මන්දාරම් හැන්දෑවක – 8

වෙද ගෙදර දවස ඇරඹෙන්නේ අලුයමේ පටන් ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක වූ පොඩි අක්කා ට එය මහත් පහසුවක් වුව ද නිවාඩුව ගත කරන්නට අක්කාගේ ගෙදර ආ විට මේඝා පාන්දර අවදි වීම ප්‍රිය කළේ ම නැත.නිවාඩුව නිවාඩුවක් වන්නට හොඳින් නිදා ගත යුතුයැයි තර්ක කරමින් ඈ නිදා ගත්තා ය. ඒ නිවාඩුව ගෙවන්නට ආ දවස් ය.මේ පැමිණියේ මඟ වැරදුණු ගමනකි.වරුණ අයියා පමණක් නොව අක්කා ද තමන් කෙරෙහි නොපැහැදීමක් ඇති කර ගන්නට ඉඩ නොතැබිය යුතු බව සිතමින් මේඝා මුහුණ කට සෝදා ගත්තේ ඉක්මනින් ය.

ඇය මිදුලට එද්දී වෙද ගෙදර අත් උදව්වට හිඳින යසා සුදු වැලි පොළොවේ රටා අතුරා අහවර වූවා පමණි.ඈ මේඝාට හිනා කටක් පා කළා ය.

“පුංචි නෝනාට කිරි එකක් ගේන්නද?”

උණුසුම් එළකිරි වීදුරුවක් රැගෙන වෙද හාමිනේ එතැනට ආවේ යසා එසේ අසද්දී ම ය. ඇය මේඝාගේ නළලට පිටි අත්ල තබා සිරුරේ උණුසුම විමසමින් ම ඈ අතින් කිරි වීදුරුව තැබුවා ය.

“ආවත් හරි එක කෑම කටක් පිරියෙන් කෑවෙ නෑ.. මං මුං කිරිබත් හැදුව.. කන්න ඕන හොඳද? “

මේඝා මේ වියපත් ගැහැනිය දෙස බලා හුන්නේ ආදරයෙනි.නැන්දම්මාගේ විරසකය ගැන පෙර පාසලේ තුරුණු ගුරුවරියන් නිරන්තරයෙන් විස්සෝප වන හැටි ඇයට සිහි විණි.එහෙත් පොඩි අක්කා වෙද හාමිනේ ගැන කිසිදු දොසක් නොපවසන්නී ය.මව අහිමි පොඩි අක්කාට අම්මා කෙනෙකු වන්නට නිතරම සැලකිලිමත් වන වෙද හාමිනේ මේඝා පැමිණි ඕනෑම දවසක ඇයට සලකන්නේ ද සෙනුරිට තරම් හුරතලයකිනි.

“ප්‍රශ්න එනවා පුතේ.. පුංචි අම්මට හිතෙන්න ඇති මනමාලයෙක් බලල තිබ්බ නම් හොඳයි කියල. දැන්ම කසාදෙකට අකමැති නම් පුතාට හිත ගිය හාදයෙකුත් නැත්තං ප්‍රශ්න ඇති කරගන් නැතුව මෙහෙට්ට වෙලා ඉමු.. පිට තැනක් නෙවෙයිනෙ.. අක්කගෙ තැනනෙ..”

මේඝා සංවේගයෙන් ඉවත බලා ගත්තා ය.වරුණ අයියා ඈ ගැන අම්මාටත් අප්පච්චිටත් බොරුවක් පැවසීම ගැන වේදනාව පරයා ඇයට දැනුණේ මේ සාම්ප්‍රදායික ගැමි ගැහැනිය ඇය ගැන සත්‍ය කතාව දැනගතහොත් යන භීතිය ය. ආදරය ඉක්මවා ගිය සබඳතාවයක් නිසා මේඝා ගැරහුම් ලබන අන්දම වෙද හාමිනේ දැන ගත් දිනයකදී පොඩි අක්කා පවා නින්දා ලබනු ඇතැයි සිතීම මේඝාට වේදනාවක් විය.ඇය වෙද හාමිනේ මඟ හැර මිදුලේ බංකුවකට බර වූයේ හිත් වේදනාව උහුලා ගැනීම අපහසු වෙද්දී ය.

“අම්මා නැතිකල අප්ප කවර කල කියන්නේ ඕකට..”වෙද හාමිනේ මේඝාට නෑසෙන දුරකට විත් යසාට මිමිණුවා ය.රූමත් මේඝා ගැන ඇයට දැනුණේ ලෝබකමක් මුසු හැඟීමකි.අරුණි ජීවත් වූවා නම් මෙවැනිම රුවැති යුවතියක නොවේවිදැයි හදිසි සිතුවිල්ලක් හට ගනිද්දී ඈ ගෙතුළට ගියේ නෙතට ඉනූ කඳුළු යසාගෙන් සඟවන්නට ය.අරුණිගේ වියෝවට දැන් පහළොස් වසරක් පමණ ගෙවී ගොස් ඇත.

“අවුරුදු පහළොවකට පස්සෙ හරි ආයෙත් මට බලා හදා ගන්න කෙලි පොඩ්ඩක් ලැබුණානෙ.. ඒ වයසෙම..” ඈ සිතුවා ය.

නැගණිය දැඩි සිත් පීඩාවකින් පසු වෙන නිසා නැවත කොළඹ යෑමක් ගැන සිතන්නට නොහැකි බව මාධවී පැවසුවේ අද උදෑසන උයමනේ යෙදෙද්දී ය. වෙද හාමිනේ ඒ කතාව පිළි ගත්තේ ප්‍රීතියෙනි. මාධවීගේ කුඩා පුතු සහ දියණිය බලා ගන්නට අත් උදව් දෙන්නටත් කාන්සිය යන්නට මොනවා හෝ කියවන්නටත් දියණියක හිඳීම වෙද හාමිනේට මහමෙරකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 5

මේඝා සෙනුරි ගැන විපරම් කළා ය.උදෑසන අවදි වෙද්දී සෙනුරි කොහොඹ ගස යට බංකුවට වී මාර්ගයට නෙත් හෙළා හුන්නද දැන් පෙනෙන්නට නැත.කුඩා පුතු නම් වෙද මාමාගේ අතට වී මිදුලේ කොනක ගස් සමඟ කතාබහක ය. කුඩා සෙනුරි කොහේදැයි බලන්නට මේඝාට උවමනා විය.

“ගුඩ්මෝනිං මේඝා..දැන් ඔයාට කොහොමද?”

ඇගේ දෙපා ළඟම තිරිංග තද කළ පාපැදිය දෙස මේඝා දෑස් ඔසවා බැලුවා ය. බිනර ප්‍රීතිමත් සිනාවක් නඟමින් ඈ දෙස බලා සිටියේ ය.

“ගුඩ්මෝනිං. කෝ ඔයාගෙ බයික් එක..”

මේඝාට බිනරගෙන් සැඟවෙන්නට සිතුණේ නැත.ඔහු සතුව මිත්‍රශීලි බවක් ඇති බව ඇයට දැනිණ.අනිත් කාරණය ඇය ගැන සත්‍යය දැන සිටී නම් ඔහු මෙවැනි පිරිසිදු සිනාවක් හෙළීමේ ඉඩකඩ බොහෝ අඩු ය.නමුත් පිරිමින් විෂයෙහි ප්‍රවේසම් වීම වැදගත් බව ඇගේ හදවත ඇයට රතු එළියක් නිකුත් කළේ ය.මේඝා එය පිළි ගත්තා ය. ජනිඳු ද වැදගත්කම පොරවා ගත් මිනිසෙකි. නමුත් අවසානය ඇයට තිළිණ කළේ නිහීන අත්දැකීමකි.

“ඒක තාත්තගෙනෙ.කොල්ලො ඒ වගේ පරණ තාලෙ බයික් පදිනව කියල ඔයා හිතුවෙ කොහොමද?”

බිනර කටකාරයෙකු බව මේඝා තීරණය කළා ය.ඇය කිරි වීදුරුවෙන් උගුරක් බී සිනාවකින් පමණක් පිළිතුරු දෙන්නට සිතුවා ය.

“ඔයා දැන්මම යන්නෙ නෑනෙ..පුංචම්මා එක්ක බේබි සිටින් කරනවද, යසාගේ කිචන් හෙල්පර් වෙනවද නැත්තං මායි බාප්පයි එක්ක බෙහෙත් තෙල් හිඳිනවද කියලා දැන්මම තීරණේ කරන්න..”

බිනර එසේ පවසන්නේ ඔහුගේ පා අසල දැවටෙන්නට ගත් සූකිරි පූසාව බයිසිකලයේ ඇන්ද මත හිඳුවා ගන්නා අතරේ ය. මේඝා යළි සිනාවක් දෙතොලට ගත්තා ය.

“මං ආස බේබි සිටින් වලට.. මං නර්සරි ටීච කෙනෙක්නෙ..”

බිනර සූකිරි බිම තබා බයිසිකලය කොහොඹ ගසක් යට තැබුවේ ය.අනතුරුව ඔහු අනාරාධිතව මේඝා අසලින් හිඳ ගත්තේ ය.මේඝාට කැළඹීමක් දැනුණේ නැත. බිනර නරක කෙනෙකු නොවන බව ඇයට සිතිණ.වරුණ අයියාගේ සහෝදරයෙකු නරක මිනිසෙක් වීමේ ඉඩ අල්ප ය.

“අපි දෙන්න එක වයසෙ මං හිතන්නෙ.මං බිනර.. නිකිණි ඉස්කෝලෙ ගිහිං..හවසකට එක්කන් එන්නංකො..ඔයාට පාළුවක් නැති වෙනකංම කියවයි..ඒ ලෙවල් නිසා කෙල්ල ටිකක් බිසී..ඒ උනාට ඉතිං අනුන්ගේ ඕපදූපයි හින්දි නලුවොයි ගැන කියවන්න ගත්තම එක්සෑම් මතක නෑ.”

මේඝා එයට පිළිතුරක් දෙන්නට සූදානම් වෙද්දීම ගෙඋයනට ඇතුළු වෙන මෝටර් රථය දුටුවා ය. ඒ තරුණ වෛද්‍යවරයා බව ඇයට සිහි විණි. ඔවුන්ගේ සේවිකාව රෝගී බව බිනර ඊයේ හෙළි කළ අන්දම සිහියට ගත් ඇය මෝටර් රථයෙන් බැස නිවස වෙත දුවන කුඩා බටිත්තිය දෙස බලා හුන්නා ය.සෙනුරි නිවසේ සිට එළියට පිනූ අතර කාලාන්තරයකට පසු දුටු දෙදෙනෙකු මෙන් ප්‍රීතියෙන් පිනා ගිය කුඩා දැරියන් දෙදෙනා දෙස මේඝා ආදරයෙන් බලා සිටියේ දිනිඳු දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමිනි.සෙනුරිත් ඇගේ මිතුරියත් මේඝාට සිහි කරන්නේ පෙර පාසලේ සුන්දර මතකයන් ය. එහෙත් දිනිඳුගේ උස ද දෑසේ බැල්ම ද හැඩරුවෙන් බොහොමයක් ද සිහි ගන්වන රුව ඇගේ නෙතට හිරිහැරයකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 3

“බිනර, ඊයේ මෙහෙද හිටියේ..”

දිනිඳුගේ කටහඬෙහි වූ සමච්චලය හැඳිනගත් බිනර දෑස් කුඩා කර එසේ නොකියන්නට දිනිඳුගෙන් ඉල්ලා සිටියේ ය.නමුත් දිනිඳු පිටව යන්නට කල් මරමින් ඔවුන් වෙත රැඳිණි.

“මං දැන් මෙහෙට ආවේ.. අපි හරි බිසී මිනිස්සුනෙ..උදේ අර සමයම ඉස්කෝලෙට ඇරලුවා.කිරි විකුණන්න ගියා..දැන් බාප්පගෙ හෙල්පර් ටයිම් එක.නිවාඩුයි කියල පාඩුවෙ ඉන්න මං වගේ අසරණයෙක්ට කොහෙද වෙලාවක්.”

බිනරගේ කතා විලාසය මේඝාට ද සිනාවක් ගෙන එන්නට සමත් විණි.

“නංගිට උණ ගතිය අඩුයි ද දැන්” මේඝා හිස වනා වෛද්‍යවරයාට පිළිතුරු දුන්නා ය. ඒ කතාව දිගු කරන්නට ඇයට උවමනා නොවිණ.

“එකපාර අඩු වෙන්න නම් මේඝා අර එහා හංදියෙ ඉන්නව වන්ෂොට් කියල ඩොක්ට කෙනෙක්. එයාගෙන් ගන්න ඕන.. මෙයාගෙන් එකපාර සනීපවෙන්නේ නෑ..දෙපාරක්වත් අපේ පර්ස් එකට විදින්න බලන් තමයි බේත් දෙන්නෙ..”

දිනිඳු කිසිත් නොකියා සිනාසෙන්නට පටන් ගත්තේ ය.ඔහු යන්නට පෙර ද බිනරට සරදම් කරන්නට අමතක කළේ නැත.එය අසා නොහිඳින්නට ප්‍රවේසම් වූ මේඝා ඔවුන්ගෙන් මිදී ගෙතුළට පිවිසුණා ය.සෙනුරි ඇගේ කුඩා මිතුරිය සමඟ බෝනික්කන් පිරිවරා සෙල්ලමට සැරසී සිටි අතර මේඝා කුඩා දැරිය, ඉනුලි දෙස බැලුවේ විමසිල්ලෙනි.

මේ කුඩා මල් පෙත්තට තරුණ වෛද්‍යවරයාගේ ඇති නෑකම දැන ගන්නට ඇයට උවමනා විය.දැරියන් සමඟ මඳ වෙලාවක් රැඳී ඇය ගේ හරහා මුළුතැන්ගෙයට යද්දී බිනර කිරිබත් පිඟානකට වග කියමින් කෑම කාමරයේ සිටියේ ය.ඔහු මුළුතැන්ගෙය පැත්තෙන් නිවසට එන්නට ඇත.මේඝා කිරිබත් කෑල්ලක් බෙදාගෙන බිනර සමීපයෙන් හිඳ ගත්තා ය.කුඩා දැරියන් දෙදෙනා සුළි කුණාටුවක් සේ කෑම කාමරයට කඩා වැදුණේ ඒ මොහොතේ ය.

“අපිටත් කවන්නකෝ ” සෙනුරි බිනර අසලින් සිට ගත්තා ය. බිනර ඇයට කිරිබත් කටක් කවද්දී මේඝා දෑසින් ඉනුලිට හඬ ගැසුවා ය.

“දයියානම් එපා..” ඉනුලි මේඝාගේ පිඟානේ වූ ලුණුමිරිස් පෙන්වා කියන්නේ සුරතල් හඬිනි.මේඝා කුඩා කිරිබත් කැබැල්ලක් ඇගේ කුඩා මුවෙන් තැබුවේ ආදරයෙනි.

“ඒ බබා මෙහෙ එන්නෙ ඇයි..අත්තම්මලා සීයලා නැද්ද බලා ගන්න..”

මේඝා බිනරගෙන් ඇසුවා ය.

“දිනිඳු අයියා කොළඹ කෙනෙක්නෙ මේඝා..එයයි දුවයි තනියෙන් ඉන්නෙ…මේ දවස්වල එයාලට උදව්වට ඉන්න නැන්දත් අසනීපෙන්.හොඳ ඩේ කෙයා එකකටත් ටවුමටම යන්න එපැයි. අයියා කියන්න ඇති බබාව මෙහෙ ගෙනත් දාන්න කියල.”

මේඝාගේ අනුමානය නිවැරදි ය. මේ වෛද්‍යවරයාගේ දියණිය ය.ඇයට දැන ගන්නට තවත් කාරණාවක් තිබිණ.

“එතකොට ඩොක්ටගෙ වයිෆ් කෝ..”

බිනර ගුරුලේත්තුවෙන් වතුර වීදුරු දෙකක් පුරවා එකක් මේඝා අසලින් තැබී ය. අනෙක් වීදුරුවෙන් උගුරක් බී ඔහු මඳක් නිහඬව බලා සිටියේ ය.එය දැන ගැනීමෙන් කුහුලින් මේඝා දෑස් දල්වා හුන්නා ය.

4.1 8 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments