ඔබට ඇහෙනවනම් – 4

0
1363

සාමාන්‍ය හිතවත් කමින් හා රාජකාරී මට්ටමින්  පිරිමින් ඇසුරු කිරීම කියන්නේ මට අරුමයක් නොවේ. කාර්යාලයේ ඕනෑ ම කෙනෙකු සමග මම චකිතයකින් තොර ව කතා බහ කරමි. නමුත් කුලාන් මේ විදිහට රිය නවතා ඊට ඇරයුම් කරත්දී එහි නැගිය යුතු ද කියා සිතා ගත හැකි වූයේ නැත. අනිත් අතට අනුන් ගේ කාර් වලට වඩා පාරේ බස් සනීපයි කියා හිතන උද්දච්ච කමක් කවදටත් මට විය.  කුලාන් බලහත්කාරයෙන් හෝ තර්ජනයෙන් සේ මට සිය රියට ඇරයුම් කරත්දී, හිතුණේ ම දමා ගසා බස් නැවතුම තෙක් ඇවිද යන්නට ම ය. නමුත් ඔහු ගේ ඇස් වල තිබී, එසේ  පිටු පා යා නො හැකි අහිංසක කමක් මට දැකිය හැකි විය. මගේ සියලු අහංකාරකම් අමතක කොට මා රියට ගොඩ වූයේ එබැවිනි. කුලාන් ගේ තැඹිලි පාට තොල් මත මඳ සිනහවක සේයා ඇඳෙනවා මට පෙනුණේ ය. එය සාඩම්බර සිනහවකි. ඔහු ගේ තර්ජනයට බයේ මා අවනත වූවා බඳු සිනහවකි. රියට නැගුණු මෝඩ කමකැයි මම පසු තැවුණෙමි.

“මා…ර සයිස් එකකිං ඉන්නෙ නේ…”

ඊළඟට ඔහු එසේ ඇසුවේ මගේ රුධිර සංසරණ පද්ධතියෙහි ගමන් කරන්නා වූ සමස්ත රුධිර පරිමාව ම රත් කරමිනි.

“ආ…”

වම් පස වීදුරුවෙන් පිටත බලා උන් මම අකුණු සැර වැදුණ කලෙක මෙන් වේගවත් ව හිස හරවා ඔහු දෙස බැලීමි. කුලාන් ගේ දෙතොලතර අර තැඹිලි පාට මන්දස්මිතය තවමත් නලියමින් තිබේ. ඒ ඇස් මත වූයේ තනිකර ම අභියෝගයකි. ‘ඔයා මොන සයිස් එකෙං හිටියත් මට ඒක නතිං’ වැනි කතාවක් ඒ අභියෝගයෙහි වූයේ ද? එය එසේ දැයි හරියට ම මා දන්නේ නැත. නමුත් එය එසේයි සිතන්නට මට ඕනෑ විය. කොහොමටත් මෑතක සිට පිරිමි ඇස් කතන්දර අසාත්මික වන තත්වයක් මට තියේ. කුලාන් වනාහි මගේ ආයතන ප්‍රධානියා ගේ පුත් නො විණි නම් ඒ වෙලාවේ මා හොඳ දෙකක් කියා ඔහු ගේ රියෙන් බැසිය යුතු ව තිබිණි.

“නෑ ඉතිං…ගෑනු ළමයි ටිකක් ආඩම්බර වුණාටනං කමක් නෑ. හැබැයි මං තමයි පොර වගේ ඉන්නකොට ටිකක් අවුල් නේ…”

“නෑ. මං එහෙම හිතලවත් එහෙම හිතල හැසිරිලවත් නෑ”

බොහොමත් ම ඉවසීමකිනි මා කතා කළේ. නමුත් මගේ කොපුල් වලට ලේ පුරා මුහුණේ පේෂීන් පුපුරු ගැසුවේ ය. ඒ හරියට මුහුණෙන් ගින්දර පිට වෙනවා බඳු සංවේදනයකි.

ඒ තරම් කේන්ති ගන්නට දෙයක් එතැන නො වනවා වන්නට පුළුවන. නමුත් පිරිමින් විෂයේ කේන්ති යන මේ රෝගය අලුතෙන් මට වැළඳුණක් විය යුතු ය. ඇතැම් විට කසුන් විසින් ද්වේශ සහගත ලෙස  හැර යාම නිසා මා තුළ පුරුෂ විරෝධී මානසික තත්වයක් වර්ධනය වන්නට ඇත. මානසික රෝගයක් වැළඳීම යනු ලෝකය ප්‍රතික්ෂේප කරන, නමුත් අප වඩාත් ප්‍රිය කරන තත්වයකට අපේ මනස පත් වීම ය කියා මම සිතමි. නිරෝගී යයි සම්මත පුද්ගලයෙකු ට ඔහු රිසි ඕනෑ ම දෙයක් කිරීමේ නිදහසක් නැත. ලෝකය විසින් පනවා  ඇත්තා වූ සම්මත සදාචාර රාමු වලට සීමා වී කටයුතු කළ මනා ය. නමුත් මානසික රෝගියෙකු හට එසේ නැත. ඔහු කැමති ඕනෑ ම දෙයක් ඕනෑ ම තැනකදී කළා ට වරදක් නැත. කිසිවෙකු ඒ ගැන තැකීමක් කරන්නේ ද නැත. එය සම්මතයට පටහැනියි  කියා සිතන්නේ ද නැත. ඒ නිසා තමන් ට රිසි සේ ජීවත් වීමේ පහසු ම මාර්ගය පියවි සිහිය අතැර දැමීමයි. උන්මන්තක වීමයි. දැන් මා සිටින්නේත් මගේ සිතිවිලි ලෝකය තුළ ඇති කර ගත්තා වූ උමතු තත්වයක යයි නො සිතිය හැකි ද? තාත්තා හා කළමනාකාර අධ්‍යක්ෂක ශ්‍රීනාත් මහතා හැරෙන්නට වෙනත් කිසිදු පුරුෂයෙකු කෙරේ මෘදු ඉසව්වක් ඒ ලෝකයෙහි නො වන්නේ ය.

“මොනා වුණත් ජොබ් එක ගැන ඔයාට තියන සෙන්ස් එකටනං මං කැමතියි”

ඔහු ගේ වචන ගැන මා තුළ කිසියම් අප්‍රසාදයක් ඇති විණි නම්, එය වසාලනු පිණිස ආලේප කරන ලද්දා වූ අයිසින් තට්ටුවක් ලෙසට ය මට ඒ අන්තිම වාක්‍ය ඛණ්ඩය දැනුණේ. මම හිතා මතා ම සමච්චල් සිනහවක් නගා ගතිමි. ඒ සමච්චලයෙන් කුලාන් රිදවන්නට මට ඕනෑ විණි ද? ඔහු රිදවීමෙන් කුමක් බලාපොරොත්තු වන්නද කියා හෝ මට සිතා ගත නො හැකි ය. එය වූ කලී කසුන් ට රිදවීමේ ලා යටි හිතෙහි වන්නා වූ ආශාවක් ද?

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 6

කොට්ටාවෙන් මා බස්වනු වෙනුවට ඔහු මත්තෙගොඩ දෙසට රිය ධාවනය කරන්නට වූයේ ය. මම අත් බෑගය තදින් අල්ලා ගෙන ඒ මුහුණ දෙස බැලීමි. නමුත් ඔහු මා ගැන කිසිදු අවධානයක් නො දැක්වූයේ ය.

“සර්…මාව ඩ්‍රොප් කරන්න”

නෙතගින් බැලුවා මිස හෙතෙම වචනයක් හෝ දෙඩුවේ නැත. රිය නැවතුණේ මත්තෙගොඩ හන්දියේ ය. 

“තෑන්ක් යූ”

කියාගෙන මම රියෙන් බැස ගතිමි. ආපසු එක වරක් හෝ රිය දෙස නොබලා ඉක්මන් පියවර නගන්නට වූයෙමි. වියරු සතුටක් හදවතේ පිනුම් ගසන්නට වූයේ ය.

පසු දා මා හා අශිකා කෑම ශාලාවේ දිවා ආහාර ගනිමින් සිටියදී කුලාන් ගේ බරැති සපත්තු හඬ ඇසුණේ ය. ඒ පියවර හඬ මේ දින කිහිපයට ඔහු නො දැක ම හඳුනන්නේ කොහොම දැයි හිතෙන් අහන්නට මට ඕනෑ වුවත්, ඊට පෙර ඔහු අපේ මේසය වෙත ඇවිත් සිටියේ ය. 

“මාත් මෙතනිං ඉඳගෙන ලන්ච් ගත්තට කමක් නැති වෙයිනෙ නේ…”

තත්පර ගණනක් පමා වෙමින් තිබිණි. මට දකිත හැකි වූයේ ඔහු ගේ කලිසම් කකුල් දෙක පමණකි. අශී මේසය යටින් මගේ කකුලක් පෑගුවා ය. ඒ කුලාන් ට මගේ අවසරය ලබා දෙන්නැයි ඉඟි කරමිනි. 

“අ…කමක් නෑ සර්”

මගේ ජංගම දුරකතනය මවෙත ගනිමින් මේසයේ ඉඩ වෙන් කොට දෙමින් ම මම කීවෙමි. මට වම් පැත්තේ පුටුවේ වූයේ අශිකා ය. දකුණු පැත්තෙහි වූ හිස් ඉඩ පුරවා ලමින්, පෙනහළු සුවඳවත් කරමින් ඔහු හිඳ ගත්තේ ය.

ශ්‍රීනාත් මහතා නම් කිසි දා කාර්යාලයේ දී දිවා ආහාර නො ගත්තේ ය. හෙතෙම බොහෝ විට තරමක් දවල් වී නිවෙස බලා ගියේ, එහි දී දිවා ආහාර ගෙන එහෙම ම ගෙදර රැඳීමට ය. අත්‍යවශ්‍ය කටයුත්තක් තිබුණේ වී නම් පමණක් යළි කාර්යාලය වෙත පැමිණියේ ය.

“ඔයා අකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ නේද…”

කුලාන් ඇසුවේ අශිකා ගෙනි. 

“ඔවු සර්”

“මෙයාද යාළුව..”

ඒ වෙලාවේත් අර පෙර දා සැඳෑවේ රියෙහි දී මා දුටු අඩ සිනහව මට ඔහු ගෙන් දකිත හැකි විය. අශිකා මුදු ලෙස හිනැහුණා ය. ඇය ට ඔහු ගේ සමච්චලය හැඳින ගත නො හැකි විණැයි මට සිතිණ.

“මේ වගේ යාළුවෙක් ඉන්නකොට බය නෑ නේ…”

යළිත් අශිකා හිනැහුණා ය. ඈ සමගත් එවර මට දැනුණේ නො රිස්සුමකි. මගේ නම් වත අහලකට හෝ සිනහවක් ලං වී තිබුණේ නැත.

“සර් ඔෆිස් එකේ ඉඳංම මෙහෙම ලන්ච් ගන්නකොට අමුතුයි. එම් ඩී සර්නං එහෙම කරල නෑ”

“මොකද්ද ඔයාගෙ නම කිව්වෙ…”

“මං අශිකා සර්”

“අශිකා දන්නවද සමහර පරණ රජවරු වෙස් වලාගෙන ජනතාව අතරට ගියා. එයාල තමං ගැන මොනාද කියන්නෙ කියල දැනගන්න.  රාජ පාලනය ගැන වගේ ම එයාලට පෞද්ගලිකවත් තියෙන ප්‍රශ්න මොනාද කියල අවබෝධයක් ලබා ගන්න. රජ වාසල ඇතුළෙ විතරක් ඉඳං රජකං කරන්න බෑ කියන එක තමයි ඒ රජවරු ඔප්පු කරල පෙන්නල තියෙන්නෙ. ආයතනයක් පවත්වගෙන යද්දිත් ඒක එහෙම වුණොත් තමයි වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. අනික ඉතිං..එක එක්කෙනා එකම දෙයක් දිහා වුණත් බලන්නෙ වෙනස් විදි වලටනෙ…නේද…”

අශිකා මඳහස පෑවේ කුලාන් කෙරේ මුළුමනින් පැහැදුණු සිතෙන් බවට සැකයක් නැත. පැවිදි යතිවරයෙකු කෙරේ පහන් සිත් ඇති උවැසියක ගේ බඳු පැහැදුල් බවක් මම ඇගෙන් දුටිමි. අනිත් අතට මේ තරම් සේවක පිරිසක් සිටින ආයතනයක ප්‍රධානියා ගේ පුතු අප සමග එකට හිඳ දිවා භෝජනය ගැනීමේ ගර්වය ද ඇය වෙත වන්නට ඇත. 

ඉනික්බිති ගෙවී ගිය හැම දවසක ම වාගේ කුලාන් දිවා ආහාර ගත්තේ අප සමග ය. එය කොහෙත් ම වාචික එකඟතාවයක් මත සිදු වූ දෙයක් නොවේ. ඇතැම් විට අශිකා සමගින් මා සිය වීදුරු කුටිය ඉදිරියෙන් කෑම ශාලාව වෙත පඩි නගින යුරු බලා හිඳ ඔහු ආවා වන්නට ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 9

“සර්ට කතා කරමුද…”

කියා ඇතැම් දවසක අශිකා  වීදුරු කුටිය වෙත දල්වා ගත් දීප්තිමත් දෑසකින් යුතු ව කීවා ය.

“එපා එපා”

එවන් විටෙක මම සැර වීමි. මා නම් එතැනින් ඇවිද ගියේ වැරදීමකින් හෝ එදෙස බලන්නේ නැතිව ය.

තාත්තා ගේ හෘදය සායනයට ගිය දා මා කාර්යාලයට ගියේ නැත. මහ පාන්දර ක්ලිනික් පෝලිමට ගියත් කලින් අංකයක් ලබා ගත නො හැකි ය.

“ඊයෙ පෙරේදා ඉඳලම පෝලිමේ ඉඳල කට්ටිය අංක අරගෙනද මන්දා”

තාත්තා සිනහ වී ගෙන කියන්නේ හඬන්නට බැරි කමට බව මම දනිමි. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ක්ලිනික් පෝලිම් වල දුක් විඳින්නට වීමේ ශාපයෙන් ඔවුන් මුදා ගන්නට මම අපොහොසත් ව හිඳිමි. එක අතකට දික්කසාදය ද ආශිර්වාදයක් සේ දැනෙන අවස්ථා නැතිවා නොවේ. විවාහයට බැඳී සිටියා නම්, මේ විදිහට මවු පියන් ගැන බලන්නට මට ඉඩක් ලැබෙන්නේ නැත. කසුන් ඇරඹුමේ සිට ම මාව පවුලෙනුත් ඥාතීන්ගෙනුත් ඈත් කොට තැබීමේ උත්සාහයක් දැරුවා කියා දැන් මම සිතමි.

 පිටින් සිනහවක් පෙන්වූවාට තාත්තා ගේ හදවතේ ගින්දරක් වන බව මම දනිමි. එක පැත්තකින් සිය දියණිය දික්කසාදය තුරුලු කර ගෙන ගෙදර පැමිණ සිටින්නී ය. අනිත් පැත්තෙන් ඔහු ගේ බිරිඳ රෝද පුටුවකට වැටී සිටින්නී ය. අනිත් අතට ඔහු ද හදවත් රෝගියෙකි.

“අපි ලබන මාසෙ ඉඳං ඩොක්ට චැනල් කරල බෙහෙත් ටික ප්‍රයිවට් අර ගමු තාත්තෙ”

අමාරුවෙන් මුත් මා එසේ කියා ගත්තේ මගේ හදවත හඬත්දී ය. තාත්තලා දරුවන් බුරුත්තක් හැදුවේ නැත. හැදුවේ දෙදෙනෙකි. ඉන් වැඩිමහල් පුත්‍රයා විවා පත් ව බිරිය ගේ මහ ගෙදරට කිට්ටුවෙන් පදිංචි වූයේ, මවු පියන් බැහැ දකින්නට වුව එන්නේ වසරකට වතාවක් හෝ දෙකකි.

“වැඩ අප්පා. හෙල්ලෙන්න විදිහක් නෑ”

සිය හෘදය සාක්ෂියෙන් නිදහස් වනු පිණිස, එසේ පැමිණි හැම වතාවක ම ඔහු නිසැකව ම පවසන්නේ ය. නමුත් නික්ම යන්නට පෙර අයියා අමමා ගේ අත මිට මොලවන්නේ සොච්චම් මුදලකි.

“මේ දවස්වල ඔක්කොම හිර වෙලා අම්මෙ. මං තාත්තගෙ එකවුන්ට් එකට සල්ලි ටිකක් දාන්නංකො”

එහෙම කියා පැන ගත්තත් අයියාට කිසි දා ඒ ගිනුම් අංකය සිහි පත් වන්නේ නැත. කවර දුෂ්කරතා මධ්‍යයේ වුව ජීවිතය ගැට ගසා ගන්නවා විනා අම්මලා ද අයියාගෙන් මුදලක් නො ඉල්ලති.

“දරුවන්ට වුණත් කරදර කරන්න හොඳ නෑ රම්‍යා. අපි පුළුවන් හැටියකට අපේ ගැන බලා ගමු”

තාත්තා නිරන්තර අම්මා ට කියන කතාව ඒ ය.

“පුතා කිව්ව වගේ මාත් හිතං ඉන්නෙ අර එකවුන්ට් එකේ ඉතුරු වෙලා තියෙන සල්ලි වලිං හරි ටිකක් අරං හොඳ බේත් ටිකක් ගන්න”

මගේ හදවත මැද භූ කම්පනයක සෙලවීම සිදු විය. ඒ, තාත්තා ගේ මුවින් පිට වෙනු මා කිසි දා අසා නැති කතාවකි.

“දැං මට මැරෙන්න පුළුවන් කමක් නෑ”

තාත්තා බරැති හුස්මක් හෙළුවේ ය. කෙතරම් මා සසල ව සිටියේ ද යත් කිසිත් කියනු හෝ අසනු නො හැකි ලෙස මගේ උගුර හිර වී තිබිණි.

“පුතාව දීග දීපු දවසෙ මං හිතුව දැං ඉතිං ඕන වෙලාවක මැරෙන්න පුළුවන් නිදහස් මිනිහෙක් මං කියල. ඒත් දැං ආයෙත් මට මැරෙන්න බෑ පුතේ. ආයෙත් දුවෙක්ගෙ වගකීම මගෙ ඔළුව උඩ බරක් වෙලා පැටවිලා. දැං මං ඉස්සර වගේම පුතා ගැන හිතන්න ඕනෙ. පුතාව පරිස්සං කරන්න ඕනෙ. දැං ඉතිං මැරෙන්න ලේසි නෑ”

තාත්තා ගේ බොර පැහැ නෙත් කෙවෙනි අගින් කඳුළු බුබුලක් පිටතට පැන්නේ ය.

“අනේ තාත්තෙ”

කියමින් මම වහා සුරතේ ඇඟිලි තුඩගින් ඒ කඳුළ දොවා හළෙමි. හදවත් පටක පුපුරා ලේ ගලන රිදුමක් මට දැනුණේ ය. තාත්තා ගේ පපුවට එහෙවු බරක් දනවන දුවක වන්නට කොහෙත් ම මට ඕනෑ වූයේ නැත. නමුත් මගේ උරුමය වූයේ එයයි. මගේ ඉරණම වූයේ එයයි. කෙසේ නම් මා මගේ තාත්තා ගේ පපුවේ ඔඩු දුවන මේ රිදුම සුවපත් කරලමි ද?

3.8 8 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments