ඔබට ඇහෙනවනම් -15

මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී ඉන්නට තරම් මා මාර්ග එල අත්පත් කර ගත්තියක නොවේ. නමුත් හැකි තාක් ඒ ගැන නො හිතා මම වැඩ කළෙමි. 

“අනගාරික ධර්මපාල තුමාත් කියල තියෙනවනෙ…මේ රටේ වැඩ කරනවනං බැණුං අහන්න බලාගෙන වැඩ කරන්නයි කියල”

තේ බොන ගමන් මම අශිකා ට කීවෙමි. එතකොටත් බෙදා හැරීමේ අංශයේ තරුණයෙක් කට කොන් හිනාවකින් මගේ කුටිය දෙස බලමින් කියුබිකල් එක ඉදිරියෙන් ගියේ ය.

“මේකෙ අය දන්නෑනෙ ඔයා ඩිවෝස් කියල. දැන ගත්තනං කොහොම තියෙයිද…”

“ගෑනියෙකුට ගෞරව කරන්න දන්නැති මිනිස්සු ඉන්න මහා සංස්කෘතික රටක්නෙ මේක. කතා කරන්න ගියොත්නං ජාතියයි ආගමයි අනිත් හැම දේටම උඩිං…”

මගේ ජංගම දුරකතනය හැඬවිණි. දෑස් කුඩා කොට මා එදෙස බලා උන්නේ කසුන් ගේ නම තිරය මත සනිටුහන් ව තිබි නිසාවෙනි.

“කසුන්…මොකද දන්නෑ. පුතාට අසනීපයක්වත්ද…”

හදවත ගැස්ම මඳකින් උත්සන්න වන්නට ඇත.

“හෙලෝ”

නාඳුනන කෙනෙකුට කතා කරන ස්වරයක් ඒ අකුරු දෙකෙහි විණි ද?

“මොකද්ද හලෝ විලි ලැජ්ජාවක් නැති වැඩ කරන්නෙ. ඔය තාලෙටනං එන්නෙ මං තමුසෙට එක දවසකටවත් ළමයව ගෙනියන්න දෙන්නෑ”

උස්සා පොළොවේ ගැසුවා බඳු සසල වීමක් මට දැනිණ. ඔහු කියන්නට යන්නේ කුමක් ගැන දැයි කොහෙත් ම මට වැටහුණේ නැත. කෙසේ වෙතත් දරුවා ගේ මව වශයෙන් ඒ මාතෘත්වයට අවමන් වන කිසිත් මගේ අතින් සිදු වී නොමැති නිසාවෙන් සාධාරණ කේන්තියක් ද මා තුළ ඇති විය.

“මොකද්ද කියන්නෙ…”

මගේ වචන වල තානය, පෙර කිසි දාක මා ඔහු ට කතා කර නැති දැඩි බවක් ගත්තේ ය.

“කියන්නෙද….කියන්නෙ තමුසෙගෙ කල්ක්‍රියාව ගැන. ලැජ්ජ නැද්ද හලෝ බොස්ගෙ වාහනේ රවුං ගහන්නෙ ඒ පාර….”

මොහොතකට මා ගොළු වන්නට ඇත. අශිකාටත් අපේ සංවාදය ඇසෙන නිසාවෙන් ඈ තරමක කැළඹීමකට පත් ව මගේ පිටි අත්ලක් පිරිමැද්දා ය.

“ඒ මදිවට යන මගුලක තනියම යන්නෙ නැතුව ළමයවත් අරං ගිහිං”

මට හරියට ම සිද්දිය පසක් වූයේ එවිට ය. මගේ මුව අවඥා සහගත සිනහවකින් ඇද විය. එදා පුතු සමග කුලාන් ගේ රියෙහි ගෙදර ගිය බව ඔහු කසුන් සමගින් පවසන්නට ඇත.

“දැං මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ මං කාගෙ වාහනේක කොහේ ගියත්. අපි දැං ඩිවෝස් වෙලානෙ ඉන්නෙ. මං ඔයා ගැන මොනවත් හොයන්නෙ නෑනෙ. ඔයත් මං ගැන මොනාත් හොයන්න බලන්න එපා”

අශිකා මහපැට ඇඟිල්ල දිගු කරනා අතරේ ඇස් වලින් ද විජයග්‍රහණය හැඟවූවා ය.

“ආ…දැං ඒ සයිස් එකෙන්ද එන්නෙ…”

“ඔයා හිතුවද කසුන් ඔයාගෙ ගෙදරිං පන්නගත්ත දුර්වල ගෑනි හැමදාමත් ඉඳියි කියල…නෑ. ඒ ගෑනි මැරුණෙ එදා තීන්දුව අරං උසාවියෙං එළියට බහිද්දි”

“තමුසෙ ඕන මගුලක් කර ගන්නව මට ලැජ්ජ තරන්නෙ නැතුව. හරිද…”

“ඇයි ඔයා ලැජ්ජ වෙන්නෙ…මං ඔයාගෙ කවුරුවත් නෙවෙයිනෙ”

“මගෙ කවුරුවත් නෙවෙයි තමයි. හැබැයි මගෙ ළමයගෙ අම්මනෙ”

“අම්ම කියන නමේ තේරුම ඔයා මට කියල දෙන්න එන්න ඕන නෑ කසුන්. මොකද ඔයා ඒක දන්නෙත් නෑ ඔයාගෙ අම්ම හැබෑ අම්මා කෙනෙක් නෙවෙයි නිසා”

“මොකද්ද ගෑනියෙ කියන්නෙ…තමුසෙ හැම මගුලටම අපේ අම්මව අල්ලගන්න එන්න එපා හරිද”

දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ ඔහු කිපුණේ ය. මම දුෂ්ට සතුටක් වින්දෙමි.

“ඕක ඊරිසියාව කසුන්. වෙන දෙයක් නෙවෙයි ඊරිසියාව”

“අනේ තමුසෙ හරි බියුටි ක්වීන් නෙ මං ඊරිසියා කරන්න”

මම තරමක් හඬ නගා හිනැහුණෙමි. ඒ සිනහවෙන් ඔහු වියරු වැටෙන්නට ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 39

“ඕනවට වඩා දඟලගෙන එන්න එපා. බැල්ලියෙක් වගේ මහපාරෙ මරල දාන්නෙ. බැල්ලියෙක් වගේ…”

එහා අන්තයෙන් දුරකතන සම්බන්ධය බිඳ වැටිණ. එතෙක් ආරෝපණය කර ගත් ශක්තියකින් පිම්බීගෙන උන් මම හුළං බැස යන බැලුමක් සේ හැකිළෙන්නට වූයෙමි.

“පිරිමින්ට වෙලාවකට බල්ලො වෙන්න පුළුවන් නිම්නා. ගඳ ගහන ජරා බල්ලො”

අශිකා කේන්තියෙන් කීවා ය. මම සිනහ වෙන්නට අරෑඳුවෙමි. නමුත් හදවත විඩා පත් ව බිම වැටී තිබිණි. රිදුණු බිඳුණු හිතක් සනහා ඔසු ගල්වා සුවපත් කරන මිනිසුන් වෙනුවට ලෝකයේ වැඩි පුර ඉන්නේ කකුලෙන් ඇද හෝ තව දුරටත් බිමට වට්ටන්නට බලා සිටිනා මිනිසුන් ය. බිම වැටුණ විට ඉනුදු නො නැවතී අගාධයකට ඇද දමන්නට බලා සිටිනා මිනිසුන් ය. සිහින් නො වන රිදුමක් ඇතුළාන්තයේ එහෙ මෙහෙ වෙමින් තිබිණි. මට ඕනෑ ගැහැනුකම ශාපයක් ලෙස දකින්නට නොවේ. ආශීර්වාදයක් කර ගන්නට ය. එසේ කොට මගේ පාඩුවේ ජීවත් වෙන්නට ය. නමුදු ඒ සැනසිල්ල හිතන තරම් පහසුවෙන් අත් පත් කර ගත හැක්කක් නොවේ! 

දිවා ආහාර වෙලාවට හෝරාවකට පමණ පෙර කුලාන් මා සිය කුටියට කැඳෙව්වේ ය. ඔහු සිටින්නේ කුල්මත් සැහැල්ලුවක බව බැලූ බැල්මට පෙනිණි. කරුණාවන්ත නෙතකින් මවෙත නැඹුරු වූ හෙතෙම තත්පර කිහිපයක් නො වෙනස් බැල්මෙන් සිටියේ ය.

“අම්මගෙ අසනීපෙ තත්වෙ කොහොමද නිම්නා…අම්ම එදා කිව්ව ඔපරේෂන් එකක් කරන්න වෙන කතාවක්…”

“ඔව් සර්…ලිස්ට් එකේ ඉන්නව ඉතිං. අපිට තියන හදිස්සියට කරන්න බෑනෙ”

“ඩොක්ටත් එක්ක කතා කර ගන්න ඒක ප්‍රයිවට් කරන්න”

“සර්…”

මම නො සිතූ කම්පනයකට ලක් වීමි.

“මගෙ අම්ම නැති වෙනකොට මං  ග්‍රේඩ් එයිට් වල. අම්ම වෙනුවෙන් මොනවත් කරන්න මට බැරි වුණා නිම්නා. ඒ හිස් තැනයි දුකයි හැමදාමත් මගෙ හිතේ තියෙනව. මගෙ අම්ම වෙනුවෙං කරනව කියල හිතං මට මේක ඔයාගෙ අමමට කරන්න දෙන්න”

“ඒත් සර්…සර් මේ ලොකු වැඩකට අත ගහල ඉන්න වෙලාවෙ…මේක ගොඩක් වියදං යන ඔපරේෂන් එකක් සර්. අපි හෙමිහිට කර ගන්නං. ඒ වචනෙටත් සර්ට ගොඩාක් පිං…”

“පැහෙන්නැතුව ඩොක්ටත් එක්ක කතා කර ගන්නවද…”

එය තරවටුවකි. නමුත් ගැහැනුන් වී උපන් අප විඳ ගන්නට කැමති තරවටු ද තිබේ. ඒවා හදට දැනෙන්නේ ආදරණීය ව ය. මම ටික වෙලාවක් ඒ නො සන්සුන් හැඟීම් පොදියේ අදිසි මිහිර විඳිමින් බිම බලා ගෙන සිටියෙමි.

“නෙක්ස්ට් වන්. අර කිව්ව ලෝයර් මොකද කියන්නෙ දැං…”

ඒ වතාවේ නම් මා උඩ ගොස් බිම වැටුණා කියා සිතමි. අභ්‍යන්තරයේ වූ සසල වීම පිටතින් බලන කෙනෙකුට ද නො පෙනෙන්නට විදිහක් නැත. නමුත් කුලාන් මදෙස බලා උන්නේ ඉතාමත් සන්සුන් දෑසකිනි.

“සර්….”

මුළු මහත් මවෙත වූයේ ප්‍රශ්නාර්ථයයි.

“බබාගෙ කස්ටඩි එක ඉල්ලල නඩු දානව කියල ඔයා කිව්වනෙ…”

“ඔව් සර්. තාම ඒ ගැන මුකුත් කළේ නෑ. ඉක්මනට ඒකනං කරන්න ඕනෙ”

“ඒකත් ඉක්මනට බලන්න. නැත්තං අපි වෙන ලෝයර් කෙනෙක්ව හරි කන්ටැක්ට් කරමු”

“සර්”

මගේ දෙතොල් වල වෙව්ලීමක් මට දැනිණි. එය වූ කලී ලියා පැහැදිළි කළ හැකි සිතිවිලි සමූහයක් නොවේ. මහ තුරක් පා මුල දී දැනෙනාකාරයේ සිහිලැල් සෙවනක්, ඔහු ගේ දෑස් මා තුළ දැනවී ය. 

“ඒත් ඇයි සර්…”

මට අසා ගන්නට උවමනා දේ මගෙන් ප්‍රශ්න කෙරුණා ද කියා වැටහීමක් මට නොවේ. කොහොමටත් ඒ මොහොතේ මා සිටියේ පියවි තත්වයෙන් මඳක් ඔබ්බෙහි, පොළොවට අඩි කිහිපයක් මත්තෙන් පා වෙවී මෙනි.

“ඇයි සර් මට මෙහෙම උදව් කරන්නෙ…”

පියවි සිහියක සිටියා නම් ඇතැම් විට මට ඒ ප්‍රශ්නය අසා ගත හැකි දිරියක් කෙසේවත් උදා කර ගත නො හැකි වනු ඇත. නමුත් මේ ටික දිනක සිට මගේ හදවතෙහි දෝංකාර දෙමින් පැවතියා වූ විසඳුම් නොවූ ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නයේ දෝංකාරය නෑසෙනවා සේ තවත් මට නිහඬව සිටිය නො හැකි ය. 

කියවන්න :  ඔබට ඇහෙනවනම් - අවසාන කොටස

කුලාන් දෑස් යුග වඩාත් සිහින් කොට ගෙන ඉවසිලිවන්ත බැල්මකින් බලා සිටියේ ය. උමතුවෙන් වියරු වැටේවියි බියෙන් යටි තොල තද කොට සපා ගෙන මම බිම බලා ගතිමි.

“ඔයා හුඟක් වටින නිසා”

මගේ සවනට දෙඅඩියක් තරම් දුරින් මිමිණුන ඒ වදන් පෙළ මට දැනුණේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි වෙනත් තරුවක සිට ඇසුණා මෙනි. එපමණට දිව්‍යමය බවක් ඒ වචන වල විය. මම පාෂාණිභුත වීමි. 

“අපිට…මේ කම්පනි එකට…ඔයා හුඟක් වටිනව. මෙතන වැඩ කරන අනිත් ඔක්කොම සේවකයන්ට වඩා තනි ඔයා වටිනව කියල මට දැනෙනව. එහෙම ඔයාව අපි රැකගන්න ඕනෙ. පරිස්සං කර ගන්න ඕනෙ. ඔයාට තියෙන ඔක්කොම ප්‍රශ්න අපි අරං හරි විසඳල දීලා හරි ඔයාගෙ ඔළුව නිදහසේ තියන්න ඕනෙ. ඔයාගෙ හොඳම අවුට් පුට් එක දකින්න පුළුවන් වෙන්නෙ එතකොට”

මගේ ඇස් දෙකෙන් ගිළිහෙන කඳුළු පාලනය කර ගන්නට කොහෙත් ම මට හැකි වූයේ නැත. අවසන, ඒ සඳහා උත්සාහ කිරීමත් අතැර දමා මම හිතේ හැටියට හඬන්නට ඇසට ඉඩ දුනිමි. ඒ එකදු කඳුළු බිඳක් හෝ අපතේ නො යවා ඔහු දෑසින් ඒවා විඳ ගන්නා බවක් මට දැනිණ.

මගේ ගැහැනු හැඟීම් උතුරා දෝරෙ ගලන්නට විය. කඳුළු එහි ආත්ම ප්‍රකාශනයක් වූයේ ය. තාත්තා හැරුණු විට පිටස්තර පිරිමියෙකු මේ විදිහට මා අගය කළා ම ය. වටිනාකමක් දුන්නා ම ය. ඇගයෙන්නට රිසි නොවන කෙනෙක් මේ මිහි මත සිටිත හැකි ය කියා මම නො සිතමි. මාත් ඇට, මස්, ලේ, නහර වලින් සැදුම් ලද්දා වූ මිනිස් දුවකි. නමුත් දෙව් දුවක ගේ හදින් යුතුව මම ප්‍රේමය ගැන සිතුවෙමි. එසේ වී ද ප්‍රේමය මට දුරින් තිබුණේ ය. මගේ හිතේ තිබූ පරිදි කිසිදු පිරිමියෙකුට ලං ව පෙම් කරන්නට මට අවස්ථාවක් නො ලැබුණේ ය. මට පෙම් කළ අය කෙරේ කිසිදු හැඟීමක් නූපදන්නට තරම් මහද අකාරුණික විය. ශාරීරික වශයෙන් සමීප වූ එක ම පිරිමියා වන කසුන්, මා ව සිය ආත්මීය සහකාරිය කර ගත්තේ නැත. හැම දාක ම අපතර කිසියම් දුරස්ථ බවක් විය. ඔහු එක වචනයකින් හෝ මා අගය කොට නැත. එහෙයින් මට ම මා අවලංගු කාසියක් සේ දැනිණ. කසුන් විසින් මළුවට විසි කොට දමනු ලැබූ එකී කාසිය පෙරළී සිය දෙපා ළඟට එත්දී කුලාන් ඊට පඬුරක වටිනා කමක් දුන්නා නොවේ ද? මට ම දරා ගන්නට බැරි වටිනාකමක් මට ලබා දුන්නා නොවේ ද? ඒ වගේ වෙලාවක කඳුළු වලින් මිස හැඟීම් ප්‍රකාශ කරන්නට වෙන ආකාරයක් ගැහැනු හිතක් හඳුනනවා දැයි මා දන්නේ නැත!

“තෑන්ක් යූ සර්”

කියා ගෙන මා අසුනෙන් නැගිට ගත්තේ හැඟීම් නම් උදම් රළ පෙළ මඳක් නිසල වන්නට පටන් ගත් ඉක්බිති ය.

“තව ඉවර නෑ”

ඔහු මන බඳනා සිනහවෙන් මදෙස බලා කීවේ ය. ඉඳ ගත්තා නොව අසුනේ මා හිඳවිණ.

“ආයෙ මනමාලයෙකුත් ගෙන්නන්න වෙනවනෙ…නේ…එයාට තියෙන්න ඕන සුදුසුකං මොනාද කියල කිව්වනං මට කෙනෙක් හොයන්න ලේසි වෙයි නේ…”

වැහි වලාකුළු යටින් හිරු මඬල එබිකම් කරනවා සේ, කඳුළු අතරින් මට සිනා ගියේ ය. කුලාන් ගේ ඇස් මා විනිවිද ආත්මය පත්ලට කිඳා බසින බවක් මට දැනිණ.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

ලස්සනයි .. අද කලින්ම.. Thanx..