් ට ඇමතුමක් ගතිමි.

“හෙට උදේම පුතාව අරං එනව නේද…”

“හරි හරි ගේන්නං”

එපමණකින් ඔහු දුරකතන සම්බන්ධය විසන්ධි කොට දැමුවේ ය. මම දිගු සුසුමකින් පරිගණකය වෙත ලං වීමි. පසු ගිය සතියේ පුවත්පත් වල අලෙවි සහ නැවත හරවා එවූ සංඛ්‍යා ලේඛණ දත්ත පරිගණකයෙහි ගබඩා කරමින් දෙහෝරාවක් පමණ ගෙවී යන්නට ඇත. පුතු දකින්නට ලැබෙනවා කියන බලාපොරොත්තුව ම මා තුළ මහත් ජවයක් ජනිත කරවයි.

“පුතා ආස නැද්ද අම්මි ළඟ හැමදාම ඉන්න..ම්…”

ඔහුත් එක්ක දවස ගත කරන්නට ලැබෙන හැම ශනිදාවක ම මම ඒ ප්‍රශ්නය නගමි. පුතු ගේ පිළිතුර අවිහිංසක සිනහවකි.

“ආසයි. ඒත් තාත්ති කියල තියෙන්නෙ මං අම්මි ළඟට ගියොත් තාත්තිව පොලිස් අංකල්ල අල්ලං යයි කියලයි. පොලිස් අංකල්ල කූඩුවට දාල තාත්තිට ගහයිලු. එහෙම වුණොත් පවු නේද අම්මි…”

කසුන් පුතා ගේ ලෝකය පැහැර ගෙන ඇත්තේ අහිංසක ඔහු ගේ සිත් හි බොරුව වැපිරීමෙනි. කර බා ගන්නවා මිස පියා ට එරෙහි ව යමක් කියා පුතා ගේ සිත් හි වෛරයේ බීජ වපුරන්නට මම කිසි විටෙක උත්සාහ නො කරමි.

පිටතින් දොරට තට්ටු කරන හඬකින් මම හිස ඔසවා බැලුවෙමි. වීදුරු දොරට එපිටින් ඒ ඇස් පායා තිබිණි. මම කලබලයෙන් ම පුටුවෙන් නැගිට ගතිමි. හදවත ගැස්ම වේගවත් ව තිබූ බවක් ද මට දැනිණ. කුලාන් ගල්හේන මගේ කුටියට ඇතුල් වෙමින් සිටියේ ය.

“ස්…සර්…”

“සිට් සිට්”

ඔහු අතින් ද මට හිඳ ගන්නයි ඉඟි කළේ ය. මම පරඬලා පතක් සේ ගැහෙමින් අසුන මතට වැටුණෙමි. හෙතෙම මහා පෞරුෂයක් ව මා අභියස අසුනට බර වූයේ ය.

“රස්තියාදුකාරයෙක් නේ…”

මගේ දෑස් විසල් වී යටි තොල සැපී ගියේ ය. මොහොතකට බිම බලා ගත් මම ඉතා දිගු වූ තත්පර කිහිපයකට පසු හිස නගා බැලීමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
3
0
Would love your thoughts, please comment.x
()
x