ඔබට ඇහෙනවනම් – 10

0
1189

ව්‍යාංජන දෙකක් හදා තබා මම මිදුලට පැමිණියෙමි. මෝරා නො වැඩුණ රාත්‍රී අහසෙහි තරු දිළිහුණේ තැන් තැන් වලිනි. ඔය අහස තරු වියනක් වන හැටි මම මෙතැනට වී ඕනෑ තරම් බලා සිට ඇත්තෙමි. ලෝකෙට ම රහසින් සඳ අහස හරහා සක්මන් කරන අයුරු, හෝරා ගණනක් තිස්සේ මම බලා සිට ඇත්තෙමි. විශ්වය කියන්නේ චමත්කාර ජනක අභිරහසකට ය. ඒ අභිරහස තුළ අතරමං වීම ද චමත්කාරයකි.

කුලාන් ගේ තාරකා ඇස් දෙක තවමත් මසිත් අහසින් බැස ගියේ නැත. මේ මිහි මත වසන එක ගැහැනු ළමයෙකු ගේ අවාසනාවන්ත කතාවෙන් ඔහු සසල වූ බව මට මේ අහසේ පායන ඉර හඳ තාරකා තරමට විශ්වාස ය. මත්තෙගොඩ හන්දියේ දී මා රියෙන් බැස ගන්නා විට ඔහු මදෙස බලා උන් ආකාරය කිසි දාක අමතක කරන්නට මට නො හැකි වනු ඇත. 

‘සර් ගෙදර ගියාද’ කියා අසමින් කෙටි පණිවිඩයක් යවන්නට මගේ සිත් හි තදබල ගැහැනු ආශාවක් උපණ. එය වූ කලී දැඩි හිතුවක්කාරකමක් තැවරුණ ලෝභී සිතිවිල්ලකි. ඔහු වෙන දා ටත් ගෙදර යන්නේ ය. මා ගියාද කියා අහන්නේ නැත. අද ඔහු මත්තෙගොඩ ට මා ඇරලවූවා කියා එවැන්නක් විමසන්නට තරම් කැක්කුමක් ඇති කර යුතු ද කියා මගේ ම සිතෙහි අනිත් පැත්ත තර්ක කළේ ය. මා වැඩිපුර බර වූයේ, දුරට දිගට හිතන, හිතුවක්කාර කම් වලින් මා වළකා ගන්නා හිතෙහි එකී පැත්තට ය.

සත්තකට මම ඒ පැත්තට අවනත වීමි. ටයිප් කරන ලද වට්සැප් පණිවිඩය නො යනවා හිටියේ එබැවිනි. නමුත් එහෙම පණිවිඩයක් ලියා ගැනීම ගැන මම සතුටු වීමි. අඩු තරමින් මම මට ඕනෑ දේ කළෙමි. 

ලියා නො යවන ලද හෝ ලියා මකා දමන පද එබඳු කෙටි පණිවිඩ ගැන, කියන්නට කතා කොයි තරම් නම් දුරකතන හදවත් වල ගබඩා වී තිබෙනු ඇත් ද?

ගැහැනු හිතත් මේ රාත්‍රී අහස බඳු අභිරහසක් කියා මම සිතමි. කවුරුවත් නො කියවා ගත්, කාටවත් දකිත නොහැකි වූ, සොයා ගත නො හැකි වූ, ගවේෂණය නො කළ ඉසව් සිත් අහසෙහි ඕනෑ තරම් ය. නොකී ප්‍රේමයන්, ඉපිද මිය ගිය ප්‍රේමයන් වළ දැමූ සොහොන් කොත් කොතෙක් නම් එහි වන්නේ ද? ලෝකය දුටු දේවලට වඩා අසිරිමත් වන්නේ නො දුටු එකී දේ ය. 

කුලාන් කියන්නේත් මසිත් හි එහෙව් චමත්කාරයක් බව දැන් මම පිළිගමි. එය ලෝකයට පෙන්වන්නට මට උවමනා නැත. ඔහු ගැන මගේ ස්ත්‍රී ආත්මයට දැනෙන්නට පටන් ගෙන ඇති තෘෂ්ණාව මගේ හදවත ඇතුළේ උණුහුම් ම රහසක් ලෙස සදා කල් පවතිනු ඇත. කිසිදු හේතුවකින් තොර ව හදවතේ තේමා ගීතය බවට පත් මියුරු ගීයක් සේ, මියෙන මොහොත තෙක් ඔහු රහසිගත ව මා තුළ මිමිණෙමින්- ගැයෙමින් පවතිනු ඇත.

මා හිඳ ගෙන උන් ඉස්තෝප්පුවෙන් මිදුලට බහින පඩි පෙළ මත වූ ජංගම දුරකතනය නාද වෙන්නට ගත්තේ මගේ කල්පනා ලෝකය දෙදරවා ලමිනි. මම වහා එය අතට ගත්තෙමි. කුලාන් ගේ නම තිරය මත දකිත්දී මා තුළ ඇති වූ ප්‍රහර්ෂය කැලතුණු තිගැස්ම වහා නතර වූයේ දුරකතනයේ හැඬුමත් නතර වූ බැවිනි. මම තත්පර කිහිපයක් එදෙස බලා ගෙන සිටියෙමි. තව දුරටත් එහෙම ඉන්නට තරම් ඉවසා ගන්නට බැරි තද කුණාටු සුළඟක් මසිත මතින් හමා යන්නට විය. ඒ කුණාටුවට අවනත වන්නට ම ය මට ඕනෑ වූයේ. එහෙම නිමේෂයන් අපේ ජීවිත වෙත එළඹෙන අවස්ථා තියේ. ඒ හිතුවක්කාර වීම මී සේ මිහිරි ය. එතකොට මී නොවළඳා සිටිය නො හැකි ය.

මම වහා වහා කුලාන් ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තෙමි.

“හෙලෝ”

ඒ ගැඹුරු පිරිමි හඬ මගේ අභ්‍යන්තරික කුණාටු සියල්ල පලවා හැර ඇසිල්ලකින් මා නිසල කරවන ලදී.

“සර්…සර්ගෙන් මිස්ඩ් කෝල් එකක් තිබුණා. ඒකයි මං බැලුවෙ”

“අ…වෙන කෝල් එකක් ගන්න ගියේ. මිස්ටේක් එකක් වුණේ නිම්නා. සොරි”

සමහර අත් වැරදි, නතර වෙන්නට යමින් තිබි හදවත් පටක ක්‍රියා කරවන්නට සමත් වේ. මම ද රුධිර සංසරණය වඩා කාර්යක්ෂම වීම මත උණුහුම් වෙමින් සිටියෙමි.

“හරි සර් එහෙනං”

“මොකද කරන්නෙ…”

මගේ වාක්‍යය නිමා කරන්නට තරම් අවස්ථාවක්  දෙන්නට පවා ඔහු ට ඕනෑ නො විණි. මම මඳකට නතර වී සිතුවෙමි. 

“මුකුත් නෑ සර්. තේ එකක් බොන ගමං අහස දිහා බලං හිටිය”

“ඒ දෙකම එක වගේ”

“ඒ කිව්වෙ සර්…”

“තේ එකයි අහසයි…රසය මොකද්ද කියල කොච්චර බිව්වත් තේරුං ගන්න බැරි රසයක්නෙ තේ එකක තියෙන්නෙ. අහසත් එහෙමයි…”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 3

ඔහු කලාකාමියෙක් ද?

“සමහර ගෑනු ළමයිනුත් එහෙම තමයි”

මම මොහොතකට ගොළු වීමි. එයින් ඔහු අදහස් කළේ කුමක් දැයි කොහෙත් ම මට සිතා ගත හැකි වූයේ නැත. ඒ ගැන යමක් ඔහු ගෙන් විමසා සිටින්නට තරම් දිරියක් මට වූයේ ද නැත. ඔහු ගේ පිරිමි පපුව පත්ලේත් මතක හා රහස් කන්දක් මිහිදන් ව නො තිබිය හැකි ද? ඒ රහස් රහස් ලෙස ම පවතින එක හොඳ ය. රහස් හෙළිදරවු වූ විට අසිරිමත් බවක් ශේෂ නො වන්නට පුළුවන.

“එහෙනං…මං තියන්නද නිම්නා…”

පපුව හෝස් ගා දෑවේ ය. හෝරා ගණනක් එක දිගට වුව ඔහු එක්ක මෙහෙම දුරකතන අන්තයක එල්ලී ගෙන සිටින්නට මට පුළුවන. නමුත් ගැහැනු ගතිය නම් ඒ ආශාවන් සිය ඇතුළාන්තයේ රහස් ගුහා ඇතුළේ සඟවා ගෙන තියා ගන්නා එකයි. ඇත්ත වෙනුවට ව්‍යාජයක මතුපිට ජීවත් වෙන එකයි. තවත් දවසක් හුස්ම ගන්නට ගැහැනු ආත්ම වලට බලාපොරොත්තු සපයන්නේ එසේ නො කියා සඟවා ගන්නා හැඟුමන් පොදි යයි මම අලුතෙන් තේරුම් ගනිමින් සිටියෙමි. සමහර දේවල් ජීවිත කාලයක් මුළුල්ලේ සිදු කළත් ඒවා සිදු වන්නේ අනිච්ඡානුග ව ය. ඒ පිළිබඳව කිසිදු දෙයක් අප දන්නේ හෝ සිතන්නේ නැතිව ය. ඒවා තමන් විසින් ම අනාවරණය කර ගන්නා ගැහැනු, ආත්ම ගවේෂණයන් පිළිබඳ පොත් ලියති!

මා ගෙතුළට යන විට අම්මා රූපවාහිනී තිරය මත අලවා ගත් නෙතින් ද, තාත්තා වරින් වර ඒ දෙස බලමින් හා වහළයේ පරාල යට ලී ගණින්නට මෙන් උඩ බලමින් ද සිටියේ ය.

“තාත්තෙ”

මම ඔවුන් දෙදෙනා ව ම පෙනෙන පරිදි අසුන් ගත වෙමින් කතා කළෙමි. අම්මා වහා ඇස් දෙක රූපවාහියෙන් ගලවා ගෙන මා මත්තෙහි විකසිත කළා ය.

“පුතාව මට ඉල්ලල මං නඩු දාන්නයි හදන්නෙ තාත්තෙ”

මුළු ගෙදර ම බෝම්බ පහරකින් දෙදරා ගියා බඳු තත්වයක් ඇති විය. එකී කම්පනය මඳක් තුනී ව ගිය ගමන් අම්මා කතා කළා ය.

“ඒ දරුවව නඩත්තු කරන්න තියා නඩු කියන්නවත් අපිට වත්කමක් තියෙනවද පුතේ…”

ඒ අම්මා ගේ දිළිඳු ආත්මයෙහි නින්නාදයයි. අම්මා කවදත් එහෙම ය. අභියෝග කෙරේ ඕ තොමෝ පසු බෑවා ය. අලුත් අත්දැකීම් වලින් හැකි තාක් දුරස් වී ඉන්නට උත්සාහ කළා ය. බැහැ යයි සම්මත දේවල් කෙසේ හෝ කරන්නට සිතීමේ බලයක් ඈ වර්ධනය කර ගෙන තිබුණේ නැත. සිය තරුණ ජීවිතයත් අම්මා විසින් ගෙවා දමනු ලැබූවේ එලෙසිනි. පවුලේ සියලු වගකීම් කරට ගෙන සිටියේ තාත්තා ය. අම්මා ඔහු අස සෙවනැල්ලක් සේ සිටියත්, තනියම කඩයකට ගොස් බඩුවක් ගන්නට තරම් දිරියක් ඇයට වූයේ නැත. බැංකුවකට, තැපැල් කන්තෝරුවට, විදුලි බල මණ්ඩලයට ගොස් තනිව වැඩක් කර ගැනීම ඇයට සිහිනයක් සේ විය. 

“මට දරුව ඕනෙ අම්මෙ. මං කොහොමහරි නඩු කියනව තාත්තෙ. මේක ඉරණමයි කියල බලං හිටිය කාලෙ ඇති. ඉරණම වුණත් අපිට ඕන විදිහට වෙනස් කර ගන්න ට්‍රයි කරන්න ඕනෙ. ඇයි මං මගෙ පුතාව වෙන කාටවත් දීල නිකං බලං ඉන්නෙ…”

“ඒ වුණාට දරුවව ළඟට ගත්තොත් ඔයාට ආයෙ කසාදයක් කර ගන්නත් දැන් තරං ලේසි වෙන්නෑ”

“මං එක සැරයක් කසාද බැඳපු ගෑනියෙක්නෙ අම්මෙ. තවත් සැරයක් ඒක කරගන්න මට ඇත්තටම ඕන කමක් නෑ. මෙච්චර දවසක් ඇස් පියාගෙනද ජීවත් වුණේ කියල මටම හිතෙනව. දරුව ළඟ ඉන්නවනං මට මොකටද තව කසාද…”

“ඔයා එහෙම කිව්වට…”

“මානෙල්”

තාත්තා අම්මා ව නිහඬ කරවූයේ ය. ඒ ඇස් වල තරවටු බැල්මක් තියෙනවා මම දුටිමි.

“රස්සාවක් කර ගෙන ජීවත් වෙන්න හිතේ හයියක් තියෙනවනං පිරිමියෙක්ට ගෑවෙන්න ඕනමයි කියල එකක් නෑ අම්මෙ. පිරිමියෙක්ගෙ ආදරේ රැකවරණෙ ගෑනියෙක් ට ආශිර්වාදයක් තමයි. හැබැයි ඒ තාත්තල වගේ පිරිමි. හැම මිනිහගෙන්ම එහෙම බලාපොරොත්තු වෙන ගෑනු පවු. එක පාරකට වඩා එහෙම හොයන්න යනවනං ඒ ගෑනිගෙ ඔළුව අතගාල බලන්න ඕනෙ අං දෙකක් එනවද කියල. අම්මලට ඕන දෙයක් කරන්න කියල මං පැත්තකට වුණේ කසාදෙක රැකවරණෙ ඕන වුණ නිසා නෙවෙයි. අම්මලට සැනසීමක් වෙන්න ඕන වුණ නිසා. ඒත් වාසනාවකට ඊට කලිං සොබා දහම වෙන්නැති මට දැනෙන්න ටොක්කක් ඇන්නා. දැං මට තේරෙනව. මට ඕනෙ මගෙ පුතාව මිසක් අලුත් කසාදයක් නෙවෙයි තාත්තෙ”

“හරි. අපි නඩු කියමු නිම්නා”

තාත්තා ගේ හඬ ඔහුට වත් නෑහෙන තරමට මන්ද්‍ර ස්වරයක් ගත්තාට මගේ හදවත තුළ ඒ හඬ දෝංකාර දෙන්නට වූයේ ය. මම අලුත් හුස්මක් ගතිමි. තාත්තා ළඟින් ඉන්නවා නම් ලෝකයක් වුව දිනන්නට දියණියකට පුළුවන.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -31

ඒ රාත්‍රියෙහි මගේ නින්ද සිහින වලින් පිරී ගිය එකකි. විවාහය හා දික්කසාදය ගැනත්, දරුවන් ගැනත් විවිධ වූ මගේ ම දර්ශනයන් නින්දෙන් ම මසිත් මතුපිටට මෝදු වී එමින් තිබිණි. ඒවා පහළ වූයේ කොහෙන් දැයි උදේ වුව මට වටහා ගත හැකි වූයේ නැත.

“කසාදයක් කියන්නෙම දරුවො තමයි අශී. ඔයා දන්නවද ඔය පරණ අය වයිෆ්ට කියන්නෙ පවුල කියල. ඇත්තටම ගෙදර වයිෆ් තමයි පවුලක් හදන්නෙ. ගෙදර කිව්වහම මතක් වෙන්නෙ දරුවංව. සිංගල් පේරන්ට් කෙනෙක්ට වුණත් එයාගෙ පාට්නර් නැති වුණත් එතන පවුලක් නැත්තං ගෙදරක් තියෙනව දරුවො ඉන්නවනං”

මම මගේ සියලු මනස් රූප උදේ ම අශිකා ඉදිරියේ දිග හළෙමි. ඇය තරමක මවිතයකින් මදෙස බලාගෙන අසා සිටියා ය. ඉන් පසු ඈ කීවේ කොහෙත් ම මා බලාපොරොත්තු නොවූ කතාවකි.

“ඔයා ඔහොම කියනකොට මටත් හිතෙනව තරමක් හරි ගැළපෙන මනුස්සයෙක්ව බඳින්න. අපි ආදරේ කරපු විදිහෙ අය අපිට කසාද බඳින්න පුළුවන් වෙයිද කියල හිතාගන්න බෑ. අනිත් අතට ආදරේ කරපු පිරිමි වුණත් පවුලක වගකීම් දරන්න ගන්නකොට වෙනස් වෙනව කියල මං අහල තියෙනව. හුඟක් ගෑනු ළමයි මැරි කළාට පස්සෙ ඉච්චාභංගත්වෙට පත් වෙනව කියල මං කොතනක හරි කියෙව්ව. ආදරේ කරපු කෙනාද දැං ඉන්නෙ කියල. එහෙම බැලුවම ඉතිං ආදරේ කරල මැරි කළයි කියල වෙනසක් නෑ. කොයි විදිහට හරි දරුවො ලැබුණට පස්සෙ ඒ දරුවො තමයි අනාගතේ හදන්නෙ”

“මං බැඳල ඩිවෝස් වුණාටත් පස්සෙ තේරුං ගත්ත දේ ඔයා දැංම තේරුං ගත්ත එක ලොකු දෙයක්”

ගැහැනු සුසුම් වල අපමණ බරෙන් මගේ කියුබිකල් එකෙහි කෘතිම ව ජනිත කොට තිබූ සිසිලම උණුහුමට හරවා තිබිණි. නමුත් අප දෙදෙනා ගේ ම ඇස් වල වෙනස් දීප්තියක් දැල්වෙන්නට ගෙන තිබූ බවක් මට දැනිණ. 

“අවුරුදු අටක් ආදරේ කළාටත් පස්සෙ මාව අත්ඇරල ගිහිං වෙන කෙනෙක් බැඳගත්ත මිනිහ ඊට අවුරුදු දෙකකට පස්සෙ මට කෝල් කළා”

මා තුළ අභ්‍යන්තරික ගැස්මක් ඇති විය. ඒ අශිකා මීට පෙර මට නොකියා තිබූ කතාවකි. මාත් ඇයට කොපමණ දේවල් නො පවසා ඇත්ද? අපි අලුතෙන් ඇති කර ගත් මිතුරු දමකින් බැඳුණ අය වෙමු. අතීතයෙහි අප ගෙවා ආ මගෙහි වූ බොහොමයක් දේ අප දන්නේ නැත. ඒ මතක මලු ලිහා අවුස්සා බලන්නට තරම් අපට නිදහස් වෙලාවක් ලැබෙන්නේ ද නැත. අනිත් අතට අපේ සියලු ම රහස් නො සඟවා කියන්නට තරම් විශ්වාසයක් ගොඩ නැගෙන තුරු, අපේ ජීවිත වල සියලු කාරණා අපි අනිත් අය සමග කතා නොකරමු. මේ සමාජයෙහි අප වැඩි වශයෙන් ජීවත් වන්නේත් ගනු දෙනු කරන්නේත් අප පිළිබඳව අංශු මාත්‍රයක් පමණවත් නො දන්නා මිනිසුන් සමග ය. 

“ඒ දෙන්නගෙ තියෙන නොගැලපීම් ගැනයි ප්‍රශ්න ගැනයි මට කියන්න. ඒ වෙලාවෙ මං තේරුං ගත්ත දෙයක් තමයි…හුඟක් පිරිමින්ට එක සැරේ ගෑනු දෙන්නෙක්වත් ඕනෙ. ගෙදර ගෑනි ළමයි හදන්නයි ගේ බලා ගන්නයි.  එයාගෙ ප්‍රශ්නයි දුර්වල කමුයි ගෙදර ගෑනිටවත් නොකියන රහසුයි අහගෙන ඉන්න තව ගෑනියෙක්. අනේ…මං එදාම මගෙ ෆෝන් නම්බර් එක චේන්ජ් කළා”

අශිකා ගේ වත මත වූයේ නො රිස්සුමක් මුත් එහි ජයග්‍රාහී බවක් ලියැවී තිබිණි. ආදරය ගැන මට වන අත්දැකීම් ඊට වඩා නො මේරූ ඒවා ය. යොවුන් වියෙහි දී දෙවතාවක් පමණ මම රහසිගත ප්‍රේමයක පැටළුණෙමි. නමුත් ඒ බව කවදාවත් එකී යෞවනයන් හෝ දැන ගත්තේ නැත. මා පිරිමින් ගෙන් සෙවූ දේවල් ප්‍රායෝගිකත්වය ඉක්මවූවාද කියාත් දැන් මට සිතෙන තරමි. ඒ, මගෙන් ප්‍රේමය විමසූ කිසිදු තරුණයෙකුට මා පෙම් නොකළ බැවිනි. කසුන් ගෙන් පැමිණියේ විවාහ යෝජනාවක් මිස ප්‍රේමාරාධනයක් නොවේ. හදවතත් එක්ක රහසිගත ව කළ පෙම් පළහිලව් දෙකකින් වෙහෙසට පත් ව හා ඔවුන් ගෙන් එබඳු ඉඟියකුදු නොලැබීම මත සන්තාපයට පත් ව උන් මම, යළිත් පෙම් නො කරන්නටත් මවු පියන් කියනා කෙනෙකු සමග දීග යන්නටත් මාත් එක්ක ම ගිවිසුමකට එළඹ සිටියෙමි.

“කුලාන්”

අශිකා හෙමිහිට මිමිණුවා ය. ඔහු දොර ළඟට ම ඇවිදිනුත් මා දුටුවේ නැත. දොර හෙමිහිට ඇරුණේ ය. සමස්ත ඔහු වෙතින් විද්‍යමාන වූ පිරිමි පෞරුෂය මගේ හද ගැස්ම උච්ච කරන්නට සමත් වන්නට ඇත. නමුත් ස්ත්‍රීත්වය විසින් පරම්පරා සිය ගණනක් තිස්සේ පුරුදු පුහුණු කරනු ලැබූ රහස් මන්තර වලට පින් සිදු වන්නට, ඇස් දෙක දුර්වල වන්නට නොදී තබා ගන්නට මට හැකි විය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments