මවක් වන්නට ඔබත් සූදානම් ද?

0
798

මවු පදවිය ලැබීම තරම් උත්තරීතර වූ තවත් යමක් ලෝකයේ නැහැ. කාන්තාවකගේ ජීවිතයේ ලැබිය හැකි උතුම් ම තත්ත්වයත්  මවක් වීමයි. විවාපත් යුවළකට මවු පියවරු වීම තරම් ජීවිතයේ ලැබිය හැකි වෙනත් තෘප්තිමත් අවස්ථාවක් නැති තරම්. ඒ නිසා ම ඔබ ගර්භනියක් වූ මොහොතේ සිට දරු ගැබ ආරක්‍ෂා කර ගනිමින් නිරෝගීමත්ව සිටිය යුතුයි. නිරෝගී දරු උපතකට හොඳ පෙර සූදානමක් අවශ්‍යයි. ඔබ ඒ සඳහා සිරැරින් වගේ ම මනසිනුත් සූදානම් ව සිටිය යුතුයි. මවක් වෙන්නට පෙරැම් පුරන ඔබට මේ තොරතුරු නිසැකව ම වැදගත් වේවි.

  • දරු ගැබක් පිහිටියා කියලා ප්‍රථමයෙන් ම දැනගන්න ලැබෙන්නෙ කොහොමද?

මවගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් මගින් මේ බව ප්‍රථමයෙන් ම දැනගන්න පුළුවන්. මූලික වශයෙන් ම මාස් ශුද්ධිය නිවැරැදි දිනට හැදෙන්නේ නැත්නම්, ඊට සුමානෙකට පමණ පස්සේ මුත්‍රා පරීක්‍ෂණයක් කරලා, තමා ගැබිනියක් බවට පත්වෙලා ද? නැද්ද? කියලා දැන ගන්න පුළුවන්. ඒ වගේ ම ගර්භනියක් බවට පත් වුණාට පස්සෙ ඔක්කාර ගතිය, වමනෙ යාම, කරකැවිල්ල, කෑම අරුචිය, තෙහෙට්ටුව වගේ රෝග ලක්‍ෂණ පහළ වීමට පටන් ගන්නවා. මෙවැනි ලක්‍ෂණ මූලික වශයෙන් පවතී නම්, කාන්තාවක් ගර්භනී බවට පත්ව ඇති බව දැන ගන්න පුළුවන්.

  • සමහර කාන්තාවන් මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැතිවම ගර්භනී තත්ත්වයට පත්වෙනවා. ඒ වගේ අයට මේ බව දැන ගන්න පුළුවන් කොහොමද?

සමහර කාන්තාවන්ට මාස් ශුද්ධිය නතර වුණත්, ඔක්කාරය, වමනෙ යාම, කෑම අරුචිය, තෙහෙට්ටුව, කරකැවිල්ල වගේ රෝග ලක්‍ෂණ පහළ නොවී, දරු ගැබක් පිහිටන්න පුළුවන්. එවන් අවස්ථාවකදී Ultra Sounds Scan  පරීක්‍ෂණයක් කිරීම මගින්, තමා ගැබිනියක් බවට පත්ව ඇත්දැයි නිශ්චිතව ම දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව තමා ගැබිනියක්ව ඇත්දැයි දැනගැනීමට මුත්‍රා පරීක්‍ෂණය, ලේ පරීක්‍ෂණය සහ Ultra Sounds Scanපරීක්‍ෂණය උපයෝගී කර ගන්න පුළුවන්.

  • ගර්භනියක් වූ විගසම වෛද්‍යවරුන් මුණගැසීමට යා යුතු දඑසේ අවශ්‍ය නැත්නම් යා යුත්තේ ගැබිනියක් බවට පත් වී කුමන කාලයකට පසුවද?

තමන්ගෙ මාස් ශුද්ධිය නතර වුණා කියලා දැනගත්ත ගමන් ම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැසීමට යාම ඉතාමත් ම වැදගත්. එසේ කිරීම මගින් විවිධ සංකූලතා හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. සමහර ගර්භ, ගර්භාෂයෙන් පිටත පිහිටනවා. මෙවැනි අවස්ථා මුලින් ම හඳුනාගෙන, නිසි ප්‍රතිකාර ලබාගන්න පුළුවන් වෙන්නෙ, මුල් කාලයේදී ම වෛද්‍යවරයෙක් මුණගැහුණොත් පමණයි. සමහර මවුවරුන්ට එක එක ලෙඩ රෝග වැළඳී තිබෙන්න පුළුවන්. ඒත් තමන්ට එවැනි රෝගයක් පවතිනවා යැයි මේ අය දන්නෙ නෑ. මුල් කාලයේදී ම වෛද්‍යවරයෙක් හමුවට යාමෙන්, එවන් රෝග හඳුනා ගන්න පුළුවන්. ඒවාට වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර කිරීමෙන්, ඉදිරියේදී ඇතිවිය හැකි සංකූලතාවලින් මිදෙන්න පුළුවන්. දන්තාබාධ වැනි තත්ත්වයන් තිබේ නම් මුල් කාලයේදී ම ඒවාට ප්‍රතිකාර ගත යුතු වෙනවා.

කියවන්න :  ඔබේ දරුවාට මුලින්ම පොතක් දෙන්නේ කවදද?

මාස් ශුද්ධිය නතර වී පළමු සතිය ඇතුළත වෛද්‍යවරයෙක් මුණගැසීමෙන් පසු, නැවත මාස තුනක් ගතවීමෙන් අනතුරුව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වෙත යාම සුදුසුයි.

  • මාස තුනක් ගත වීමෙන් පසු මොන වගේ පරීක්‍ෂණ ද කරන්නෙ?

ලේ, මුත්‍රා පරීක්‍ෂණ අනිවාර්යයෙන් ම කෙරෙනවා. මීට අමතරව පියයුරු පරීක්‍ෂාව සහ කායික රෝග පරීක්‍ෂා කරනවා. මවගේ උස, බර ආදිය මැන ගන්නවා. දියවැඩියාව, ඇදුම, අධි රුධිර පීඩනය, ආතරයිටීස් රෝගය සහ අපස්මාරය වැනි රෝගවලින් පෙළෙන මවක් නම්, දරුවෙක් පිළිසිඳ ගැනීමට මාස තුනකට කලින්, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම ඉතාමත් ම වැදගත්.

  • ගර්භනී සමයේ මුල් කාල සීමාවේදී වමනය යාම වැඩි නම්ගත යුතු බෙහෙත් වර්ග මොනවාද?

සාමාන්‍යයෙන් මේ කාලයේදී වමනෙ යන්නෙ, ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසයි. පළමු මාස තුනේදී ගර්භනී මවකට කිසි ම බෙහෙතක් ගැනීම සුදුසු නෑ. අසාමාන්‍ය විදිහට වමනෙ යනවා නම්, ඇයව රෝහල් ගතකරලා, සේලයින් ප්‍රතිකාරය ලබාදීම කළ යුතුයි. වමනෙ නැවැත්වීමට භාවිත කරන ඖෂධ පාවිච්චි කිරීමට වෛද්‍ය උපදෙස් ලැබුණොත් පමණක්, ඒවා භාවිත කිරීම කළ යුතුයි. එහෙත් එහෙම තත්ත්වයක් ඇතිවන්නෙ බොහොම කලාතුරකිනුයි.

  • අධික ලෙස වමනය යාම නිසා විජලන තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවාද?

නොනවත්වාම වමනෙ ගියොත් විජලන තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ සඳහා විවිධ හේතු බලපානවා. මුල් මාස තුන ගත්තොත්, ඒ කාලයේදී ඔක්කාරය, කෑම අරුචිය වගේ රෝග ලක්‍ෂණ ඇතිවන නිසා, මවක් බොන වතුර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. වමනෙ යන්න ගත්තහම ශරීරයේ තිබෙන ඉතිරි වතුර ප්‍රමාණයත් පිටව යන නිසා විජලන තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙනවා.

  • ගර්භනී සමයේ පළමු මාස තුන ඇතුළත කිසිම ඖෂධ වර්ගයක් භාවිත කරන්න හොඳ නෑ කිව්වත්වෛද්‍යවරු ෆෝලික් අම්ලයFolic Acid භාවිතයට මඟ පෙන්වනවා.
කියවන්න :  කිරි අම්මාවරු දනට වඩිනවද?

ඖෂධ භාවිතය සුදුසු නෑ කිව්වත්, මවගේ ජීවිතය අවදානම් තත්ත්වයකට මුහුණපා තිබෙන අවස්ථාවකදී, රෝහල් වෛද්‍යවරු ඖෂධ භාවිතයට අවස්ථාව ලබා දෙනවා. බෙහෙත් පාවිච්චි කිරීම නිසා දරු ගැබ විනාශ වෙනවා නම්, වෛද්‍යවරු ඒ බව කළින්ම පවසනවා. එහිදී තමා ගත යුත්තේ කුමන තීන්දුවද යන්න මව තීරණය කළ යුතුයි.

එවැනි අවදානම් තත්ත්වයකදී හැර, බෙහෙත් භාවිතයට උපදෙස් දෙන්නෙ ෆෝලික් අම්ලය ලබාගැනීමට පමණයි. ෆෝලික් අම්ලය භාවිතයට පටන් ගන්න ඕනෙ, දරුවෙක් ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටයි. තමා දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ දරුවා බලාපොරොත්තුවෙන් කටයුතු කරන මව, දරු පිළිසිඳ ගැනීමට මාස තුනකට පමණ පෙර සිට ෆෝලික් අම්ලය භාවිත කළ යුතුයි. ඒ වගේම දරුවා පිහිටලා පළමු මාස තුන වෙනකම් ෆෝලික් අම්ලය බොන්න ඕනෑ.

ෆෝලික් අම්ලය මගින් දරුවාගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ විකෘතිතා, සංකූලතා අවම කරන්න පුළුවන්. වැඩෙන දරුවාගේ මොළය හා ස්නායු පද්ධතිය නිසි අයුරින් වර්ධනය වීම සඳහා මේ මගින් විශාල මෙහෙයක් සිදුවෙනවා. අපස්මාරයෙන් පෙළෙන අය මෙය විශේෂයෙන් ම භාවිත කළ යුතුයි. එයට හේතුව අපස්මාරය නිසා සිරුරේ ඇති ෆෝලික් අම්ලය අඩු වීමයි. එමනිසා ෆෝලික් අම්ලය භාවිතයට අපස්මාර රෝගීන් අනිවාර්යයෙන් ම ක්‍රියා කළ යුතුයි.

ෆෝලික් අම්ලය කියන්නෙ විටමින් බී පවුලට අයත්, ජලයේ දියවෙන විටමිනයක්. ෆෝලික් අම්ලය ස්වභාවිකව ඇති ආහාර ලෙස බාර්ලි බීජ, පලතුරු, කොළ පැහැති එළවළු, පරිප්පු, බෝංචි, දොඩම් යුෂ, නිවුඩු හාල් වැනි දේ දැක්විය හැකියි. ගර්භනී මවක් දිනකට ලබාගත යුතු ෆෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රො ග්‍රෑම් 400 ක් පමණ වෙනවා.

  • ගර්භනී මවක් ගත යුතු විටමින් වර්ගසහ කැල්සියම් වර්ග මොනවාද?

විටමින් A,B,C,D,E වැනි විටමින් වර්ග අධික ලෙස භාවිත කිරීම නිසා, කළලයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ලබාගන්නවා නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි. කැල්සියම් හා යකඩ, කෑමවලින් ලැබෙන්නෙ නැත්නම්, කැල්සියම් සහ යකඩ පෙති ගන්න වෙනවා. නීරක්තියෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන අයට විටමින් සහ කැල්සියම් අවශ්‍යයි. මේවා වෛද්‍ය උපදෙස් මත භාවිතයට ගැනීම සිදුවිය යුතුයි.

-නිරංජලා-

(ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය,සනත් ලැනරෝල් මහතා සමග දිනමිණ පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන්)