Chat with Smartlady – අශිකා මතසිංහ

කොහොඹ ” වෙළඳ දැන්වීම හරහා ඔබේ ආදරය දිනාගත් ඇය මේ වෙනකොට කලා ක්ශේත්‍රයේ ටෙලි නාට්‍ය කීපයකින්ම ඇයගේ දස්කම් ඔබ වෙත ගෙනවිත් අවසන්. 2019 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ තුන්වන ස්ථානය දිනාගත් අශිකා මතසිංහ සමඟයි අද Chat With Smart Lady කතා බහ දිග හැරෙන්නෙ

මොනවද මේ දවස් වල වැඩ කටයුතු?

හොඳින් කරගෙන යනවා.කොරෝනත් එක්ක ජීවිතේ අලුතින් හිතන්න පුරුදු වෙන්න වෙලා තියනවනේ.ඉතින් එහෙම හිතාගෙන දේවල් ගොඩක් මිස් කරගන්නෙත් නැතුව සීමා සහිතව වැඩ කරගෙන යනවා.

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වන්නේ?

මීට අවුරුදු 16 කට කලින් මම ඉස්කෝලේන් අවුට් වෙලා ඉන්න කාලේ මගේ නංගිගේ ඉස්කෝලේ project එකකට ස්වර්ණවාහිනියට ගියා..එතනදි H D ප්‍රේමරත්න සර් මාව දැකලා නාට්‍යයක නංගිගේ චරිතයක් තියනවා රඟපාන්න එන්න කියලා ආරාධනා කලා.මගේ අම්මත් හිටියා එතන.අම්මගෙන්ම තමයි ඇහුවෙත්.ඒ ස්ක්‍රීන් ටෙස්ට් ගිහින් ඒ නාට්‍යයට සහභාගි වෙන්න මට පුලුවන් උනා.එතනින් තමයි ගමන පටන් ගත්තෙ.

ඔබව අපි දැක්ක තව තැනක් තමයි Mrs Sri Lanka For Mrs World 2019 තරඟාවලිය. ඔබ එහි තුන්වැනි ස්ථානය ලබා ගත්තා. කොහොමද ඒ අත්දැකීම ?

ඒක මගෙ ජීවිතේට ලොකු අත්දැකීමක් උනා.ජීවිතේ ඔහේ ගලාගෙන යන්න නොදී මට හිතුනා මේ වගේ pageant එකකට යන්න ඕන කියලා.මොකද කාන්තාවන් විදියට අපි ගෙවල් වලටම හිර වෙලා ඉන්න ඕන නැහැ කියලා තමයි මම හිතන්නේ.අපිට මොනහරි දෙයක් කරන්න හිතුනොත් ඒක කරන්න ඕන.මේක අපිට ලැබිච්ච ජීවිතේ නේ.ඉතින් මේ ජීවිතේ අපි සතුටින් ගෙවන්න තමයි හැමතිස්සෙම උත්සහ ගන්නෙ.ඉතින් මම රංගන ශිල්පිනියක් වෙලා ඉද්දිත් මට හිතුන Mrs Sri Lanka තරඟයට apply කරන්න ඕනෙ කියලා.හැබැයි මේ දෙවනි වතාවට තමයි මම apply කලේ.කලින් 2016 දිත් මම Mrs Sri Lanka තරඟයට සහභාගි උනා.එතනදි මම හිතාගෙන හිටපු මට්ටමට යන්න බැරිවුනා.තරඟය අතරතුරදි මගෙ කකුල ආබාධයකට ලක්වුනා .ඒකත් එක්ක තමයි මම ෆයිනල් එකට මුහුණ දුන්නේ.අවුරුදු තුනක් විතර යනකොට කකුල හොඳ උනා.සපත්තු දෙකක් දාගෙන ඇවිදින්න පුලුවන් වෙයි කියලවත් මම හිතුවෙ නෑ ඒ වැටිච්ච වෙලාවේ.මගෙ දුව කිව්ව අම්මා ඔයා හැමතිස්සෙම අපිට කියනවනේ එකපාරක් නෙමෙයි ආයෙ ට්‍රයි කරන්න කියලා.එයා තමයි මගෙ හිතට ධෛර්යය දුන්නේ.මගෙ දුවගේ නම සනුකි. එයා හැමතිස්සෙම be positive කියන මානසිකත්වයේ ඉන්නෙ.ඒක මට ලොකු දෙයක්.මොකද එයාට අවුරුදු දහයයි.ඉතින් ඉන් පස්සෙ තමයි මම හිතුවේ ආයෙත් මම මේ pageant එකට යන්න ඕන කියලා.එයාලටත් මම ආදර්ශයක් වෙන්න ඕන නිසා මගෙ පුලුවන් උපරිම හැකියාව දාලා මම 2 nd runner up උනා.මගේ ජීවිතේට ගත්තම මට ඒක ලොකු ජයග්‍රහණයක්.මම ඒකෙන් ගොඩක්ම තෘප්තිමත් වෙනවා මගෙ ජීවිතේට මම දෙයක් කලානෙ කියලා.මම හැමතිස්සෙම හිතනවා අපිට කරන්න බැරි දෙයක් නෑ කියලා.ඕන දෙයක් හිතුවොත් ඇත්තටම ඒක කරන්න පුලුවන් .මං අවුරුදු ගානකට කලින් හිතපු දේවල් තමයි අද මට ලැබිලා තියෙන්නෙ.ඇත්තටම ඔයාලත් හිතලා බැලුවොත් අපි කාලයක් තිස්සෙ බලාපොරොත්තු වෙන ජීවිතේ අපිට දවසක ලැබෙනවා.සමහර කෙනෙක් සෘණ මානසිකත්වයකින් හිටියොත් අනේ මට නෑනෙ කියලා අපි වටේ තියන විශ්ව ශක්තියෙන් ලැබෙන්නේ මෙයා කැමති නෑ කියන දේවල් වලට නිසා අපි මෙයාට දෙන්න ඕන නෑ කියන දේවල් කියලා.ඒ දේවල් අන්තර්ජාලයෙන් බලලා තමයි මගේ ජීවිතේ මම ගොඩ නගාගත්තේ.මගෙ ජීවිතේ මම ලබපු අත්දැකීම් වලින් තමයි ජීවිතේ ගොඩ යන්න ඕන කියලා තීරණයක් ගත්තේ.මම හැමතිස්සෙම හිතනවා මොනහරි කරනව නම් මම හොඳ දෙයක් කරන්න ඕන කියලා.අපි අනිත් අයට සුබ පතන්න ඕන අපි හැමතිස්සෙම.ඒ තුලින් අපිට ආකර්ෂණය ලැබෙනවා ,කට්ටිය ආදරේ වෙනවා. අපි ජීවත් උනා කියලා කෙනෙක්ගේ මතකයෙ රැඳෙන්න ඕන කියන අදහසේ තමයි මම ඉන්නෙ.ඒ ඔක්කොම දේවල් ගත්තෙත් අපේ ගුරුවරු අපිට දෙන ආදර්ශයන් තුලින් තමයි.අපිට වඩා දැනුම තියන අය යූටියුබ් චැනල් වලින් එහෙම ඒ දැනුම දෙනවා.ඇත්තටම මේ කාලය ඒ වටිනා අදහස් ගන්න වැය කරන්න පුලුවන්.අපි වාසනාවන්තයි ඒ අතින් බලනකොට

සනත් ගමගේ මහතා ,භාතිය අර්ථනායක මහතා වැනි විශේශ අය ඉන්නවා එවැනි දේවල් youtube හරහා මුදාහරින.ඔබට එහෙම දැනුම එකතු කරගන්න විශේෂ කෙනෙක් ඉන්නවද?

මම සනත් සර්ගේ භාතිය සර්ගේ වීඩියෝස් බලනවා.තව එක එක චැනල්ස් තියනවා.ඒවයේ ගිහින් මම බලනවා.මෙයා කොයි විදියටද කියන්නෙ කියලා.නදීපා රණසිංහ මහත්මියගේ ඒවත් බලනවා.Motivate කියලා හෙව්වම එන ඔක්කොම වගේ හොයාගෙන ගිහින් බලනවා.

මේ ක්ශේත්‍රයේ ශිල්පින්ට කට කතා හැදෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

ක්ශේත්‍රයට ආපු කාලේ ඉඳලා අපිට ඒක නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.දැන් වෙනකොට අවුරුදු 16 කට එහා ගිය අතීතයක් මට තියනවනේ.ඉතින් මම හිතන්නේ කතා හදන එක අපිට නවත්තන්න බෑ ඒක බොහොම සාමාන්‍ය දෙයක් නේ.ඒක සාමාන්‍ය දෙයක් කියලම හිතුවම අපිට ඒක ලොකු බරක් වෙන්නෙ නෑ.අපි කරන දේ අපේ හිතට අවංකව හරියට කරනවා නම් අපි කාටවත් බය වෙන්න ඕනෙත් නෑ කියලා තමයි මම හිතන්නේ.

ඔබේ සැමියා හමුදා නිළධාරියෙක් ලෙස ඉතා කාර්‍යබහුල කෙනෙක්.නමුත් අපි කලින් කතා කරපු ඔබ සහභාගි වුන Mrs Sri Lanka තරඟයේදි ඔහුගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබුනා.ඒ ගැනත් කියමු

ඔහු ගැන කියන්නම ඕන.ඔහු සුරේන්ද්‍ර මුණසිංහ.මගේ ජීවන සහකරුවා.මට එයාව ලැබිච්ච එක ගොඩක් ලොකු වාසනාවක් කියලා හිතනවා.අපේ හඳහන් බලනකොට නම් අපේ ලොකු ගැලපීමක් තිබුනෙ නෑ.හැබැයි මට තේරුනා එයා තමයි මගේ ජීවිතේට ලංකර ගන්න ඕන කෙනා කියලා.ඉතින් මම ගොඩක් හිතලා බලලා තමයි ඔහුව මගේ ජීවිතේට එකතු කරගත්තේ.ඉතින් ඒක වැරදි තීරණයක් නෙමෙයි කියලා අද ගොඩක් සතුටු වෙනවා.මං ගොඩක් වාසනාවන්ත බිරිඳක් කියලා හිතනවා.එයා ගොඩක් කාර්‍යබහුල උනත් දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වගේම මට හොඳ සැමියෙක්.මාව හැමවෙලාවෙම ධෛර්යමත් කරන්නෙ එයා.මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නකොටත් කියනවා ගොඩ කාලෙකින් මොනවට වත් ගියේ නෑනේ අශිකා කමක් නෑ ඕකට ගිහින් එන්න කියලා කියනවා.එහෙම වචනෙකින් හරි කියන එක ලොකු හයියක්.මෙ වගේ කාලෙකදි එලියට බහින්නත් බයයිනෙ ඇත්තටම.ඉතින් එයා එහෙම ධෛර්යය දෙන එක මට ඇත්තටම ලොකු හයියක් .මම pageant එක ගැන කියනවා නම් ඒකේ තිබුනා best costume කියලා තරඟ වටයක්.එකේ තිබුනා හදන්න වෙනස් විදියේ ඇඳුමක්.එයා sketch එක කඩදාසියේ ඇඳලා තමයි හැදුවේ. ගුවන් හමුදා නිලධාරියෙක් උනත් එයාට හොඳ කලාත්මක ඇහැක් තියනවා.හිරාන් විජේසේකර තමයි ඒ ඇඳුම නිර්මාණය කලේ .වෙස් මුහුණු කලාව සහ රූකඩ කලාව තමයි අපි උපයෝගී කරගත්තේ.අන්තර්ජාලයෙන් බලලා තමයි අපි අදහස් අරගත්තේ. වෙස් මුහුණු තුනක් සහිත ටිකක් විශේශිත දෙයක් ඒක.ගොඩක් අය ඒ ගැන කතා කලා.අපිට ඕන උනේ ලොකු වෙනසක් කරන්න.ඒක උනා කියලා අපි හිතනවා.අම්බලන්ගොඩ ප්‍රදේශයේ තියන වෙස් මුහුණු කලාව ගැන ඉදිරිපත් කලේ මම.ඒකට මට පිටරට වලින් පවා මට ඒකට ලොකු ප්‍රතිචාර ලැබුනා.ඒ වගේම ඒකට අංගම්පොර කරන්න කියලා යෝජනා කලෙත් මගේ සැමියා.ඒ ගැන ලොකු දැනුමක් තිබුන කෙනෙක් නෙමෙයි මම.සැමියා විදියට එයා දුන්න ධෛර්යයට ,එයාට ඕන විදියට තමයි මම කරේ.ඉතින් එයාව ඇගයීමට පත් කිරීම ගැනත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ pageant එකේ හැමදෙනාටම. එයාව තෝරගත්ත එකට මම හරි ආඩම්බරයි ඇත්තටම.

ඔබට ජාත්‍යන්තර තරඟයට යන්න බැරි උනත් ලංකාව තුල ඔබ ජයග්‍රාහිකාවක්?

ඔව්.එතනදි මම තෘප්තිමත් වෙනවා මට ලැබුනු තැන ගැන.මොකද මම ගොඩක් දේවල් දන්නෙ කෙනෙක් නෙමෙයි.මට ඕන උනේ මගේ හැකියාව පෙන්නන්න සහ අනිත් අය අතර කැපී පෙනෙන්න විතරයි.මමත් මේ ලෝකේ එක පුද්ගලයෙක් විතරයි. මටත් සුවිශේශි හැකියාවන් තියනවා කියලා පෙන්වන්න තමයි මට ඕන උනේ.ඉතින් මම හැමදෙනාටම ආරාධනා කරනවා හොඳ pageants වලට යන්න,තමන්ගෙ හැකියාව පෙන්වන්න උපරිමයෙන් කියලා මම ඉල්ලා සිටිනව අපේ ආදරණීය කාන්තාවන්ගෙන්.

ඇත්ත ජීවිතයෙදි ඔබ මවක් විදියට රංගන ජීවිතයේදි ඔබ චරිත තෝරා බේරා ගැනීම් කරන්නේ කොහොමද ?

මේ දවස් වල මම ඉන්නෙ අහස් මාලිගා නාට්‍යයේ.ඒකේ මට ඉන්නේ අවුරුදු 20 ටත් වඩා වැඩි දරුවෝ.එතනදි මම වෙනස් වෙනවා මගේ වේශ නිරූපණය තුලින්.මේකප් එකෙන් ,ඇඳුම් වලින්,ඇවිදින විදියෙන් සහ කතා කරන විදියෙන් පවා අපිට කැරැක්ටර් එක වෙනස් කරගන්න පුලුවන් .අනෝජා වීරසිංහ ගුරුමෑණියන්ට ස්තූතිවන්ත වෙනවා එයාගෙ රංගන පාසලෙන් තමයි මම මේ දේවල් ඉගෙන ගත්තෙ.ඉතින් ස්තූතිවන්ත වෙනවා අද වෙනකොට මට ගොඩක් ලොකු ගමනක් යන්න පුලුවන් වෙලා තියනවා ඒ ඉගෙන ගත්ත දේවල් නිසා.

අපි ඔබෙන් දකින දෙයක් තමයි ඔබ කරන කාර්යය වෙනුවෙන් ගොඩක් වෙහෙසෙන එක.අද ගොඩක් අයගෙන් දකින්න නැතිම දෙයක් තමයි ඒක. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?

අපි පොඩි කාලේ ඉඳන් අපේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියනවනෙ.අපි හොඳ දෙමව්පියන් ,හොඳ ගුරුවරුන් ලැබුනොත් ඒක පෙර පිනකට ලැබෙන දෙයක්.එහෙම ලැබුනොත් තමයි අපිට හරි පාර පෙන්වන්න එයාලා ඉන්නෙ.එහෙම නොලැබුන කෙනෙක්ට අපි ඇඟිල්ල දික් කරන වැරදියි ඇත්තටම.එයාලා ගැන අපි අනුකම්පා කරන්න ඕන සහ ඇයි එහෙම උනේ කියලා හිතන්න ඕන.අපිට තේරුම් කරලා දෙන්නත් අමාරුයි ඒ වගේ අයට.එයාලම ඒක තේරුම් අරගත්තොත් හොඳයි.ඒ වගේ අයට ඇත්තටම මම මුකුත් කියන්න යන්නෙත් නෑ.මොකද අපිට ආපිට දෝශාරෝපන එල්ල වෙන්න පුලුවන් නෙ අපි පණ්ඩිතකම් කියනවා කියලා.මම එහෙම වෙන්න කැමති නෑ.මම මගේ ජීවිතේ පුලුවන් තරම් වැරදි හදාගෙන ඉස්සරහට අරගෙන යනවා.කවුරු හරි කෙනෙක් මගේ ජීවිතේ දැකලා හරි මම කරන දේවල් දැකලා හරි ඒ දේවල් එයාලගෙ ජීවිතේට එකතු කරගන්නවා නම් ඒක තමයි මට ලැබෙන පින කියලා මම හිතනවා.ඒක තමයි Smart Lady එකේ මේ program එකට හරහා අද ඔයාලට කතා කරන්න හිතුවෙ ඒ නිසාමයි.කවුරු හරි කෙනෙක් මට ,මගේ චරිතෙට ආදරය කරනවා නම් මම කරන දේවල් වලට ආදරය කරනවා නම් ඔයාලත් ඒ දේවල් කරලා ,ඊටත් වඩා දේවලුත් කරලා ජීවිතේ ඉස්සරහටම යන්න කියලා ආරාධනා කරන්න තමයි මම අද ඇත්තටම ආවේ

දරුවන්ගේ කටයුතු වගේම ගෙදර වැඩ කටයුතුත් එක්ක රංගන ශිල්පිනියක් හැටියට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ රූපය ගැන සැලකිලිමත් විය යුතු වෙනවා.ඔබ ඒ වෙනුවෙන් ඔබ කාලය වැය කරන්නෙ කොහොමද ?

මං චුට්ටක් මහත් උන ගමන් මගේ බබාලා තමයි කියන්නෙ අම්මා දැන් ඔයා මහතයි නේද කියලා.එයාලා තමයි මාව මේ ගානට තියලා තියෙන්නෙ දැනටත්.පොඩි පුතා අහනවා exercise කියලා දෙන්නද කියලාත්.මං පහුගිය කාලේ හිටියේ කෑම්ප් එකේ.ඒකේ ලොකු ග්‍රවුන්ඩ් එකක් තියනවා.හවසට හැමදාම එලියට ගිහිල්ලා මම කරන්නෙ ග්‍රවුන්ඩ් එක වටේ එයාලා එක්ක ඇවිදින එක.මොකද අපිට ව්‍යායාම කියන දේත් ඕන ශරීරයට.

ක්ශේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ගෙන් නවකයන්ට ලැබෙන සහයෝගය ඔබ දකින්නෙ කොහොමද ?

මට ඇත්තටම ඒක ලොකු වාසනාවක් කියලා හිතනවා.මම ගිය හැම තැනකම කිසිම කෙනෙක් මට හිත රිදෙන දේවල් කරලා නෑ.මොකද ඒ මම ඉන්න විදියත් එක්ක වෙන්න ඇති. මට දවසක් හරි වැඩි ප්‍රවීණයන්ට මම ගරු කරනවා.එයාලට විතරක් නෙමෙයි අලුතෙන් එන අයටත්.එයාලත් මොනහරි දෙයක් කරලනෙ අද ඉන්න තැන ඉන්නෙ.ඒ නිසා මම හැමකෙනෙකුටම කොහොමටත් ගරු කරන කෙනෙක්.ඒ නිසා මට ලොකු අර්බුදයක් ආවේ නෑ.මට ගොඩක් සතුටුයි ශ්‍රියානි අමරසේන මහත්මිය එක්ක අවුරුද්දක් පුරාවට මට රඟපාන්න ලැබුනා හිතුවක්කාරයා කියන නාට්‍යයේ.බුද්දධාස විතානාරච්චි ,ජනක් ප්‍රේමලාල් ,ලකී ඩයස් කියන සුවීශේශී පුද්ගලයන් සමග මට රංගනයේ යෙදෙන්න අවස්තාව ලැබිලා තියනව මේ කාල පරාසය තුල.තව ගොඩක් නම් තියනවා කියන්න.ඉතින් මම ගොඩක් සන්තෝසයි ඒ වගේම මට ප්‍රවීණයන්ගෙන් ඇගයීම් පවා ලැබිලා තියනවා. ඇන්ජලීන් ගුණතිලක මහත්මියව දවසක් හමුවෙලා කතා කලා මම ඇසී කියලා නයි විස තියන කෙනෙක්ගේ ටිකක් වෙනස් විදියේ කැරැක්ටර් එකක් කලා.මට ඒකට ලොකූ ප්‍රතිචාරයක් ලැබුනා මට ඒක අදටත් අමතක වෙන්නෙ නෑ.අපි දෙයක් කරන්නෙ කාගෙන් හරි ඇගයීමක් ලබන්න නෙ.මං හැමෝටම කියන්න කැමතියි ඇත්තටම ,පිරිමි පාර්ශ්වයේ අයටත් , අනිවාර්යයෙන්ම කාන්තාව කියන කෙනාව අගය කරන්න.කාන්තාවටත් කියන්නෙ තමන්ගෙර් සැමියාව ,තාත්තාව අගය කරන්න.අපේ ජීවිතේ රඳා පැවැත්ම තියෙන්නෙ ඒ අගය කිරීම මත.ඕනම කෙනෙක් ඕනම දෙයක් කරන්නෙ තමන්ට හොඳයි කියයිනේ හිතලා. හිනාවෙන්නෙ උනත් හිනාව ලස්සනයිනේ හිතලනේ. පුංචි හරි අගය කිරීමක් කරන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් ජීවිතේ

මේ වෙනකොට ලංකාවේ එක දිගට මෙගා ටෙලිනාට්‍යය බිහිවෙනවා.ඒ ගැන ඔබේ අදහස මොකද්ද ?

ගොඩක් අය නම් බනිනවා මෙගා නාට්‍ය කරන එක වැරදියි කියලා.මගේ පෞද්ගලික මතය නම් කමක් නෑ කියන එකයි .ඒක ලොකු කතාවක් ඇත්තටම .අපි රංගන ශිල්පීන් විදියට ගෙවල් වලට වෙලා ඉන්නවට වඩා මෙගා නාට්‍යයක් හරි කරනවා නම් ඒකට සහභාගී වෙනවා ඔවුන් ඉතින් ප්‍රේක්ශකයන් කැමති නම් විතරයි ඒක රඳාපවතින්නෙ.ප්‍රෙක්ෂකයන් තෘප්තිමත් කරන එක තමයි නලු නිලියන් විදියට අපි කරන්නෙ.මමත් මේ දවස් වල අහස් මාලිඟා නාට්‍යයේ ඉන්නවා හිරු නාලිකාවේ.මට පුලුවන් උපරිමයෙන් ඒ චරිතයෙන් ප්‍රේක්ෂකයන්ට ලංවෙලා ඉන්නවා.ඉතින් එයාලා අපිට කැමති නම් ඒ නාට්‍යය බලනවා.ඒ තුලින් තමයි නාට්‍යය ඉස්සරහට ගලාගෙන යන්නේ.මෙගා නාට්‍ය වගේම කලාත්මක නාට්‍යත් කරන්න පුලුවන්.වැඩ කරන්න තමයි ඕනෙ.කවුරු උනත් මොනහරි වැඩක් කරන්න ඕන.මම ගෙදරට වෙලා හිටියා නම් එයාලට මාව පේන්නෙ නෑනේ මම act කරනවා කියලා මේ දවස් වල.ඉතින් මම කියන්නෙ මොනහරි දෙයක් කෙරෙනවා නම් හොඳයි.මොකද ඒ තුලින් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මෙ කොරෝනා වසංගතය තියෙද්දිත් මට ශූටින් යන්න වෙලා තියෙන්නෙ ඔවුන් ජීවත් වෙන්නෙ මේ වෘත්තියෙන් නිසා.මගෙ සැමියා මට කෑම බීම ටික ගෙනත් දෙයි.නමුත් මට යුතුකමක් සහ වගකීමක් තියනවා රංගන ශිල්පිනියක් විදියට මම ඒ නාට්‍යයට ගියානම් ඒක අතරමග නවත්තන්නෙ නැතුව යන්න.

මේ ක්ෂේත්‍රයට එකතු වෙන,එකතු වෙන්න ඉන්න නවක රංගන ශිල්පින්ට ශිල්පිනියන්ට ඔබට දෙන්න තියන උපදෙස් මොනවද?

මගෙ අම්මා මට දීපු අවවාදය තමයි කවුරු හරි මොනවා හරි කියනවා නම් හොඳට ඇහුම්කන් දෙන්න කියලා.මං තාමත් රඟපාන්න ගියාම කැමරා එකට වැඳලා ඩිරෙක්ටර්ස්ලට වැඳලා ඒ ගෞරවය දෙනවා.අපි තුල ඒක තියෙන්න ඕන හැමදේටම.එතකොට තමයි අපිට පිහිටන්නෙ කියලා කියනවනේ .ඒ දේවල් මම අදටත් පිලිගන්නවා.ඒවා මම මුල ඉඳන්ම පුරුදු කරගෙන ආව දේවල්.ඉතින් මම හිතනවා අපි කෙනෙක්ට ගෞරවය දුන්නොත් තමයි අපිට ගෞරවය ලැබෙන්නෙ.ඉතින් මම අලුතෙන් එන අයට කියන්න කැමතියි මොනහරි දෙයක් ඉගෙන ගෙන මේ ක්ශේත්‍රයට ආවත් රැඳිලා පවතින්න අමාරුයි.තමන්ගේ හැකියාව තුලින් තමයි ක්ශේත්‍රයේ ඉස්සරහට යන්න ඕන.තමන් හිතන විදිය, තමන්ගේ ආකල්ප අනුව තමයි ඉස්සරහට යන්න පුලුවන් .ඉතින් අලුතෙන් එන අයට කොහෙන් හරි ඉගෙන ගන්න ,හොයන්න ,අධ්‍යයනය කරන්න.ඒ තුලින් තමයි මේ ක්ශේත්‍රයේ ඉස්සරහට යන්න පුලුවන්.

අද අපේ කතා බහට එකතුවුන රංගන ශිල්පිනී අශිකා මතසිංහගේ ජීවිතයෙන් කාන්තා ඔබට ගන්නට හුඟක් දේ ඇති.තමන්ගේ උත්සහයෙන් ජීවිතයේ කඩ ඉම් ජය ලැබූ ඇයට තවත් ජීවිතයේ එවැනි අවස්ථා දිනන්නට අපි ආදරයෙන් සුබ පතනවා.
ඒ වගේම Smartlady.lk හරහා අපිත් සමඟ එකතු වෙන ඔබට තවත් මෙවැනිම හරවත් කතා බහක් නැවත එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles