fbpx

ඔබට ඇහෙනවනම් – 5

ජීවිතය කියන්නේ හැම විට ම අප කැමති ම තැනක් නො වන්නට පුළුවන. නමුත් බැඳීම් වල හයිය කෙතරම් ද යත් අපට එකී ජීවිතය හැර දා යා නො හැක්කේ ය. තාත්තා ගේ දුව නම් දික්කසාදයෙන් පසු හෝ යළි ගෙදර පැමිණ තියේ. ඔහු වෙත පැමිණ තියේ. ඔහු ට හිමි වී තියේ. නමුත් මගේ මාතෘත්වයට තෙවසරක් පිරෙන්නටත් පෙර මපුතු මගේ තුරුලෙන් උදුරා ගැනිණ. මට ඔහු අහිමි කරවනු ලැබී ය. ඒ අතින් මගේ තාත්තා ට වඩා මා අතිශය අවාසනාවත් මවකි. නමුත් මට ජීවිතය හැර පියා යා නොහේ. එක පැත්තකින් මගේ අසරණ මවු පියන් ය. අනිත් පැත්තෙන් පුතා උස් මහත් වී තරුණයෙකු ලෙස වැඩෙනු දකින්නට මවක වශයෙන් මසිත් හි වන සීමා මායිම් නැති තෘෂ්ණාව ය. හැමදාමත් ඔහු දෙස බලා ඉන්නට දැවෙන ආශාවක් හදවත වේ. නමුත් නීතිය කියන්නේ මොන තරම් කුරිරු දෙයක් දැයි මේ මවුවත් හදවතට දැනී තියෙන්නේ වරක් දෙවරක් නොවේ. මගේ පුතා මගේ ඇස් මානයේ රැඳෙන්නේ මාසයකට දින හතරකි. සතියකට එක් දිනකි. දවසකින් පැය අටක දහයක කාලයකි. අම්මා කෙනෙකු ගේ හදවත දෝරෙ ගලන්නා වූ ආදරයට එවන් සීමාවක් ප්‍රමාණවත් යයි තීන්දු දිය හැකි වූයේ නීතිය පිළිබඳ කවර නම් විශේෂඥයාට ද?

හදවත තුවාල පෑරෙමින් පැවතියත් මා කාර්යාලය ට යන්නේ වත මත සුපිපි සිනහ මලකිනි. ඒ නිසා වැඩි දෙනෙක් මගේ ගැන දන්නේ නැත. මගේ පුද්ගලික ජීවිතයේ පුද්ගලික ම කාරණා ගැන දන්නේ ශ්‍රීනාත් මහතා හා අශිකා පමණකි.

තාත්තා ගේ සායන දිනයෙන් පසු දා මා කාර්යාලයට ගියේත් පුරුදු හසරැල්ලෙන් ම ය. කාර්යාල ගොඩනැගිල්ලෙන් පිටත මිදුලෙහි බෙදාහැරීමේ කලමණාකාරවරයා හා කුලාන් කතා කරමින් සිටියහ.

“ගුඩ් මෝනිං සන් පබ්ලිකේෂන්ස් වල සන් ෆ්ලවර් ගර්ල්”

කලමණාකාර තැන මට සුබ පැතුවේ ඔහු ගේ හිතේ නැති ළෙංගතු කමකින් බව මම දනිමි. නමුත් මම ද ඔහු වෙත මඳහසින් සුබ පැතුම් එක් කළෙමි.

“ගුඩ් මෝනිං මිස්ට පෙරේරා”

කුලාන් හිටියේ මාව පිච්චියකට මායිම් කරන්නේ නැති නො සැලකිල්ලක ය. නමුත් මිස්ටර් පෙරේරා ට පමණක් උදෑසන ට සුබ පතා කුලාන් ට ඉවත බලා ගෙන යා නො හැකි ය. ඔහු වූ කලී මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. එහෙයින් මම බලෙන් ම ඔහු ට කතා කළෙමි.

“ගුඩ් මෝනිං සර්”

ඔහු පෙරලා සුබ පතනු මට නෑසිණි. බොහෝ දුරට ඔහු එහෙම කරන්නට නැත. එහෙම කළ යුතුමත් නැත. පෙරලා කෙනෙකුට සුබ පැතීම හෝ නො පැතීම ඔහු ගේ කාරියකි. එනයින් මම එය ඒ හැටි නො තැකීමි.

දිනක් නිවාඩු ගන්නවා කියන්නේ පසු දාට දින පහක වැඩ ගොඩ ගැහී තියේ. මගේ හිසෙහි වූයේ ඒ වැඩ කන්ද අඩු කර ගැනීමේ කල්පනාව පමණකි. කුටියේ වීදුරු දොර හැරී සරත් ගේ හිස ඇතුළට එබුණේ එවන් මොහොතක ය.

“නිම්නා මිස්. සර් කතා කරනව”

“එම් ඩී සර්ද…”

මම පරිගණක තිරය වෙතින් දෑස් ඉවතට නො ගෙන ම ප්‍රශ්න කළෙමි.

“නෑ. පොඩි සර්. ලොකු සර් අද ආවෙ නෑනෙ”

ඒ බවක් හෝ මම නො දැන සිටියෙමි. එපමණට ම හිතේ වූයේ වැඩ ගැන මතකය පමණකි.

“හරි මං එන්නං සරත් අයියෙ”

ඉතා ඉක්මනින් මා කුලාන් වෙත එන විටත් ඔහු හිටියේ ලිපි ගොනුවක් අතරේ අතරමං වී ය.

“එක්ස්කියුස් මී සර්”

විනාඩි කිහිපයක් මේසය ඉදිරියේ මා බලා හිඳත් ඔහු හිස නො ඔසවන තැන මම කතා කළෙමි. එක වරක් ඇස් ඔසවා බැලු හෙතෙම අතින් මට අසුනක් පෙන්වා යළිත් ඇස් දෙක ලිපි ගොනුවෙහි ඔබා ගත්තේ ය.

මා තුළ නො රිස්සුමක් නැගී එන්නට ඇත. ඔච්චර ලොකු වැඩක් තිබෙනවා නම් කුමට මට කතා කළේ ද? මා සිටින්නේ හුස්ම හිර වෙන තරම් වැඩ ගොඩක ය. මේ ගත වෙන විනාඩියක් පවා මට අගනේ ය.

“එක්ස්කියුස් මී සර්…”

මම නැවතත් කතා කළෙමි. ඔහු ගේ දෑස් ප්‍රශ්නාර්ථයෙන් මවෙත යොමු විය. මම නො සන්සුන් ව කතා කළෙමි.

“සර් වැඩකනං මං පස්සෙ එන්නං”

“දැං ඒක තීරණේ කරන්නෙ තමුන්ද මමද…”

ඒ තරමක් දැඩි ප්‍රශ්න කිරීමකි.

“නෑ සර්…මට ඊයෙ වැඩ ටිකත් කම්ප්ලීට් කරන්න තියෙන නිසා…”

“ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මොකද්ද මේ නිවාඩු ගැනිල්ල…”

මා උඩ ගොස් බිම වැටෙන්නට ඇත. සිරුරේ ලේ ධාතුව රත් වන්නට ඇත.

“මං ලීව් ෆෝම් දාල ගියේ සර්. එම් ඩී සර් සයින් කරල ලීව් කන්ෆර්ම් කළා”

“එම් ඩී සර්ගෙ කන්ෆර්ම් කිරිල්ලක් ගැන නෙවෙයි මං කතා කරන්නෙ. තමුං නිවාඩු ගන්නව වැඩියි කියලයි මං කියන්නෙ”

ඔහු මේසය මත වූ ෆයිල් එක ඔසවා යළි මේසය මතට දමා ගැසුවේ යක්ෂාවේෂයෙනි.  මසිත් හි මඳ ගැස්මක් ඇති නො වුණා ම නොවේ. නමුත් ඒ බිය ඔහු ට පෙන්වන්නට මට ඕනෑ වූයේ නැත.

“මං එහෙම නිවාඩු ගන්නෙනං නෑ සර්”

“නැත්තෙ මොකද…ගිය සතියට කලිං සතියෙත් දවසක් ලීව්”

ඒ කියන්නේ ඔහු මගේ නිවාඩු ගැනීම් ගැන සොයා බලා තිබේ. මගේ හිතේ මේ මොහොතේ ඇති වූ කේන්තිය නම් අතිශය සාධාරණයි කියා සිතමි.

“ඔව් ගිය සතියට කලින් සතියෙත් දවසක් නිවාඩු ගත්ත තමයි සර්. මං මාසෙකට අනිවාර්යෙං දවස් දෙකක් නිවාඩු ගන්නව කියල එම් ඩී සර් දන්නව”

“එහෙම මාසෙකට දවස් දෙකක් අනිවාර්ය නිවාඩු අනුමත කරල තියෙන්නෙ මොන නීතියෙන්ද…ආ…”

“නීති පොතක එහෙම ලියවිලා නැතුව ඇති සර්. ඒත් සමහර මානුශීය කාරණා තියෙනව කම්පනි එකටයි සේවකයටයි කතා කරල සාධාරණ විදිහට විසඳගන්න පුළුවන්. මාසෙකට දවස් දෙකක් මට ක්ලිනික් යන්න තියෙනව”

“ක්ලිනික්…ඔයා ප්‍රෙග්නන්ට්ද…”

මේවාට කොහොම හිනා වෙන්න ද? ඔහු ගේ ඇස් විශ්මයෙන් ඇලලී ගොස් තිබිණ. මම සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගතිමි. සැබවින් මගේ කේන්තිය කොහේ ගහගෙන ගියා දැයි මට සිතා ගත හැකි වූයේ නැත.

“ප්‍රෙග්නන්සි ක්ලිනික් එකකට නෙවෙයි සර්. මගෙ තාත්ත හාට් පේෂන්ට් කෙනෙක්. අම්මට ආතරයිටිස්. ඒ දෙන්නව මාසෙකට සැරයක් ක්ලිනික් එක්ක යන්න ඕනෙ. මට ඒගොල්ලංව තනියම යවන්න බෑ සර්. ඒ දවස් දෙක අනිවාර්යයෙන් මං නිවාඩු ගන්නව. හැබැයි වෙන කිසිම හේතුවකට මේ වෙනකල් මං නිවාඩු අරං නෑ”

ඉන්පසු උදා වූයේ හදවතට පිහි තුඩු වලින් අනිනා නිශ්ශබ්දතාවයකි. මා හිටියේ කුලාන් ගේ දැවැන්ත මේසයෙහි දාරය දෙස බලා ගෙන ය. ඇස් වල දැවිල්ලක් දැනුණත් මේ වගේ පුරුෂයෙකු ඉදිරියේ කඳුළක් සලන්නට කිසි සේත් මට ඕනෑ නැත. මා හිස නගා බැලූයේ ඔහු ගේ ප්‍රශ්න කිරීම් දැන් වත් අවසාන නම් මෙතැනින් නික්මෙන්නට සිතා ගෙන ය.

“සොරි”

අපේ ඇස් එක රේඛාවක සමපාත වෙත්දී ම ඔහු කීවේ ය. ඒ වෙලාවේ ඒ ඇස් බැල්ම තියුණු වූයේ ය. වචනාර්ථය ස්වරයෙහි තැවරී තිබුණේ ය. 

“එහෙනං මං යන්නද සර්…”

එහෙම අසන විටත් මා අසුනෙන් නැගිට හමාර ය. ‘කවුද දැං එහෙම දේකට අවසර දුන්නෙ?’ වැනි කතාවක් ඔහු ගේ බැල්මේ ලියැවුණු බව මට පෙනිණි. නමුත් මම ඒ ගැන තැකීමක් නොකොට කුලාන් ගේ සීතල වීදුරු කාමරයෙන් නික්මුණෙමි.

“ඊයෙ කුලාන් සර් ලන්ච් වලට ආවෙ නෑ”

එදා දිවා ආහාර සඳහා කෑම ශාලාව වෙත යත්දී අශිකා කීවා ය.

“මූඩ් එකත් අවුල් වගේ. යකා වගේ හැමෝටම කෑ ගැහුවත් එක්ක”

“කෑ ගැහුව…ඇයි…”

“පොඩි දේවල් වලට. ඇති වැඩකටත් නෙවෙයි. ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක තරහ වෙලාද කොහෙද කියල කට්ටිය කතා වුණා”

“උදේ මාවත් කන්න ගියා ලීව් ගන්නව වැඩී කියල”

“අනේ මන්දා…හිතා ගන්න බෑ. අපිත් එක්ක වාඩි වෙලා හරිම ෆ්‍රෙන්ඩ්ලි කතා කර කර ලන්ච් ගන්න මනුස්සයනෙ අප්පා”

එසේ කියත්දී ම ඔහු ගේ පිය ගැටෙන හඬ පිය ගැට පෙළ දෙසින් මම හැඳින ගතිමි. කුලාන් මන්දහාසයකින් අසුනට බර වූයේ ය.

“ඊයෙ අශිකා බර්ත් ඩේ කේක් දුන්නෙ…යාළුවා හිටියෙ නෑනෙ”

“ආ ඒව හරියන්නෙ නෑ. මට අද ඕනෙ. ඔය චොක්ලට් කේක් වැඩක් නෑ කොහොමත්. මට ඕනෙ පයිනැපල් ගැටෝ එකක්”

මම පොඩි එකෙක් වාගේ මැද්දෙන් පැන්නෙමි. මගේ පැනීම ඉක්මන් කරවූයේ කුලාන් නැවතත් පෙර දා මා සේවයට වාර්තා නො කිරීම ගැන මාතෘකාව ඇද ගනිතැයි වූ බිය වන්නට ද ඇත. නමුත් මා පයිනැපල් ගැටෝ වලට ඇති පෙරේත කමනම් සත්‍යයකි.

“අනේ මේ…මට නං ආයෙ කේක් ගේන්න බෑ හරිද…”

“එහෙනං මාව කැෆේ එකකට එක්කං ගිහිං හරි දෙන්න වෙයි”

“කුලාන් සර්ත් දාන ලෙඩ…”

කුලාන් හඬ නගා හිනැහුණේ ය. එය අතිශය නිදහස් සිනහවකි. හිනා වෙත්දී සිහින් වන දෑසත්, ආකර්ෂණය සපිරි රැවුල් කොට පිරි මුහුණත්, ඒ මැද  පිපුණ සුදු සිනහවත් යන සියල්ල එක් ව ගත් කල එතැන මැවුණේ අමුතු චමත්කාරයකි. ඒ චමත්කාරයෙහි දෑස් අලවා ගෙන සිටියා වැඩි යයි දැනුණ මොහොතේ මම කලබලයෙන් බත් පත දෙස බලා ගතිමි. 

ඒ සිදුවීම එතැනින් මට අමතක ව ගියේ ය. යළිත් උදා වූයේ පරිගණකයට දත්ත ගබඩා කරමින් ද, බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් පුවත් පත් අලෙවි නියෝජිත මහතුන් සමග දුරකතන සාකච්ඡා වලට සම්බන්ධ වෙමින් ද ගත වූ හෝරා කිහිපයකි. කාර්යාලයෙහි පිරිසිඳු කිරීම් හා තේ පිළියෙල කිරීමේ කටයුතු කරන ලලිතා දොරට තට්ටු කරමින් ඇතුළට ආවේ ඒ වෙලාවේ ය. ඇගේ අතේ කේක් එකක් තිබෙනවා මම දුටිමි.

“අද කාගෙද ලලිතා ඇන්ටි බර්ත් ඩේ එක..”

මම කේක් කැබැල්ලක්  ගන්නට අත පාන ගමන් විමසීමි.

“කාගෙවත් උපන් දිනයක්නං නෙවෙයි නිම්නා මිස්. පොඩි සර් තමයි මේ කේක් ගෙන්නුවෙ. මේ ජාතියෙංම අරං එන්න කියලයි සරත්ව යැව්වෙ. මං හිතන්නෙ පොඩි සර් ආස කේක් ජාතිය. මුළු ඔෆිස් එකටම කේක් බෙදනව”

පයිනැපල් ගැටෝ! හදවතෙහි හට ගත් හිරියක් එක නිමේෂයක දී මුළු සිරුර පුරා ම විහිද යනවා මට දැනුණේ ය. 

“නිම්….”

කියා ගෙන අශිකා මගේ කුටිය වෙත දිව ආවේ ලලිතා පිටව යනකොට ම ය.

“මේකනං ඔයාට තනියම දෙන්න බැරිකමට දීපු ට්‍රීට් එකක් කියල හිතෙන්නෙ මට විතරද…”

“පිස්සුද…”

වචනයක තැවරිය හැකි කේන්තිය උපරිමයෙන් තවරා මම අශී ගේ මූණට දමා ගැසුවෙමි. නමුත් ඕ ඉන් සැළුණේ නැත.

“පිස්සු හැදෙනව නේන්නං මේවට. ඒ කියන්නෙ කුලාන් ඔයාට ක්‍රෂ්ද…”

“අශී…ඕකනං හොඳටම ඇතී…”

“මොනා වුණත් ඒ ප්‍රේමය ප්‍රකාශ කරපු විදිහට මං මාර කැමතී”

“අයියෝ අශී. දොඩවන්නෙපා”

කුටියේ වීදුරු බිත්තියට එපිටින් මගේ ඇස් ඈත බැලුවේ ය. ඔහු සිටින කුටියේ වීදුරු විනිවිදගෙන කුලාන් ගේ පිරිමිකාර ඇස් කිරණ කාන්දු වෙමින් තිබිණ. මම නො දැක්කා සේ ඉවත බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
4
0
Would love your thoughts, please comment.x
()
x