සැන්ඩ්විචස් සෑදීමේදී ඔබ දැනගත යුතු දෑ

ලොව ඇති පිළයෙල කිරිමට පහසුම ආහාර අතරින් මුල් තැනක් sandwiches වලට හිමිවනවා. ඹබ කැමති අයුරින් සීමා මායිම් රහිතව සැන්ඩ්විචස් සැකසිය හැකියි. අපවැනි ආසියාතික රටවල මෙය අතුරු ආහාරයක් ලෙස සැලකනු ලැබූවද ඇමරිකාව වැනි රටවල සැන්ඩ්විචස් යනු ප්‍රධාන ආහාරයකි.

ඉතිහාසයේ පළමුවෙන්ම සැන්ඩ්විච් ආහාරයට ගැනීම අරඹා ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවෙන සියවසේ සිටි යුදෙව් ජාතික පඬිවරයෙක් වන හිල්ලෙල්(ජ්‍යේෂ්ඨ) විසිනුයි. ඇපල්, ඇට වර්ග, කුළුබඩු සහ ඖෂධ යොදා සකසන චාරිත්‍රානුකූල පැසෝවර් සැන්ඩ්විචස්වල නිර්මාතෘ ලෙස ඔහු සැලකේ. මධ්‍යතන යුගයේදී ට්‍රෙන්ච් නමින් හැඳින්වූ ඒ හා සමාන ආහාරයක් සැකසීම ඇරඹුණු අතර මධ්‍යධරණීය රටවල එය වඩාත් ජනප්‍රියවුණා.

වර්තමානයේ අප ‘සැන්ඩ්විචස්’ නමින් හඳුන්වන ආහාරය බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ සැන්ඩ්විච් නගරයේ සතරවන අර්ල්වරයා වූ  ජෝන් මොන්ටේග් (John Montagu, 4th Earl of Sandwich) නමින් නම්කර ඇත. කාඩ් ක්‍රීඩාවට ඇබ්බැහි වූ අර්ල්වරයා සූදු මේසයෙන් ආහාරගැනීමටවත් නැගිටීමට අකමැතිවූ හෙයින් සිය ක්‍රීඩාව අතරතුරදී කෑමට ගත හැකිවන සේ පාන් පෙති අතරට මස් දමා රැගෙන එන ලෙස කෝකියන්ට නිතර අණදුණි.

Sandwich සෑදීමේ මූලික නීති 6

  1. සැන්ඩ්විච්එක සෑදීමට පෙර යොදාගන්නා පාන් වර්ගය මූලිකව තීරණය කරන්න. වියළි ගණයේ සැන්ඩ්විච් සෑදීමේදීසැහැල්ලු පාන් වර්ග යොදාගත හැක. තෙත් සහිත පිරවුමක් (පිසූ මස් වැනි) යොදනවානම් පීටා වැනි තද පාන් වර්ගයක් වඩාත් සුදුසුයි.
  2. ටෝස්ට් කිරීමෙන් පාන්වල රසය වැඩිවේ. ග්‍රල් කර, රත්කර හෝ ශීතකර සැන්ඩ්විච් පිළිගැන්විය හැක.
  3. සැන්ඩ්විචස්වල රසය වැඩිකරගැනීමට තැවරුමක් (spread) යොදන්න. බටර්, මෙයෝනීස්, මුදචපු කිරි වැනි තැවරුම් අත්හදා බලන්න.
  4. තෙත බේරුණු සැන්ඩ්විච් බලන්නත් අප්‍රියයි. සෝස් වර්ග ආදිය සැන්ඩ්විච්වල අගට එකතුකිරීමෙන්ද තක්කාලි, පිපිඤ්ඤා ආදිය වෙනම පිළගැන්වීම හෝ මස්/චීස් පෙති අතරට දමා පිළිගැන්වීමෙන් සැන්ඩ්විචස් බෙරිවුණු ස්වභාවයක් ගැනීම වැළැක්විය හැක.
  5. කරස් ගා හැපෙන නැවුම් සලාදයකට හැමෝම කැමතියි. මේ සඳහා හැදාම භාවිතාකරන තක්කාලි වෙනුවට රෝස්ට් කරගත් බෙල් පෙපර්, යම්තමින් තෙලට දමාගත් ළූණු හෝ කැරට් යොදාගත හැකියි. ඒ වගේම සළාද කොළ වෙනුවට ගෝවා හෝ නිවිති කොළ භාවිතා කලහැකියි.
  6. අනවශ්‍ය ලෙස ආහාර, සෝස්, චීස් ආදී දෑ පටවන්න එපා. හැකි තරම් සරළ කරන්න. හැකි තරම් සමබර රසයක් ලබාදෙන්න. විනාකිරි ස්වල්පයක් හෝ සැහැල්ලු සෝස් ස්වල්පයක් එකතුකිරීමෙන් වෙනස්ම රසයක් එකතුවේවි.

සැන්ඩ්විචස් දවසේ ඕනෑම වේලාවකට සුදුසුයි. අතේ පයේ ගෑවෙන්නෙ නැති නිසා කන්නත් පහසුයි. ලොකු කෑමවේලක් හදන්න කම්මැලිනම් ඉක්මනින්ම රසම රස සැන්ඩ්විචස් ටිකක් හදාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles