සුළං සීනු – අවසාන කොටස

“තාත්තා කියනව අන්තිම කාලෙවත් ලංකාවට එන්න ඕන කියල..”

අම්මා හදිසියේ මා ඇමතුවේ එවගක් කියන්නට ය. මා කුඩා කාලයේ බලහත්කාරයෙන් අකුරු ලියැවූ අම්මා මා වයසින් වැඩී යද්දී ඈට උවමනා ඉලක්ක මා ලවා කරවා ගන්නට බොහෝ වෙහෙස වූවා ය. ඇගේ ඉලක්ක වෙත විදින ඊතලය මා වෙද්දී නංගී ඇගේ සුරතලිය වූවා ය.බිඳී ගිය හිතක් සහිත දැරියකගේ යෞවනය දේවක වැනි යහපත් තරුණයෙකු අතපත් නොවී නිසල් වැන්නෙකු ඩැහැ ගත්තා නම් මගේ අනාගතය අන්ධකාර ගුහාවක පතුලේ ගිලී යන්නට තිබුණා නොවේදැයි මම සිතිමී.එහෙත් දැන් ඒවා සිතන්නට කාලය නොවේ.ඈ බොහෝ කලකට පසු අප වෙත එන්නට තීරණය කර ඇත.

“අන්‍තිම කාලෙට නම් තව කොච්චරකල් තියද අම්ම..ඒ උනාට කමක් නෑ අම්මල එන්න.. ගේ රෙන්ට් එකටම දෙමු. අම්මල අපි ගාව ඉන්න..”

මම ඇයට ආදරයෙන් පැවසුවෙමි. අම්මාට ආදරයෙන් සලකන්නටත් මගේ ජීවිතයේ අසීරුම කාලය නංගී ඇසුරේ ගෙවා දැමූ ඈ ගැන අහිතක් නොසිතා සිටින්නටත් තරමට මම වැඩුණු ගැහැනියක බවට පත් ව සිටියෙමි.

සීනු පාසල් දැරියක බවට පත් වන්නට තිබුණේ ඉතා කුඩා කාලයකි.නැවත නැවතත් සිතා බැලීම් වලින් පසු නිවසේ සිට රැකියාවක් කරන්නට මම ඉටා ගතිමි.ඉපයීම සේම සීනු වෙත රැඳීම ද සමසමව බෙදා ගන්නට කාලය පැමිණ ඇත.

“දූලා ඉන්න අම්මලා ගෙවල්වල ඉඳගෙන දූල බලාගන්න ඕන කියල නියමයක් නෑ තමයි සංක.ඒත් පහුගිය කාලෙම මට ඔයත් මඟ ඇරිල සීනුත් මඟ ඇරිලා. මං ෆ්‍රීලාන්සින් වැඩ පටන් ගන්නව. හිතුණු කාලෙක ආයේ ඔෆිස් යන්න බැරියැ.. දැන් මට ඕන පොඩි නිවාඩුවක්..”

සංක සුපුරුදු ලෙසම හිනැහුණේ ය. ඔහු යන ගමනට දිරියක් වෙමින් වඩවඩා සීනු වෙත නැඹුරු වීම මේ මොහොතේ මට සතුටක් විය.

තිසුරි කැනඩාවේ වෙසෙන ඇගේ වැඩිමල් සහෝදරයා වෙත යන්නට ගියා ය. නික්මෙන්නට පෙර දින ඈ මා වැළඳගෙන බොහෝ වෙලාවක් හඬන්නට ගත්තා ය. මගේම නංගී කෙනෙක් මෙන් සිතා මා ඈ තුරුලු කර ගතිමි.

“හෙමින් හිත හදා ගන්න නංගි. හැබැයි මං ආයේ ආයෙම කියනව නිසල්ව සම්පූර්ණයෙන් අමතක වෙනකම් කාටවත් ළං වෙන්න එපා.ඒක ඔයාට නෙවෙයි,එයාට කරන අසාධාරණයක්.”

ජීවිතය මට ඉගැන් වූ පාඩම් අපමණ ය. ඒවා තවකෙකුට පාඩම් වනවාට මා කැමති ය. මගේ කුඩා සීනු උස්මහත් දැරියක වූ දිනයක ඈට මේ හැම දෙයක්ම කියන්නට මම ඉටා ගතිමි.ගැහැනු දරුවෙකු ජීවිතයේ පාඩම් ඉගෙන ගන්නේ අම්මාගෙනි.

තිසුරි නික්ම ගොස් ටික දිනකින් මට භාතියගෙන් ඇමතුමක් ලැබිණ.

“පවී,මං නිසල්ව දැක්කනෙ. මේ වීක් එන්ඩ් එකේ අපි උණවටුනෙ ගියානෙ. මෑන් ලස්සන කෙල්ලෙකුත් එක්ක ඇවිත් හිටිය. වයිෆ්ව මීට් වුණු නිසා ඒ එයා නෙවෙයි කියල මට ෂුව…මේ කොහෙහරි ඉන්න තිසුරි වගේම අහිංසක කෙල්ලක්…”

භාතිය කතා කරන්නේ ආවේගයෙනි. ඔහු නිසල්ට කතා කළේදැයි දැන ගන්නට මට ඕනෑ විය.

කියවන්න :  සුළං සීනු -5

“නෑ.. මොකටද හිතුණා.. ඌ සුදනා වෙන්න දාහක් හේතු කියයි…ඇත්තටම අපි මොකටද බං ඒවා අහන්නේ..”

සැබෑවකි.නිසල් ඔහු කිසිදු වරදක් කර නැති පුද්ගලයෙකු ලෙසට හැසිරෙමින් දහසක් හේතු කියන්නට මැලි නොවන බව මම ද දනිමි.ඔහුට අනුව තිසුරි ඔහුගේ ප්‍රේමය පතමින් ඔහුට වදයක් වූ අතර මා හැම දොම්නසක්ම ඔහුට පවසමින් ඔහුගේ අනුකම්පාවට ලක් වූ තැනැත්තියකි.ඔහු කිසිදු වරදක් කර නැති අතර වරද ඇත්තේ අප සතුව බව නිසල් අනිවාර්යයෙන් පවසන බව මම දනිමි.ඉතින් එවැන්නෙකු සමඟ කතා කිරීමේ තේරුමක් නැත.

වස්සානය ඇරඹී තිබිණ.අලුත් මල් පිපී හිනැහෙන උද්‍යානයට වී මම අනාගතය ගැන බොහෝ සැලසුම් සැකසීමි.නිවසේ සිට රාජකාරියක නිරත වෙද්දී පවා නිදහස ඇහිරෙන තැන් ඕනෑවටත් වැඩි ය. මා කරවටක් වැඩ අතර ගිලී යද්දී තාත්තාත් දුවත් මට නෑසෙන හඬින් සෙල්ලම් කරන හැටි සියලු වැඩ පසෙක දමා බලා සිටීම මගේ ප්‍රියතම රාජකාරියක් ව තිබිණ.විඩාබර දිනයක් අවසානයේ හිස තබා ගන්නට උණුසුම් පපුතුරක් ඇති බව සය වසරක් තිස්සේ අමතක කර දැමීම ගැන මට මා කෙරෙහිම සමාවක් දෙන්නට අසීරු විණි.

හිරු පළමු රැස් කැරැලි පොළොවට එවන්නටත් පෙර උදෑසනක චානකගේ ප්‍රීතිය පිරුණු කටහඬ දුරකථනය ඔස්සේ මට ඇසුණේ ජීවිතයේ ඇසූ ඉමිහිරිම පණිවිඩයක් රැගෙන ය.

“පවී.. කෙල්ලයි කොල්ලයි දෙන්නම හොඳින්.. ලෝචිත් හොඳින්..රූම් එකට දැම්ම ගමන් මම කෝල් එකක් අරන් දෙන්නම්”

සීනුගේ සුවඳ කෙහෙරැලි අතරේ දෑස් සඟවා ගනිමින් කඳුළු සඟවා ගන්නට වෙර දැරූ ලෝචනා කෙනෙකු පසුගිය කාලය පුරා මම දරා සිටියෙමි. “වඳ ගෑනු” යැයි ඇයට කොතැනක හෝ අමන මිනිස් කටහඬකින් ඇසුණු වහා ඈ කළේ පැමිණ සීනුව තුරුලට ගෙන සිටීම ය. ඇගේ කඩා වැටෙන හදවත සීනුගේ කුඩා හාදුවකින් සනසා ගන්නා අයුරු මා බලා හුන්නේ තෙත්ව ගිය දෑසිනි. දෛවය ඇයට වඩා ඉමිහිරි ත්‍යාගයක් පිරිනමා ඇත.සතුට පැමිණ ඇත්තේ දෙගුණ වෙමිනි. සීනු වැනි කුඩා දියණියක ගැන සිහින මැවූ ඇය වෙත මල්ලී කෙනෙකු ද අඬගසා ගෙන කුඩා අක්කා කෙනෙකු පැමිණි ආරංචිය මා විඳගත්තේ ගලා යන කඳුළු අතරිනි.

ඉන්පසු මල් පිපෙන්නට පටන් ගත්තේ සීමාවක් රහිතව ය.

සීනුගේ පෙර පාසලේ වර්ෂාවසාන උත්සවයට සැරසෙන අතර සංකල්පට මට කියන්නට රහසක් තිබිණ. වඩා සුන්දර රහස හිමි මට බැවින් මා ඔහුට ඇහුම්කන් දෙන්නට සිතුවෙමි.

“අපි මේ වැකේෂන් එකට නංගිලා බලන්න යං ද.. අපි මෙච්චර කල් එහෙම ගමනක් ගිහින්ම නෑනෙ..අපිට අම්මයි තාත්තයිත් එක්කන් එන්නත් පුලුවං..”

මම දෑසින් හිනැහෙන්නට පටන් ගතිමි.යුතුකමක් සේ සලකා මිස සැබෑ ආදරයක් නොමැතිව ගෙවූ දිනයක් හැම ගෙවී ගිය සය වසරටම තිබිණ.ඇතැම් වසරවල මා ඒ දිනය ගැන අමතක වූවාක් මෙන් හැසිරුණෙමි.නමුත් මම ජීවිතය තිබෙන තුරු ඒ දිනය යළි අමතක කරන්නේ නැත.

“අද දවස මතක ද ඔයාට…”

මා ඇසුවේ ඔහුගේ දෑසට එබෙන අතර ය.

කියවන්න :  සුළං සීනු 28

“අමතක නැති නිසානෙ ඔහොම ඇහුවේ..ඇනිවසරි ගිෆ්ට් එක ඒක කියලා අදම ටිකට් බුක් කරන්නං..”

සංකල්ප අනතුරුව හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“ඔයා මගේ වෙලා අවුරුදු හයක් ද,ඔයා මට ආදරේ නෑ කියලා අවුරුදු හයක්ද කියලා මං මේ කල්පනා කරේ..”

මම ඔහුට මිටි කරගත් අත්ලෙන් පහරක් ගැසීමි. ඔහුට දෙන්නට මා සතුව ත්‍යාගයක් ඇති වගක් ඔහු දන්නේ නැත.

“ඔයාට මං ගාවත් ඇනිවසරි ගිෆ්ට් එකක් තියනව සංක. හැබැයි මං ඔයාගෙ ගිෆ්ට් එක බාර ගන් නෑ..ඒක කරන්න විදියක් නෑ..”

ඔහු මා කෝපත් වෙන ඕනෑම මොහොතක කරන්නාක් මෙන් මගේ හිස මෘදුව පිරි මැද්දේ ය.අම්මලාගේ ආදරය යළිත් මට නුවුමනා වග මා සිතන වගක් ඔහු සිතමින් හිඳින හැඩ ය. මට ඔහුට එසේ සිතන්නට දෙන්නට උවමනා නොවිණ.

“මං ඔයාගේ ගිෆ්ට් එක බාර නොගන්නේ එහෙම ගමනක් යන්න මට බැරි නිසා.මෙන්න ඔයාට මගේ ගිෆ්ට් එක.. අපේ සීනු අක්කි බබෙක් වෙන්නයි යන්නෙ..ඉතිං අපි කොහොමද එච්චර දුර ගමනක් යන්නේ..”

සය වසරක් පුරා නොලැබුණු තරමේ ප්‍රේමණීය වැලඳ ගැන්මක මා ගිලී ගියේ ය. නමුත් ආදරය මැදට පනින්නට මඟ බලා සිටින ඉරිසියාකාරිය දිව විත් අප මැදට රිංගා ගත්තා ය.

“ඔන්න සුදු මැණික,අම්මි ඔයාට නංගි බබෙක් ගේන්න යන්නේ. මල්ලියෙක්ද දන්නෙත් නෑ..”

සීනු විසල් කර ගත් දෑසින් මදෙස බලා හුන්නා ය.

“ලෝචි නැන්දිගෙ නංගියි මල්ලියි වගේ කතා කරන්නත් බැරි සෙල්ලං කරන්නත් බැරි නංගිලා මල්ලිලා නම් බබාට එපා.මාත් එක්ක සෙල්ලං කරන මල්ලියෙක් තමා මට ඕන..”

සීනු එසේ ඉල්ලා පිටතට දිව ගියා ය.ටිමීගෙන් පටන් ගෙන නීතා දක්වාත් ඇගේ හැම සෙල්ලම් බෝනික්කෙක්මත් ඈ අක්කා පදවියට උසස් වී ඇතැයි තව මොහොතකින් දැන ගන්නා බව සිතමින් මම සැහැල්ලුවෙන් සිනා සුණෙමි.

“සංක, දුව පුතා කියලා තේරිලි වලට නම් මං ආස නෑ..ඒත් මේ පුතෙක් උනාදෙන්.. ඔයා වගේම පුතෙක්.මං අද ජීවත් වෙනව වගේම කවදහරි දවසක කාගෙහරි දුවෙක්ව ආදරෙන් බලා ගන්න පුතෙක්.ඔයා වගේ මනුස්සකමින් ආදරෙන් දිනන පුතෙක්.. ඕනෑම ප්‍රශ්නයක් දිහා හිනාවෙලා බලන පුතෙක්..”

ඔහු කිසිත් නොකීවාට ඒ ඇස් දිලිසෙමින් තිබිණ.කොහෙන්දෝ ආ සුළං රැල්ලක් කාමරයේ එල්ලා තිබූ සුළං සීනුව නින්නාද නැංවී ය.

මම සැනසීමෙන් නෙත් පියා ගතිමි.ලෝකයේ සිටින හැම ගැහැනියකටම නිසල් වැනි අවස්ථාවාදි මිනිසුන් හමු නොවී සංකල්ප වැනි ප්‍රේමවන්තයන් හමු වේවා යැයි පතනු විනා මට ප්‍රාර්ථනා කරන්නට අන් කිසිත් නැත.

ප්‍රේමයම පිරී ගිය හදවතක් මා සහ දරු දෙදෙනා වෙනුවෙන් ආදරයෙන් ගැහෙන හඬ අසමින් මම ජීවත් වීම ඇරඹීමි. තව සිය වසක් ජීවිතය ගෙවන්නට තරම් ආදරයක් මා සතු ය.

මම ප්‍රේමයෙන් පිරී ගිය ගැහැනියක් මි.

සමාප්තයි!

සතියේ දවස් හතම “මන්දාරම් හැන්දෑවක” ගෙවන්නට හෙට සිට මුණ ගැහෙමු.

4.3 7 votes
Article Rating
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
2 months ago

ඒක මාරම ලස්සනයි.. ඇඩෙන තරම් ලස්සනයි.. Thank you..

Sudharshana Abeyrathne
2 months ago

මේ මුලු කාලෙටම මම මේ කතාවත් එක්ක ජීවත් උනා.
ගොඩාක්ම ලස්සනයි.
මේ ලෝකේ හැම ආදරනීය බිරිඳකටම සංකල්පගේ වගේ ආදරයක හිමි වේවා!!!!!

Chamira
2 months ago

Thank you very much for lovely story

Pooja Supipi
2 months ago

හරිම ලස්සනයි අක්කෙ..❤ එක හුස්මට කියෙව්ව ඉවර වෙනකන්ම..ජීව්තය කියල දෙන මේ වචන වලට හුගක් ස්තූතියි !!!

Anuradha silva
1 month ago

Adare hithunu kathawak. Hoda rshayak…