ඔබට ඇහෙනවනම් – 7

0
1064

ආයතනය යළි නගා සිටුවීමට කුලාන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග නිසා ඔහු කෙරේ මගේ පැහැදීම වැඩි විය. ඒ, ආයතනයට මගේ වන අවංක ආදරය නිසා විය හැක. ඇතැම් දින වල හෝරා ගණන් අපේ සාකච්ඡා දිගු විය. මම මගේ උපරිම සහයෝගය ඔහු ට ලබා දුන්නෙමි.

“නිම්නා ඒ ගමන කුලාන් සර්ගෙත් ඔළුවට අනං මනං දායි වගේ”

යනුවෙන් සහෝදර සේවක පිරිස මුමුණන්නට පටන් ගෙන ඇති බව ද මට දැන ගන්නට ලැබිණි. අශිකා මේ ගැන කෝප වී සිටියත් මම නම් නිසොල්මන් වීමි. අපට වෙනත් අය ගේ සිතිවිලි හා ආකල්ප වෙනස් කිරීම පහසු නැත. අප නිවැරදි මාවතෙහි ගමන් කරනවා නම් ඒවා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැත. 

“මං ගැන ඔය විදිහෙ කතා කිව්වනං එහෙම බලා ගන්න තිබුණා කරන දේ”

“ඒත් බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වෙන වෙලාවෙත් අපිට අපේ ගමන යන්න පුළුවන් අශී”

“ඔයා ඔහොම හිතන නිසා තමයි කසුන් ලේසියෙන්ම ඩිවෝස් එක ගන්න ඇත්තෙ”

ඈ නෝක්කාඩු කීවේ මා කෙරේ ආදරයෙන් බව මම දනිමි. නමුත් ඈ කියන්නේ ඇත්ත ය. මා දැඩි ව හිටියා නම් කසුන් ට ඒ සා පහසුවෙන් මගෙන් මිදිය නොහැකි වන්නේ ය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඔහු පහසුවෙන් ම දික්කසාදය ලබා ගත්තේ මා බිම බලා ගෙන නිහඬ වූ හින්දා ය. 

“මට මුකුත් එපා තාත්තෙ එයාගෙන්. එක සැරයක් මාව එපා කියපු මනුස්සයව කොහොමත් මට එපා. අපි ඔය දික්කසාදෙ දීල දාමු”

අහස පොළොව ගැටලන්නට කල්පනා කරන තාත්තා ට මා කීවේ එහෙම ය. එලෙස මා හිත හයිය කර නො ගත්තා නම් ඒ ප්‍රශ්නය නිසා වැඩි ම මානසික හානියක් වෙන්නට තිබුණේ තාත්තා ට හා අම්මා ට ය. නමුත් මා කඳුළක් නො හෙළා හිත හයිය කර ගෙන උන් නිසා ඔවුන් ට ද යම් තරමකට සිත් වේදනා අඩු වූයේ ය.

“ප්‍රතික්ෂේප වෙන තැනක ඉන්න එක තරං වේදනාවක් තව නැතුව ඇති අශී. මොනා වුණත් දැං මං ඒ වේදනාවෙං නිදහස්”

අශිකා මදෙස බලා උන්නේ සන්සුන් දෑසකිනි. බාලිකා වියෙහි දී යොවුන් සිතක ප්‍රේමය හා විවාහය පිළිබඳව ඇති වන්නා වූ සිහින හා බලාපොරොත්තු, ප්‍රායෝගික ජීවිතයේ දී බිඳී විසිරී යත්දී ඇතැම් විට අපට ඒ අදහා ගත නො හැකි වන්නේ ය. අශිකා තවම අවිවාහක ව හිඳින්නේ ඇගේ ප්‍රථම ප්‍රේමය වසර අටකට පසු බිඳ වැටුණු කම්පාව නිසා ය. විවාහ නො වෙනවාය යන තීරණයක නැතත්, තවමත් ඒ සඳහා සුදුසු යයි හිතෙන කෙනෙක් මුණ නො ගැසුණු බව ඇය කියයි. නමුත් සත්තට ම ඈ එවන් තත්වයකට පත් ව සිටින්නේ බිඳී ගිය හිත යළි පිරියම් කිරීම පහසු නැති නිසා වන්නටත් පුළුවන.

“තාත්තල ආයෙ මට බඳින්න කෙනෙක් හොයන්නයි හදන්නෙ”

මා එය කෙතරම් හෙමිහිට කීව ද අශිකා තිගැස්සී ගියා ය.

“ආ..”

හොඳට ම ඇහුණා වීත් ඈ යළි එය විමසා සිටියේ එවැන්නක් පිළිගැනීමේ සූදානමක් නැති නිසාවෙන් විය හැක.

“හ්ම්”

“පිස්සුද…හා කිව්වද ඉතිං…”

“මං තවත් ඒ අහිංසක මිනිස්සුංගෙ ලෙඩ වෙච්ච පපු වලට වද දෙන්නෙ කොහොමද අශී…”

මේ මොහොතේත් මගේ හදවත පුපුරු ගසයි. ඉකි ගසා හඬන්නට මට සිතෙයි. අප රිසි පරිදි, අපට සතුට දැනෙන පරිදි ජීවත් වන්නට සම්මත සදාචාර රාමුව තුළ ඉඩක් නොමැති වීමේ අවාසනාව ඉතා ම ඛේදජනක ය. නමුත් විවිධ මානුෂීය හේතු මත, ඒ රාමුවෙහි වන අපමණ දෝෂයන් දකිමින් වුව නො දැක්කා සේ ඉන්නට අපට සිදුව තිබේ.

“ඔයා ආයෙ බඳින්න ඕනෙ තමයි. ඒත් ඒ ඔයා කැමති කෙනෙක්ව. ඔයාට තේරුං ගන්න පුළුවන් කෙනෙක්ව. ඔයාව තේරුං ගන්නත් පුළුවන් කෙනෙක්ව. රෑ වැටිච්ච වළේ දවාලෙත් වැටෙන්නද නිම්නා…”

“එහෙමම කියන්නත් බෑ නේද…ප්‍රපෝසල්ස් වලිං මැරි කරල හොඳ මැරේජ් ලයිෆ් එකක් ගත කරන අයත් නැතුව නෙවෙයිනෙ”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -31

අශිකා මදෙස බලා උන්නේ මුව ද මඳක් අයා ගෙන ය. බලාපොරොත්තු සුන් වූ බවක සේයා ඒ වත මත ඇඳී තිබිණි. කුලාන් කෑම මේසය වෙත පැමිණියෙන් අපේ කතාව එතැනින් නතර කරන්නට සිදු විය.

“ආයිත් ළඟදිම කේක් කන්න චාන්ස් එකක් එනව සර්”

අශිකා කුලාන් ට ඒ කතාව කීවේ නිහඬ ව කෑම කමින් උන් විනාඩි කිහිපයකට පසු මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ වෙලාවක ය. මම ඇදෙස බලා බැගෑපත් කමත් දැඩි බවත් රැඳි බැල්මක් හෙළුවෙමි. ඒ බැල්මෙන් ඕ පසු බෑවා ය. නමුත් ඒ කුලාන් ගේ කුතුහලය අවුළුවා තබා ය.

“ඇයි…නිම්නාගෙ බර්ත් ඩේ එකද…”

මම බත් පත දෙස ම බලා සිටියෙමි. යමක් හෙළි දරවු කළහොත් මගෙන් විසුමක් නැති වන බව අනුමාන කිරීම නිසාදෝ අශිකා ගිරවියක සේ සියල්ල කියවන්නට ගියේ නැත.

“ඉස්සරහට දැනගන්න ලැබෙයි සර්”

“ඇයි…නිම්නාගෙ වෙඩින් එකවත්ද…”

මගේ ඇස් ඔහු දෙස බැලූයේ මගේ අනුදැනුමකින් නොවේ. ඔහුත් මොකට ඒ වෙලාවේ ම බැලුවා ද කියා නො දනිමි. දරුණු අකුණු පිපිරීමක් වූ බව නම් හදවත ට දැනිණි. මම ඉක්මනට බිම බැලුවෙමි.

“නෑ සර්”

නේත්‍රා යුග්මයක් එකට ගැටීම නිසා ඇති වූ අකුණු සරෙහි කම්පනය තුනීව යන්නටත් පෙර පසු බිමෙන් අශී ගේ ඒ හඬ යන්තමින් ඇසිණි. කුලාන් ට එය ඇසුණා ද නැත් ද කියා මට සිතා ගත නො හැක්කේ, මා බිම බැලූ පසුත් ඔහු ගේ ඇස් මා මත්තේ පායා තිබෙන බව මට දැනුණ නිසා ය.

හවසට මුද්‍රණාලයට යා යුතු යයි කුලාන් කියා තිබිණි. නමුත් ඔහු එහි යන්නට මට ඇරයුම් නො කොට තනිව ගොස් තිබිණ. හැන්දෑවේ මා හා අශී විජේරාම දෙසට පයින් ඇවිද ගෙන එත්දී කුලාන් ගේ රිය අප පසු කොට වේගයෙන් ඇදී ගියේ ය.

“යකෝ…අඳුරන්නෙවත් නැති එකෙක් වගේනෙ සැර දාල ගියේ”

අශී ඇස් උඩ හිඳුවා ගෙන කීවා ය. මම කට කොනකින් හිනැහුණෙමි.

“සමහර කොල්ලොත් නිකං කාලගුණේ වගේනෙ අප්පා”

“ඉතිං දැං මොකද්ද ප්‍රශ්නෙ..”

“ප්‍රශ්නෙ කියන්නෙ…බලනවකො. අපිත් එක්ක චැට් එක දාගෙන ලන්ච් ගන්න එකානෙ අර අපිව දැකලවත් නෑ වගේ ඇදල ගියේ”

“එකට ලන්ච් ගත්තට ඒ අපේ බොස් කියල අමතක කරන්න එපා. මොකද අමතකයි වගේ හිටියට එයාට ඒක මතක් වෙන වෙලාවල් එනව”

අශිකා ගේ වත මත වූයේ මා කී දේ ගැන ඒ හැටි විශ්වාසයක් නැතිවා වන් බැල්මකි. ඒ වගේ කාරණා ගැන ඒ තරම් ගැඹුරෙන් හිතන්නට මම නම් ඉක්මන් නො වුණෙමි.

ඉරිදා ට මනමාලයෙක් එනවා යි අම්මා කීවා ය. මම උදාසීන ලෙස ඔහේ හිටියෙමි. අම්මා සුසුමක් හෙළුවේ මා තේරුම් ගෙන විය යුතු ය.

“ඒ එන කෙනාව නිම්නා බඳිනවමයි කියල එකක් නෑනෙ. ඔයා කැමතිද කියල විතරක් බලමු. කැමති නැත්තං අතාරිමු. පස්සෙ වෙන කෙනෙක් බලන්න බැරියැ”

“සැරෙන් සැරේට එක එක්කෙනා ගෙන්නන්න ඕන්නෑ අම්මෙ. මං පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ. ඩිවෝස් වෙච්ච ගෑනියෙක්. ඒ එන පළවෙනි කෙනාට මං කැමතියි”

ගැහැනු හිතකට ඒ සා විඳවුම් ලබත හැකි යයි මම නො දැන සිටියෙමි. අනිත් අතට මා කීවේ බොරුවක් නොවන බව ද මට විශ්වාස ය. පිටතින් බැලුවා ය කියා ඒ එන මනමාලයන් යහපත් ද නැත්ද කියා කෙසේ තේරුම් ගන්න ද? අවුරුදු කිහිපයක් එකට ජීවත් වීත් මට කසුන් ව තේරුම් ගත නො හැකි වූයේ ය. එක දවසකට දැක මනාලයෙකු ගැන කොහොම චරිත සහතික දෙන්න ද?

“හිතේ තියෙන ඔය හෝන්දු මාන්දු ගතිය මෙහෙම කාරණයක් නිසා නැති වෙලා යන්නත් පුළුවන් පුතේ. පළවෙනි කසාදෙ අසාර්ථක වුණාට දෙවෙනි එක කරගෙන හොඳට පවුල් ජීවිතේ ගෙවන අය ඕන තරං අපි දැකල තියෙනව”

ඔවුන් මට කරන්නට යන්නේ වරදක් නොවේ ය කියා හඟවන්නට අම්මා උත්සාහ කළා කියා සිතමි. හොඳක් වුණත් නරකක් වුණත් ඒ ගැන මා තුළ කිසිදු උනන්දුවක් නැති බව පුන පුනා අම්මා ට කියන්නට මට සිතුණේ නැත. එහෙයින් ඉරිදා මම මනාලයා පිළිගන්නට සාරියකින් සැරසුණෙමි. 

කියවන්න :  ඔබට ඇහෙනවනම් -28

ඔහු වයස හතළිස් අටක් යයි කියූ, නමුත් ඊට වැඩි වයස්ගත පෙනුමක් ඇති, මහත දෙහෙත සිරුරක් සහිත පුද්ගලයෙකි. උඩට පීරූ කොණ්ඩයත් රැවුලත් දෙක ම ඉතා තද කළු පැහැයක් දැරූයේ ඩයි වලට පින් සිදු වෙන්නට බැව් බැලූ බැල්මට පෙනිණි. මනමාලයා එළවළු ව්‍යාපාරිකයෙකු බව ද පැවසිණ. තේ පැන් සංග්‍රහයෙන් පස්සේ උනුන් සමග රහසිගත සාකච්ඡාවක් කළ මනාල පාර්ශවය එවෙලේ ම සිය මනාපය පළ කළහ.

“මනමාලි පළවෙනි කසාදෙ කඩාගත්ත කෙනෙක් කියල දැනගෙනනෙ අපි ආවෙ. අපේ මනමාලයගෙත් මුල් කසාදෙ නෝනා මැරිල අවුරුදු ගාණක් ගත වුණා. ඒ ළමයි තුන් දෙනාවත් බලාගෙන දෙන්නත් එක්ක හොඳින් ඉන්නයි තියෙන්නෙ. අපිනං කිසිම අකමැත්තක් නෑ”

මම අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගතිමි.

“මනමාලිගෙ පැත්තෙ කැමැත්ත…”

“අපි කපු මහත්තය අතේ දන්නල එවන්නංකො. නේද…”

අම්මා තාත්තා ගේ අනුමැතිය ද සහිතව තීන්දුව දෙන්නට කල් ගත්තා ය.

“ඒක…ටිකක් බරසාර පවුලක් නේද අනේ…”

අමුත්තන් නික්ම ගිය ගමන් තාත්තා අමතා අම්මා විමසුවා ය.

“දෙවෙනි කසාදයක් නිසා ඉතිං…කසාද බැඳල නැති කොල්ලංව හොයන්න අමාරුයි. අපි බලන්න ඕනෙ ගැටළු අඩු තැනක් තමයි”

“පුතා මොකද කියන්නෙ…”

“මගෙ අකමැත්තක් නෑ”

 කියා ගෙන මම කාමරයට ගියෙමි. මොනවා සිදු වෙන්නට නියමිත වුණත්, මොනවා සිදු වුණත්, මට හඬන්නට හෝ අවසර නැත්තේ ය. මගේ බරෙන් නිදහස් වීම මගේ මවු පියන් සැහැල්ලුවට පත් කරන්නේ නම් මා කෙසේ ඊට එරෙහි වන්නද?

සඳුදා උදයෙන් ම මා කුලාන් ගේ කුටියට කැඳවිණ. එදා, සිකුරාදා ඔහු අප පසු කොට වේගයෙන් රිය පැදගෙන ගියයුරු මට සිහිපත් වූයේ ය. බිම බලා ගෙන ම මගේ මුව මඳහසකට පොපියමින් තිබෙන්නට ඇත.

“මොකද…මනමාලයව මතක් වුණාද…”

මම විදුලි සැර වැදුණා සේ හිස නගා බැලීමි. ඔහු ඒ බව දැන ගත්තේ කෙසේද? ඒ ප්‍රශ්නය සිත්හි නැගුණත්, මුවින් එය අසන්නට තරම් පෙළඹීමක් මා තුළ ඇති වූයේ නැත. මේසය මත වූ කැටයම් කපන ලද වීදුරු බෝලයක් ඔහු ගේ සුරතේ ඇඟිලි වලින් ඒ මේ අත කැරකිණි.

“වෙඩින් එක ළඟද…”

නැවතත් ඔහු විමසූයේ වීදුරු බෝලය මේසය මතින් දමමිනි. සිනහවක හෝ සරදමක සේයාවකුදු ඒ බැල්මේ වූයේ නැත. ඒ වෙනුවට, ‘මට ඇත්තම කියනවද නැද්ද’ වැනි තර්ජනාත්මක බවක් නම් මම කුලාන් ගේ මුහුණේ දුටුවෙමි.

“දැං ඉතිං මට මොන වෙඩින්ද සර්”

මා එහෙම කීවේ ඇයි?  සාමාන්‍යයෙන් මගේ කිසිදු පෞද්ගලිකත්වයක් කාර්යාලයේ සහෝදර සේවකයින් සමග බෙදා හදා ගැනීමේ පුරුද්දක් මට නැත. මා විවාහක බව හා දරුවෙකු සිටින බව හැම කෙනෙක් ම දන්නවා විය හැක. නමුත් මා දික්කසාදිත බව දන්නේ අශිකා හා ශ්‍රීනාත් මහතා පමණකි. ජීවිතයේ පිරිමියෙකු නොමැති ව තනි වූ ගැහැනියක වශයෙන්, කිසිවෙකු ගේ අනවශ්‍ය කරදර වලට ලක් නොවී හිඳිනු වස් මම ඒ රහස පරිස්සම් කළෙමි.

“ඇයි…”

ඔහු ඇස් කුඩා කළේ ය. නමුත් එ් ඇස් මත අහංකාරයක් විය.

“එම් ඩී සර් කියල ඇතිනෙ සර්ට…”

“නිම්නා හිතුවද මං මේ ගෙදර ගිය වෙලේ ඉඳල තාත්ත එක්ක චීත්ත අපුල්ලන එකයි කරන්නෙ කියල…”

යටි තොල සපා ගෙන මම බිම බැලුවෙමි. එක අතකට ඔහු ට මේ ඇත්ත දැනුම් දී හිඳින එක හොඳයි කියා යටි හිත මට ඇඟිල්ලෙන් ඇන කීවේ ය.

“මං…මං…ඩිවෝස් වෙලා ඉන්නෙ සර්”

ඔහු තුළ පුපුරා ගිය බෝම්බය මම මැනවින් දුටිමි. ඒ කොපුලක මස්  පිඬු ගැහුණේ ය. තොල් කොනක් වෙව්ලා ගියේ ය. ඇස් කෙවෙනි නැටුවේ ය. මම වෙනස් නොකරගත් බැල්මෙන් ඔහු දෙස බලා සිටියෙමි. 

3.8 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments