මන්දාරම් හැන්දෑවක -10

දිනිඳු බොහෝ වෙලාවක් හුන්නේ කල්පනාවක ය.මේ ඇමතුම ගත යුතු එකක් දැයි සිතමින් ඔහු දිගු වෙලාවක් කල් මැරී ය.ඉනුලි සුව නින්දේ ය.ඈ සමඟ ගෙවී යන වෙලාව අල්ප වීම ගැන දිනිඳුට දැනෙන්නේ දරා ගත නොහැකි වේදනාවකි.
රෝහලේ කාර්යබහුල වූ පසු ඩිස්පෙන්සරියේ කටයුතු වල නොයෙදී හිඳින්නට ඔහු අනේක වරක් කල්පනා කර තිබිණ.එහෙත් හැන්දෑ වරුවේ එහි රොක් වන ගැමියන්ට බොහෝවිට බෙහෙත් ලැබෙන්නේ නොමිලේ ය.ෆාමසියකින් මිලට ගත යුතු බෙහෙත් ලබා ගන්නට මුදල් පවා ලබා දෙන තරුණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගම්මුන්ට ඇත්තේ පැහැදීමකි.

“දොස්තර මහත්තය අත තිබ්බත් සනීප වෙනවා..”

ගම්මුන් තමා විෂයෙහි එවැනි කතාවක් පවසන බව දිනිඳු දැන සිටියේ ය.නමුත් සුව කර ගත යුතුම වූ තැනැත්තිය සුවයක් නොලබාම තම දෑත මත මිය ගිය අන්දම සිහි වෙද්දී ඔහුට දරාගැන්මේ රතු ඉරි සියල්ල බිඳී යයි.කොල්ලෙකු කාලයේ නම් හීන් මධුවිතකට වේදනාව බාර කරන්නට තිබිණ.නමුත් දැන් තමන් දියණියකගේ එකම පිළිසරණ බව ඔහුට අමතක කළ නොහැකි ය.

“මේක මට හදලා දුන්නේ සුදු පුංචියා..” ඉනුලි ඇගේ කරට දමා තිබු මඤ්ඤොක්කා දඬු මාලය නින්දේදීවත් ඉවත් කරන්නට සතුටු නොවූවා ය. නින්ද යන තුරු දිනිඳුගේ සිරුර මත කුඩා පාදයක් දමා ගෙන ඇය සුදු පුංචියා ගැන කියවීම ඇරඹුවා ය.

“එයාගෙත් අම්මි නෑලු..අම්මියෙක් නැති යාලුවෙක් එයත්.” දිනිඳු මේඝා ගැන අලුත් ප්‍රවෘත්තියක් දැන ගත්තේ ඉනුලි හරහා ය.අම්මා දිව්‍ය ලෝකයේ මානෙල් මල් විලේ ජීවත් වන බවත් හොඳ වැඩක් කරන ඕනෑම මොහොතක ඇය තමන්ට තෑගි එවන බවත් සුදු පුංචියා සහතික කළ බව ඉනුලි දිනිඳුට පැවසුවේ සතුටිනි.

“චූටි මැණික,එයා පුතේ සෙනුරිගේ පුංචිනෙ..පුතාගෙ පුංචි නෙවෙයි ඒ..අපි එයාට සුදු නැන්දි කියමු..”

දිනිඳු එක් තැනකදී ඉනුලිව නිවැරදි කරන්නට යත්න දැරුවේ ය.නමුත් ඉනුලි එයට කොහෙත්ම කැමති නොවී ය.

“මට යාලුවො තුනමයිනෙ හිටියේ තාත්ති. සෙනුරියි, මල්ලි බබයි බිනර මාමයි..දැන් මට යාලුවෝ හතරමයි..ඒ සුදු පුංචියා. “

ඉනුලිගේ සමහර උච්ඡාරණ දිනිඳුට හැම වේදනාවක්ම අමතක කර දමා සිනාවක් උපදවන්නට හේතුවකි. ඔහුට මේඝාගේ තැතිගත් දෑස සිහිවූයේ එක්වරම ය.

“අර කාලකන්නියා කාලකන්නි වැඩ නොකර හිටියනම් ඒ ඔයාගෙ පුංචි තමයි පුතෙ..”

ඔහු දුරකථනය අංකනය කළේ ඒ බව සිතමිනි.සියල්ල හැර දා අතුරුදහන් වීම හදවතේ කොතැනකවත් නොතිබූ කාලයක සමාධිගේ ආරක්ෂාව පතා කළ යුතුව තිබූ එකම විකල්පය තෝරා ගැනීම ගැන ඔහුට බිඳක්වත් වේදනාවක් දැනෙන්නේ නැත.කුමාර සැප හැරදා පැමිණිය ද ඇය හා ගෙවූ කෙටි කාලය ජීවත් වීම මොනතරම් සුන්දරදැයි ඔහුට කියාදුන් කාලයකි. ලංකාව කුඩා රටක් බව සැබෑවකි.නමුත් සැඟව ගන්නට අවශ්‍ය නම් ඕනෑතරම් තැන් නැතිවා ද නොවේ. දිනිඳු දෛවයේ අපූරු සිදුවීම් ගැන සිතුවේ මඳ සිනාවකිනි.වසර පහකට එහා අතීතයක දී ඔහු සැඟව ගන්නට තෝරා ගත්තේ රජරට ය. අද මේඝා ද එබිමම තෝරාගෙන ඇත.සැඟව ගන්නට අවශ්‍ය වූ අය පොදු සාධකයක් වීම අහඹුවක් දැයි සිතමින් හුන් දිනිඳුට එහා ඉමෙන් හඬ ඇසිණ.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -18

“ලොක්කයියා.. රෑට කාලද?”

ඒ නිමාෂා ය. ඇය දිනිඳුගේ ළඟම ඥාති සහෝදරිය ය.සියලු නෑසියන් හැරදා පැමිණි ගමනකට පසු ඈට හෝ අමතන්නට ඔහුට සිදු වූයේ සමාධි රෝගීව හුන් කාලයේ ය.නමුත් එකල ඇය සිටියේ විදෙස්ගතව ය. නිමාෂා මොනතරම් රණ්ඩු ඇල්ලුව ද දිනිඳු තවමත් ඔහු දකින්නට එන්නට නිමාෂාට ඉඩ දුන්නේ නැත.ඇය රජරට මායිමට රාජකාරි සඳහා පැමිණෙන විට පවා ඔහු බොරු හේතු මවා ගනිමින් දුරකථනය විසන්ධි කර දැමී ය.

“මං නිදාගන්නත් කිට්‍ටුයි.ලෝයර් නෝනා ඇමක් හදන ගමන් ද?”
දිනිඳුගේ කතාවට නිමාෂා උස් හඬින් සිනා සුණා ය.ඇය අගතියට පත් වන කාන්තාවන් ද දැරියන් ද වෙනුවෙන් වෙහෙසෙන නීතිඥවරියකි.ඇගේ උගුලට හසුවන දූෂකයන් ගැලවී නොයන තරම් ය.දිනිඳු දුර හිඳ ඈ දෙස බලා හිඳින්නේ ආදරයෙනි.ගෞරවයෙනි.

“ඇමක් වීරසේකර මන්දිරේ පැත්තටම දාන්න වෙයි වගෙ..පොඩ්ඩයියා කතා කරලා ෆෝන් එක තිබ්බ විතරයි..”

නිමාෂා කියන්නේ බර කරගත් හඬිනි.දිනිඳු සිදු වන්නට ඇති දෙය අනුමාන කළේ ය.

“ඔයාට ඔය සිද්ධිය කිව්වට ලොක්කයියෙ මං පොඩ්ඩයියට ඕක නොකිය ඉන්න හිතුවෙ.එයා ඕක නැන්දිට උනත් කියන්න බැරිකමක් නෑ..ඔයා වගේ අසාධාරණේ දැක්කම පැත්තකට වෙන් නෑනෙ එයා. ෆයිට් කරනවනෙ..ඒත් එයා ෆේස්බුක් එකෙන් සිද්ධිය දැකල..මට කිව්වා..”

දිනිඳු සුසුමක් හෙළී ය.කොහොඹ ගසකට පිට දී අනන්තාවකාශය දෙස හිස් බැල්මෙන් බලා සිටින මේඝාගේ බලාපොරොත්තු විරහිත දෑස් ඔහුගේ හදවතට බරට දැනෙන්නට පටන් ගෙන තිබිණ.

“පොඩ්ඩයිය ලංකාවට එනව කියන්නෙ.ඇවිල්ලා ඉන්න තැනකින් ඒ ළමය හොයා ගන්නවලු..ඊට පස්සෙ මට කියනව චූටිට නඩුවක් දාන්න ඕන කියල. පොඩි අයියා ඒ ළමයා වෙනුවෙන් වියදම් කරනව කියන්නෙ..”

දිනිඳුට ඇතුළාන්තයෙන් කැළඹීමක් දැනිණ.එයට හේතු සොයන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. නමුත් විශාල කුණාටුවක් ඇරඹෙමින් පවතින බවක් ඔහුට දැනිණ.

“ඒක ලොක්කයියේ චූටිගෙ පරණ ලව් සීන් වගේ එකක් නෙවෙයි. මෙයාට කිට්ටු වෙලා පුලුවන් තරම් සල්ලි කඩාගන්න කෙල්ලො ඕනතරම් හිටියනෙ.. මේ ගෑනු ළමයා ඇත්තටම ආදරේ කරලා තියෙනවා. මූ ආයේ රස්තියාදු ගහන්න පටන් ගන්නකොට ඒ ළමයා යකින්නි වෙලා තියෙන්නෙත් ආදරේට. මං හිතන් නෑ ඔයාලට තියන කම්පැනි ගාණවත් ඒ ගර්ල් දන්නව ඇති කියල. චූටිගෙ ජීවිතේ ෆස්ට් ටයිම් එයා වැරදි කිව්වෙ මේ ළමයා.. මූ පලි ගත්තේ ඒකයි..”

දිනිඳු දිගින් දිගටම නිහඬව හුන්නේ ය. කුඩා කාලයේ සමනළයන්ගේ තටු කඩා දමා උන් ඉගිල ගත නොහැකි ව දඟලද්දී අත්පොඩි තලමින් තුටු වූ කුඩා දරුවා ඔහුට සිහි විය.පොඩි මල්ලී මහත් ආසාවකින් ගෙදර ගෙන ආ පූස් පැටවෙකු වතුර භාජනයකට අත්හැරි දරුවාගේ දෑස් මත වූ වියරු සතුට දිනිඳුට යළිත් සිහි විණි.”මේ කාලකන්නියා කරලා තියන කුණු වැඩක් බලන්න ලොකූ..” නිමාෂා ඔහුට වට්ස් ඇප් වීඩියෝවක් එවා තවම ගෙවී යන්නේ සිව්වැනි දින ය.ඒ වීඩියෝව විවෘත කර විනාඩියක්වත් එය නරඹන්නට දිනිඳුට හිත හදා ගත නොහැකි විය. අපුලක් මුසු කෝපයක් ඔහු වෙළා ගත්තේ ය.එහි සිටි තරුණයාගේ දෑස්වල රැඳී තිබුණේ කුඩා කල සමනළයන්ට වද දෙද්දී තිබූ වියරු බැල්ම ම ය.එහි හුන් යුවතිය නොසිතූ මොහොතක පියවි ලෝකයේ දී ඔහුගේ ඇස ගැටුණේ රජරට ඔහුට හිඳින ළබැඳි මිතුරාගේ ගෙමිදුලේ දී ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -13

ඒ බලාපොරොත්තු විරහිත ශෝකි දෑස අමතක කරන්නට දිනිඳුට අපහසු ය. ඔහු නිමාෂා ඇමතුමේ ඒ හැඟීමෙනි.

“හරි.. ඒ ගර්ල්ව හොයා ගත්ත කියමුකො නංගි. නඩු දාන්න ඒ ළමයා කැමති වෙයිද? තාත්තා ඒ ළමයට ජීවත් වෙන්න දෙයිද?”

නිමාෂා සිහින් හඬින් හිනැහෙනු ඔහුට ඇසිණ.

“ඒ ළමයා කැමති උනොත් මම ලොකු වන්දියක් අරන් දෙනවමයි ලොක්කයියෙ. අකමැති වෙන්න හරි කැමති වෙන්න හරි ඒ ළමයා හොයා ගන්නයි මට දැං ඕන.මං ගෙදරටත් ගියා.එයාගේ අම්මා නෑ..පුංචි අම්මෙක් ඉන්නෙ.ලියුමක් ලියල ගිහින් තිබ්බලු කොහෙහරි මෙහෙණි ආරාමෙකට යන කතාවක්.. ආස්සරේ කරපු යාලුවොත් කිසිම දෙයක් කතා කරන්න කැමති නෑ…”

වචනයට නැගිය නොහැකි කුමක්දෝ සැනසිල්ලක් දිනිඳුගේ හදවත වෙළා ගත්තේ ය.

“මං මේ රටේ අසාධාරණයක් වෙන ඕනෑම ගෑනු කෙනෙක් වෙනුවෙන් සතයක් ගන් නැතුව වැඩ කරන ලෝයර් කෙනෙක්..මගෙ කසින් කෙනෙක් මෙහෙම ජරා වැඩක් කරා කියල මං අතාරින් නෑ ලොක්කයියා.කොහොමත් ලොකු මාමත් පාඩමක් ඉගෙන ගන්නෙ මේ පාර.චූටිගෙ තරම දරා ගන්න බැරුව නැන්දි අසනීප වෙයි කියල මිසක් මට නම් වෙන කිසිම දුකක් නෑ..”

නිමාෂා ඇමතුම නිමා කරන්නට පෙර තිර හඬින් එසේ කීවා ය.දිනිඳු තද නින්දට වැටී හිඳින ඉනුලිට පොරවනය පොරවා මුළුතැන්ගෙයට ගියේ කෝපි කෝප්පයක් සකසා ගන්නට ය.වතුර උණු වෙන තුරු ඔහු රෑ අහසේ අඳුරට ඇස් දල්වා ගත්තේ ය.සමාධිගේ තාරකා ඇස් ඒ තරු අතර සැඟව ඇතැයි ඔහුට සිතිණ.ඇගේ උරහිසේ හිස තබාගෙන රජරට අහස යට තාරකා දෙස බලා හුන් රාත්‍රීන් කොපමණ ඈතදැයි දිනිඳු සිතුවේ කෝපි සකසන අතර ය.නිමාෂා මොනතරම් බැන වැදුණ ද ඉනුලි ද රැගෙන කොළඹ යන්නට ඔහුට හිතක් නැත.

“උඹ මැරි කරන්න එහෙම හිතනවනම් මචං කෙල්ල තව ලොකු වෙනකන් ඉන් නැතුව ඒ තීරණේ ගනිං..”

වරුණ ඉතා මෑත දවසක කී කතාව දිනිඳුට සිහි වූයේ හදිසියේ ය.ඉනුලිට අම්මා විය හැකි තරමට සුවිසාල හිතක් ඇති ගැහැනියක සොයා ගන්නට තමාට කිසිම දිනක හැකි නොවන බව ඔහුට විශ්වාස ය.අම්මා කෙනෙකු වන්නට පුංචි අම්මා කෙනෙකු අසමත් ය. දිනිඳු එසේ සිතුවේ මේඝ වලාවන්ගෙන් වැසී ගත් අහසට නෙත් දල්වමිනි.

5 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments