fbpx

ඔබට ඇහෙනවනම් – 13

කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි කරමිනි. නමුත් තවත් විනාඩි දෙක තුනකින් කාර්යාලය ළඟින් බහින තුරු ද හෙතෙම එකදු වචනයක් හෝ නො බිනුවේ ය.

“මොකෝ”

මා දුටු වහා ම අශිකා කුටියට ආවා ය.

“ඇයි…”

“ඇයි අහන්නෙ…හුඹහිං ඇදල දාපු තලගොයෙක් වගේ මොකද…”

“අර හොල්මන ඇවිත් හිටියනෙ විජේරාම හන්දියට”

“හොල්මනක්…”

“මනමාලය අනේ”

“මුදලාලි…ඇයි ඒ…”

ඇගේ ඇස් වල විශ්මය ද වචන වල හාස්‍යය ද එක වර මුහු වී තිබිණි.

“බෑ කියන්න එපාලු. එයා මට රජ සැප දෙනවලු. පුතාව අරං ආවත් කමක් නෑලු. දරුවො දහ දෙනෙක් වුණත් වැඩි නෑලු”

අශිකා කෙතරම් හයියෙන් හිනා වෙන්නට ගත්තා ද යත් මට ඇය නවතා ගත නො හැකි විය. ඕ දිගට ම නැවෙමින් ද බඩ අල්ලා ගනිමින් ද දෝතෙහි මුව ඔබා ගනිමින් ද සිනහ වෙන්නට වූවා ය.

“අන්න කොල්ලො…ඇයි බෑ කියන්නෙ…”

සිනහ වෙන අතරේ ම ඈ එසේ කියා ගත්තා ය. ඊළඟට කී දේ ගැන නැවත සිනාසුණා ය. ඇගේ සිනහව නිසා හෝ සැහැල්ලුවට පත් විය නො හැකි බරක් හදවතෙහි පැටවී ඇති බව මට දැනුණේ ය. මොන දේ කළත්, එදා දවල් තේ විවේකයෙන් පසු කුලාන් මාව සිය කුටිය වෙත කැඳවන තුරු ම ඒ බර විටින් විට මගේ හුස්ම හිර කරමින් පැවතිණි.

“ඇයි දැං ඒ මනමාලයට අකමැති…අපරාදෙනෙ”

දෑත් මේසයට බර කොට මඳක් ඉදිරියට නැඹුරු වී ඔහු විමසූයේ, බිමට යොමා උන් මගේ දෑස් ඉබේ ම ඔහු වෙත යොමු කර ගනිමිනි. ඒ දෙතොල් මත සිනහවක් වූ බව ඇත්ත ය. නමුත් එහි වන්නේ සමච්චලය කියා මම නො සිතමි. ඉකි ලලා හඬන්නට ඇති වූ උවමනාව මම කේන්තියකට පෙරලා ගතිමි. හිතේ වූ කේන්තිය ඇසේ වූ තෙත සිඳ දැම්මේ ය. එය මට පහසුවක් විය.

“සර්ට මේ දේවල් තේරුං ගන්න බෑ සර්. ජීවිතේ තරුණ වයස පටං ගන්නකොට ම  වෙස්ටර්න් කන්ට්‍රීස් වලට ගිහිං ඒවයෙ ඉගෙන ගෙන අවුරුදු ගාණක් ඒවයෙ ජීවත් වෙලා ආව කෙනෙක්ට කොහොමටවත් මේ ඒෂියන් කල්චර් එක තේරුං ගන්න බෑ”

“මගුලක් කතා කරනව. ඒෂියන් කල්චර් එකක් නෙවෙයි ඔය කොන්ද පණ නැති කම. මිනිහෙක් නං මොකෙක් වුණත් කමක් නෑ”

මගේ ඇඟේ ලේ රත් වී ගෙන එනවා මට දැනිණි.

“මටනං මිනිහෙක් ඕන නෑ සර්. එක මිනිහෙක්ගෙං මට්ටු වෙච්චි ගෑනියෙක් ආයෙත් සැරයක් ඒ අපායට වැටෙන්න දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතනව. ඒත් මේ වගේ රටවල් වල ගෑනියෙක්ට නිදහසේ ජීවත් වෙන්න බෑ. දික්කසාදයි කියල දැන ගත්තහම වටේ ඉන්න මිනිස්සු බලන්නෙ සත්ව කරුණාව පහල කරං ඒ ගෑනිගෙං අයුතු ප්‍රයෝජන ගන්න. මේ රටේ තනි ගෑනියෙක්ට දොර වහගෙන තමංගෙම ගෙදර වුණත් නිදා ගන්න බයයි. ඒකයි ඕන දෙමව්පියෙක් හිතන්නෙ නමට හරි තමංගෙ දුවට මිනිහෙක් ඉන්න ඕනයි කියල. හැබැයි ඒකෙං වෙන්නෙ අර පිටිං එන කරදර අඩු වෙන එක විතරයි. නැතුව ඔය හුඟක් ගෑනු කසාද බැඳල ඉන්න පිරිමි දෙවිවරු නෙවෙයි. වැඩි දෙනෙක් කසාද ඇතුළෙ විඳෝනව. වෙන කරන්න දෙයක් නැති කමට. මෙහෙ එහෙම වෙන ගෑනු ඉපදුණේ සර්ල  ඔය දැකපු රටවල් වලනං…එයාලත් ඉඳියි ඔළුව කෙළිං තියාගෙන නිදහසේ හුස්ම අරං”

මා කියවා ගෙන ගියේ කලිං කට පාඩම් කර ගෙන තිබූ වාක්‍ය රචනාවක් මෙනි. වරින් වර කුලාන් ගේ ඇස් සිහින් විය. ලොකු විය. ඒ මුහුණේ ඇඳෙනා රැළි වල ලියැවෙන කතා කියවා ගන්නට මා දැරූ උත්සාහය නිෂ්ඵල වූවා කියා සිතමි. අන්තිමට කුලාන් බරැති සුසුමක් හෙළුවේ ය.

“දැං ඔය මනමාලයට අකමැති නිසා තව අය ගෙන්නනවද…”

මම තත්පර කිහිපයකට ඇස් දෙක පියා ගතිමි.

“දන්නෑ සර්. සමහර විට එහෙම වෙයි”

මේ කෙතරම් කටුක වූ තේමාවක් ද? බඩ බොකු කලතවා ගෙන එන තිත්ත රසක් මට දැනිණ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ගැන කාලයක් මගේ හදවතෙහි ජීවත් වූ නොමේරූ සිතිවිලි කෙතරම් නම් බොළඳ වූ ඒවා දැයි දැන් මට සිතේ. 

“මැරේජ් ලයිෆ් එකක් කියන්නෙ අමුතු දෙයක් සර්. මන්දන්නෑ ගෑනු ළමයෙක් ඒ ජීවිතෙං පතන දේවලිං බාගයක්වත් එතනදි ලැබෙන්නෑ හුඟක් අයට. පිරිමි අයට ඒ ගැන ඇත්තෙ වෙනම අදහසක් වෙන්න ඇති. කසුන් ගැන හිතුවොත් එයාට ඕන වුණේ ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න විතරයි. එයා කවදාවත් කසාදෙට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතුවෙ නෑ. දැං ඔය උදේ ආව මනමාලයට ඕනෙ එයාගෙ කලිං කසාදෙ ළමයි තුන් දෙනාව බලා ගෙන තව ළමයි හදාගන්නත් ළමයි හදන මැෂිමක් කියලයි මට හිතෙන්නෙ. අපි කාලෙකදි හීන දකින කිසි දෙයක් වෙන මිනිහෙක්ගෙං හොයන්න හොඳ නෑ සර්. එයාලට ඒවගෙං වැඩකුත් නෑ. අපේ හීන හැබෑ කර ගන්න ඕනෙ අපි තනියම”

මගේ හිත දිය වෙන්නට ගත්තේ කොතැනකදී ද කියා මම නො දනිමි. කෙසේ වෙතත් කම්මුල් දිගේ කඳුළු පේළි දෙකක් ගලා යන බව දැනෙත්දී මම ඉක්මනින් අතැඟිලි වලින් ඒ කඳුළු මිරිකා හළෙමි. 

“ඔය මනමාලයො ගෙන්නන වැඩේ නවත්තන්න”

කුලාන් තීරණාත්මක ස්වරයකින් කීවේ ය. මම ‘ඒ ඇයි’ කියන ප්‍රශ්නාර්ථය රැඳි දෑසින් වහා ඔහු දෙස බැලීමි. ඔහු  මගේ ඇස් මගහැරියේ නැත.

“එහෙම කරන්න ඕන අය ඇති. ඒත් ඔයා ඒ තත්වෙට වැටෙන්න තරං දුර්වල කෙනෙක් නෙවෙයි”

මගේ ඇස් තටු යළිත් පහළට නැඹුරු විය. ස්ත්‍රීත්වය නමැති පොදු කුලකය තුල සිටින මා වෙනත් උප කුලකයකට වැටෙන්නට තරම් විශේෂ වූ ලක්ෂණය කුමක් දැයි මම ප්‍රශ්න කරන්නට නො ගියෙමි.

“කසාදයක් කියන්නෙ කෙනෙක් තව කෙනෙක්ට බැඳල දාන ගැටයක් නෙවෙයි නිම්නා.. කසාදයක් කියන්නෙ දෙන්නෙක් එක ගමනක් යන්න අත් අල්ල ගැනීමක් කියලයි මන්නං හිතන්නෙ. දෙන්නෙක්නෙ…අරමුණු වෙනස් වෙන්න පුළුවන්. ඒත් එක පැත්තකටයි යන්නෙ. තමංගෙ පාරෙ දකින දේවල් අනිත් කෙනාටත් විස්තර කර කර…ඒ නිසා ඒක හරිම නිදහස් වගේම අනිත් කෙනා ගැන වගකීමක් තියෙන ගමනක්. සමහරු කසාදෙං නිදහස විතරක් හොයනව. සමහරු වගකීම් ගැන විතරක් හිතනව. එහෙම වුණහමයි අවුල් වෙන්නෙ”

මුණිවර හඬකින් හෙතෙම විග්‍රහ කළේ ය. ඔහු වාගේ යෞවනයෙකු හට විවාහය ගැන ඒ තරම් ගැඹුරු වූ දර්ශනයක් කොහෙන් ලැබුණා දැයි මම සිතුවෙමි.

කෙසේ වෙතත් ඒ සියල්ල ඔහු ඉදිරියේ නිරාවරණය වීමෙන් පස්සේ මට දැනුණේ සැහැල්ලුවකි. ඉන් දෙතුන් දිනක් ගෙවෙන තෙක් කුලාන් ට මුහුණ දීමේ දී මා මඳ අපහසුවක් අත් නො වින්දා ම නොවේ. නමුත් ඔහු ඒ කිසිත් මතක නැතිවා වගේ හැසිරුණේ ය. 

කාලයකට පස්සේ අයියා මට දුරකතන ඇමතුමක් දුන්නේ ය. ඔහුට වැරදීමක් සිදු වී ද කියාත් මට සිතිණි.

“අම්මට කෝල් කරපු වෙලාවෙ අම්ම කිව්ව ආපු මනමාලය ගැන. මෝඩ නොවී ඒකට කැමති වෙනව”

ඒ කොහෙත් ම අදහස් දැක්වීමක් හෝ ඉල්ලා සිටීමක් නොව අණ දීමකි.

“මිනිස්සුංගෙ ලස්සන හරි වයස හරි කන්නද හලෝ. ඒ මිනිහ හම්බ කරං එනවනං එච්චරයි. මේ කාලෙ සල්ලි තමයි ඕනෙ. සල්ලි…”

මම එකට එක කියන්නට නොගියෙමි. ඒ අයියාගේ අදහසයි. ඔහුට එකඟ වෙනවාද නැත්ද යන්න මගේ කටයුත්තකි.

“අනික අර ළමයව ඉල්ලල නඩු දාන්න හදන්නෙ බම්බුවකටද ඕයි…ඔය බිස්නස් කාරයව බැඳගෙන අලුතෙං ළමයි හදාගන්නවකො ඕන තරං. නඩු කියන්න සල්ලි වියදං කරන්න හදන්නෙ පිස්සුද…”

“මං වැඩක ඉන්නෙ අයියෙ. මං දැං තියන්නද…පස්සෙ ඔයාට කතා කරන්නං”

 කියා මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ඔහු කී සියල්ල ඔහු වාගේ ජීවිතය මුදල් කොට ගත් අයට වලංගු වනවා ඇත. නමුත් මට ඒවා විහිළුවක් සරි වූයේ ය. අම්මා කෙනෙකු ට උපදින්නට ඉන්නා දරුවන් සිය දෙනෙකුට වඩා, ඉපදී සිටිනා එක දරුවෙකු වටිනා බව අයියා වාගේ අය දන්නේ නැත. අනිත් අතට විවාහය කියන බැඳීමෙන් මෙලොව සිටින බොහොමයක් දෙනා බැඳුණාට, ඒ එක් එක් යුවළක් විෂයේ විවාහය යනු වෙනත් යුවළකට සාපේක්ෂව වෙනස් අත්දැකීමකි. එනයින් එය නිරපේෂ ය. වෙනත් විවාහයකට සාපේක්ෂ කොට බැලිය නො හැකි ය. කොටින් ම එය රවුම් හෝ හතරැස් හෝ වෙනත් නිශ්චිත හැඩයක් හෝ දිය නො හැකි යමකි. නමුත් එය බැඳීම තුළ සිටිනා දෙදෙනාට ම තෘප්තිමත් හැඟීමක් දැනවිය යුතු ය. ඒ තුළ ඔවුන් ඉච්ඡා භංගත්වයට නො පත් විය යුතු ය. ඒ තුළ ඔවුන් ට වර්ධනය විය හැකි විය යුතු ය.

මා සම්බන්ධයෙන් ගත හොත් අපේ යුග දිවිය තුළ මා සිටියේ බරපතල හුදෙකලාවක ය. ඊට හේතුව කසුන් මගේ ලෝකය පුරවා දමනවාට තබා ඊට ඇතුලු වෙනවාට හෝ විරුද්ධ ව ඔහු ගේ මව ගේ නැගී සිටීමයි. මා උයනා කෑමක් කෙතෙක් රස වුව ඔහු රසයි කියන්නට ඉදිරිපත් නො වුණේ ය. ඒ එසේ කළ දිනෙක අම්මා ඔහු ට පුම්බා ගෙන සිටීම නිසා ය. ඉදින් ‘පුතාට මං උයන කෑම මිස වෙන කවුරු ඉවුවත් අල්ලන්නෑ’ කියමින් මගේ නැන්දම්මා පුරසාරම් දෙඩවූවා ය. කසුන් මා උයන කෑමක් තබා මගේ රූපය ඇගයීමට හෝ ඉදිරිපත් වූයේ නැත. ඒ ගේ ඇතුළේ දී මාත් නො දැන මා පසෙකට තල්ලු වී ගිහින් තිබිණි. ඒවා අවබෝධ වෙත්දී මා කසුන් ගෙන් අපේ විවාහ බැඳීමේ නාමයෙන් ඔහු ව ඉල්ලා සිටිය ද ඔහු ට තීරණයක් ගත හැකි ස්වාධීනත්වයක් නො විණි.

ඒ මාසේ සේවක වැටුප් වර්ධක ලබා දෙන්නට නියමිත ව තිබුණේ ය. ආයතනය තුළ වැඩි ම වැටුප් වැඩි වීම සිදු ව තිබුණේ මට වීම කොහෙත් ම මා අපේක්ෂා නො කළ දෙයකි. 

“බොස් ගෙ කාරෙකේ එහෙට මෙහෙට ගියානං අපිටත් ලොකු ලොකු ඉන්ක්‍රිමන්ට්ස් ගන්න තිබුණා”

කර්තෘ මණ්ඩලයේ සාමාජිකාවන් කිහිප දෙනෙක්, අප කෑම ශාලාවේ සිට එන විට මට ඇහෙන්නට ම පැවසූහ. මා ඉවසා ගෙන යන්න ගියේ ගෑනු ළමයින් සමග ප්‍රශ්න ඇති කර ගැනීම යනු සිහිනයෙන් හෝ නොසිතන කරදර හිස මත පටවා ගැනීමක් බව දන්නා නිසා ය. 

“ගණං ගන්නෙපා. පල ඇති රුකටනෙ ගල් වදින්නෙ”

අශිකා මගේ රිදුම හොඳට ම දුටුවා ය. නමුත් එවැනි ආප්තෝපදේශ හෝ ප්‍රස්තාව පිරුළු වලින් සුව කළ හැකි රිදුමක් නොවේ එය. මා කුලාන් ගේ වීදුරු කුටියට ගියේ එබැවිනි. මගේ විලාශය දුටු ඔහු මඳක් සසල වූයේ ය.

“අනේ සර් මගෙ සැලරි ඉන්ක්‍රිමන්ට් එක අඩු කරන්න”

තත්පර කිහිපයක් නිහඬ ව මදෙස බලා උන් කුලාන් අනතුරුව ලස්සන සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව දිගේ මං මුලා වන්නට පෙර මම අතර මග නතර වුණෙමි.

“නිම්නා හරි පුදුම කතාවක්නෙ කියන්නෙ. වෙන මිනිස්සු කියන්නෙ සැලරි වැඩි කරන්න කියල. නිම්නා මෙතනට ඇවිත් කියනව වැඩි කරපු සැලරි එක අඩු කරන්නයි කියල”

“මිනිස්සුංගෙං ජරා කතා අහගෙන සැලරි වැඩි කර ගන්න මට ඕන නෑ සර්. මං හිතට එකඟව වැඩ කරන කෙනෙක්. නැතුව පඩි වැඩි කර ගන්න කියල…”

හිතේ වූ කේන්තියට මොනවා කියවේවි දැයි දැනුණ බිය නිසා ම මම මාව පාලනය කර ගතිමි. කුලාන් සිය සිනහව දිය කොට හැර මේසයට බර වී මගේ මුහුණට එබුණේ ය. ඒ වෙලාවේ ඔහු වෙත වූයේ මගේ මානසික තත්වය හා සමපාත වීමේ අවශ්‍යතාවයකි. එනිසාවෙන් ම ඔහු ළඟ මුළුමනින් දිය වී යන්නට මට හැකි විය. එය මහ පුදුම හැඟීමකි. නැන්දම්මා හා මා අතර වූ සීතල යුද්ධයේ දී කසුන් ළඟ මේ අයුරින් දිය වෙන්නට මට අනන්ත වාරයක් ඕනෑ විය. නමුත් මේ හැඟීම මා තුළ දනවන්නට ඔහු කිසි සේත් සමත් වූයේ නැත. ඒ මගේ ආත්මය හා සමපාත වන්නට ඔහු ට වූ නො හැකියාව නිසාවෙන් නො විය හැකි ද?

“දැං කවුද මොනාද කියන්නෙ…ම්…හරි හරි. ඔයා ඒ වගේ කේලං වලට සම්බන්ද වෙන්නෑ කියල මං දන්නව. නිම්නා. ඔයා බුද්ධිමත් ළමයෙක්නෙ. ඔයා මේ කම්පනි එකට ලොකු සේවයක් කරනව. ඒකට සාධාරණයක් කම්පනි එක පැත්තෙනුත් වෙන්න ඕනෙ. ඒක නිසා කවුරුවත් කියන දේවල් ගැන වද වෙන්න එපා”

“ඒත් සර්…”

“අනික නිම්නා සැලරි ඉන්ක්‍රිමන්ට්ස් ගැන ඩිසිෂන්ස් ගත්තෙ තාත්තා. මට ඒකට ඉන්වෝල්ව් වෙන්න බෑනෙ… නේද…”

ඔහු ඒ වෙලාවේ මදෙස බලා උන් බැල්මෙන් ඊට පෙර හෝ පසු කිසිදු පිරිමියෙකු මදෙස බලා නැති බව දිව්රා කිව හැක. එය එතරමට  ම පිරුණු බැල්මකි. මගේ ගැහැනුකම් ගැන මට මහත් තෘෂ්ණාවක් දැනිණ. ගැහැනියක වී ම මතු මතුත් සසරේ උපදින්නට හිතෙනා තෘෂ්ණාවකි එය. ගැහැනියක තුළ එහෙව් ගැහැනු හැඟීමක් ඇති කරන්නට හැම පිරිමියෙකුට ම හැකිය කියා මම නො සිතමි. කුලාන් ගැහැනු හදක් සසල කළ හැකි පිරිමියෙකු වන්නේ එබැවිනි.

“අද ගෙදර යන්න හදිස්සිද…”

ඊළඟට ඔහු ඇසුවේ මා පැටළෙන විදිහේ ප්‍රශ්නයකි.

“ඇයි සර්…”

මන බඳනා සිනහව ඒ වත මත පිපිණි.

“ප්‍රශ්නයක් ඇහුවහම ප්‍රශ්නෙකිංම උත්තර දීල බෑනෙ”

අර සිනහව ගිල ගෙන ඔහු ඒ වෙලාවට නො ගැලපුණ දැඩි බවක් ආරෝපණය කර ගන්නට හැදුවේ ය. පෞරුෂවත් පිරිමියෙකු තුළ ජීවත් වන ළමයා ව මම ඒ වෙලාවේ මොනවට දුටිමි. පිරිමින් හැම ගැහැනියක ඉදිරියේදී ම තමන් තුළ ජීවත් වන ළමයා ට කල එළි බහින්නට නො දෙන බව මා අසා තිබිණි.

“හදිස්සි නෑ සර්”

“හරි නිම්නා. එහෙනං ඔයා ගිහිං වැඩ කර ගන්නකො”

මා අවුලෙන් අවුලට පත් කරමින් ඔහු සිය ජංගම දුරකතනය අතට ගෙන පුටුව මගෙන් ඉවතට හරවා ගත්තේ ය. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x