සුළං සීනු -29

“ගෑනු කාගෙත් ජීවිතේ හිස්තැන් තියනව පවී.. අපි ඒ හිස්තැන් ළඟම අයත් එක්ක කතා කරන්න බයයි..එයාල අපිව ජජ් කරයි කියල. ඇත්තටම එහෙම නොවෙනවත් නෙවෙයිනෙ…”

චාරුනී පවසන්නේ කල්පනාකාරීව ය.තිසුරි සම්බන්ධයෙන් ගැටලුව පැන නැගුණු වෙලේ පටන් එහි කොනක මා ද සිටින බවට දැනෙන වරදකාරී හැඟීමෙන් මට ගැලවීමක් තිබුණේ ම නැත.චාරුනී ද ලෝචනා ද සමඟ ඒ ගැන පවසන්නට මට උවමනා වූයේ එනිසාම ය.

“මටත් පුදුම දුකක් දැනෙන්නෙ.චානු එක්ක යාලු වෙච්ච දවස්වල ඉඳන්ම සංකව දන්න කෙනෙක් නිසා මං හැම වෙලාවකම ගත්තෙ සංකගෙ පැත්ත.පවී කියන දේවලුයි එයාගෙ චෝදනායි මට දැනුණෙ කිසිම පදනමක් නැති කතා වගේ. ඒ නිසා මං පවීට බුරුලක් දුන්නෙම නෑ. ඒකෙන් උනේ කොහෙටවත් නැති නිසලයෙක් පවීව අහන් ඉන්න ගත්තු එක..”

ලෝචනා එසේ පවසා වඩා දුක්බර මුහුණක් මවා ගත්තා ය.ඇයට කියන්නට තවත් දේ තිබෙන හැඩකි.මඳක් නෙරා ආ කුස මත අතක් තබා ගත් ඈ ඒ වචන පිටකරන්නට කාලය ගන්නා අතර පවා වේදනාත්මක සුසුමක් හෙළුවා ය.

“දරන්න බැරි අනිත් කාරණේ, තිසුරි නිසල්ට ක්ලෝස් වෙන්න හදනකොට මං ඒකට උදව් කරා.පොඩි කියුට් කෙල්ලක් නිසල් එක්කම ඉන්නකොට නිසල්ගෙ හිත වෙනස් වෙනව වගේම පවීට කේන්ති ගිහින් නිසල්ගෙන් ඈත් වෙයි කියලයි මං හිතුවෙ..ඒ වැරැද්දට මට මටම සමාව දීගන්න අමාරුයි.. ඉස්සර වගේ දරුවෙක් ගැන හූල්ලපු කාලයක් උනානං මං ඒ බබාව බාර ගන්නවා..”

ලෝචනා සියල්ල ඉටු කරන්නට ඇත්තේ මගේ යහපත වෙනුවෙන් බව මට විශ්වාස ය.කාර්යාලයේ සිටින තනිකඩ තරුණයන් පවා ඇතැම් මොහොතක නොගන්නා සැහැල්ලුවකින් හැසිරුණු නිසල් විවාහ වී දරුවෙක් හිඳින පියෙකු බව කිසිවෙකුත් සිතන්නේ නැත.නිසල් රිංගා ගියේ ඒ හැඟීම් අතරිනි.

කියවන්න :  සුළං සීනු -26

“ඔයාලා ඔයාලට චෝදනා කරගන්න එක නවත්තන්න. තිසුරි කියල ළමයත් ඉස්කෝලෙ යන කෙනෙක් නෙවෙයිනෙ..එයාට තේරෙන්න ඕන තමන් ආදරේ කරන මිනිහා හොරෙක්ද වංචාකාරයෙක්ද කියල. අනික සමහර වෙලාවට කොල්ලෙක්ට ක්‍රෂ් වුණාම කෙල්ලො වැඩ කරන්නෙ හොඳ සිහියෙන් නෙවෙයි.තමන් දඩයම් කරගන්න ඕන එකා පස්සෙන්ම ඇවිල්ලා දඩයම වෙන්න කියල ඉල්ලනකොට ගොඩක් පිරිමි හැසිරෙන හැටියට තමයි නිසලුත් තිසුරි සම්බන්දෙන් හැසිරුණේ .”

චාරුනි තදින් කියා සිටියා ය.නමුත් ඈ නොදන්නා තිසුරි වෙනුවෙන් උදව්වට පැමිණියේ මගේ හදවතේ ඇයට තිබූ ඉඩ තව තවත් උදුරා ගනිමිනි.

“කොහොමත් ඒ ළමයා ගෙදර යන්නත් අකමැති නම්, බෝඩිමක ඉන්න එක රිස්කි.ඩිප්‍රෙස් ගතියකින් ඉන්න නිසා විස්වාසයක් නෑනෙ මොනවා කරගන්න හිතෙයිද කියලා. යුගේන්ද්‍රනුත් ලංකාවෙ නැති එකේ මටත් පාලුයි.. ඩිලිවර් එක වෙනකම් මං එයාව තියා ගන්නං…”

අත්‍යවශ්‍ය මොහොතක උදව්වට ආ නොදන්නා වෛද්‍යවරියගේ දෑත අල්ලා ගන්නට තීරණය කළ තිසුරි චාරුනී වෙත ගියා ය.ඇයට දිය යුතුම උපදෙසක් මට තිබිණ.

“ඔයාට ඔෆිස් එන්න බැරිකමක් නෑ තිසුරි.මේ වගේ දේවල් නිසා රැවටුණු එකම ගෑනු ළමයා ඔයා විතරක් නෙවෙයිනෙ..ඔයා එන්න ඕන..කවුරුත් ඔයාට මොකුත් කියන් නෑ..”

කිසිවෙකු ඇයට අපහාසාත්මක බැල්මකින් වත් නොබැලී ය.ඉස්මුරුත්තා වන තරමේ ආහාර කන්දකින් තිසුරිව වසා දමමින් සෑම මොහොතකම ඈ සතුටින් තබන සුන්දර කතා පවසමින් අපේ කාර්යාල සගයන් එක පවුලක් ව බැඳී සිටියේ ය. තිසුරි අනාගතය ගැන අවිනිශ්චිත හැඟීම් රාශියකින් පෙළුණු බව මම දනිමි.නමුත් ඒ හැඟීම් වැඩිකල් තිබුණේ නැත.

“ඔයාට පුලුවන්ද පවී හොස්පිටල් එන්න…”

චාරුනීගේ ඇමතුමක් ආවේ සති අන්තයේ දහවල ක ය. මොනතරම් පිටතින් සිනා සී හුන්නද ඇතුළාන්තයෙන් වේදනා දරා ගත් තිසුරි ජීවිතය අත හැර දමා ඇතැයි භීතියක් මා වෙළා ගත්තේ ය. නමුත් ජීවිතය අතැර දමා තිබුණේ ඈ නොවේ.

කියවන්න :  සුළං සීනු - 22

“අන්එක්ස්පෙක්ටඩ් එකක් නිසාම නෙවෙයි. තිසුරි හොඳටම ටෙන්ෂන් වෙලත් ඉන්න ඇත්තේ.ඒ නිසා වෙන්නත් ඇති.. අනික ඉතිං තිසුරිව තව තවත් ප්‍රශ්න වලට ඇදලා දාන්න එයා එන්න ඕන නෑ කියලා බබාටත් හිතෙන්න ඇති..”

රෝහල් කාමරය අසලදී මගේ අතකින් අල්ලා ගත් චාරුනී පැවසුවේ සන්සුන් ව ය. ලෝචනාට ගබ්සාවක් සිදුවන ඕනෑම මොහොතක ඈ වෙත යාගන්නට දෙකකුල් වාරු නැතිව හුන් මා මෙවර තිසුරි වෙත ගියේ වෙනස් හැඟීමකිනි.

“නංගි, අඬන්න එපා.. ඒ දරුවා ආයේ ඔයා ගාවට එයි.රැවටිලිකාර තාත්තෙක් හින්දා අම්මව අසරණ කරගෙන නෙවෙයි.. ආදරේ පිරුණු තාත්තා කෙනෙක්ගෙ ලෝකෙක හිනා වෙන්න බලාගෙන එයා ආපහු එනවා.. ඒ නිසා කාලය අරන් ශක්තිමත් වෙන්න..”.

තිසුරි අන්ත අසරණ ලෙස මගේ අතකින් අල්ලා ගත්තා ය.මගේ ආදරය විඳින දුරක නැති, ආදරය දුන් නමුදු බාර නොගන්නා නංගීව සිහි කරමින් මම තිසුරිගේ හිස අත ගෑවෙමි.

“මගෙ ෆස්ට් ලව් එක ඇක්සිඩන්ට් එකෙන් නැති උනාම අම්මලා මාව ඉක්මනින් ම මැරි කෙරෙව්වෙ බලෙන් වගේ. මට මාවම නැති උනා ඒකෙන්.තුවාල සනීප වෙන්න පාට්නර් කෙනෙක් හොයාගෙන ඒ මනුස්සයටත් නැති ප්‍රශ්න ඇති කරන්න ඕන නෑ.. ඒ නිසා ඕන තරම් කාලයක් අරන් ඔයා මේ වෙච්ච දේවල් අමතක කරල රිකවර් වෙන්න.. හරිද..ඒකයි වෙන්නම ඕන..”

තිසුරි හිස් දෑසින් මදෙස බලා සිටියා ය.ඇය මා කියන දේ පිළි ගන්නට ඇත.

0 0 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments